කරන්නාගොඩ දැනසිටි නාවික කප්පම්- ඝාතන නඩුව | ඇස පාදන රැස


කරන්නාගොඩ දැනසිටි නාවික කප්පම්- ඝාතන නඩුව

 ඡායාරූපය:

කරන්නාගොඩ දැනසිටි නාවික කප්පම්- ඝාතන නඩුව

ගන්සයිඩ් භූගත කඳවුර
'ඒ ළමයි රඳවගෙන හිටපු ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ  ගන්සයිඩ් කියන භූගත කඳවුරට අපි ගියා. ඒක පොළව යට තියෙන අඳුරු තැනක්.  ඒක ඇතුළෙ හුස්ම ගන්න බෑ. ඒ අමාරුවත් එක්කම පොළව රත් වෙලා එන රස්නෙ නිසා ඒකෙ මනුස්සයෙකුට තියා තිරිසන් සතෙකුටවත් ජීවත් වෙන්න බෑ. අපි ඒක නිරීක්ෂණය කරන්න ගියේ ගින්දර පත්තු කර කර. මොකද එකක් ඒක ඇතුළෙ විසදුම්. අනික විසකුරු සර්පයො.  වවුල්ලු ලක්ෂ ගාණක් ඒක ඇතුළෙ ජීවත් වෙනවා. වවුල්ලුන්ටත්, විසකුරු සර්පයන්ටත් විතරක් ඉන්න  පුලුවන් තැනක, ඉර එළියක්, හුස්ම ගන්න පුලුවන් වාතයක් නැතිව හිරකරන් හිටපු ළමයි, මිනිස්සු කොයි තරම් සුසුම් හෙළන්න ඇතිද? මේ අපරාධ කරපු අයට නීතියෙන් වගේම ස්වභාවදහමට එකතු වුණු ඒ සුසුම්වලිනුත් බේරෙන්න බැරිවේවි. උසාවියත්, ස්වභාවදහමත් ඒ අයට දඬුවම් දේවි. අපරාධ පරීක්ෂකයන් විදියට අපි නීතිය වගේම ස්වභාවදහමත් විශ්වාස කරනවා. කෙනෙක් අපිට හිනාවෙන්න පුලුවන්. ඒක  විශ්වාස නොකරනවා වෙන්න පුලුවන්. ඒත් මේ  අපරාධය ගැන අපි ලඟට ඇවිත් කියන්න වුණෙත් ඒව කරපු අයටමයි. ඊට පස්සෙයි මේ අපරාධ වගේම මේකත් එක්කම කරපු තවත් අපරාධත් අපි විද්‍යානුකූලව සොයාගත්තෙ. ඒ අයමයි මේ අපරාධය ගැන අපිට  පැමිණිලි කළේ.  ඒ අයමයි එකිනෙකා ගැන සාක්ෂි දුන්නෙ. කවුද ඒ තරුණයන්ව පැහැරගත්තෙ, කවුද එක්කන් ගියේ, කවුද රඳවගෙන හිටියෙ, කොහෙද රඳවගෙන හිටියෙ,  කවුද ඒවට අණ දුන්නෙ, කවුද වාහන ගත්තේ, කවුද කප්පම් ඉල්ලුවෙ, කවුද තරුණයන්ව මැරුවෙ, කවුද? ඒ සිරුරු කොටස් පැටෙව්වෙ, වගේම ඒ තරුණයන්ට ගෙවල්වලට කතා කරන්න දුරකථන දුන්නෙ, සබන් කෑල්ලක ගෙදර අංකෙ ලියවගත්තෙ වගේ හැම දෙයක්ම කිව්වෙත්,  සාක්ෂි දුන්නෙත් මේ අයමයි. මේ අය එක්ක හිටපු අයමයි. ඒක නිසයි අපි ස්වභාවදහම එක වෙලාවකදි විශ්වාස කරන්නෙ. ඒ අය කරපු අපරාධ ඒ අයටම නොහිතපු විදියට කියන්න වුණා. ඒ ඒ අයට එරෙහිවම පාපොච්චාරණය කරන්න වුණා. ඒ කඳවුරුවල හිරකරන් ඉඳල පස්සෙ මරාදාපු  අය වගේම ඒ අයගෙ පවුල්වල උදවිය තම තමන් අදහන ආගම් අනුව කෝවිල් පන්සල්වල හලපු සුසුම් ස්වභාවදහමත් එක්ක එකතු වෙලා මෙහෙම වෙන්න ඇති කියලා අපිට හිතන්න වෙනවා සමහර තැන්වලදි. අපි අපරාධ විද්‍යාව අනුව, මේ අපරාධය සහ අපරාධකරුවන් ගැන කරුණු අධිකරණයට ඉදිරිපත් කළා. සාක්ෂි සහිතව ඔප්පු කරලා සැකකරුවන් අත්අඩංගුවට ගත්තා. නමුත් රාජ්‍ය සේවකයන් විදියට මේ පරීක්ෂණ කරගෙන යද්දි අපිට බලපෑම් එන්නෙ රාජ්‍ය පාලකයන්ගෙන්මයි. කලින් අය පරීක්ෂණ කරන්න දුන්නෙම නෑ. මේ අය කරන්න ඉඩදීලා බාධා කරනවා. ඒත්  මේ අපරාධ අපි යට ගැහුවොත් ස්වාභාවදහම අපිටත් එරෙහි වෙයි කියන සිතිවිල්ල අපි තුළ තියෙනවා. අපි වරදක් කළොත් අපිටත් ඒ දඬුවම ලැබේවි.'
නාවික හමුදාවේ නිලධාරීන්   පිරිසක් විසින් කොළඹ, ත්‍රිකුණාමලය ඇතුළු ප්‍රදේශ ගණනාවකින් පැහැරගෙන ගොස් කප්පම් ලබාගැනීමෙන් අනතුරුව ඝාතනය කළ බව කියැවෙන තරුණයන් 11දෙනා සම්බන්ධ ලඝු නඩු විභාගය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ අවසන් වරට පැවැත්වුණේ පසුගිය බ්‍රහස්පතින්දාය. එදින නඩු විභාගය  අවසන් වීමෙන් පසුව පිටත පැමිණ, පිටත්ව යමින් සිටි අපරාධ  පරීක්ෂණ නිලධාරීන් කප්පම් සඳහා පැහැරගෙන ගොස් මරාදැමූ බව කියන තරුණයන් රඳවා සිටි ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ ගන්සයිඩ් භූගත කඳවුර පිළිබඳව  මාධ්‍යවේදීන් හමුවේ කීවේ එවැන්නකි.


