අනුකම්පාව අවශ්‍ය නෑ! අපට ඕන දරුවගෙ අධ්‍යාපන අයිතියයි

 ඡායාරූපය:

අනුකම්පාව අවශ්‍ය නෑ! අපට ඕන දරුවගෙ අධ්‍යාපන අයිතියයි

 
'පුතාට හැමදේම හොඳට තේරෙනවා. එයා හොඳට චිත්‍ර අඳිනවා.  විශේෂ අවශ්‍යතා තියෙන දරුවෙක් කියන විශේෂණ නාමය පාවිච්චි කළාට ඒ වගේ වෙන දරුවො තරම් අපේ පුතාට ආබාධයක් නෑ.  එයාගෙ නංගි උදේට ඉස්කෝලේ යන්න ලෑස්ති වෙද්දි එයත් ඇඳුම් අඳිනවා ඉස්කෝලේ ‍යන්න. හැම වෙලේම ඉස්කෝලේ වැඩ කරන්න ඕන කියල පොත් අරගෙන  ගේ ඇතුළෙ එහෙ මෙහෙ  යනවා. ටීචර් පිංතූර  කපාගෙන එන්න කිව්ව කියලා පත්තරවල පිංතූර කපල පොතේ අලවනවා. එයා තාමත් මානසිකව ඉන්නෙ ඉස්කෝලේ, පංති කාමරයෙ ඉන්නවා කියල හිතාගෙන. එකම එක අවුරුද්දයි පුතාට ඉස්කෝලෙ යන්න ලැබුණෙ. දැන් අවුරුදු තුනක ඉඳන් දරුවට ඉස්කෝලයක් නෑ. අධ්‍යාපන ඇමතිට ලිව්වා. බලධාරීන්  හැමෝටම ලිව්වා. ඒත් වැඩක් වුණේ නෑ.'
එකොළොස් හැවිරිදි සොමික දම්නිඳු උපතින් විශේෂ අවශ්‍යතා ඇති හුරුබුහුට්ටෙකි. එහෙත් ඒ වයසේම පැටව් සමඟ  බැලූ බැල්මට පෙනෙන්න එවැන්නක් ද නොමැති තරම්ය. සමාජයත්, පාසලත් ඔහුට  විශේෂ නාමයක් ලබා දී තිබේ. ඒ හේතුවෙන් ස්වාභාවිකත්වය තුළ ලද විශේෂත්වයක් නිසා සොමිකටත්, සොමිකගේ දෙමාපියන්ටත් සොම්නස අහිමි කර තිබෙනු පෙනේ.  රත්නපුර දිස්ත්‍රික්කයට අයත් රක්වාන නගරයේ කෙළවරක පිහිටි වෙත්තිල කන්ඳේ පදිංචි, ගිහාන් ඉන්දික වෘත්තීයෙන් ත්‍රීරෝද රථ රියැදුරෙකි. ඊට අමතරව සිය බිරිඳ සුසීමා දමයන්ති සමඟ තේ දළු නෙලා අමතරව සොච්චමක් සොයා ගනියි. රැකියාව, භාෂාව, ජාතිය, කුලය හෝ ආගම  කුමක් වුවත්, මෙලොව සියලුම දෙමාපියන්ට සේම  ඔවුන් දෙපළටත් සිය දරුවන් සාමාන්‍ය දරුවන්ය. මෙලොව අනෙක් සියලු දරුවන් ලබන අයිතිවාසිකම් ලබන්නට ඔවුන්ද කැමතිය.  ඔවුන් කුමන තත්වයක සිටියද ඊට හිමිකමක්ද තිබේ. 
