ත්‍රස්තවාදයෙන් ලොව මුදා ගත නොහැකිද?

 ඡායාරූපය:

ත්‍රස්තවාදයෙන් ලොව මුදා ගත නොහැකිද?

ඔබ අද සේවයට යන්න ඇති. ඔබ අද දවස නිමා වන විට නොදැනුවත්වම විසිපන්දහස් වතාවක් පමණ හුස්ම ගන්නට ඇති. ඒ සියල්ල අවසන ඔබේ හුස්ම ගැනීම නිසා පමණක්, කාබන්ඩයොක්සයිඩ් කිලෝ එකක් ඔබ වායුගෝලයට මුදා හරිනවා. එය බිලියන 7.7ක ලෝක ජනගහනයට සමපාත කරන විට හුස්ම ගැනීම නිසා පමණක් අප කාබන්ඩයොක්සයිඩ් කිලෝග්‍රෑම් බිලියන 7.7ක් එක් දිනක් ඇතුළත වායුගෝලයට මුදා හරිනවා. වාසනාවකට තවමත් අප වටා ගහකොළ ඇති නිසා මේ බිලියන 7.7න් වැඩි ප්‍රමාණයක් ප්‍රතිචක්‍රීයකරණය වනවා. නමුත් කාර්මීකරණය, ප්‍රවාහනය, ගිනිකඳු විදාරණය වැනි ස්වභාවික ක්‍රියා, වන විනාශය වැනි දෑ නිසා මේ කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතිනවා. දැනට වායුගෝලීය කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය 0.004% නැතහොත් වායුගෝලීය කොටස් මිලියනයකට, කාබන්ඩයොක්සයිඩ් කොටස් 415ක්.

එපමණක් නොවෙයි එය අහිතකර ආචරණ රාශියක් ඇති කරනවා. පෙර පළවූ ලිපි පරිශීලනය කළා නම් ඔබ කාබන්ඩයොක්සයිඩ් වායු ප්‍රතිශතය වැඩිවීමේ ආදීනව හොඳින් දන්නවා ඇති. ලෝකයේ කිනම් හෝ දෙයක් අතිරික්තව හෝ භාවිතයට නොගෙන පවතී නම් එය නාස්තියක්. එසේම ඒ දෙයින් අහිතකර ආචරණ ලොවටම ඇති කරනවා නම්, එය කෙසේ හෝ මැඬපැවැත්විය යුතුමයි.

වසර 2050 වන විට දැනට පවතින හරිතාගාර ආචරණය මැඬපවත්වා පෘථිවියේ ඉහළ යන උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 1.5ක සීමාවක නතර කිරීමට නම් අද සිට වසරකට පෘථිවි වායුගෝලයෙන් කාබන්ඩයොක්සයිඩ් ටොන් බිලියන 12ක ප්‍රමාණයක් ඉවත් කළ යුතු බව දේශගුණ විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය කමිටුව මගින් ගණන් බලා තිබේ. 2017 වසරේදී බලශක්ති ජනනය කිරීම නිසා පමණක් කාබන්ඩයොක්සයිඩ් ටොන් බිලියන 32.5ක් වායුගෝලයට එක් වී තිබෙනවා. මේ ප්‍රමාණය අවම කිරීම හෝ නිකුත් වූ කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය නැවත එකතු කිරීම අනිවාර්යයෙන්ම සිදු කළ යුතුව තිබෙනවා. දැනටමත් මේ වෙනුවෙන් සමාගම් කිහිපයක් කටයුතු කරමින් පවතිනවා. මෙහිදී සිදු වන්නේ වායුගෝලයෙන් කාබන්ඩයොක්සයිඩ් උරා ගැනීම හෝ කර්මාන්තවලින් පිටවන කාබන්ඩයොක්සයිඩ් එකතු කිරීමයි. මෙහිදී දෙවන ක්‍රමය තරමක් වාසිදායක වන්නේ එම පිටවන දුමාරයේ වැඩි ප්‍රමාණයක් කාබන්ඩයොක්සයිඩ් අඩංගුව පැවතීමයි. එසේ වුවත් තවමත් මේ තාක්‍ෂණයන් මහාපරිමාණව සහ ලාභදායී වී නැහැ.