කරන්නාගොඩ දැන සිටීම
 එදින අධිකරණය හමුවට බී වාර්තාවක් ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා, විනිසුරුවරිය හමුවේ දන්වා සිටියේ  එවක නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මෙම පැහැරගෙන යෑම් සහ කප්පම් ගැනීම් ඇතුළු ඝාතනයන් පිළිබඳව  දැන සිට ඇති බවයි. කරන්නාගොඩ  2008 මැයි මාසයේදී එවකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිව සිටි අනුර සේනානයකට ලිපියක් එවමින් මෙම නඩුවේ පළමුවන සැකකරු වන ලුතිනන් කොමදෝරු සම්පත් මුණසිංහ (කරන්නාගොඩගේ පුද්ගලික සහකාර නිලධාරිවරයා) මෙම පැහැරගැනීම් හා ඝාතන සියල්ල කළ බවට දන්වා ඇති බව ද,  ඒ අනුව ඔහු එම පැහැරගැනීම්   පිළිබඳව සියලු විස්තර දැන සිට ඇති බවද එම බී වාර්තාව මගින්  වැඩිදුරටත්  අධිකරණයට දන්වන ලදී.


සීඅයිඩීයට ආ බලපෑම්
එමෙන්ම විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ  අසිත සිරිවර්ධන සහ එම නඩුවේ දෙවන සැකකරුවන ලුතිනන් කොමදෝරු  සුමිත් රණසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව වෙත පසුගිය වසරේ සවස් යාමයක පැමිණ එම දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂක ශානි අබේසේකර හමුවී මෙම සියලු චෝදනා පළමුවන සැකකරුවන මුණසිංහ වෙත  පමණක් පවරා නඩුව අහවර කරන ලෙස ඉල්ලූ බවද එම බී වාර්තාවෙන් දන්වා තිබේ. එම ඉල්ලීම් හා බාධා කිරීම් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් නීතිඥ අසිත සිරිවර්ධන ඇතුළු විත්ති පාර්ශ්වය මේවනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවෙන් මෙම පරීක්ෂණ ඉවත් කරන ලෙස ඉල්ලීම් කරන බව නිශාන්ත සිල්වා වැඩිදුරටත් එම වාර්තාවෙන් අධිකරණයට දන්වන ලදී.
පෙර නඩු දිනයේදී විත්ති පාර්ශ්වයේ නීතිඥ අසිත සිරිවර්ධන විසින් අධිකරණයෙදී කියා සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව පක්ෂග්‍රාහී බවයි. එම හේතුවෙන් මෙම පරීක්ෂණය සාමාන්‍ය පොලිස් ස්ථානයකට ලබාදිය යුතු බවත් ප්‍රකාශ කළ අතර මෙම නඩු දිනයේදීද ඒ සඳහා විවිධ තර්ක ඉදිරිපත් කරන ලදී. ඊට එරෙහිව  මෙම නඩුවේ වින්දිත පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින නීතිඥ අචලා සෙනෙවිරත්න  ලිඛිත කරුණු දැක්වීමක් යොමු කරමින් 1999 වසරේ සිට 2017 වසර දක්වා මෙරට තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් විසඳන ලද අපරාධ නඩු 19ක් පිළිබඳව සහ ඊට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට ඇති නෛතික ප්‍රතිපාදන පිළිබඳවද දීර්ඝ කරුණු දැක්වීමක් ලිඛිතව ලබාදෙන ලදී. මෙම නඩුවේ වින්දිත පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ ජේ.සී වැලිඅමුණ, නීතිඥ උපුල් කුමරප්පෙරුම සහ පුලස්ති හේවමාන්න එම ලිඛිත කරුණු දැක්වීම සකස්කර තිබිණි.


ඉතිහාස කතාව
නාවික හමුදාවේ ඉහළ නිලධාරීන් කිහිප දෙනෙකු 2008 මාර්තු සිට 2009  මැයි මාසය දක්වා කාල පරාසය තුළ දී සුදු වෑන් මඟින් කොළඹ ප්‍රදේශයේ තරුණයන් 11 දෙනෙකු ඇතුළු පුද්ගලයන් 28 දෙනෙකු පැහැරගෙන ගොස් කප්පම් ලබා ගැනීමෙන් අනතුරුව ඝාතනය කිරීමට අදළව මහේස්ත්‍රාත් උසාවියේ ලඝු නඩු අංක බී.732/2009 යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒ. නිශාන්ත සිල්වා විසින් 2009.06.01 දින එම පැහැර ගැනීම් සහ කප්පම් ගැනීම් පිළිබඳ ප්‍රථම විමර්ශන වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලදී. එම පැමිණිල්ල එවකදී ඉදිරිපත් කර තිබුණේ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ විසිනි. ඒ තම පුද්ගලික සහකාර නිලධාරී සම්පත් මුණසිංහ එල්ටීටීඊ සංවිධානය සමඟ සබඳතා පවත්වන බවට චෝදනා කරමිනි.  එතැන් පටන් රාජපක්ෂ පාලනය තුළ වසර 6ක් පුරා මන්දගාමීව එම පරීක්ෂණය 2015 වසර  තෙක් කෙරුණු අතර මෙම නඩුවේ පළමුවන සැකකරුවන ලුතිනන් කොමදෝරු සම්පත් මුණසිංහ එවකදී අත්අඩංගුවට ගෙන වසරක කාලයක් රැඳවුම් නියෝගමත රඳවාගෙන පරීක්ෂණ කරන ලදී. ඔහුට අයත් නිල කාමරය තුළ මෙලෙස පැහැර ගැනුණු තරුණයන්ගේ හැඳුනුම්පත් තිබී හමු වූ අතර පසුව තහවුරු වී තිබුණේද, මාධ්‍ය මගින් කියැවුණේ ද නාවික හමුදාපතිව සිටි වසන්ත කරන්නාගොඩගේ පුද්ගලික කෝන්තරයක් හේතුවෙන් සම්පත් මුණසිංහ  මෙම සිදුවීමට හසුකිරීම සඳහා එම පැමිණිල්ල කර තිබූ බවත්, තරුණයන්ගේ හැඳුනුම්පත් පසුව මුණසිංහගේ කාමරයට දමා තිබූ බවත්ය.


