පල්ලම් බහින ශ්‍රී ලංකා ක්‍රිකට් අතර කන්දක් තරණය කළ දෙදෙනා

 ඡායාරූපය:

පල්ලම් බහින ශ්‍රී ලංකා ක්‍රිකට් අතර කන්දක් තරණය කළ දෙදෙනා

ලෝක කුසලාන අවසන් තරගය අවසන් වීමෙන් පසුව එංගලන්තය ජයග්‍රහණය ගැන උදම් අනන විට හොඳම පරාජිතයා සහ අනුශූරයා ලෙස නවසීලන්තය ගෞරවයට පාත්‍ර විය. අවසන් පූර්ව තරගයෙන් පසුව සිය රට බලා ගිය බැවින් ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාවටද කථා කරන්නට දෙයක් තිබුණු. තරගාවලියේ හොඳ සටන් කිහිපයක්ම දීමෙන් අනතුරුව අවසන් පූර්ව වටයේ දොරටුව වැසුණු පාකිස්තානයද තරගාවලියේ දැක්වූ දක්ෂතා ගැන ඔවුන්ටද කථා කරන්නට දෙයක් ඇතැයි කිව හැකිය.

හය වැන්නා .....

හත්වැන්නා වූ බංග්ලාදේශයද තරගාවලිය අවසානය දක්වා අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු දල්වාගෙන සිටියේය. අටවැන්නා ලෙස දකුණු අප්‍රිකාවට කථා කරන්න දෙයක් ඇත්තේම නැත්තේ ඔවුන්ගේ පරාජය ගැන කිසිවෙක් කලින් අපේක්ෂා නොකළ බැවිනි. නවවැන්නා වූ කොදෙව්වන් ගැනද එසේමය.

දසවැන්නා වුවත් ඇෆ්ගනිස්තානය ගැන ඉදිරියේදී බලාපොරොත්තු තැබිය හැකි බවට පෙර නිමිති මෙම තරගාවලියේ තරග කිහිපයකින්ම දැකගත හැකි විය.

හය වැන්නා...... ශ්‍රී ලංකාවයි. ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වීමෙන් පසුව නැවතත් සිය රට බලා පැමිණි විට මාධ්‍යවේදීන් වටකරගෙන ප්‍රශ්න කරන්නට වූයේ තරගාවලියේ අසාර්ථක වීම්, කණ්ඩායමේ අසමගිය, පුහුණුකරු මාරු කිරීම වැනි කාරණාය. කළමනාකරුගෙන්, පුහුණුකරුගෙන් කණ්ඩායමේ නායකයාගෙන් මෙන්ම ගුවන් තොටුපලේදී තනිවම සිටි ලසිත් මාලිංගගෙන් මාධ්‍යවේදීන් ඇසුවේ එකම ප්‍රශ්න කිහිපයකි.

මෙවර ලෝක කුසලානයේ බලාපොරොත්තු වූ පරිදිම ශ්‍රීලංකා කණ්ඩායම අවසන් පූර්ව වටයට හෝ සුදුසුකම් නොලබා පැමිණි නිසා අවසන් තරගයේදී ශ්‍රී ලංකාව ගැන කථාවක් ඇති වීමට හේතුවක් නැත. එහෙත් අවසන් මහා තරගය ආරම්භ වීමට ප්‍රථමත් තරගය අතරතුරදීත් තරගාවසානයේදී මෙන්ම ත්‍යාග බෙදාදීමේදීත් ශ්‍රී ලංකාව ගැන කථා බහ ඇති විය.

ඒ ශ්‍රී ලංකා කණ්ඩායම ගැන නොව අවසන් තරගයේ තීරකවරයා සහ විනිසුරුවරුන් සම්බන්ධයෙනි. අවසන් තරගයේ විනිසුරුවරුන් වූයේ දකුණු අප්‍රිකානු ජාතික විනිසුරු මරායිස් එරාස්මස් සහ ශ්‍රී ලංකා විනිසුරු කුමාර ධර්මසේනයි. තරග තීරකවරයා වූයේ ශ්‍රී ලංකාවේ රන්ජන් මඩුගල්ලයි.

