අධිකරණය ගැන ගැලරි ෂෝ

 ඡායාරූපය:

අධිකරණය ගැන ගැලරි ෂෝ

පසුගිය 24 වෙනිදා කොළඹ අංක දෙක මහේස්ත්‍රාත් අධිකරණ ශාලාව තුළ චූදිතයන්, පැමිණිලිකරුවන් හා අධිකරණ නිලධාරීන්ගෙන් වෙනදා මෙන්ම පිරී ඉතිරී පැවිතිණි. උදෑසන නමයෙන් ආරම්භ වුණු අධිකරණ කටයුතු අතර සමහර නඩු විභාග විනාඩි දෙක -  තුන අතර කාලයක් තුළත් සැකකරු හෝ පැමිණිලිකරු පෙනී නොසිටි නඩු විනාඩියක් වැනි කෙටි කාලයක් තුළත් විභාග විණි. එතරම් කඩිනමකින් නඩු ඇසිය හැකිදැයි යමෙකුට ගැටලුකාරී විය හැකිය. නමුත් කීර්තිමත් මහේස්ත්‍රාත්වරයෙකු ලෙස රංග දිසානායක ඒවා සාවධානව අසනවා මෙන්ම ඍජුව තීන්දු තීරණ ගන්නා බවක්ද, ආසන්න වශයෙන් නඩු විභාග දෙසීයක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් දෛනිකව විභාග කරන බවක්ද පෙනිණි.  
පැමිණිකාරිය පීඩාවට පත්වීම
මේ අතර එක් නඩුවක් විභාග කරමින් මහේස්ත්‍රාත් රංග දිසානායක පැමිණිලිකාර කාන්තාව කළ ඉල්ලීම පිළිබඳව ප්‍රකාශයක් කරමින් විමසා සිටියේ එම නඩු විභාගය අවසන් කිරීමට තීරණය කළේ ඇයිද යන්නයි. එහිදී සාමාන්‍ය ග්‍රාමීය පෙනුමකින් හැඳ පැළඳ  පැමිණිලි කූඩුවේ සිටි කාන්තාව තමන්ට නඩුව අවසන් කිරීමට අවශ්‍ය බව කී නමුත් ඊට හේතුවක් සඳහන් නොකරන ලදී. මහේස්ත්‍රාත්වරයා ඊට අවසර ලබාදෙමින් ප්‍රකාශයක් කළේය. 
'මේ නඩුව තියෙන්නෙ රුපියල් දසදහසක් වටිනා  ඔබේ ජංගම දුරකථනය මේ විත්ති කූඩුවේ ඉන්න පුද්ගලයා සොරකම් කිරීම සම්බන්ධව. ඔබතුමිය මේ නඩුව සඳහා සෑහෙන්න කාලයක් පුරා අධිකරණයට දුර බැහැර ඉඳන් එනවා. රුපියල් දසදහසට වඩා මේ නඩුවේ නීතිඥයන් සහ ගමන් වියදම්  වෙනුවෙන් වියදම් වෙලා  ඇති. අගතියට පත් පාර්ශ්වය විදියටත්, පැමිණිලිකාරිය විදියටත්  පීඩා විඳලා තියෙන්නේ  ඔබතුමිය. මේ දීර්ඝ අධිකරණ කටයුතු හේතුවෙන් ඇත්තටම චූදිතයා නෙමෙයි දඬුවම් විඳලා තියෙන්නේ පැමිණිලිකාරිය.' 
මහේස්ත්‍රාත් ප්‍රකාශය
මේ දෛනිකව අධිකරණ තුළ සිදුවන සිදුවීම් අතරින් ඉතාම කුඩා එක් සිදුවීමක් පමණි.  අවසන තමන්ට වූ අලාභයද තමන් විසින්ම විඳදරා ගනිමින් සිය කැමැත්තෙන් නඩු විභාගය අවසන් කිරීමටත්, චූදිතයා පැමිණිල්ලෙන් නිදොස්කොට නිදහස් කිරීමට කැමැත්ත පළ කිරීමටත් පැමිණිලිකාරියට සිදුවිය. මේ අපේ රටේ අධිකරණ පද්ධතියේ සැබෑ තත්ත්වයයි.