ආවේශන කණ්ඩායම
 අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව හමුවේ සාක්ෂි ලබා දී ඇති සම්පත් මුණසිංහ, ක්‍රිෂාන් වෙලගෙදර ඇතුළු ආරක්ෂක අංශ සාමාජිකයන් 70කට අධික පිරිසක් මෙම පැහැරගෙන යෑම් සහ කප්පම් ගැනීම් පිළිබඳව සාක්ෂි ලබා දී තිබේ. ඒවාට අනුව මේ වන විට සැකකරුවන් 9දෙනෙකු අධිකරණය වෙත ඉදිරිපත් කර සිටී. එම නිලධාරීන් ගේ ප්‍රකාශ මත කළ විමර්ශන අනුව එවකට නාවික හමුදාපතිවරයා ගේ පුද්ගලික සහකාරව සිටි  සම්පත් මුණසිංහ ගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වූ ආවේශන කණ්ඩායමක් විසින් සහ නාවික හමුදාවේ හිටපු මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඩී.කේ.පී දසනායක ගේ අධීක්ෂණය යටතේ, ලුතිනන් කොමදෝරු හෙට්ටිආරච්චි මුදියන්සේලාගේ ප්‍රසාද් චන්දන මෙහෙය වූ විශේෂ බුද්ධි කණ්ඩායමක් විසින් මෙලෙස කොළඹ කොටහේන, දෙහිවල, හෙට්ටිවීදිය, සහ ඇලකන්ද යන ප්‍රදේශ වල පදිංචිකරුවන් 11 දෙනෙකු නීති විරෝධීව පැහැරගෙන ගෙන ගොස් ඇති බව  අපරාධ  පරීක්ෂණ දෙපාර්තුමේන්තුව තහවුරු කරගෙන ඇත.


රටින් පැන්න හෙට්ටිආරච්චි
නාවික හමුදාවේ හිටපු මාධ්‍ය ප්‍රකාශකවරයා ඇතුළු සැකකරුවන් මීට පෙර රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි අතර මේ වනවිට ඇප මත නඩුවාරවලට පෙනී සිටිති. එමෙන්ම මෙහි එක් සැකකරුවකු වන ලුතිනන් කොමදෝරු ප්‍රදීප් චන්දන හෙට්ටිආරච්චි මේ වනවිට රටින් පළාගොස් සිටින අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර වරෙන්තුද අධිකරණය මගින් නිකුකර ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතන  චූදිතයන් පස්දෙනා අතරින් තුන්වන චූදිතයාව සිටියේද මෙම සැකකරුය. මීට ප්‍රථම ඔහු අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැරි අතර ඉන්පසුව ඔහු මෙලෙස පලාගොස් තිබේ. පොලිස් මූලස්ථානය  මගින් පසුගිය ජනවාරි 31වැනිදා නිවේදනයක් නිකුත් කරමින් මෙම සැකකරු පිළිබඳ තොරතුරු ලබාදෙන ලෙස මහජන ඉල්ලීමක් ද සිදුකරන ලදී.


