විල්පත්තුවේදී හමු වූ මහසෝනා!

 ඡායාරූපය:

විල්පත්තුවේදී හමු වූ මහසෝනා!

 

කැබැල්ලෑවාත් - ගේ කුරුල්ලාත් 
රතු ලැයිස්තුවේ


කිඹුලන්ගේ ප්‍රධානම ආහාරය ඉබ්බෝ


කිඹුල් මලපහ සොයමින් රට වටේ ගිය හැටි
තව පොඩ්ඩෙන් පෝර උරේ එක්ක 
කුණු ලොරියේ!

 

 

ඇඟට දැනෙන්නේ කිව නොහැකි තරමේ කෙඩෙත්තුවකි. එය ඉහිලිය හැකි වුවද හිතට දැනෙන අහිමිවීමේ වේදනාව ඊටත් වඩා වැඩිය. මැද සාලයේ විදුලි ලාම්පුවක උඩ සාදා තිබූ කුරුලු කූඩුව අතුරුදන්ය. උදේ සිට හවස්වන තුරු ජනේලයෙන් එළියටත් ඇතුළටත් ගිය කිරිල්ලිය නැවතත් නිවසට නොපැමිණියේ තම පැටවා අහිමිවීමේ වේදනාවෙන් විය යුතුය. සර්පයකු පැමිණ ඌ රැගෙන ගොස්ය. අපට එය පාලනය කළ හැකි තත්ත්වයක නොතිබිණි. එහෙත් උන්ගේ කිචිබිචිය නෑසෙද්දී දැනෙන කාන්සිය වචනයෙන් විස්තර කළ හැක්කක් නොවේ. ඒ සත්ත්ව ලෝකයයි. දුර්වලයා ශක්තිවන්තයාට පරදී. හිත සාදා ගත යුත්තේ එලෙසින්ය. ඇමතුම ඇන්ස්ලම් මහතාගෙනි.

"මම කතාකරන්න ප්‍රමාදයිද? පරිස්සමින් ගෙදර ගියා නේද?"

"ඔව් ඩොක්ටර්, මම දැනුයි ගෙදර ආවේ. ඇවිත් බලද්දි මම කියපු ගේ කුරුලු කූඩුවේ කුරුලු පැටියව සර්පයෙක් කාලා..."

"අයියෝ... ඒවා එහෙම තමයි දරුවෝ... අපිට නම් දැකලම ඒවා සාමාන්‍ය දේවල් වෙලා. ඔයාට මතකයි නේද කැබැල්ලෑවගේ සිද්ධිය, හුරතලේට ඇති නොකළට මොකද ඒකෙදි මගේ හිතටත් මොකක්දෝ වේදනාවක් දැනුණා..."

කිඹුලකු විසින් කැබැල්ලෑවකු අල්ලාගෙන ආහාරයට ගන්නා අයුරු ඔහු දැක තිබුණේ යාල වනයේදීය. ඒ ඡායාරූපය ඔහු මට පෙන්වද්දී මට කැබැල්ලෑවා ගැන 'අනේ' යැයි නොසිතුණි. ඒ මට ඌ හුරුපුරුදු ළෙන්ගතු සත්ත්වයකු නොවන නිසාය. මගේ සහ ඔහුගේ වෙනස එයය. සෑම සත්ත්වයකුම ඔහුට හැඟෙන්නේ තමන්ගේ දරුවන් ලෙසය.

"වනජීවී දෙපාර්තමේන්තුවෙන් ලංකාවේ තර්ජනයට ලක්වෙලා ඉන්න සත්තු පස්දෙනෙක් නම් කරනවා. ඔයා දැන් කියපු ගේ කුරුල්ලත් මම කලින් කියපු කැබැල්ලෑවත් දෙන්නම ඒ පස්දෙනා අතර ඉන්නවා. ඉස්සර සුලබව දකින්න හිටිය ගේ කුරුල්ලා දැන් තර්ජනයට ලක්වුණු සත්තු අතරේ ඉන්නේ."

"කිඹුල්ලුන්ගේ ආහාරයක් නිසාද කැබැල්ලෑවා තර්ජනේට ලක්වුණු සත්තු අතරේ ඉන්නේ?"

"අපෝ නැහැ. කිඹුලා හදිසියෙන් තමයි කැබැල්ලෑවෙක් අල්ලගන්නේ. මේ අපි දැකපු සංසිද්ධිය බොහොම දුර්ලභ එකක්. මම මේක වනජීවී දෙපාර්තමේන්තුවේ සඟරාවක පවා පළ කළා. මිනිස්සු කැබැල්ලෑවගේ මස් කනවා. ඒ මස් හරිම රහයිලු. ඒකයි ඒකට ඇබ්බැහිවෙලා ඉන්නේ මිනිස්සු. ඒ විතරක් නෙවෙයි එයාගේ ලස්සන කොරපොතු පිටරට යවනවා. චීනය, මැලේෂියාව වගේ රටවල ඒ කොරපොතු වැදගත් ඖෂධයක් විදියට භාවිත කරනවා. බොහෝ වෙලාවට වාජීකරණ ඖෂධ හදන්න කැබැල්ලෑ පොතු ගන්නවා."

