මොහොමඩ් ෂමීගෙන් සිහිපත්වන ලෝක කුසලාන ත්‍රිත්ව කඩුලු දඩයම්

 ඡායාරූපය:

මොහොමඩ් ෂමීගෙන් සිහිපත්වන ලෝක කුසලාන ත්‍රිත්ව කඩුලු දඩයම්

ඉන්දීය පිලේ බුවනේෂ්වර් කුමාර් ආබාධයකට ලක්වීම හේතුවෙන් කණ්ඩායමේ ක්‍රීඩා කිරීමේ අවස්ථාව මොහොමඩ් ෂමීට ලබාදීමට කණ්ඩායම් කළමනාකාරිත්වය කටයුතු කර තිබුණේ ඇෆ්ගනිස්ථානය සමඟවූ තරගයේදීය. එහිදී ඉන්දීය කණ්ඩායමට සිතූ පැතූ සම්පත් දෙන පිතිකරුවන් මෙන්ම පන්දුයවන්නන්ටද සුබදායී දිනයක් නොවුණේ ඉන්දියාව අඩු ලකුණු සංඛ්‍යාවකට සීමාවීමත් සමඟිනි. නමගිය සෑම පිතිකරුවකුම පාහේ අසාර්ථකවද්දී ඉන්දීය පන්දුයවන්නන් හමුවේ පැණනැගුණේ නොසිතූ විරූ අභියෝගයකි. ඒ අඩු ලකුණු සංඛ්‍යාවක් ආරක්ෂා කරගනිමින් තරගය ජයගැනීමය.

එකී අභියෝගය ක්‍රම ක්‍රමයෙන් හරි මඟක ගෙනයමින් සිටියද ඉන්දීය පිල අභිමුව ගොඩනැංවී තිබුණේ අනාරක්ෂිත භාවයකි. මෙවර ලෝක කුසලානය දිනාගන්නා කණ්ඩායමකැයි විශ්වාස කරන ඉන්දියාවේ අභිමානයට මෙම තරගය ක්‍රියාත්මක කරමින් තිබුණේ දැවැන්ත පීඩනයකි. අවසන් පන්දුවාර හතර යැවීමේ වගකීම ඉන්දියාවේ ආරම්භක වේගපන්දු යවන්නන් දෙදෙනා වන ජස්ප්‍රිට් බුම්රාට හා මොහොමඩ් ෂමීට පැවරීම ඉන්දීය නායකයාගේ අවසන් තීරණය විය. හතළිස් හයවැනි පන්දුවාරය යවමින් යුෂ්වේන්ද්‍ර චාහල් ලකුණු 8ක් ලබාදී කඩුල්ලක් දවාගැනීමට සමත් වුණේය. ඒ අනුව බුම්රා පන්දුයැවීම බාරගන්නා විට ලකුණු පුවරුව කියැවුණේ කඩුලු 7ක් දැවී ලකුණු 193ක් වශයෙනි.

බුම්රා යැවූ හතළිස් හත්වැනි පන්දුවාරයේ තෙවැනි පන්දුවට නබී දැවැන්ත හයේ පහරක් එල්ල කළේ ඉන්දියානු අපේක්ෂා සලිත කරවමිනි. අනතුරුව ෂමී පන්දුව බාරගත් අතර ලකුණු 3ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබාදෙමින් ඔහු සිය පන්දුවාරය අවසන් කරගත්තේය. ඉන් අනතුරුව යළි බුම්රා වෙත පන්දුව ලබාදුන්නේය. ඔහු එය අවසන් කළේ ලකුණු 5කටය. අවසන් පන්දුවාරයේදී ලකුණු 16ක් රැස්කිරීමට ඇෆ්ගනිස්ථානයට සිදුව තිබූ අතර ඒ වනවිට මොහොමඩ් නබි අර්ධ ශතකයක් ලබා කඩුල්ලේ රැඳී සිටියේය. එම පන්දුවාරය යැවීමේ වගකීම පැවරුණේ මොහොමඩ් ෂමී වෙතය. නබී අවසන් පන්දුවාරයේ පළමු පන්දුව පුල්ටෝස් පන්දුවක් බවට පත්කර ගනිමින් හතරේ පහරක් එල්ල කරනු ලැබුවේය. ඒ ඩීප් මිඩ්විකට් ප්‍රදේශය හරහාය. දෙවැනි පන්දුවට ඔහු පන්දුව මිඩ් විකට් කලාපයට තල්ලු කළද ලකුණක් ලබා නොගත්තේය. තෙවැනි පන්දුවට වේගවත් පහරක් එල්ල කළ නබීගේ පහර හර්දික් පාණ්ඩේ උඩපන්දුවක් වශයෙන් රැකගත්තේ පැවැති පීඩනය යම් පමණකට අස්වැසිල්ලක් නිර්මාණය කරමිනි.

