අපචාරයක මාධ්‍ය අපහරණය

 ඡායාරූපය:

අපචාරයක මාධ්‍ය අපහරණය

 

ලාවත ඉරණවිල සමිඳුගම ගම්මානයේ විසූ   දරුවා ඝාතනය වූ බව දැන් සැවොම දනී. එම දරුවාට අත්වූ  ඉරණම දැක සමස්‌ත සමාජයම කම්පනයට පත් වූ බව නිසැකය. ඉකුත් 25 වැනිදා  අමානුෂික ලෙස ඝාතනය වූ බව කියන දරුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත් වීමට පෙර වෙනදා මෙන්ම ඒ පිළිබඳව විවිධ කටකතා පැතිරුණු අතර මාධ්‍ය මඟින් ඒවාට තටු ලබාදෙන ලදී. කොටදෙණියාවේ සහ යාපනයේ දැරියන්ට අත් වූ ඛේදනීය ඉරණම් කතා සේම මෙම දරුවාගේ මෘත සිරුර වටා ද කතාව මාධ්‍ය හරහා වෙනදා මෙන්ම පැතිර යන්නට වූයේ ලැව් ගින්නක්‌ ලෙසිනි. එය අපේ රටේ මාධ්‍යයේ හැටිය.  මාධ්‍ය එම දරුවාගේ ජායාරූප හා අනන්‍යතාව කිසිදු හිරිකිතයකින් හෝ සංවේදී බවකින් තොරව වෙනදා මෙන්ම රුපියල් සතවලට බර තැබෙන කුණු මාධ්‍ය කලාව ඉදිරියේ විකුණා දමන ලදී. එක්තරා පුවත්පතක් වෙනත් දරුවෙකුගේ ජායාරූපයක් විශාල ප්‍රමාණයෙන් පළ කර ඊට දින දෙකකට පසුව නැවතත් නිවැරදිකර විශාල පිංතූරයක්  පළ කරන ලදී. අදාල සංවේදී තොරතුරුට වඩා අපේ රටේ ජනමාධ්‍යයට වැදගත් වූවේ එම දරුවාට සිදුවූ සිදුවීමේ කුණු රසයත් ඔහුගේ පිංතූරයත් පමණි.


25 වෙනිදා උදෑසන දේව මෙහෙය සඳහා දරුවාගේ පවුලේ උදවිය ඔහු නිවසේ තබා ගොස් ඇති අතර පවුලේ උදවිය නිවසට පැමිණීමෙන් පසුව සොයා බැලීමේදී ඔහු එහි සිට නොමැත. ඒ අනුව නිවැසියන් සහ ප්‍රදේශවාසීන් දරුවා සොයා ඇති අතර දරුවා නොමැති වීමෙන් එදින රාත්‍රියේදී හලාවත පොලීසියට ඒ පිළිබඳව පැමිණිලි කර තිබේ.  
25 වෙනිදා තම නිවසෙන් අතුරුදන් වූ දස හැවිරිදි දරුවාගේ මෘත දේහය ඉන් දින දෙකකට පසුව නිවස යාබද කඩොලාන ප්‍රදේශයකින් සොයාගෙන තිබිණි. එම ස්ථානයට පැමිණි  හලාවත අතිරේක දිසා විනිසුරු රඛිත පී. අබේසිංහ පරීක්ෂා කිරීමෙන් අනතුරුව දරුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර කරුණු වාර්තා කරන ලෙස  පොලීසියට දන්වා තිබේ.  හලාවත මහ රෝහලේ අධිකරණ විශේෂඥ අධිකරණ වෛද්‍ය ඩී.කේ විජේවර්ධනගෙන් සමන්විත වෛද්‍ය කණ්ඩායමක්ද එම ස්ථානයට පැමිණ පරීක්ෂණ කටයුතු සිදුකර තිබේ.


