චිරන්තන සාහිත්‍යය !

 ඡායාරූපය:

චිරන්තන සාහිත්‍යය !

සාකල්‍යයෙන්ම සිංහල චිරන්තන සාහිත්‍යය ආගමික සාහිත්‍යයකි. ආගමික යනු අරමුණු වශයෙන් ආගම් වක්තෘගේ ගුණවැයීමය. එහි හරයන් මතු කිරීමය. අධ්‍යාත්මික පෝෂණයක් ලබාදීමය. ගුණවැයීම, හරයන් මතු කිරීම, අධ්‍යාත්මික පෝෂණය සාහිත්‍යයේ නොවන දේ නොවේ. එහෙත් ඒ දෙක අතර ‐ සාහිත්‍යයේ හා ආගමික සාහිත්‍යයේ ‐ පැහැදිලි බෙදුමක් තිබේ. ආගමික සාහිත්‍යකරුවා බස උපයෝගී කරගන්නේ අරුත් දීම පිණිසය. සාහිත්‍යකරුවා බස උපයෝගී කරගන්නේ රස නිෂ්පත්තිය පිණිසය. ඔහුට වචන භාව පුබුදුවන දේය. එහි ඔහුට අරුත් නැත. එනිසා ඔහු සාහිත්‍යකරණයේදී කරන්නේ ක්‍රීඩාවකි. එය භාෂා ක්‍රීඩාවකි.

ආගමික මූලය ඕනෑම සාහිත්‍යයක ආරම්භය වේ. එහෙත් අද එය සලකනුයේ නිශේධනීය අංගයක් ලෙසය. මා කල්පනා කරන ලෙස එය නිශේධනීය නොව සාධනීය දෙයකි. ආගමික මූලය නිසා සිදු වූ වැදගත්ම දේ සාහිත්‍යයට විදග්ධ බසක් නිර්මාණය වීමය. නිදසුනකට ජාතක කතාව, සද්ධර්ම රත්නාවලිය, පූජාවලිය, අමාවතුර, බුත්සරණ මෙන්ම සන්දේශ කාව්‍යවල බස ආගමික මූලයක් නොවී නම් බිහි වන්නේ නැත. සෙසු භාෂාවලද තතු එසේය. යුදෙව් බයිබලය නිසා හීබ්‍රෑ බස හා යිදිෂ බස පෝෂණය වී ඇති අන්දම ඉසාක් බෂෙවිස් සිංගර් විසින්ද, ක්‍රිස්තියානි බයිබලය ඇතුළු එම සංස්කෘතිය නිසා ඉංග්‍රීසි බස පෝෂණය වී ඇති අන්දම ඩොරිස් ලෙසිං විසින්ද පෙන්වා දී ඇත. සාහිත්‍යකරුවකුට වැදගත්ම දේ බස නම් එවැනි බසක් නිර්මාණය වීමට බලපෑ සාධකද ඇගයිය යුතුය.