මුලින්ම රන්ජන් මඩුගල්ල ගැන කථා කළ යුතුය. 1979 දෙවැනි ලෝක කුසලානයට ශ්‍රී ලංකාව නියෝජනය කළ මඩුගල්ල 1983 මෙන්ම 1987 ලෝක කුසලානය සඳහා තරග වැදුණු ශ්‍රී ලංකා කණ්ඩායමේද ප්‍රබලම පිතිකරුවෙකි.

ශ්‍රී ලංකාව බිහි කළ විශිෂ්ටම ක්‍රීඩකයෙක් ලෙස සැලකෙන මඩුගල්ල ක්‍රීඩකයෙක්ටත් වඩා ක්‍රිකට් ක්‍රීඩාව තුළ නමක් ඇතිකර ගත්තේත් ජනප්‍රිය වූයේත් ගෞරවාදරයට පාත්‍ර වන්නේත් ජාත්‍යන්තර තරග තීරකයෙකු වශයෙනි. 1993 දී ආරම්භවූ මඩුගල්ලේගේ තරග තීරක දිවියේ ප්‍රධානම කඩ ඉමක් වන්නේ 1999 එංගලන්තයේ පැවැති හත්වැනි ලෝක කුසලාන අවසන් තරගයේ තීරකවරයා වශයෙන් කටයුතු කිරීමයි. 2003 දකුණු අප්‍රිකාවේ පැවැති ලෝක කුසලාන අවසන් තරගයේ තීරකවරයා වූයේද රන්ජන් මඩුගල්ලයි. ඉන්පසුව පැවැති 2007 සහ 2011 තරගාවලින්හි අවසන් තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලැබු බැවින් එම අවසන් තරග දෙකේ තීරකවරයා වීමේ අවස්ථාව ඔහුට නොලැබුණු අතර නැවතත් 2015 සහ මෙවර 2019 අවසන් තරගයේ තීරකවරයාගේ භූමිකාව රග දැක්වීමේ අවස්ථාව මඩුගල්ලේට හිමි විය. ඒ අනුව වසර විස්සක් තුළ ලෝක කුසලාන අවසන් තරග 4ක තීරකවරයා ලෙස කටයුතු කිරීමේ භාග්‍ය රන්ජන් මඩුගල්ල උදාකර ගැනීමට සමත්ව ඇත.

එසේම රන්ජන් මඩුල්ල යනු දැනට ලොව සිටින අත්දැකීම් බහුලම තරග තීරකවරයායි. ටෙස්ට් තරග 175ක් සහ එක්දින තරග 304ක තීරකවරයා ලෙස මඩුගල්ල කටයුතු කර ඇති අතර ටෙස්ට් තරග 100ක තීරකවරයා ලෙස කටයතු කළ පළමු වැන්නාද මඩුගල්ලයි. මඩුගල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට සම්පතක් ලෙස සලකණු ලබන චරිතයකි. තවමත් අංක එකේ තරග තීරකවරයා මඩුගල්ලයි. වසස අවුරුදු 60ක් වන මඩුගල්ල ඉතා පහසුවෙන් තවත් කාලයක් එම කටයුත්තේ නිරතවනු ඇත.

1996 ක්‍රිකට් ලෝක කුසලාන හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබලම ක්‍රීඩකයෙක් වූ කුමාර ධර්මසේන 2009 වසරේ සිට අන්තර් ජාතික තරග විනිසුරුවරයෙක් ලෙස කටයුතු කළ අතර මේ වන විට එක්දින තරග 100කට වැඩි සංඛ්‍යාවක් සහ ටෙස්ට් තරග 60ක විනිසුරුවරයෙකු ලෙස කටයුතු කර ඇත. එසේම 2015 ලෝක කුසලාන අවසන් තරගයේදී ප්‍රධාන විනිසුරුවරයෙක් ලෙස කටයුතු කිරීමටද ධර්මසේනට හැකි විය.

පසුගිය ලෝක කුසලාන තරගාවලියේ දෙවැනි අවසන් පුර්ව තරගයේදී එංගලන්ත ආරම්භක පිතිකරු ජේසන් රෝයි දැවී ගිය ක්‍රීඩයෙකු ලෙස කුමාර ධර්මසේන ලබාදුන් වැරදි තීන්දුවට උරනවූ රෝයි එම තීන්දුවට අප්‍රසාදය පල කරමින් පිටියේ සුලු වේලාවක් රැඳීසිටි අතර ධර්මසේන සමග වචන හුවමාරුවක්ද ඇති විය. එයින් පසුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය රෝයිට තරග මුදලින් සියයට තිහක දඩ මුදලක් නියමකළ අතර අවසන් තරගයේ විනිශ්චය සදහා කුමාර ධර්මසේනව කළ නම් කිරීම වෙනසක් නොකළේය.