8 වෙනි සහ  9 වෙනි සැකකරුවන්
 8 වන සැකකරු ලෙස නාවික හමුදා බුද්ධි අංශයට අනුයුක්තව සේවය කරන ලද බළසෙබල කස්තුරිආරච්චිගේ ගාමිණී අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් පසුගිය ජනවාරි 15 වෙනිදා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී. එදින නිශාන්ත  සිල්වා විසින් අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ එම සැකකරු  නාවික හමුදාවේ මෙම පැහැරගැනීම් කල්ලිය සමග එක්ව කටයුතු කරමින්, කටුනායක ප්‍රදේශයේදී  අලී අන්වර් නැමැත්තා පැහැරගැනීමට සහ අනෙකුත් තරුණයන්  පැහැරගෙන යෑමට කටයුතු කළ අයෙකු බවයි. කප්පම් ලබා ගැනීමෙන් පසුව  එම තරුණයන් ඝාතනය කර ඔවුන්ගේ සිරුරු කොටස්   ත්‍රිකුණාමලය ගන්සයිඩ් කඳවුරේදී ඉටි මළුවල බහා කැබ් රථයකට පැටවීමට කටයුතු කළ බවට ඇසින් දුටු සාක්ෂි ලැබීම හේතුවෙන් අත්අඩංගුවට ගත් බවත් විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශ කරන ලදී.  ජනවාරි 22වැනිදා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව දන්වා සිටියේ නාවික හමුදා බුද්ධි අංශයට අනුයුක්තව සේවය කළ මුතුවාහැන්නදි අරුණ තුෂාර මෙන්ඩිස් 9 වන සැකකරු ලෙස අත්අඩංගුවට ගත් බවයි. එදින ඔහුව අධිකරණයට ඉදිරිපත් කළ අතර තවමත් රක්ෂිත බන්ධනාගාරගත කර සිටී. එම නාවික නිලධාරියා ඊට පෙර අත්අඩංගුවට ගත් 8 වෙනි සැකකරුගේ ඉහළ නිලධාරියා ලෙස සේවය කර තිබේ.  කොළඹදි පැහැර ගත් රජිව් නාගනාදන් ඇතුළු තරුණයන් 11 දෙනා කොළඹ චෛත්‍ය පාරේ සිට ත්‍රිකුණාමලය ගන්සයිඩ් කඳවුර දක්වා රැගෙන ගොස් ඇත්තේ 8 වැනි සැකකරුවන නාවික බල සෙබල කස්තුරිආරච්චිගේ ගාමිණී සමඟ බව එදින නඩුවාරයේදී අධිකරණය වෙත අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව දන්වා සිටින ලදී. මෙම කරුණු  අධිකරණයට දන්වා තිබුණද ඉකුත් පෙබරවාරි  8 වැනිදා නීතිඥ අසිත සිරිවර්ධන තර්ක කළේ 9වන සැකකරු එම වකාවානුවේදී ඩෙල්ෆ්ට් දූපතේ සේවය කළ අයෙකු බවත් මෙම සිදුවීමට ඔහු සම්බන්ධ නොමැති බවත්ය. එහෙත් විනිසුරුවරිය ප්‍රකාශ කරන ලද්දේ යමෙක් සේවය කරන ස්ථානය කුමක් වුවත් ඔවුන්ට වෙනත් ස්ථානයක් වෙත යෑමට හැකියාවක් නොමැති බව ඉන් නොකියවෙන බවයි.