ජනතා පරමාධිපත්‍යය 
 කිසිදු නීතියකට හෝ බැඳීමකට යටත් නොවූ රජා විසින් නඩු අසා ඔහු විසින්ම තීන්දුව සමඟ දඬුවම නියම කෙරුණේ රාජාණ්ඩු ක්‍රමයන් තුළය. ඉන්පසු එය ආගමික සංස්ථාව සමඟද මිශ්‍රව  ක්‍රියාත්මක කෙරුණු අතර අසාධාරණ නීති යටතේ නීතියට ඉහළින් සර්වබලධාරීන් සිටි යුග ගණනාවක් පසුකර වර්තමාන ජනරජ තත්ත්වයත්, ඒ හරහා බිහි වූ නෛතික  අධිකරණ තත්වයත් බිහිව තිබේ. අතිශය බැරෑරුම් සහ විවාදපන්න දීර්ඝ ඉතිහාසයක් පසුකරමින් පැමිණි නීතිය සහ  අධිකරණය වර්තමාන තත්ත්වය ජනතා පරමාධිපත්‍යය සංකල්පය තුළ ප්‍රධාන බල කණු තුනෙන් එකකට හිමිකම් කියයි. 
සුගන්ධිකා ප්‍රකාශය
 එය ව්‍යවස්ථාදායකයේ හෝ විධායකයේ බලපෑමකින් තොරව නව ගමනක් ආරම්භ කිරීමෙන් පසුව ව්‍යවස්ථාදායක, විධායක හා අධිකරණය යන බල කණු ත්‍රිත්වයේම බල තුලනය පවත්වා ගනිමින් අවසන මහජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක වෙයි. මෙකී ක්‍රමය තුළ ව්‍යවස්ථාදායක, විධායක හා අධිකරණය පිළිබඳව අවසාන අයිතිය ඇත්තේ මහජනතාව සතුවය. එනයින් මෙම ආයතන ත්‍රිත්වය මහජනතාවට ප්‍රශ්න කළ නොහැකි යැයි සරළව තර්ක කළ හැකිය. මහජනතාවට ඒ සඳහා අයිතියක් ද ඇත. එනයින් ඉතිහාසය පුරාම ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය ඒවායෙහි සිටි නියෝජිතයන් විසින් මෙන්ම මහජනතාව විසින්ද ප්‍රශ්න කරන ලදී. එය ගෙවුණු ඉතිහාසය තුළ අලුත් හෝ නීති විරෝධී දෙයක් ද නොවේ. අධිකරණය හා එහි දූෂිත කාර්යයන් පිළිබඳව ඉකුත් සතියේදී නීතිඥ සුගන්ධිකා ප්‍රනාන්දු විසින්  කරන ලද ආන්දොලනාත්මක ප්‍රකාශයන් කිහිපයක් සමඟ නැවතත් අධිකරණයේ සහ නීති පසිඳලන්නන්ගේ අවුල් පිළිබඳව ප්‍රශ්න කිරීම අලුත් වට කීපයකින් ආරම්භ වී තිබේ. ඉන් පළමුවැන්න සුගන්ධිකා පුජාසනයේ තබාගෙන යෑමය. ඊට රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක, ඉදිරි ජනාධිපති අපේක්ෂකත්වයට තරඟ කිරිමට බලාපොරොත්තු වන නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු සහ ප්‍රගතිශීලී අදහස් දරන මහජනතාව බහුතරයක් පෙනී සිටිනු පෙනේ. අනෙක් පාර්ශ්වය සුගන්ධිකා ඇතුළු පිරිසට පහර දෙන, අධිකරණය හෝ නීතිය ප්‍රශ්න නොකළ යුතු පාරිශුද්ධ දෙවොලක යැයි කියමින්  සුගන්ධිකාට සුපුරුදු  එන්ජීඕ ලේබලය අලවන පිරිසය. 