ප්‍රදේශවාසීන්ගේ සහ එම දරුවා සමඟ සිටි වෙනත් දරුවෙකුගේ සාක්ෂි අනුව එම ප්‍රදේශයේ පොල් කඩන රැකියාවෙහි නියුතු පුද්ගලයෙකු විසින් අදාළ දරුවා කැලෑ ප්‍රදේශය වෙත රැගෙන ගොස් තිබේ. එමෙන්ම එම ප්‍රදේශයේ වෙළෙඳ සැලක සවිකර තිබූ සීසීටීවී කැමරාවකද එම සැකකරු සමඟ දරුවා කතා බහ කරමින්, එම වෙළඳ සැලෙන් පිටව යන දර්ශන මාධ්‍ය හරහා ප්‍රසිද්ධ කර ඇත. කෙසේ වෙතත් එම  දරුවාගේ  ඝාතනය සම්බන්ධව එම අපරාධය සිදුකළ  සැකකරුව නීතිය හමුවට ගෙන ඒමට  පොලිසිය තවමත් අපොහොසත්ව ඇත. ඒ පිළිබඳ විමර්ශන පළමුව හලාවත පොලිසියට භාර කෙරුණු අතර, ඔවුහු ඝාතකයා සොයන්නට වූහ. එහෙත් එම  ඝාතනය කළ බවට සැකකරන පුද්ගලයා ප්‍රදේශයෙන් පළා ගොස් ඇති හෙයින්, හලාවත පොලිසිය මේ සම්බන්ධයෙන් අනෙකුත් පොලිස් විමර්ශන  අංශ සමඟ ඒකාබද්ධව පරීක්ෂණ පවත්වමින් සිටී.  


 සමාජය විසින් දරුවන්ද අනෙක් සමාජ ජීවීන්ද ආරක්ෂා කළ යුතුය. දියුණු සමාජයක් යනු එවැන්නකටය. එහෙත් අප තවම එවැනි තත්වයක් කරා ගමන් කරන බවක් නොපෙනේ. දැන් කුමන අටුවා ටීකා කීවත් එම අපරාධය සිදු වී දැන් අහවරය. දරුවෙකු යමෙකු අතින් ඝාතනය වී තිබේ. සමාජයක් ලෙසත්, පවුල් කුටුම්භ ලෙසත් අපගේ අසමත් වීම දිගින් දිගටම මේවායින් පෙනේ.


 මෙකී ඝාතනය සිදුකළේ පොල් කඩන පුද්ගලායාද වෙනකෙකුද යන්න තවම කැට තැබීමට මාධ්‍යයට හෝ සමාජයට අයිතියක් නොමැත. එය නිශ්චිතව සිදුකළ යුත්තේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන විසිනි. මීට පෙර කොටදෙනියාවේ දියණියක ඝාතනයේදී ඇයගේ පියාද පළමුව සැක කරන ලදී. පසුව කොන්ඩයා නම් පුද්ගලයෙකු සැකකරුගෙන් එහා ගිය චූදිතයෙකු කර මාධ්‍ය හා සමාජය විසින් අපරාධකරු කරන ලද අතර ඉන් නොනැවතී ඔහුගේ නිවසටද ගිනි තබා විනාශ කරන ලදී. එතැනින් නොනැවතී තවත් පාසල් සිසුවෙකුද ඊට පටලා ඔහුගේ පාසැල් ගමනද නවතන තැනට පොලීසිය හා ජනමාධ්‍ය එකතුව කටයුතු කළෝය. පසුව හෙළි වූයේ වෙනත් පුද්ගලයෙකු එම දැරියට ලිංගික අපයෝජනයක් සිදුකර ඝාතනය කළ බවයි. මෙම දරුවා සම්බන්ධ කතාවද කොටදෙනියාවේ කතාවේම දිගුවයි. දරුවන් හා ලිංගික අපරාධ සම්බන්ධව වාර්තා කළ යුතු ආකාරය පිළිබඳව මාධ්‍ය මීට වඩා ආචාරශීලී හා සංවේදී විය යුතුය. දරුවා ඝාතනය වූ බව සැබෑ නමුත්, ඔහු හෝ ඔහුගේ වින්දිත පවුල තවදුරටත් නොමරා මැරීම සඳහා පෑන භාවිතා නොකළ යුතුය. එම දරුවාට සිදු වූ කණගාටුදායක සිදුවීම වෙනුවෙන් ඔහුගේ ජායාරූප මහ ඉහළින් පෙන්වා නැවත නැවත ඔහුව අඩත්තේට්ටම් කිරීම මාධ්‍යයට නොවටී.


 [කසුන් පුස්ෙසවෙල][අසේල ලියනගේ]

මාතෘකා