අවසන් තරගය ඇරඹීමට ප්‍රථම ක්‍රීඩාංගණයේ පුහුණුවෙමින් සිටි ජේසන් රෝයි අසලට ගිය විනිසුරු ධර්මසේන රෝයිගේ උරහිස් දෑතින්ම වැළදගෙන සිය කණගාටුව පළකරනු මාධ්‍ය විසින් වාර්තා කර තිබිණි.

අවසන් තරගයේදී ද ධර්මසේනට එම පීඩනය තිබූ බව පැහැදිලි වන්නේ නවසීලන්ත ඉනිම ආරම්භයේදීම වැරදි තීරණ දෙකක් ලබා දීමෙනි. පසුව කණ්ඩායම් දෙක විසින් පුනරූපන අවස්ථා ලබා ගනිමින් එම තීරණ නැවත නිවැරදි කරගත් අතර ඉන්පසුද යම් අතපසුවීම් ඔහු අතින් සිදු විය. විශේෂයෙන්ම එංගලන්ත ඉනිමේ අවසන් පන්දුවාරයේදී ලකුණක් කරා දිව ගිය එංගලන්ත පිතිකරු බෙන් ස්ටොක්ස් දවා ගැනීමට කඩුල්ල වෙත එල්ල කළ පන්දුව හතරේ සීමාව පසුකළ නිසා එංගලන්තයට හිමිවූ ලකුණු 6 අවසන් තරගයේ සිදුවූ නිවැරදිකර ගත නොහැකිවූ වරදකි.

එහෙත් එවැනි දේවල් සිදුවිය හැකි අතර ජාත්‍යන්තරයේ සිටින අංක එකේ විනිසුරුවරයෙකු ලෙස කුමාර ධර්මසේන තවමත් ජාත්‍යන්තර ක්‍රිකට් ලෝකය පිළිගනී.

පසුගිය වසර කිහිපයක සිට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ඇද වැටී ඇති තරම ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ගේ හැකියාවන් සහ තරග නැරඹීමෙන් වටහා ගත හැකිය. තරග පාවාදීම්වල සිට විවිධ චෝදනා හිටපු ක්‍රීඩකයන්ට පවා එල්ල විය. ඇතැම් ක්‍රීඩකයන් ක්‍රිකට්වලින් ඉවත්කර තැබීමටද අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය කටයුතු කළේය.

එවැනි අවස්ථාවකදී ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ ඉහළින්ම සිටීමට ශ්‍රී ලංකා තරග තීරකවරුන්ට සහ විනිසුරුවරුන්ට හැකි වීම සුවිශේෂ සිදුවීමකි. විශේෂයෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් ආයතන සහ අනෙකුත් රටවල සහයෝගය මත ඉදිරියට යෑම පහසු නැත. එවැනි අවස්ථාවක ජාත්‍යන්තරව ක්‍රිකට් ක්‍රීඩාවේ ශ්‍රී ලංකා සන්නාමයන් ඉහළින් තිබෙන විට රටතුළ ක්‍රිකට් ක්‍රීඩාව අගාධයට වැටීම පිළිබදව අවබෝධකර ගත යුතුය. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ සිදුවූ බවට චෝදනා එල්ලවන තරගපාවාදීම්, අල්ලස් ගැනීමවලින් කුමාර ධර්මසේන හෝ රන්ජන් මඩුගල්ල වැනි චරිතවලට මේවන තෙක් කිසිදු නරක බලපෑමක් සිදුවී නැත. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ගොඩනගන්නට නම් ඈත සිට බැලිය යුතු ආදර්ශ මෙන්ම සමීපවී බැලිය යුතු ආදර්ශද පවතී මඩුල්ල සහ ධර්මසේන යනු එවැනි ළග සිට බැලිය යුතු ආදර්ශ දෙකකි.

[ඩබ්ලිව්.ආර්. කුමාර]

මාතෘකා