දසනායක ප්‍රමුඛ කණ්ඩායම
මෙම නඩුවේ සැකකරුවන් ලෙස හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී දසනායක, කොමදෝරු සුමිත් රණසිංහ, නාවික නැවි ලක්ෂ්මන් උදයකුමාර, සහ නාවික සෙබලුන් වන නලින් ප්‍රසන්න වික්‍රමසූරිය, තම්මිට ඉහළගෙදර ධර්මදාස, රාජපක්ෂ පතිරණලාගේ කිත්සිරි ‍යන සැකකරුවෝ මේ වනවිට ඉකුත් ජනවාරි මස 12 වැනිදා මහාධිකරණය මගින් ඇප ලබා නිදහස්ව සිටිති. මෙලෙස පැහැරගෙන ගොස් කප්පම් ලබාගැනීමෙන් පසුව ඝාතනය කළ තරුණයන් වන්නේ රජිව් නාගනාදන්, කස්තුරිආරච්චිගේ ජෝන් රීට්, ප්‍රදීප් විශ්වනාදන්, තිලගේශ්වරන් රාමලිංගම්, මොහොමඩ් සාජීන්, ජමල්ඩීන් ඩිලාන්, අමනන් ලියෝන්, රොෂාන් ලියෝන්, ඇන්තනී කස්තුරිආරච්චි, ත්‍යාගරාජා ජෙගන් සහ මොහොමඩ් අලි අන්වර් යන අයයි.
ඉහත  තරුණයන් සුදු වෑන් මඟින් පැහැරගෙන ගොස් ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනය පිහිටි චෛත්‍ය පාරේ "පිට්ටු බම්බුව" නමින් හඳුන්වන ස්ථානයේ 2008 වසරේ අගෝස්තු මාසයේ සිට 2009 වසරේ මාර්තු මාසය දක්වා සම්පත් මුණසිංහ සහ ඩී.කේ.පී දසනායක යන නිලධාරීන් ගේ අධීක්ෂණය යටතේ නීතිවිරෝධීව රඳවා තබාගෙන තිබේ. 2009 වසරේ මාර්තු මාසයේ සිට මැයි මාසය දක්වා කාලය තුළ එම තරුණයන් 11 දෙනා කොළඹින් රැගෙනවිත් ඩී.කේ.පී. දසනායක සහ මාණ්ඩලික නැගෙනහිර බුද්ධි ලෙස කටයුතු කළ ලුතිනන් කොමදෝරු සුමිත්  රණසිංහ යන නිලධාරීන් ගේ අධීක්ෂණය සහ පාලනය යටතේ ක්‍රියාත්මක වූ විශේෂ බුද්ධි අංශයේ සමීප අධීක්ෂණය තුළ ත්‍රිකුණාමලය නාවික කඳවුරේ ‘ගන්සයිඩ් ‘ නමැති භූගත කඳවුරේ නීති විරෝධී ලෙස රඳවාගෙන සිට තිබේ.  පසුව ඔවුන්ව ඝාතනය කර, එම සිරුරු කොටස්වලට කපා මුහුදට ගෙන ගොස් දමා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව තහවුරු කරගෙන අධිකරණයට දන්වා මේවනවිට වසර තුනකට ආසන්න වෙමින් තිබේ. 