"කැබැල්ලෑවගේ කටු හයියයිනේ. කිඹුලට ඒක ප්‍රශ්නයක් නැද්ද ඩොක්ටර්?"

"කොහෙත්ම නැහැ. මොකද කිඹුලගේ ප්‍රධානම ආහාරයක් තමයි ඉබ්බෝ. එයාලගෙත් කට්ට හරි හයියයිනේ. කිඹුලන්ගේ මරණ පරීක්ෂණවලදි අපිට උගේ බඩ ඇතුළේ තිබිලා ඉබි කටු අහුවෙනවා. කිඹුල්ලු මුවන්, වල් ඌරන් ආහාරයට ගන්න එක සාමාන්‍යයි. ඇත්තටම කිඹුලන්ගේ ආහාර රටාව පුදුම විවිධත්වයක් තියෙන එකක්. උන් කිරිමැටිවල ඉඳලා මිනිස්සු වෙනකම් හැම දේම ආහාරයට ගන්නවා. සමහර මිනිස්සුත් ඉන්නවනේ එහෙම චාරයක් නැතිව කන..."

ඔහු සිනාසෙයි. එය ගැඹුරු සෝපහාසී සිනාවකි.

"කිඹුල්ලු හැම කෙනාගෙම මස් කනවා වගේ අනිත් අයත් කිඹුලන්ගේ මස් කනවා. සමහර පළාත්වල කිඹුල් මස් ජනප්‍රිය කෑමක්. මට මාතර මනුස්සයෙක් කීවා කවුරුහරි කිඹුල් මස් කෑල්ලක් කෑවොත් ඒ මනුස්සයා ඒකට ඇබ්බැහි වෙනවා කියලා. අපි යාං ඔය ගියා කිඹුල්ලු බලන්න... එහේ කිඹුල් බිත්තර එකතු කරලා තිබුණා මිනිස්සු කන්න ගන්න. ඒ බිත්තර කුකුල් බිත්තරේකට වඩා තුන් ගුණයක් විතර ලොකුයි."

"අපි පේදුරු තුඩුවේ ඉඳලා දෙව්න්දර තුඩුව වෙනකම්ම කිඹුල්ලු හොයන්න ගිහින් තියෙනවා. ලංකාව පුරාම කිඹුල්ලු ඉන්නවා. ඒත් යාලේ තරම් කොහේවත් කිඹුල්ලු නැහැ. යාල තමයි විශාලම හැල කිඹුල් ගහනයක් තියෙන ස්වාභාවික පරිසරය. පිටරට චිත්‍රපට පවා කරන්න යාලට ආවා මම මේ ගැන පිටරට සඟරාවලට ලියපු ලිපි දැකලා. යාලේ කලාප 05ක් තියෙනවා. බ්ලොක් වන්, බ්ලොක් ටූ විදියට නම් කරලා. අපි 2009දි 'බ්ලොක් වන්' එකෙන් තමයි පටන් ගත්තේ. රෑ 11 විතර වෙනකම් යාලේ බැහැලා නිරීක්ෂණය කරන්න වනජීවී එකෙන් අපිට අවසර දීලා තිබුණා. අපි ගියපු ඒ පාරේ වැව් පොකුණු 09ක් තිබුණා. හැල කිඹුල්ලු 531ක් ගණන් කර ගත්තා. මට හිතෙන විදියට එතන 600කට වඩා ඉන්න ඇති. මොකද අපිට මඟහැරුණු උන් වගේම අපි දැක්කම හැංගුණු අයත් ඉන්න ඇතිනේ. එක ඉවුරක විතරක් එක පෙළට කිඹුල්ලු 61ක් හිටියා."

"ගොඩබිමේදි එයාලා කරදර කරන්න එන්නේ නැද්ද?"

" ගොඩක් වෙලාවට නැහැ. එයාලා අපිට බයයි, අපි එයාලට බයයි වගේ එකක්නේ තියෙන්නේ. දවසක් රෑ දහයත් පහුවෙලා යාලේ ඇවිදිද්දි කටු පඳුරක් අස්සේ කිඹුලෙක් ඉඳලා මට බයවෙලා ඌ වතුරට ගියා. තව කිඹුලෙක් හිටගෙන කියලා ඌ හිතුවද දන්නෙ නෑනේ..."

ඔහු සමඟ කතාබස් කිරීමට මා කැමති ඒ නිසාය. සිනහව, කුතුහලය මෙන්ම ත්‍රාසයද උපදවා කතා කිරීමට ඔහු හපනෙකි. විද්‍යඥයකු ලෙස නොපෙනී සමීප කෙනකු ලෙස මට ඔහුව පෙනෙන්නේ ඒ නිසා විය යුතුය.

