වැලි ජාවාරමෙන් මා ඔය විනාශයි

 ඡායාරූපය:

වැලි ජාවාරමෙන් මා ඔය විනාශයි

අරණායක බයිබල් කන්ද හා කඩුගන්නාව කඳුකර ප්‍රදේශ ආශ්‍රිතව උපත ලබා දිස්‌ත්‍රික්‌ක 5ක්‌ හරහා ගලා ගොස්‌ මීගමුව වයික්‌කාලෙන් මහ මුහුදට ගලා බසින මා ඔය ජලාධාර ප්‍රදේශය මහනුවර, කෑගල්ල, කුරුණෑගල, ගම්පහ, පුත්තලම යනදිස්‌ත්‍රික්‌ක පහ හරහා ගලා ගොස්‌ මහ සයුර හමු වන ආසන්නයේ දී එනම් පුත්තලම දිස්‌ත්‍රික්‌කයේ දකුණු වන කොච්චිකඩේ වයික්‌කාල අසලින් මුහුදට ගලා බසී.   
  මා ඔයේ ඉහළ සීමාව මිශ්‍ර ගෙවතු වගා, තේ වතු හා කුඹුරුවලින් ද මැද සීමාව රබර් වතු හා කුඹුරුවලින් ද පහළ සීමාව පොල් වතු හා කුඹුරුවලින් ද සමන්විත වෙයි. මේ සැම කොටසක ම සශ්‍රීක වගා රටාවක්‌ තිබෙන බැව් දක්‌නට ලැබේ. නාගරික ප්‍රදේශ ආශ්‍රිතව පොල් හා ගෙවතු වගා මෙන්ම කර්මාන්ත රාශියක්‌ පිහිටා ඇත. මේ ගංගා ද්‍රෝණියේ වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 2219ක්‌ වුවත් ජල පෝෂිත ප්‍රදේශයේ වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර් 3800ක්‌ පමණ වෙයි.   
 මා ඔය මඟින් කරන එක්‌ ප්‍රධාන කාර්යයක්‌ ලෙස පානීය ජලය සැපයීම විශේෂිත ය. මා ඔය ආශ්‍රිතව පානීය ජල සැපයුම් 14ක්‌ ක්‍රියාත්මක වෙයි. මෙයින් මීගමුව, කටුනායක හා කටුනායක නිදහස්‌ වෙළෙඳ කලාපයට මෙන්ම කටුනායක ගුවන් තොටුපොළට ජලය සපයන බම්බුකුලිය ජල පවිත්‍රාගාරය ප්‍රධාන තැනක්‌ ගනී. මහනුවර දිස්‌ත්‍රික්‌කයට අයත් මා ඔයේ අතු ගංගාවක්‌ වන ගල්ඔය හා රඹුක්‌කන් ඔය මඟින් ද කෑගලු දිස්‌ත්‍රික්‌කයට අයත් හිඟුල්ඔය, මඩ අමුණ හා පහළින් පිහිටිතුල්හිරිය ඔය යන අතු ගංගා මඟින් ද කුඹුරු හා ඒ ආශ්‍රිත වගාබිම් සඳහා ජලය ලබා දෙයි. මේ හැරුණු කොට දංකොටුව කර්මාන්ත පුරය, මාකඳුර කර්මාන්ත පුරය වැනි කර්මාන්ත රැසක්‌ සඳහා අවශ්‍ය ජල ධාරිතාව සපයන්නේ මා ඔය මඟිනි. කොච්චිකඩේ, හා දංකොටුව යන ප්‍රදේශවල පිහිටා ඇති උළු ගඩොල් කර්මාන්ත සඳහා අවශ්‍ය මැටි ලබා ගන්නේ යෝගියාන, මැටිකොටුව, වෙන්නප්පුව, බඩල්ගම යන ප්‍රදේශවලිනි. මේ ප්‍රදේශවලින් මැටි හාරාගත් පසු එම වළවල වැලි මතු වෙයි. වැලි ගොඩ දමන්නෝ මේ වැලි තට්‌ටුව ඉවත් කරති. ඉන්පසුව ගල් තලාව මතු වෙයි. මේ පරිසර දූෂිත ක්‍රියාවලියෙන් ප්‍රදේශයේ භූ ගත ජල මට්‌ටමේ අඩු වීමක්‌ සිදු වෙයි. මෙයින් උදා වන අහිතකර ප්‍රතිඵලය වන්නේ ප්‍රදේශවාසී ජනතාව ගේ ගෙවතුවල ඇති ළිංවල ජලය සිඳී ගොස්‌ පිරිසිදු පානීය ජලය මෙන්ම එදිනෙදා පරිහරණයට අවශ්‍ය ජල ධාරිතාවේ අඩු වීමයි.   