 

විත්තිය සුජාත කිරීම
 උදය ගම්මන්පිල, අජිත් ප්‍රසන්න, මෛත්‍රී ගුණරත්න වැනි දේශපාලඥයෝ තම නීති වෘත්තීය පෙරට ගනිමින් විත්ති පාර්ශ්වය වෙනුවෙන් වරින් වර පෙනී සිටියහ. එමෙන්ම මෙම චෝදනාවලට සැකකරුවන් වූ පිරිස් රණවිරු ලේබලය යටතේ සුජාත කරමින් තම තමන්ගේ මැතිවරණ  වේදිකාවල කේවල් කරණුද දක්නා ලදී. එතැනින් නොනැවතී දසනායක වැනි නිලධාරීන් තම දියණිවරුද, මුදල් ද යොදවමින්  ඇප ලබාගැනීමටත්, මහජන අනුකම්පාව දිනාගැනීමටත්, පරීක්ෂණ වෙනතකට යැවීමටත් සැක කළ හැකි විවිධ නාටක ඉදිරිපත් කරනු දක්නා ලදී. ඔහුව අත්අඩංගුවට ගැනීමට ඉඩ නොදී බොහෝ කාලයක් විවිධ හේතු දක්වමින් ප්‍රමාද කිරීම් සිදුකළ අතර අත්අඩංගුවට ගත් විගස රෝද පුටුවෙන් යන රෝගයක් ද සෑදිණි. එහෙත් ඇප ලැබුණු පසු පසුගිය නඩුවාර දෙකෙහිම හොඳින් විත්ති කූඩුවේ සිටගෙන සිටිනු සියල්ලන්ම දක්නා ලදී. නාවික හමුදාවෙන්ද මෙම පරීක්ෂණ සඳහා බාධා බොහෝ එල්ලවිය.   නීතිමය වශයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව සහ රජයේ අධිනීතිඥ  ජනක බණ්ඩාර ගෙන එන චෝදනා හෝ චෝදනාවලට අදාල සාක්ෂි බිඳිනවා වෙනුවට විවිධ නාටක අවසානයේ විත්ති පාර්ශ්වය ඉල්ලා සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව පක්ෂග්‍රාහී බවත්, ඉදිරියේදී ඉහළ නිලතලවලට පත්වීමට නියමිත නිලධාරීන්ගේ ගමන නැවැත්වීම බවත් ආදී නීතිමය තර්ක බිඳීම් වෙනුවට අටෝරාශියක්  දුක්ගැනවිලිය. ඒ නිසා  මෙම නඩුව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවෙන් ගලවා වෙනත් ආයතනයකට දෙන ලෙසය. නමුත් පසුගිය කාලයේ මෙරට සිදුවූ සුවිශේෂී  අපරාධ නඩු ගණනාවක් අවසන් කළේද වැරදිකරුවන් අධිකරණය ඉදිරියට ගෙන ආවේද මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් බව මේ පාර්ශ්වයන්ට අමතකය. අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ ශානි අබේසේකර, නිශාන්ත සිල්වා, වෙනයම් නිලධාරියෙකු  හෝ නීතියට පිටින් යයි නම් හෝ නීතිය අවභාවිතාවේ යෙදේ නම් තැන තැන ප්‍රලාප කියනවා වෙනුවට ඒවාට ප්‍රතිකර්ම යෙදිය යුතුය. එදිනට ඔවුන්ට එරෙහිවද ලියුම්කරුවන් නොපැකිලිව මෙම ඉඩ ඔවුන්ට එරෙහිව වෙන්කරනු ඇත. එහෙත් මෙම රණවිරු ලේබලයේ සැඟවී සිටින නාවික නිලධාරීන්ට එරෙහිව  මෙතෙක් හෙළි කරගත් අපරාධ චෝදනා හුදු අහඹු හිතලු පමණක්ද? 