"දවසක් අපි කැලේ ඇවිදිද්දි පුදුම දෙයක් වුණානේ. වැලහිනනකුයි පැටියකුයි හිටියා අපි යන පාර ඉස්සරහ. අපේ වාහනේ දැක්කා විතරයි ඌ කකුල් දෙකෙන් ඉස්සුණා. ඌ ඉස්සුණාම පුදුම උසක් තියෙන්නේ. ඇත්තටම දරුවෝ ඉස්සර මිනිස්සු මහසෝනා කියලා කිව්වේ මිත්‍යාවකට නෙවෙයි. මේ සතාට වෙන්න ඇති. අපි මහසෝනා හැබැහින් දැක්කේ එදා. විලිස්සගත්තු දත්, නපුරු මූණ වගේම ගින්දර පිටවෙන ඇස් එක්ක අපේ වාහනේ ලයිට් එළියයි, කළුවර කැලේකුයි මවා ගන්නකෝ. වාහනේ ළඟටම වැලහින්න එද්දි අපි ස්ටාට් කරලා යන්න ගියා. ඌ අපේ පස්සෙන්ම පැන්නුවා. ඒක මහ භයානක සුන්දර අත්දැකීමක්."

එයට මුහුණ දෙද්දීත් සුන්දර වන්නේ කෙසේදැයි මා නෑසුවේ ඒ කතාව ඇසීම පවා මා හට භයංකර අත්දැකීමක් වූ නිසාය. එය ඔහු ඊට පසු කතාකළ මාතෘකාවට සමානය. ටිකක් අපුල ටිකක් සුන්දර යමකි. ඒ 'කිඹුල් බෙටි' ගැන කතාවකි.

"මුළු ලංකාව වටේම කිඹුලන්ගේ බහිස්ස්‍රාවී ද්‍රව්‍ය එකතු කළා පරීක්ෂණ කරන්න. එයාලට තියන ලෙඩවල් හොයාගන්න පුළුවන් කිඹුල් බෙටි පරීක්ෂා කළාම. මොකද ඒකෙන් උන්ගෙ බඩේ ඉන්න පරපෝෂිතයෝ ගැන බලන්න පුළුවන්. මම ලංකාවේ ඉන්න බොහෝ සතුන්ගේ ඒ වගේ පර්යේෂණ කළා. ඒවා ගැන පස්සේ කියන්නම්කෝ.

"කිලිනොච්චියේ කිඹුල් වළේ තමයි මම දැකපු ලොකුම බෙටි තිබුණේ. කිඹුල් බෙටි තියෙන එකෙන් තමයි අපිට විශ්වාසෙන්ම කියන්න පුළුවන් ඒ පැත්තේ කිඹුල්ලු ඉන්නවා කියලා. ඒවා ලොකුවට පේන්න තියෙනවා වැව් ඉවුරුවල. ලොකු එකක් තියෙනකොට ලොකු කිඹුලෙක් ඉන්නවා කියලා කියන්න පුළුවන්. අඩි 12ක් 13ක් අතර ලොකු කිඹුල්ලු එහේ හිටියා. එයා කවදාවත් තමන් ඉන්න තැන අපිරිසුදු කරගන්නේ නැහැ. වතුරේ ජරා කරගන්නේ නැහැ. මොනතරම් ජරාව කෑවත් කිඹුලගේ විශේෂ ලක්ෂණයක් තමයි ඒක."

"ඒවා කිඹුල් බෙටි කියලා අඳුනගන්නේ කොහොමද?"

"මාත් එක්ක පර්යේෂණ කරන්න එන ළමයිත් ඔය විදියටම අහනවා. මම කියන්නේ එකම එක දෙයයි. ඒ අහුවෙන බෙටිවලට ඇඟිල්ල ගහලා පොඩ්ඩක් ඉඹලා බලන්න කියලා. ඒක කවදාවත් අමතක වෙන්නේ නැති පුසුඹක්. පුදුම වෙලා බලන් ඉන්න එපා. මේ කරන්නේ විහිළු නෙවෙයි. මම එක එක පැතිවලින් හොයාගත්තු කිඹුල් බෙටි ටිකක් පෝර උරේකට දාලා දවසක් ගෙදර අරන් ආවා. තව ටිකෙන් ජෙනිෆර් ඒ පෝර උරේට මාවත් දාලා කුණු ලොරියකට දානවා. ඊට කලින් ඒ ටික මගේ වත්තේ ගහක බැඳලා තියන්න කියලා මම බාබුට කිව්වා."

තව කතා බොහෝය. ඔහුට වෙනත් කටයුත්තකට යෑමට හදිසිය. ඒ නිසා මම එන්නට පිටත් වුණෙමි. ඒ නැවතත් සුන්දර කතාබහකට ඉඩ වෙන් කර ගැනීමේ බලාපොරොත්තුවෙනි.

සටහන [නදී මාණික්කගේ]

මාතෘකා