' පුතා මුලින්ම ඉස්කොලේ ගියේ රක්වාන බිබිලෙගම මහා විද්‍යාලයට.  විශේෂ අධ්‍යාපන පුහුණු ගුරුවරියක් ඒකෙ හිටියා. 2014 ජනවාරි මාසෙ ඉඳල ඒ ගුරුතුමිය ප්‍රසූත නිවාඩු අරගෙන, වෙන ඉස්කෝලෙකට මාරුවීමක් හදාගෙන ගියා. අපේ දරුවන්ට උගන්වන්න ක්‍රමයක් අපට තිබුණෙ නෑ. වෙන ගුරුවරයෙක් දෙන්නත් නෑ කිව්වා. අපිට තිබුණෙ එකම විකල්පය තමයි පුතාව රක්වාන ශාන්ත අන්තෝනි විද්‍යාලයට ඇතුළත් කරන එක. අපි අපේ ගැටලුව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකට ලියලා යැව්වා.'
සොමිකගේ අධ්‍යාපන හීනය වෙනුවෙන් කැපවුණු ඉන්දික සහ දමයන්ති 2014 ජනවාරි 6 වැනිදා ඇඹිලිපිටිය  කලාප අධ්‍යාපන කාර්යාලයට ලිපියක් යවමින්  ඉල්ලා සිටින්නේ සිය පුතණුවන්ට බිබිලේගම මහ විද්‍යාලයෙන් ඉවත්ව රක්වාන ශාන්ත අන්තෝනි විදුහලට ඇතුළත් වීමට අවස්ථාව ලබාදෙන ලෙසයි. ඒ අනුව ජනවාරි 8 වෙනිදා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ වී.පී ආරියපාල මහතා ඊට පිළිතුරු ලිපියක් එවමින්  අන්තෝනි විදුහලේ විදුහල්පති ජයවර්ධන මැදවත්තගෙන් ඉල්ලා ඇත්තේ එවැනි පුහුණු ගුරුවරියක් එම පාසලේ සිටින බැවින් විශේෂ අධ්‍යාපන චක්‍රලේඛය අනුව සොමිකව පාසලට ඇතුළත් කරගන්නා ලෙසයි. එම ලිපියෙන් වැඩිදුරටත් දන්වා ඇත්තේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක එම්. සුධීර ෆොන්සේකාගේ අනුමැතියද, සොමික ඇතුළත් කිරීම වෙනුවෙන් ලැබී ඇති බවයි.
'ඒ ඉස්කෝලෙ   හිටපු  විශේෂ අධ්‍යාපන පුහුණු ගුරුවරිය අපේ දරුවටයි තවත් දරුවො දෙන්නෙකුටයි උගන්වන්න ගත්තට ප්‍රින්සිපල් කැමති වුණේ නෑ. ඒ ගුරුවරියට විදුහල්පති තුමා  බැන්නා, මොකටද විශේෂ අධ්‍යාපන ඩිප්ලෝමාව කළේ කියල ඇසුවා. ඒ  ගුරුවරිය පහ වසර පංතියට  උගන්නන ගමන් ඇවිත්  දරුවන්ට කරන්න ඕන වැඩ අපිට පවරලා යනවා.  පුළුවන් විදියට අපි තමයි දරුවන්ට ඉගැන්නුවේ. මේ දරුවන්ට ඉන්න පංතියක් දුන්නෙ නෑ.' 
ඒ ගුරුවරිය පස්සෙ වෙන ඉස්කෝලෙකට ගියා.  එක වසරෙ  සාමාන්‍ය ළමයි ඉන්න පංති කාමරයෙ  තමයි අපේ දරුවොත් තියල තිබුණෙ. ඒ ළමයි පොඩි නිසා අපේ දරුවො විශේෂ අවශ්‍යතා තියෙන දරුවන් කියල පෙනුණෙ නෑ. ඒත් ඒ පොඩි ළමයි එක්ක මේ දරුවන්ට උගන්වන්න බෑ. පස්සේ තව ගුරුවරියක් ආවා. එතුමිය මුල්ලක හිටපු අපේ ළමයින්ට වෙන්කරලා පොඩි කාමරයක් හදලා උගන්වන්න පටන් ගත්තා. ඊට පස්සෙ ඒ ගුරුවරිය පහේ පංතියට දාලා ප්‍රින්සිපල්  කිව්වා මේ ළමයිව ඒකට දාන්න කියලා.'
විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට ඇත්තේ තරමක වෙනස් වූ අධ්‍යාපන ක්‍රමවේදයකි. එය සාමාන්‍ය දරුවන් අතරම සිට ඉගැන්විය නොහැක්කකි. නොවිධිමත් හා විශේෂ අධ්‍යාපන යන මැයෙන් අධ්‍යාපන අමාත්‍යංශය තුළ වෙනම ඒකකයක්ද, ඊට වෙනම අධ්‍යාපන අධ්‍යක්ෂකවරයෙක්ද සිටින්නේ ඒ හේතුවෙනි.  ජාතික පාසල්වල සහ පළාත් පාසල්වල පවතින විශේෂ අධ්‍යාපන ගුරුවරුන්ගේ පුරප්පාඩු සඳහා ගුරුභවතුන් 831ක් බඳවාගැනීමට සැලසුම් කරන බවත්,  විශේෂ  අධ්‍යාපන  ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සහ  ඉගැන්වීමේ  ක්‍රියාවලිය  වැඩි  දියුණු  කිරීම  සඳහා ජපානයේ  සහ කොරියාවේ විශේෂඥයින් යටතේ විශේෂ අධ්‍යාපන ගුරුවරුන් පුහුණු කිරීමට සැලසුම් කර ඇති බවත් අකිල විරාජ් ඇමතිවරයා කීවේ ඉකුත් වසරේ සැප්තැම්බර් 8 වෙනිදාට යෙදී තිබුණු ලෝක සාක්ෂරතා දිනයේදීය. එහිදී වැඩිදුරටත් අමාත්‍යවරයා කීවේ මීට අමතරව ඉදිරියේදී විශේෂ අධ්‍යාපන අවශ්‍යතා ඇති දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් හෝමාගම ප්‍රදේශයේ ඉදිකර ඇති කායික, මානසික හෝ වෙනත් ආබාධ සහිත සිසුන්ට පහසුකම් සහිත සම්පත් හා තොරතුරු මධ්‍යස්ථානය 2018 දී විවෘත කිරීමට නියමිත බවය. එමෙන්ම දිවයින පුරා පිහිටි සියලුම විශේෂ අධ්‍යාපන ඒකක අන්තර්කරණ සම්පත් මධ්‍යස්ථාන ලෙස වැඩිදියුණු කිරීමට හා ආබාධිත දරුවන්ට ඉගෙන ගැනීමට ඩිජිටල් තාක්ෂණික උපකරණ සහ සම්පත් සපයනු ලබන බවය. මේ සියලු යෝජනා ඉතාම හොඳය. නමුත් ඒවා ප්‍රායෝගිකව ඉටු නොවීමත්, අධ්‍යාපන මනෝ විද්‍යාවේ මූලික හරයන් හෝ නොදත් අන්තෝනියේ විදුහල්පති වැනි  ගුරුවරු සිටීමත් මගින් සිදුව ඇත්තේ සොමික වැනි දරුවන්ට අධ්‍යාපන අයිතිය අහිමි වීමය. 
'අපි ගිහින් විදුහල්පති තුමාට කිව්වා පහ වසර වගේ ලොකු පංතියක දරුවන් එක්ක අපේ දරුවන්ට ඉන්න බෑ කියලා. ඇහුවේ නෑ. අපි කලාප කාර්යාලයට කිව්වාම කලාපෙන් අපිට ඒ ගුරුවරියව ආයෙ විශේෂ අධ්‍යාපන ඒකකයට මාරු කරලා දුන්නා. ඒත් ප්‍රින්සිපල් ගුරුවරියට ඉන්න දුන්නෙ සතියයි. සබරගමුවෙ පළාත් අධ්‍යාපන ඇමති භානු මුණිප්‍රිය එක්ක එකතු වෙලා ගුරුවරිය වෙන ඉස්කෝලෙකට මාරු කළා. ඒක කළේ අපි ගිහින් කලාපෙට කිව්ව තරහට. ඒකෙන් දරුවට ගුරුවරයෙක් නැති වුණා. කොච්චර ඉල්ලුවත් ගුරුවරයෙක් දුන්නෙ නෑ. අපේ දරුවා එක්ක හිටපු අනික් දරුවො දෙන්නගෙන් එක්කෙනෙක් වෙන ඉස්කෝලෙකට ගියා. අනික් දරුවත් ගෙදර නතර වුණා. දැන් අවුරුදු තුනක් තිස්සෙ අපි හැම තැනටම ලිව්වා. ඒත් අපිට අදටත් උත්තරයක් නෑ.'