මේ නිසා පරිසරය පිළිබඳ උනන්දුවක් දක්වන ව්‍යවසායකයන් මේ පිටවන කාබන්ඩයොක්සයිඩ් භාවිත කර විවිධාකාර නිෂ්පාදන සිදුකර වායුගෝලයට එකතුවන කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය ඝන ද්‍රව්‍යවල තැන්පත් කර ගබඩා කර තැබීමේ කටයුතු සිදු කරමින් පවතිනවා. එවිට වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය අඩු වී අහිතකර ආචරණ අවම විය හැකි වනවා. මේ සඳහා කාබන්ඩයොක්සයිඩ් අමුද්‍රව්‍යක් සේ භාවිත කර සැකසිය හැකි ප්ලාස්ටික් වර්ග, ඉන්ධන වර්ග සහ වෙනත් ගෙදර දොර භාවිතවන ඝන ද්‍රව්‍ය පවා සැකසීම කෙරෙහි විද්‍යාඥයන්ගේ අවධානය යොමු වී තිබෙනවා.

සැන්ෆ්‍රැන්සිස්කෝ ගුවන් තොටුපළේ පළමු පර්යන්තයේ කොටස් නිමවා තිබෙන්නේ කාබන්ඩයොක්සයිඩ් භාවිත කර සංයෝජනය කළ හුනුගල් (කැල්සියම් කාබනේට්) යොදා සකසන ලද කොන්ක්‍රීට් ගඩොල් යොදාගෙනයි. මේ ආකාරයට කාබන්ඩයොක්සයිඩ් හුනුගල් වැනි ගොඩනැඟිලි ද්‍රව්‍යවලට යොදා ගැනීම මගින් දීර්ඝ කාලයක් තිස්සේ කාබන්ඩයොක්සයිඩ් සැලකිය යුතු ප්‍රමාණයක් වායුගෝලයෙන් ඉවත් කර ගබඩා කර තැබීම කළ හැකියි. මෙම ව්‍යාපෘතිය කළ සමාගම්හි අභිප්‍රාය වන්නේ ඉදිරියේදී මීටත් වඩා සුවිසල් ව්‍යාපෘති සිදු කර විශාල ප්‍රමාණයක් කාබන්ඩයොක්සයිඩ් වායුගෝලයෙන් ඉවත් කිරීමයි. ඔවුන් සාමාන්‍යයෙන් වසරකට සුවිසල් පර්වත සහ ගල් ගිගා ටොන් 55ක් ප්‍රවාහනය කරන අතර මේවා ඉතා දුර බැහැර සිට ප්‍රවාහනය කරනු ලබනවා. මේ නිසා අලුතෙන් කාබන්ඩයොක්සයිඩ් වාතයට ක්‍රම කිහිපයකින්ම එකතු වනවා මේ නිසා මෙම ව්‍යාපෘතිය බාර සමාගමට අවශ්‍ය වන්නේ ඉන්ධන හෝ ගල්අඟුරු මගින් දිවෙන විදුලිබලාගාරවලින් නිකුත් කෙරෙන දුමාරයේ වූ කාබන්ඩයොක්සයිඩ් පිරිසුදු කිරීමකට ලක් නොකරම භාවිත කර මේ කැල්සියම් කාබනේට් නිපදවාගෙන ඒ ස්ථානවලම මේ කොන්ක්‍රීට් නිපදවා අවම කාබන් විමෝචනයකින් උපරිම කාබන් සංචිත කිරීමක් සිදු කිරීමටයි. දැනට වසර හතරක් තිස්සේ ක්‍රියාත්මක වන මේ සමාගම දැනට භාවිත වන ගිගා ටොන් 35ක් පමණ හුනුගල්වලට ජීව වායුවලින් ක්‍රියාත්මක වන විදුලි බලාගාරයකින් නිකුත් වන කාබන්ඩයොක්සයිඩ් භාවිත කිරීම මගින් දශක ගණනාවකට කාබන් තැන්පත් කිරීමකට ඔවුන් බලාපොරොත්තු වනවා. ඒ අනුව එක් හුනුගල් ටොන් එකක් සෑදීමේදී ඔවුන් කාබන්ඩයොක්සයිඩ් කිලෝග්‍රෑම් 440ක් වායුගෝලයෙන් ස්ථිර වශයෙන් ඉවත් කිරීමට කටයුතු කරනවා. මෙය ගිගා ටොන් 35කට සලකන විට සෑහෙන විශාල ප්‍රමාණයක්. මෙසේ ස්ථිරවම කාබන්ඩයොක්සයිඩ් වායුගෝලයෙන් ඉවත් කළ හැකි නම් පෘථිවිගෝලයේ උණුසුම් වීම තරමකට පාලනය කරන්නට පුළුවන්.