මෙහිලා මා කල්පනා කරන ලෙස අපගේ නොසිදු වූ දෙයක් තිබේ. එනම් ආගමික සාහිත්යික උරුමය නූතන සාහිත්‍යකරණයට උපයෝගී කරගැනීමේදී එහි අනවැසි අධ්‍යාත්මික සහ බැතිමත් කොටස් බැහැර නොකිරීමය. කතානායකයා මරණින් පසු ගෙදර ප්‍රේතයකු වී ඉපදෙන ප්‍රබන්ධ කතා තවමත් අපේ බිහි වන්නේ එනිසාය. එහෙත් ආගමික සාහිත්‍යය, ආගමික උරුමය නූතන සාහිත්‍යකරණයේලා මැනවින් උපයෝගී කරගත් සාහිත්‍යකරුවෝ ලොව සිටිති. තුර්කි නවකතාකරු ඔර්හාන් පාමුක් ඊට හොඳ නිදසුනකි. ඔහු සිය ප්‍රබන්ධ කලාව ගොඩනඟාගෙන ඇත්තේම ඉස්ලාමීය සංස්කෘතික උරුමය මතිනි. ඔහු ඒ සඳහා පෙර කී ලෙස ආගමික සාහිත්‍යයේ, එම උරුමයේ අධ්‍යාත්මික අංග ඉවත් කර ඇත. හරියටම කිවහොත් එහි හේතුඵල වාදයට යටත් ලෞකික දේ පමණක් ගෙන සෙසු අංග ඔහු බැහැර ලයි. මේ සාහිත්යික ස්වීකරණය සඳහා පාමුක්ට බලපෑවේ තෝල්ස්තෝයි, දොස්තොයෙව්ස්කි, පෲස්ට්, නබකොව්, ෆෝක්නර්, බොර්හේස් සහ ඉතැලෝ කැල්විනෝ බව ඔහු සඳහන් කරයි. සිංහල සාහිත්‍යයේද එම ස්වීකරණය කළ සාහිත්‍යකරුවෝ වෙති. ඒ අතර ප්‍රමුඛයා ලෙස මා දකින්නේ එදිරිවීර සරච්චන්ද්‍රය. ඔහුගේ ‘මළගිය ඇත්තෝ’, ‘මළවුන්ගේ අවුරුදු දා’, ‘විලාසිනියකගේ ප්‍රේමය’ යන නවකතා තුන එකලා චිරන්තන සාහිත්‍යයේ බසත්, තේමාත්, කතාත් ප්‍රබන්ධය සඳහා ස්වීකරණය කරගැනීමේ ප්‍රතිඵලය. ඔහුගේ නාට්‍යද එබඳුය. ආගමික සාහිත්‍යයෙන් පෝෂණය වූ තවත් සාහිත්‍යකරුවෙක් සිටී. ඒ, සයිමන් නවගත්තේගමය. ඔහුගේ ‘සංසාරාරණ්‍යයේ ...’ නවකතා තුනත්, ‘ක්ෂීර සාගරය කැලඹිණි’ සහ ‘සාපේක්ෂණී’ යන නවකතා දෙකත් සාහිත්යික ස්වීකරණයකට ලක් වූ කෘතිය.

සැබැවින්ම ආගමික සාහිත්‍යය ‐ චිරන්තන සාහිත්‍යය ‐ සාහිත්‍යකරුවකුට දෙවිධියකින් පරිහරණය කළ හැකිය. එක් විධියක් නම් බුද්ධාලම්භන ප්‍රීතියෙන් එහි ඇලීගැලී රස වින්දනය කිරීමය. දෙවැන්න ඒ දෙස ඓහික ලෙස (Secular) බලමින් වින්දනය කිරීමය. බුද්ධාලම්භන ප්‍රීතියකින් ඒ විඳීමෙන් ඔහුට සාහිත්යික බස කාවදින අතර ඓහික ලෙස විඳීමෙන් ඔහුට එහි තේමා ඇතුල් වේ. සරච්චන්ද්‍ර ක්‍රිස්තියානි සංස්කෘතියේ සිට බෞද්ධ සංස්කෘතියට ඇතුල් වූවෙකු බැවින් ඔහුට මේ දෙවිධියෙන්ම ඒ රස විඳීමට හැකි වී යැයි සිතිය හැකිය. වරක් ඩොරිස් ලෙසිං සිය ලිපියක සඳහන් කළේ නූතන පරපුර ආගමික හැඟීමකින් තබා ඉන් බැහැරවත් ක්‍රිස්තියානි ආගමික සාහිත්‍යය නොකියවන බවත්, ඔවුන් සාහිත්යික ලෙස කුසලතා හීන සහ අධ්‍යාත්මික වශයෙන් පිරිහුණු පිරිසක් වීමට ඒ උපස්ම්භක වී ඇති බවත්ය.