පාරිශුද්ධභාවය හා ප්‍රකාශ 
සැබැවින්ම සුගන්ධිකාට පෙර අධිකරණයේ දූෂණ කතා කළෝ බොහෝමය. ඊට අරගල කළෝද බොහෝමය. ඒ සියල්ල එම අරගල කළේ සමස්ත සමාජ සංස්ථාව කඩා බිඳ දැමීමේ අරමුණෙන්ද නොවේ. ඒ වෙනුවට මහජන ආරක්ෂාව වෙනුවෙන් අධිකරණය හා එහි යාන්ත්‍රණය පිරිසිදු කිරීමටය.   රාජාණ්ඩු ක්‍රමයෙන් පසුව ජනරජ ක්‍රමය බිහිවීම තුළ පාලකයන්ගෙන් මහජනතාව ආරක්ෂා වීම බලාපොරොත්තු වන්නේ අධිකරණය තුළිනි. එනයින් අධිකරණය තුළ දූෂිතයන් සිටිය නොහැකිය. ඒ අතින් සුගන්ධිකා කරන ප්‍රකාශ ප්‍රකාශයකට පමණක් සීමා නොවිය යුතුය. එලෙසම කුමන අරමුණකින් හෝ එවැනි සංවාදයක් වෙනත් වටයකින් ගෙන ඒම යහපතකි. සංවාද වූවාටත් වඩා සුගන්ධිකා නීතිය ප්‍රකාරව ඊට පියවර ගත්තේ නම් තවත් ප්‍රගතිශීලීය. සුගන්ධිකා කර තබාගෙන යන නීතිඥ නාගානන්ද කොඩිතුවක්කුගේ වර්තමාන හා අනාගත බලාපොරොත්තුව කුමක් වුවද ඊට එකඟ විය හැකි වන්නේ මේ ක්‍රමය තුළ මහජන අවැඩක් වෙනුවට එය  වඩා තුලනය වන්නේ මහජන යහපත වෙනුවෙන් බැවිනි. නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මෙම අධිකරණ අරගලය වෙනුවෙන් ප්‍රසිද්ධ සංවාදයක් සංවිධානය කර ඇති අතර ඊට නීතිඥ සංගමයේ සභාපති යූ.ආර් ද සිල්වාට ආරාධනා කර තිබේ. ලබන 4 වෙනිදා පැවැත්වෙන එම සංවාදයට සභාපතිවරයා අධිකරණයේ දූෂණ ගැන කතා කිරීමට පැමිණිය නොහැකි බව මේ වන විට දන්වා තිබේ. 
හොඳම නළුවා රංජන් නොවෙතත්
‍රංජන් රාමනායක දේශපාලනයට  ඒමට පෙර සිටම ඔහුගේ වෘත්තීය රඟපෑමය. එහි හොඳම නළුවා ඔහු නොවෙතත් ජනප්‍රියම නළුවා යනු ඔහුගේ කිරුළක් බව පාට පක්ෂ පසෙක තබා පිළිගත යුතු සත්‍යයකි. ඒ බව දන්නා ඔහු ගැටලුවකින් තොරව ඕනෑම දෙයක් හෝ තම පක්ෂ නායකයා වුව විවේචනය කරයි. ඒ ඔහුගේ ජනප්‍රිය බව ඔහු දන්නා බැවින් හා මෙරට ජන්දදායකයන්ගේ දේශපාලන නාඩිය එය බව දේශපාලකයෙකු ලෙස දන්නා බැවිනි. එහි අරුමයක් නොමැත. ඒවා පැත්තක තැබූ විට රංජන් මෙවර රඟපාන නාටකය වරදක්  බව කිව නොහැකිය. ඒ එයින් පොදුවේ මහජන සුබසිද්ධිය හා මහජනයාගේ අවධානය අධිකරණය වෙත යොමුවන බැවිනි. පොදුවේ මහා උගතුන්, බරසාර වචන හෝ න්‍යාය මත අධිකරණයේ හා නීතිඥයන්ගේ අවුල් ගැන අරගල කිරීමට වඩා සමාජයේ පහළ පෙළ ඊට අවධානය යොමු කරන බැවිනි. 