ඉන්පසු එළඹුණේ ෂමීගේ හෝරාවය. ඔහු කඩුල්ලට පැමිණි අෆ්ටාබ් අලාම්ට යෝකර් පන්දුවක් යවමින් පිළිගත් අතර එය අලාම්ගේ කඩුල්ලේ දැවටුණේය. පස්වැනි පන්දුව පිළිගැනීමට මුජීබ් උර් රහමාන් පිටියට පැමිණි අතර ඔහුටද ආයුබෝවන් කියන්නට මෙන් සැමී යවනු ලැබුවේ යෝකර් පන්දුවකි. එය කෙළින්ම පිතිකරු පරාජය කරමින් පා ඉන්න මත පතිත විණි. ඒ අනුව මොහොමඩ් ෂමී තම පළමු කඩුලු ත්‍රිත්වය මෙන්ම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක් තුළ ඉන්දීය පන්දුයවන්නකු ලැබූ දෙවැනි කඩුලු ත්‍රිත්වය වාර්තා කළේය.

මෙම කඩුලු ත්‍රිත්වය ලැබීමෙන් අනතුරුව ෂමී කීවේ, ‘මට මහී මහත්තයා (මහී බායි) යෝකර් පන්දුයවන්න කිව්වා. මම ඒ විදිහට පන්දුයැව්වා. ඒ නිසයි මගේ කඩුලු ත්‍රිත්වය ලැබුණේ’ යනුවෙනි. සැමීගේ මෙම කඩුලු ත්‍රිත්වයෙන් ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ කඩුලු ත්‍රිත්වලාභීන්ගේ වාර්තාව අලුත් කෙරුණේය. ඒ අනුව මෙය සැලකෙනුයේ ලෝක කුසලානය තුළ වාර්තාවූ දසවැනි කඩුලු ත්‍රිත්වය ලෙසය. එකී වාර්තාවන්ට අනුව ලෝක කුසලානයේ වැඩිම කඩුලු ත්‍රිත්ව සංඛ්‍යාවක් හිමිකරගෙන ඇති කණ්ඩායම වනුයේ ශ්‍රී ලංකාවය. අවස්ථා තුනකදී ඔවුහු එම වාර්තාව තමන් සන්තක කරගෙන ඇත. එහි පළමුවැන්නා වාර්තා වනුයේ 2003 වසරේදීය. ඒ ශ්‍රී ලංකාව බිහිකළ සුපිරි වමත් වේග පන්දුයවන්නා වන චමින්ද වාස්ය. ඉන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රීඩකයකු ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි තුළ කඩුලු ත්‍රිත්වයක් දවාගත් අවස්ථාව ලසිත් මාලිංග විසින් ස්වසන්තක කරගත්තේ 2007 වසරේදීය. එය තවදුරටත් ඉදිරියට රැගෙන යමින් 2011 වසරේදීද ලසිත් මාලිංග විසින් කඩුලු ත්‍රිත්වයකට හිමිකම් කීවේ ලෝක කුසලාන තරගාවලිය තුළ එවැනි දක්ෂතාවක් දෙවරක් දැක්වූ එකම පන්දුයවන්නා වන ගෞරවයද තමන්ගේ නම ඉදිරියේ සටහන් කරගනිමිනි.

මොහොමඩ් සැමී වෙත යළිත් වරක් මෙම කතිකාව වෙනස් කරන්නේ නම් ඔහු ඇතුළත්වූ ලෝක කුසලාන කඩුලු ත්‍රිත්ව දඩයක්කාරයන්ගේ පොතේ පළමු කඩුලු ත්‍රිත්වයේ හිමිකරුවා ලෙස සටහන් තබා ඇත්තේද තවත් ඉන්දීය වේග පන්දුයවන්නකු වන චේතන් ෂර්මාය. දෙවැනි වරට එය පාකිස්තානයේ සක්ලේන් මුෂ්ටාක් විසින් හිමිකරගෙන ඇති අතර තෙවැනි වතාවට උප මහාද්වීපයටම එකී වාර්තාව ස්වසන්තක කරමින් චමින්ද වාස් විසින් සටහන් තබා තිබේ. එහෙත් එය දකුණු ආසියාවෙන් පිටතට රැගෙනයා හැකි බව ප්‍රකාශ කළ ලෝක කුසලානයේ පන්දුයවන්නා බ්‍රෙට් ලී ය. ඔහු 2003 වසරේදී එකී වාර්තාව පිහිටවනු ලැබිණි.

මාතෘකා