ලොව පුරා වූ සිමෙන්ති කර්මාන්තය වසරකට ගිගා ටොන් 4.1ක සිමෙන්ති නිෂ්පාදනයක් සිදු කරන අතර වායුගෝලයට එකතු වන කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණයෙන් සියයට 6ක දායකත්වයක් උසුලනවා. මේ නිසාම සිමෙන්ති නිපදවන සමාගම් සිය අමුද්‍රව්‍යක් වන හුනුගල් නිපදවීම සිදු කරන්නට දහනයෙන් නිකුත් වන වාතය භාවිත කරනවා. මේ වායුගෝලීය කාබන්ඩයොක්සයිඩ් ස්ථිර වශයෙන්ම ඉවත් කිරීමේ තවත් ක්‍රමයක්. කෙසේ වුවත් මේ ආකාරවලින් වායුගෝලයෙන් කාබන්ඩයොක්සයිඩ් ඉවත් කිරීම සඳහා පමණක් කාබන්ඩයොක්සයිඩ් ටොන් එකකට ඇමෙරිකානු ඩොලර් 100 – 240ක් පමණ ප්‍රමාණයක් වැයවන බව ගණන් බලා තිබෙනවා.

වායුගෝලයෙන් කාබන්ඩයොක්සයිඩ් ඉවත් කිරීමේ තව ක්‍රමයක් වන්නේ කාබන් තන්තු සෑදීමයි. නමුත් සාම්ප්‍රදායික කාබන් තන්තු නිෂ්පාදනය අධික බලශක්තියක් වැයවන ඒ නිසාම පරිසරයට දැඩි බලපෑමක් ඇති කරන සහ වියදම් අධික ක්‍රියාවලියක්. මේ නිසාම මියුනිච් හි තාක්‍ෂණික සරසවියේ ඇල්ගී භාවිතයෙන් ජීව ඉන්ධනවලට අවශ්‍ය අමුද්‍රව්‍ය නිෂ්පාදනය කරන පර්යේෂණ කණ්ඩායමක් සිය ජීව ඉන්ධන අමුද්‍රව්‍ය නිෂ්පාදනයේ අතුරු ඵලයක් වූ ග්ලිසරෝල් නම් රසායන ද්‍රව්‍ය ඇක්‍රිලෝනයිට්‍රයිල් බවට පරිවර්තනය කර, ඒ හරහා කාබන් තන්තු නිර්මාණය කිරීම සිදු කර තිබෙනවා. ඇක්‍රිලෝනයිට්‍රයිල් බහු අවයවීකරණයෙන් කාබන් තන්තු නිෂ්පාදනයේ ප්‍රධාන අමුද්‍රව්‍ය වන පොලිඇක්‍රිලෝනයිට්‍රයිල් සකසා ගන්නවා. පොලිඇක්‍රිලෝනයිට්‍රයිල් ඉහළ උෂ්ණත්වයකට දහනය කිරීමේදී කාබන් තන්තු සැකසෙන අතර මේ ක්‍රමය සාමාන්‍ය කාබන් තන්තු සෑදීමේ ක්‍රමය මෙන් දස ගුණයක් ලාභදායකයි. එසේම කාබන් තන්තු වානේවලටත් වඩා ශක්තිමත් වීමත් එතරම් බර වැඩි නොවීමත් වැනි ගුණ නිසා බොහෝ ලෝහමය කොටස්, කොන්ක්‍රීට් සහ වානේ වැනි දෑවලට ආදේශකයක් ලෙස යොදා ගැනීමට හැකියාව තිබෙනවා.

ගොඩනැඟිලිවල සහ විවිධ වාහන උපාංගවල ආදියේ භාවිත කරන පොලියුරතේන් ෆෝම් සාමාන්‍යයෙන් නිෂ්පාදනය කරන්නේ පොලිඕල් නම් ඇල්කොහොල වර්ගයකින්, මෙය සැකසෙන්නේ ප්‍රොපිලීන් ඔක්සයිඩ්වලින්. මේ ප්‍රොපිලීන් ඔක්සයිඩ් ෆොසිල ඉන්ධන අමුද්‍රව්‍යවලින් සෑදීමේදී විශාල බලශක්තියක් අපතේ යනවා මෙන්ම කාබන්ඩයොක්සයිඩ් විශාල ප්‍රමාණයක් වායුගෝලයට මුසු වනවා. මේ නිසා වායුගෝලීය කාබන්ඩයොක්සයිඩ් භාවිත කර ප්‍රොපිලීන් ඔක්සයිඩ් නිෂ්පාදනය කිරීමටත් ඒ හරහා සියයට 43ක් ෆොසිල ඉන්ධන මගින් නිපදවන ප්‍රොපිලීන් ඔක්සයිඩ් අවම කිරීමටත් හැකි වී තිබෙනවා. ෆොසිල ඉන්ධන මගින් නිපදවන ප්‍රොපිලීන් ඔක්සයිඩ් ටොන් එකක මිල ඩොලර් 2000ක් පමණ වන අතර මේ ක්‍රමයෙන් නිපදවන ප්‍රොපිලීන් ඔක්සයිඩ් ටොන් එකක් ඩොලර් 30 -50 අතර වීම නිසා නිෂ්පාදන වියදම සෑහෙන ප්‍රමාණයකින් පහත හෙළීමටත් හැකි වී තිබෙනවා. මේ ක්‍රමය ලොව පුරා පොලියුරතේන් නිෂ්පාදකයන් භාවිත කළ හොත් වසරකට වායුගෝලයෙන් කාබන්ඩයොක්සයිඩ් ටොන් මිලියන 3.5ක් ඉවත් කළ හැකි බව ගණන් බලා තිබෙනවා. එය වසරකට මෝටර් රථ මිලියන 2ක් ධාවනය නැවැත්වූවා හා සමානයි.