බණින්නෝ කවුද?
සුගන්ධිකාගේ ප්‍රකාශය හා රංජන් රාමනායක එය උස්සාගෙන යෑම පිළිබඳව දෙවන මතය වූවේ සුගන්ධිකා ආණ්ඩුවේ කොන්ත්‍රාත් එකක් කරන බවත්, එය රංජන්ට අධිකරණය හා එල්ල වූ චෝදනාවලින් මිදීමට ගන්නා උත්සාහයක් බවත්ය. ඒ අනුව නීතිඥ ප්‍රේමනාත් සී. දොළේවත්ත ඇතුළු නීතිඥයන් කීපදෙනෙකු ඉකුත් සතියේ හදිසියේම පුවත්පත් සාකච්ජාවක් පවත්වමින් කීවේ සුගන්ධිකා රංජන්ගේ උවමනාව මත අධිකරණ පද්ධතිය පිපිරවීමට කටයුතු කරමින් සිටින බවය.  බැඳුම්කර සිදුවීම ගැන වචනයක් හෝ නොකිය මෙලෙස හිටපු පාලකයන් ගැන කතා කරන්නේ ඉදිරියේදී එජාපයෙන් ජන්දය ඉල්ලීමට විය හැකි බවද කීවේය.‍ අධිකරණය විවේචනය කිරීමද අධිකරණයට පහර ගැසීමටද ඔවුන් විරුද්ධව බවද කීවේය. ඉන්පසුව මාධ්‍යවේදීන් ඔහුගෙන් ප්‍රශ්න කීපයක් අසන ලදී.
ලෙනින් රත්නායක සිද්ධිය ඇත්ත එකක් නේද, චිත්‍රපටයකුත් හැදුවා. ඒ ගැන මොකද කියන්නෙ?
අපි ඒ ගැන කතා කළේ නැහැ.
හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා කිව්වානේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හිරේ සිටිය යුතු පුද්ගලයෙක් කියලා? 
ඒ සම්බන්ධව සරත් නන්ද සිල්වාගෙන් අහන්න. පස්සෙ අවස්ථාවක මම දැක්කා එතුමා රූපවාහිනි වැඩසටහනකට ඇවිත් එහෙම කිව්වෙ නෑ කියනවා.
නාමල් රාජපක්ෂ මහතා නීතිඥ විභාගය තනියම ලියලා වැඩිම ලකුණු ගත්ත එක හරිද?
පැහැදිලිව කියන්න ඕන අපි මෙතනට ආවේ නාමල් රාජපක්ෂ වෙනුවෙන් උත්තර දෙන්න නෙමෙයි. අපි පුද්ගලික නීතිඥවරු. හෙට රනිල් වික්‍රමසිංහ නඩුවක් අරගෙන එනවා නම් මම පෙනී සිටිනවා. රංජන් රාමනායකගේ නඩුවක් නම් දෙපාරක් හිතනවා. නමුත් කවුරු හරි කෙනෙක් නිවැරැදි ගාස්තු ගෙවලා එනවා නම් අපි පෙනී සිටිනවා. 
මොහාන් පීරිස් ගැන ජනාධිපතිතුමා කිව්ව කතාව?
 ඔබතුමා ඒ  දෙන්නා හමු වෙලා අහන්න.
ඉන් එම ප්‍රවෘත්ති සාකච්ජාව නිමාවට පත්විය. දොළේවත්ත නීතිඥවරයා වියත් මග වැනි දේශපාලන වේදිකාවල පැය ගණන් කතා කරනු අප දැක ඇත. නාමල් රාජපක්ෂ හා මහින්ද රාජපක්ෂලා සමඟ එකට එකම වේදිකාවේ සිටිනු අප දැක ඇත. තමන් කැමති දේශපාලන මතයක් දැරීම හෝ ඒ වෙනුවෙන් පෙනී සිටීම වරදක් නොවේ. එය අයිතියකි. එසේ නම් ඒ අයිතිය සුගන්ධිකාලට හා නාගනාදලාටද තිබේ. දොළේවත්ත නීතිඥතුමාගේ ඉහත කෙටි සංවාදය කියැවීමෙන්  ඔහු දරන මතය මහජනතාව තේරුම් ගනු ඇත.