 වැලි ගොඩ දැමීමත්, මැටි කැපීමත් මහා පරිමාණයෙන් සිදු වන අතර මා ඔය දෙපස වන ලැහැබ් ආශ්‍රිත ප්‍රදේශවල නීති විරෝධී මත්ද්‍රව්‍ය නිෂ්පාදනය ද සිදු කෙරෙයි. මැටි කැපීම මඟින් මා ඔය දෙපසින් ඔයේ හැඩය වෙනස්‌ වීමක්‌ සිදු වන අතර එම ප්‍රදේශවල ජලය පිරී යැම, මැලේරියා, ඩෙංගු වැනි මදුරු වසංගත පැතිරීමට ද එය හේතුවක්‌ වී ඇත. එසේ ම වැලි ගොඩ දැමීම හේතුවෙන් ගංගා ඉවුරු කඩා වැටීම නිතර සිදු වන අතර ගංගා පතුල ගැඹුරු වී ලවණ ජලය රට තුළට ගලා ඒම නිතර ම සිදු වෙයි. මෙය ද පානීය ජල දූෂණයට බලපායි කුඹුරු හා ගෙවතු වගා කටයුතුවලටත් බලවත් හානියක්‌ ගෙන දෙයි.   
 වැලි ගොඩ දැමීමේ ඉතිහාසය කවර දා ඇරඹිණි දැයි යන්න පැහැදිලි නැති වුවත් නිවසක්‌ ඉදි කර ගැනීම සඳහා කරත්තයක්‌ ආධාරයෙන් කූඩ භාවිත කර වැලි ලබා ගැනීම එකල ගම්වැසියන් ගේ සිරිත විය. වැලි ගන්නා තැන් මංකඩ යනුවෙන් හැඳින්වුණු අතර ඒවා ගං ඉවුරු අසල පිහිටා තිබිණි. 70 දශකය පමණ විට විට ගොන් කරත්ත හා සැහැල්ලු වාහන භාවිතයෙන් වැලි ඇදීම සිදු කෙරිණි. 70 දශකයෙන් පසු වැලිමංකඩ ලියාපදිංචි කර වැලි ලබා ගැනීම සඳහා විශේෂ බලපත්‍රයක්‌ නිකුත් කෙරිණි. ඉන්පසු 80 දශකයේ දී ටෙන්ඩර් මඟින් අවසරය ලබා ගත් අයට පමණක්‌ වැලි ලබා ගැනීමට ඉඩ ලැබිණි. මේ අනුව මා ඔය ඉවුරේ ලියාපදිංචි වැලිමංකඩ ප්‍රමාණය වසර 1992 දී 6ක්‌ වූ අතර වසර 1996 වන විට එය 20 දක්‌වා වැඩි විය. මේ අතර එක්‌ වූ අනවසර වැලිමංකඩ සංඛ්‍යාව 30ක්‌ පමණ විය. ඉන්පසු ට්‍රැක්‌ටර් ගඟට බස්‌වා වැලි ගොඩ දැමීම සිදු කළ අතර ඉන්පසු ඉවුරේ සිට වැලි ගොඩ දැමීම සිදු කෙරිණි. අද වන විට ට්‍රැක්‌ටර් භාවිතයට අමතරව බැකෝ යන්ත්‍ර යොදා ගංගා පතුල හාරමින් වැලි ගොඩ දැමීම මහා පරිමාණයෙන් සිදු කෙරෙයි. ගඟට බැස්‌වූ බැකෝ යන්ත්‍ර මඟින් වැලි ගොඩ දැමීම නිසා ගඟ පතුල ඉවුරේ සිට අඩි 40කට වඩා වැඩි ප්‍රමාණයකට ගැඹුරු වී ඇත. සාම්ප්‍රදායික ක්‍රමයට ගඟ මැදට ඔරුවක ගොස්‌ කිමිදී වැලි ගොඩ දැමීම ද අදටත් සිදු කරයි.   
  මෙය මෙසේ තවදුරටත් පැවතීමට ඉඩ දිය යුතු නැත. මේ දිළිඳු පවුල් සඳහා විකල්ප ආදායම් මාර්ග හඳුන්වා දීම අත්‍යවශ්‍ය ය. මේ බව තේරුම් ගත් සීමාසහිත පාරිසරික පදනම ප්‍රදේශයේ වැලි ගොඩ දමන දිළිඳු ජනතාවට විකල්ප රැකියා හඳුන්වාදී ඒ පිළිබඳ පුහුණුවක්‌ ලබා දී ඇත. එබැවින් අද වන විට පවුල් කීපයක්‌ වැලි ගොඩ දැමීමේ රැකියාවෙන් ඉවත් වී සපත්තු සෙරෙප්පු සෑදීම, යෝගට්‌ නිපදවීම, මල් වගාව වැනි විකල්ප රැකියා සඳහා යොමු වී ඇති අන්දම අපට නිරීක්‍ෂණය කිරීමටහැකි විය. එම පවුල්වල පිරිමින් රියෑදුරු වැනි රැකියාවක නියෑළෙන අතර ස්‌ත්‍රීහු ඉහත කී කර්මාන්තවල නියෑළෙති. ගෙදර ආදායම සරු ය. දරුවෝ අධ්‍යාපනය යහපත් අන්දමින් කරගෙන යති. එහෙත් මේ සුළුතරයකි. බහුතරය තවමත් වැලි ගොඩ දැමීමේ යෙදී සිටී. 

මාතෘකා