සිය පුතණුවන් වෙනුවෙන් ඔවුන් වසර තුනක් පුරා ලියූ ලිපි කන්දකි. ඊට ලැබුණු පිළිතුරු කන්දද එලෙසම තිබේ. එහෙත් සොමිකට අදටත් පාසලක් නොමැතිය. සොමිකගේ නැඟණිය ඉගෙනුම ලබන්නේද අන්තෝනි විදුහලේ හතරවන ශ්‍රේණියේය. සිය ආර්ථික අහේනියත්, ගමන් අපහසුවත් හේතුවෙන් අවසානයේදී ඉන්දික සහ දමයන්ති තීරණය කරන්නේ විශේෂ අධ්‍යාපන ඒකකයක් ඇති ඊළඟට  ළඟම පාසල වූ රක්වාන රාහුල ප්‍රාථමිකයට සොමිකව ඇතුළත් කිරීමටය. අන්තෝනි විදුහලේ ඉගෙනුම ලබන දියණියද ඉන් ඉවත්කරගෙන දරුවන් දෙදෙනාම රාහුල ප්‍රාථමිකයට ඇතුළත් කිරීමට අවසර ඉල්ලා ඔවුන් සියලුම බලධාරීන් වෙත ලිපි යොමුකර තිබේ. අධ්‍යාපන අමාත්‍යවරයාටද 2016 මාර්තු 3 වෙනිදා ලිපියක් යොමු කර තිබේ. 2016 මාර්තු 6 වැනිදා DSRT/ ADM/130/DCDC/ 2017 යොමු අංකය සහිතව රත්නපුර දිස්ත්‍රික් ලේකම්වරිය සබරගමු පළාත් අධ්‍යාපන ලේකම්වරයා වෙතද සොමික සම්බන්ධව රත්නපුර දිස්ත්‍රික් ළමා සංවර්ධන කමිටුවේ වූ සාකච්ජා තීරණ දැනුම් දෙමින් දන්වා ඇත්තේ අන්තෝනි විදුහලට විශේෂ අධ්‍යාපන ගුරුවරයෙකු ලබා දිය නොහැකි නම්, දෙමාපිය ඉල්ලීම අනුව දරුවන් දෙදෙනාම ඔවුන්ගේ අධ්‍යාපන අයිතිය සලකා රාහුල ප්‍රාථමිකයට ඇතුළත් කිරීමට පියවර ගන්නා ලෙසය. එහෙත් මේ කිසිවකට සාධාරණයක් ඉටුවී නොමැත. ඉන්දික විසින් ජාතික ළමාරක්ෂණ අධිකාරියට කරන ලද පැමිණිල්ලක් අනුව 2017 ජනවාරි 4 වෙනිදා නොවිධිමත් හා විශේෂ අධ්‍යාපන අධ්‍යක්ෂක කේ. ඒ .ඩී පුණ්‍යදාස විසින් ED/9/18/5/2/3 යොමු අංකය යටතේ සබරගමුව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක වෙත ලිපියක් යොමු කරමින් දන්වා ඇත්තේ සොමිකව විශේෂ අධ්‍යාපන ඒකකයක් ඇති පාසලකට ඇතුළත් කරන ලෙසයි.  ඊට අදාළව ගන්නා ලද පියවර දන්වා එවන ලෙසද සටහන්ව ඇතත් සොමිකට අදටත් පාසලක් නොමැතිය.