චිරන්තන සාහිත්‍යය නූතන පරපුරින් බැහැර වීමට මූලික හේතුව ඒ ඇසුරු කිරීමෙන් ගත යුත්තක් නැතැයි බොහෝ දෙනා සිතීමය. මට හැඟෙන ලෙස එය බැහැර වන්නට වූයේ භාෂාවට ඇති සංවේදීතාව සමාජයෙන් ගිලිහුණු තැන් පටන්ය. එහෙත් එහි පුදුමයට කරුණක් තිබේ. සිංහල භාෂාව රාජ්‍ය භාෂාව වූ 1956 වසරින් පසු ඒ අසංවේදීතාව වඩාත් වේගයෙන් වර්ධනය වීමය. අදටත් චිරන්තන ආගමික සාහිත්‍යයට වැඩි නැඹුරුවක් ඇත්තේ ‘56 ට පෙර පරපුරය. දැන් කළ යුත්තේ නැවත අප පිරිවෙන් අධ්‍යාපනයට ආපසු යෑම යැයි කෙනෙකුට මෙහිදී කිව හැකිය. එහෙත් භාෂා සංවේදීතාව බලෙන් ඇති කළ හැක්කක් නොවේ. පාසලේදී නිර්දිෂ්ට කෘති ලෙස චිරන්තන සාහිත්‍යය ඉගැන්වූවාට, වියරණ, න, ණ, ල, ළ කියාදුන්නාට කෙනෙකු තුළ භාෂා සංවේදීතාවක් පහල නොවේ. ඒ පහල වන්නේ ඔහු තුළ භාෂාවේ අවශ්‍යතාව වැටහුණු දිනෙකය. භාෂාවේ අවශ්‍යතාව යනු ඇත්ත වශයෙන් සාහිත්‍යයේ අවශ්‍යතාවය. සාහිත්‍යය නම් බසය. බසට, වචනවලට ලොල් නොවන්නකුට සාහිත්‍යකරුවකු විය නොහේ. වචන හඹා යන්නකු තමාගේ බසට සීමා වන්නේද නැත. ඒ පසක් කරවන මෑත නිකුත් වූ කෘතියක් නම් ජුම්පා ලාහිරිගේ In Other Words (‘අන් වදන්වලින්’) ය. ජුම්පා ලාහිරි ඉන්දියාවේ බෙංගාලි දෙමාපිය යුවළකගේ දියණියකි. ඈ මුලින් උසුරුවන්නේ බෙංගාලි බසයි. අනතුරුව දෙමාපියන් ඇමෙරිකාවට සංක්‍රමණය වීමෙන් පසු ඈ ඇමෙරිකානු ඉංග්‍රීසියෙන් අධ්‍යාපනය ලබයි. ඒ අනුව ඇගේ සමාජ වහර ඉංග්‍රීසිය වෙද්දී ගෙදර වහර බෙංගාලි වෙයි. එහෙත් ඈ සාහිත්‍යකරණයේ නියුතු වනුයේ ඉංග්‍රීසියෙනි. ඇගේ පළමු කෙටිකතා සංග්‍රහය වන Interpreter of Maladies (‘සිහින පරිවර්තකයා’) පුලිට්සර් සම්මානයද දිනාගනී. එහෙත් ඇගේ පුද්ගලික ලෝකය භාෂා කීපයක ලෝකයකි. එනිසා ඈ සිතනුයේ ඇගේ බස වියවුලක් බවත්, තමාට හුස්ම ගත හැකි බසක් තමා සොයාගත යුතු බවත්ය. ඒ තුළ ඈ හඹායන්නේ ඉතාලි බසය. එනයින් අනතුරුව ඈ සාහිත්‍යකරණයේ නියුතු වන්නේ ඉතාලි බසෙනි. In Other Words කෘතියද එසේ මුලින් ඉතාලි බසින් ලියැවී පසුව අන් ඇමෙරිකානු පරිවර්තිකාවක අතින් ඉංග්‍රීසියට නැඟුණු ඇගේ ඉතාලි භාෂා චාරිකාව ඇතුළත් කෘතියකි. භාෂා සංවේදීතාව නම් මෙයයි. මේ සංවේදීතාව ඇති වන්නේ ආගමික ‐ ඓහික භේදයකින් තොරව සාහිත්‍යයට ලොල් බැඳීමෙනි.

මාතෘකා