අනාගතයට වඩාත්ම වැඩදායී වන කාබන්ඩයොක්සයිඩ් භාවිත කිරීමේ ක්‍රමය වන්නේ එය ඉන්ධන බවට හැරවීමයි. නමුත් එය තරමක් බලශක්තිය වැයවන ක්‍රියාවලියක් නිසා ලාභදායීත්වය අතින් පහළ මට්ටමක පවතිනවා. කෙසේ වුවත් ලෝකය පුරා විවිධාකාර පර්යේෂණ කණ්ඩායම් කාබන්ඩයොක්සයිඩ් භාවිත කර මෙතිල් ඇල්කොහොල්, ඇසිටික් අම්ලය වැනි කාබනික සංයෝග සැකසීමේ පර්යේෂණ නිතිපතා සිදු කෙරෙනවා.

මෙහිදී සිදු වන්නේ කාබන්ඩයොක්සයිඩ් වායුව කිසියම් ද්‍රාවණයක දිය කර එය විද්‍යුත් විච්ඡේදනයට ලක් කර කාබන් සහ ඔක්සිජන් අතර බන්ධනය දුර්වල කිරීමයි. ඉන්පසු එය හයිඩ්‍රජන් පරමාණු හෝ ප්‍රෝටෝන සමඟ ක්‍රියා කරවා කාබනික සංයෝග බවට පරිවර්තනය කරයි. කෙසේ වුවත් මේ පර්යේෂණ තවමත් පවතින්නේ රසායනාගාර පර්යේෂණ මට්ටමේ පමණයි. 2013 වසරේදී ජර්මනියේ BASF සමාගම විසින් කාබන්ඩයොක්සයිඩ් සහ එතිලීන් වායුව යොදාගෙන ළදරුවන්ගේ ඩයපර්වලට භාවිත කරන පොලි මෙතිල් මෙතැක්‍රිලේට් නම් සුපිරි අවශෝෂක බහුඅවයවිකය නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාවට නැංවූවා.

මෙසේ විවිධාකාර පර්යේෂණායතන, සමාගම් වායුගෝලීය කාබන්ඩයොක්සයිඩ් උරාගෙන, උකහාගෙන, කාබනික හෝ වෙනත් සංයෝග බවට පරිවර්තනය කර කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය වායුගෝලයෙන් ඉවත් කිරීමේ නොනවතින වෑයමක නිරතව සිටී. එය අපට එසේ කිරීමට නොහැකි වුවත් ලෝක ප්‍රජාව වශයෙන් අපට කළ හැකි දෑ කිහිපයකි. ජලවිදුලි බලාගාර කිහිපය හැරුණුකොට අපේ රටේ ප්‍රධාන වශයෙන්ම විදුලිය නිපදවන්නේ ගල්අඟුරු සහ ඩීසල් බලාගාර හරහායි. අනවශ්‍ය ලෙස විදුලි පරිභෝජනය අඩු කිරීම, ප්‍රවාහනයේදී ඉන්ධන දහනය අඩු කිරීමට හැකි තරම් පොදු ප්‍රවාහන සේවය, එකම වාහනයේ කිහිපදෙනකු ගමන් කිරීම මගින් ධාවනය වන වාහන ප්‍රමාණය අඩු කිරීම, ගොඩනැඟිලි තැනීමේදී හැකි තරම් හරිත ක්‍රම භාවිත කිරීම, ප්‍රතිචක්‍රීයකරණය වැනි දෑ තනි තනි පුද්ගලයන් වශයෙන් අපට කළ හැකිය. රජයක් වශයෙන් නිසි ප්‍රතිපත්ති සම්පාදනය සහ ක්‍රියාවට නැංවීම මගින් අවම වශයෙන් ඒක පුද්ගල කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය අඩු කළ හැකිය. එය අපට කරන ආයෝජනයක් නොව, අපේ දරුවන්ට අනාගතයේදී අනාත නොවී සිටීමට කරනු ලබන රුකුලකි.

ආචාර්ය [පියල් ආරියනන්ද]

මාතෘකා

ජනප්‍රිය ලිපි