වඳුරන්ගෙන් බණ අසා ජේතවනාරාමයට ගල් ගැසීම
අනුන්ගේ නඩුවලට හා අනුන්ගේ වේදිකාවලට බලෙන් යන මේජර් නීතිඥ අජිත් ප්‍රසන්න ගැන කතා කිරීමද නොවටී. ඒ තරමට අධිකරණය තුළද ඉන් පිටතද විහිළුකාරයෙක් වී හමාරය. තම දේශපාලන ගමන වෙනුවෙන් ආබාධිත යුද සෙබලුන්ද ඔවුන්ගේ පවුල්ද, ප්‍රසිද්ධ නඩු විභාගවල විත්තිකරුවන් වෙනුවෙන් බලෙන් පෙනී සිටිමින් ගැලරියට කතා කරන අජිත් ප්‍රසන්නද සුගන්ධිකාට ඊයේ පෙරේදා සිට පහර දෙමින් සිටී. සුගන්ධිකා මැද පෙරදිග රටක සිටිද්දී, නීතිඥ වෘත්තීයට පෙර කළ වෘත්තීය කුමක් ද යන්න ප්‍රශ්න කරමින් සිටී. එමෙන්ම ඇය එංගලන්තයට යෑම සඳහා වීසා ලබාගැනීමේ අරමුණෙන් මෙලෙස අධිකරණය ප්‍රශ්න කරන බවට මතයක් හදමින් සිටී. අජිත් ප්‍රසන්නට වැඩිදුර ලිවීමට වඩා වෙසක් පොහොය දවසේ ඔහු සිය ෆේස්බුක් ගිණුමේ පළ කළ සටහන් අතරින් එකක් පහත පළ කිරීම පමණක් වටී. වඳුරන්ගෙන් බණ අසා ජේතවනාරාමයට ගල් ගැසූවන් ගැන අප ජාතක කතාවක අසා තිබේ. බණ කියන්නේ කවුද, ගල් ගසන්නේ කවුද යන්න මහජනතාව කියවා  තේරුම් ගනු ඇත.

 

'අද වෙසක් පෝ දින දහම් ශ්‍රවණයට තංගල්ල කාල්ටන් නිවසට ගියා. 
මහින්ද රාජපක්ෂ මැතිතුමා, ශිරන්ති මැතිණිය, යෝෂිත සමඟ බණ ඇසූ පිරිස අතර මගේ බිරිඳ, දරු දෙදෙනාද උන්නා.
කාව්‍ය බණ දෙසුම හරිම මිහිරියි, අනර්ඝයි.
කවි බණ අතරතුර "ෂෝක් බණ ටික" යැයි මහින්ද මැතිතුමා ශිරන්ති මැතිණියට කොඳුරනු මට ඇහුනා.
මුලු බණ කතාවටම එතුමා හොඳින් සවන් දුන්නා. ගාථා ශබ්ධ නගා සජ්ජායනා කළා.
මහින්ද මැතිතුමා අගමැති කළ සිට නොකඩවා සංවිධානය කළ 175 වන පෝ දා බණ දෙසුමයි අද පැවැතියේ.
එතුමාගෙ වම්පස අසුන් ගෙන බණ අහන්න පිනක් තිබිල තියෙනව.
මම එකක් දන්නවා. තව මාස 18 න් පෝය බණ දෙසුම පැවැත්වෙන්නෙ අරලියගහ මැදුරේ මහින්ද මහත්මයාගේ ප්‍රදානත්වයෙන්.
කවි බණ දෙසුම පොලොන්නරුව ඉසිපතනාරාම විහාරවාසී මාතලේ අනෝමදස්සි ස්වාමීන් වහන්සේ.
- මේජර් අජිත් ප්‍රසන්න-’

මාතෘකා

 
 
 
රටේ අපරාධ රැල්ල අඩු කිරීමට කළ යුත්තේ ?