අවසන් බී වාර්තාව
පසුගියදා අධිකරණයට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව අවසන් වරට ඉදිරිපත් කරන ලද බී වාර්තාවට අනුව,  චෝදනා ලත් මෙම නාවික කප්පම් කල්ලිය  2008. 09. 10 දින දෙහිවල ප්‍රනාන්දු පාරේදී රජිව් නාගනාදන්ට අයත් කළු පැහැති ඉන්ඩිගෝ වර්ගයේ කාර් රථය සමඟ එහි සිටි තරුණයන් පැහැරගෙන ඇත.   එම කාර් රථයේ ගමන් කළ තරුණයන් පළමුව චෛත්‍ය පාරේ පිට්ටු බම්බුව නම් ස්ථානයේ රඳවා තබා පසුව ත්‍රිකුණාමලය භූගත කඳවුරට ගෙනගොස් තිබේ. පැහැරගෙන ගොස් ඝාතනය කළ බව කියැවෙන අලි අන්වර්ගේ නිවස  ඉදිරිපිටදී එලෙස පැහැර ගැනුණු මෙම කාර් රථය දෙවන සැකකරුවන ලුතිනන් කොමදෝරු  සුමිත් රණසිංහ බාරයේ පළමුව කළක් තිබී ඇත. එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව හෙළිකරගෙන ඇති පරිදි එම කාර් රථය නාවික හමුදා මූලස්ථානයේ  එවක නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩගේ නිල රථ සංචිතයේ ගාල් කර තබා තිබී ඇති අතර, විටින් විට අංක තහඩු වෙනස් කරමින් හා නාවික හමුදාපතිවරයාගේ නිල වාහනවලට නිකුත් කරන ඉන්ධන යොදා ධාවනය කර  ඇත. ඉන්පසුව එම රථය රණසිංහගෙන් බාරගෙන ඇත්තේ මෙම නඩුවේ සැකකරුවකු වන තම්මිට ඉහළගේ ධර්මදාස විසිනි. ඔහු විසින් කාර් රථය ගෙන ගොස් ගිරිඋල්ල නගරයේදී මෙම නඩුවේ 9 වැනි සැකකරු, නාවික හමුදා බුද්ධි අංශයට අනුයුක්තව සේවය කළ මුතුවාහැන්නදි අරුණ තුෂාර මෙන්ඩිස් වෙත ලබා දී තිබේ. ඉන්පසුව කාර් රථය ත්‍රිකුණාමලය ගන්සයිඩ් කඳවුරු තුළදී පළමුව කොටස්වලට ගලවා මුහුදුබත් කිරීමට සකසා තිබී ඇත. එහෙත්   එහි වර්ණය වෙනස් කර  හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඩී.කේ.පී දසනායක විසින් පසුව තම බිරිඳට උපන්දින ත්‍යාගයක් ලෙස ලබාදී තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව අනාවරණය කරගෙන තිබේ.


