ජන­පති විවේචනය තහනම්!

 ඡායාරූපය:

ජන­පති විවේචනය තහනම්!

කිසිදු හේතුවක් නිසා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රසිද්ධියේ විවේචනය නොකළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඊයේ (17) පැවති කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී දැනුම් දී තිබේ.

යම් ප්‍රශ්න ඇත්නම් තමන්ට ඒවා දැනුම් දෙන ලෙස පවසා ඇති අගමැතිවරයා, දේශපාලන වශයෙන් කුමන අර්බුදයක් පැවතියද සියලුම එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරුන් ප්‍රමුඛ දේශපාලඥයන් ජනාධිපතිවරයා විවේචනය කිරීමෙන් වැළකී සිටිය යුතු බව අවධාරණය කර තිබේ.  

එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් පසුගිය කාලයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සම්බන්ධයෙන් කරනු ලබන ප්‍රකාශ පිළිබඳව දැඩි ස්ථාවරයක සිටිමින් අගමැතිවරයා මෙම දැනුම් දීම කර තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ රැස් විය.

බැඳුම්කර වාර්තාව එක්සත් ජාතික පක්ෂයට මඩ ගැසීමට යොදාගෙන ඇති බව කෘත්‍යාධිකාරී මණ්ඩලය අවධාරණය කර තිබේ.

පර්පචුවල් ‍ට්‍රෙෂරීස් සමාගම මහ බැංකුවේන් බැඳුම්කර ලබාගෙන අර්ථ සාධක අරමුදලට ‍විකුණා ඇති බවද අයුතු විකුණුම් ලාභයක් ලබා ගෙන ඇත්තේ එම ගණුදෙනුවේදී බවද නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා මෙහිදි පැහැදිලි කර තිබේ.

බැඳුම්කරයේ සත්‍ය තත්ත්වය පක්ෂය දන්නා නමුත් ගම් මට්ටමට ගොස් නැති හෙයින් මහජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙහිදී සඳහන් කර තිබේ.

පළාත් පාලන මැතිවරණයයෙන් ඌව පළාත දිනන ආකාරය පිළිබඳව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මෙහිදි විස්තර කර ඇති අතර අවුරුදු ගණනක් බලා සිට කැප වී බලය ලබා ගත්තේ සමහර අයට දැඟලීමට නොවන බවද හරීන් ප්‍රනාන්දු ඇමතිවරයා පවසා තිබේ.

විශේෂයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් වන සුසිල් ප්‍රේමජයන්ත සහ ඩිලාන් පෙරේරා මහත්වරුන් කෙළින්ම අගමැතිතුමා ඉලක්ක කර ගනිමින් පහර දිම වැරදි බව මෙහිදි අවධාරණ වී තිබේ.

බැඳුම්කරයේදී හොරකමක් සිදු වී‍ නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය නම් ඒ පිළිබඳව නිවැරදි විස්තර මහජනතාවට ලබා දිය යුතු බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මෙහිදි සඳහන් කර තිබේ.

එළැඹෙන මැතිවරණය වෙනුවෙන් තමන්ගේ ආසනයේ මෙන්ම අනෙකුත් ආසනවලත් මැතිවරණ ප්‍රචාරක කටයුතුවල යෙදෙන ලෙස මන්ත්‍රීවරුන්ට උපදෙස් ලබා දීමට මෙහිදි තීරණය විය.

අගමැතිවරයා ඉලක්ක කර ගනිමින් සමහර සමාජ මාධ්‍යවල හැසිරීම මෙහිදි විවේචනය ලක් වූ අතර ඒ සම්බන්ධයෙන් පියවර ගැනීමට තීරණය විය.

[ශිරෝමි අබයසිංහ]  [නිමාෂා සඳරුවනි]