යහපාලන තිරිංග
රාජපක්ෂ සමයේ සිදුවූ අපරාධ කප්පරකි. එම අපරාධ  වෙනුවෙන් රාජ්‍ය මූල්‍ය විගණනයට හෝ විගණනය නොවන ගිණුම් හරහා ප්‍රතිපාදන ලබාදෙමින් ද, ආරක්ෂක අංශ තුළ ස්ථාපිත කළ වෙනම ඒකකද තිබි ඇත. චරන්, පූවනන් වැනි එල්ටීටීඊයට සම්බන්ධව සිටි කරුණා හා පිල්ලයාන් පාර්ශ්වයේ දකුණු අත් බඳු ඝාතකයන්ද කොළඹට ගෙන්වා ආරක්ෂක අංශ කල්ලි සමග එකතු කර කළ අපරාධ බොහෝමයක් මේ වන විට හෙළිව තිබේ. ඉහත සඳහන් කළ රවිරාජ් ඝාතන නඩුවේ තුන්වන චූදිත මෙම නඩුවේ එක් සැකකරුවකු වනවිට, පිළිවෙලින් පහ සහ හය වෙනි විත්තිකරුවන් වූවේ හිටපු රජයට සම්බන්ධ වූ එල්ටීටීඊ සංවිධානයේ කරුණා අම්මාන්ගේ සහ පිල්ලයාන්ගේ සගයන් දෙදෙනෙකු වූ සිවකාන්තන් විවේකානන්දන් හෙවත් චරන් හා සේවියර් වොයිස්ටන් ක්‍රිස්ටෝපර් හෙවත් දුශේන් නැමැත්තන්ය. ඔහුන්ද මේ වන විට රටින් පළා ගොස් සිටිති.
2008  මාර්තු සිට 2009 මැයි දක්වා සිදුවූ බව කියන තරුණයන් 11දෙනා පැහැර ගැනීමට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව  පළමු පරීක්ෂණය ආරම්භ කර තිබුණේ 2009.06.10වන දිනය සිටය. එහෙත් රාජපක්ෂවරුන්ගේ බල පරාක්‍රමය යටතේ එවක සිදු වූ කිසිදු අපරාධයක් පිළිබඳව නිශ්චිත පරීක්ෂණයක් අඛන්ඩව සිදුනොවුණි. ඒ අනුව නිශාන්ත සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවෙන් ස්ථානමාරු කර තිබූ අතර මෙම පරීක්ෂණය නැවත  ආරම්භ වූ බව කිවහැක්කේ 2014.04.03වන දින ඔහුව සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති වූ පසුවය. යහපාලනය බලයට පමිණි පසුව මෙම නඩුව නැවත දිගට ඇසෙන්නට පටන් ගත් නමුදු පරීක්ෂණ ඉදිරියට ගෙන යෑමට රාජපක්ෂලා සේම යහපාලනයේ බාධාවන්ද එමටය.  වසර 9කට ආසන්න කාලයක් පුරා නීතිඥ අචලා සෙනෙවිරත්න සහ එම තරුණයන්ගේ දෙමාපියන් උසාවි වෙත නොවරදවා පැමිණෙමින් සිටී. ඒ අතරින් මව්වරු දෙදෙනෙක් මේවනවිට තම දරුවන් නොමැති සොවින් මියගොස් ඇත. යහපාලන ජනාධිපතිවරයා සිය මූලික ජනාධිපතිවරණ පොරොන්දු ලෙසද යහපාලන රජය තම මූලික මැතිවරණ පොරොන්දු ලෙසද කීවේ මෙරට සිදු වූ අපරාධ සොයා යුක්තිය ඉටුකරන බවකි. නමුත් මේ වන විට මුළු රටම යහපාලනයේ ඉටුනොකළ එම පොරොන්දුවට ප්‍රතිචාර දක්වා තිබේ. තමන්ට ජනවරම ලබාදුන් ලක්ෂ හැටදෙකකගේ බලාපොරොත්තුව වෙනුවට වසන්ත කරන්නාගොඩලාගේ   රණවිරු  ලේබල් පදයට යුක්තිය පමා කරන බව දැන් රටම දැනගෙන හමාරය.
'රණවිරුවන් ඇතුළට දාල තමුසෙලා මගේ ජන්ද ටික නැති කරන්නද හදන්නේ' යැයි අපරාධ පරීක්ෂණ නිලධාරීන්ගෙන් ඇසූවන්ට ජනතාව මේ වන විට ජන්දයෙන් පිළිතුරු ලබා දී තිබේ. නිල ආරක්ෂක අංශ සිටිනුයේ රටේත් මහජනතාවගේත් ආරක්ෂාවටය. එහෙත් ආරක්ෂක ලේබලයට මුවා වී කප්පම් ගත්තෝ, සුදු වෑන් මෙහෙයවූවෝ, ඝාතන කළෝ අපරාධකරුවන් මිස තවදුරටත් රණවිරුවෝ නොවෙති. මෙකී අපරාධ තුළ වේදනාවෙන් සුසුම් හෙලුවන්ගේද, අහිමි තම දරුවන්, ස්වාමියන් වෙනුවෙන් නිතිපතා තමන් අදහන දෙවියන් බුදුන් වැඳ සුසුම් හෙලුවන්ගේද බලාපොරොත්තුවලට යුක්තිය ලබාදිය යුතුය. අපරාධ කළවුන්ටද, එම අපරාධවලට තිරිංග දමන්නන්ද ස්වභාව යුක්ති මූලධර්මයත්, මහජනතාවත් දඬුවම් ලබාදෙන දිනය වැඩි ඈතක නොවේ.

මාතෘකා