'අපි ජීවත් වෙන්නෙ අමාරුවෙන්. දුව එක ඉස්කෝලෙක ඉද්දි පුතාව වෙන ඉස්කොලෙකට දාන්න විදියක් අපට නෑ. දරුවො  දෙන්නව ඉස්කෝල දෙකකට දාන්න අපි දෙන්නට යන්න වුණොත්  ත්‍රී වීල් එක දුවන්නත්, දළු කඩන්නත් වෙලාවක් අපට නෑ. දරුවාව යවන්න පාසලක් නැති නිසා දරුවත් අපිත් ඉන්නෙ දුකෙන් සහ වේදනාවෙන්. අපේ දරුවාට විශේෂ අවශ්‍යතා තියෙනවා කියල මෙහෙම අසාධාරණයට පත්වෙන එක මේ දරුව ආබාධිත වුණ එක තරම්ම වේදනාවක්. පුද්ගලිකව උගන්වන්න අපට සල්ලි නෑ.  ඒත් අපේ දරුවො දෙන්නට උගන්න ගන්නයි අපට ඕනෑ. '
2008 මැයි මස 03  සිට විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ගේ අයිතීන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍ර‍ඥප්තිය (CRPD) බලාත්මක කෙරිණ.  විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ගේ අයිතීන් නිසි පරිදි සුරක්ෂිත කෙරෙන බව ස්ථිර කිරීම ඉලක්ක කරමින් ඔවුන්ගේ නෛසර්ගික ගරුත්වය හා අයිතීන්ට ගරු කිරීම ඉහළ නැංවීම ඉන්  අපේක්ෂා කෙරිණි. ශ්‍රී ලංකාව මෙම  ප්‍ර‍ඥාප්තිය සමඟ එකතු වුයේ  2016 පෙබරවාරි 08 වැනිදාය. එම ප්‍රඥප්තියට බැඳුණු රාජ්‍යයක් ලෙස අප නීතිමය වශයෙන් එම අයිතීන් ක්‍රියාකාරී ලෙස ආරක්ෂා කිරීමට බැඳී ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවට වගකීමක් ඇත. එනම් සමානව සුරක්ෂිත වීමේ අයිතිය සහ ආබාධිත යන පදනම මත වෙනස් කොට සැලකීමෙන් වැළකීමේ භාවිතය, ප්‍රවේශතාව සහ පෞද්ගලික සංචලතාව සඳහා ඇති අයිතිය, අධ්‍යාපනය, සෞඛ්‍ය ආරක්ෂණය හා රැකියාව සඳහා ඇති අයිතිය සහ දේශපාලනික හා පොදුජන ජීවිතය සදහා සහභාගි වීමේ අයිතිය එම වගවීම් හතරයි.  ඒ අනුව විශේෂ අවශ්‍යතා සහිත දරුවන් මෙන්ම පුරවැසියන් සියල්ලටම එම අයිතීන් අප රට තුළ හිමි විය යුතුය. සොමික ඇතුළු අධ්‍යාපන අයිතිය අහිමි වූ තවත් දරුවන් සිටී නම් ඔවුන්ට එම අවස්ථාව හිමිකර දීමට බලධාරීන් බැඳී සිටී. 
'අපේ දරුවට අනුකම්පාව අවශ්‍ය නෑ. අපට අනුකම්පාව අවශ්‍යත් නෑ. අපිට ඕන අපේ දරුවගෙ අධ්‍යාපන අයිතිය. මේ දරුවා 2015 අවුරුද්දෙ ඉස්කෝලෙ විශේෂ ඒකකයෙ චිත්‍ර ඇඳල පළවෙනිය. අදටත් එයා ගෙදර  ඉඳන් ඉස්කෝලේ ඇඳුම් ඇඳගෙන ඉස්කෝලේ ‍යනවා කියල හිතාගෙන ඉන්නවා. ඒක එයාට නොතේරුණත් තේරෙන අපිට ඒවා දකිද්දි එන්නෙ හිතට ලොකු දුකක්.'
මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ ජනප්‍රිය නොවන නමුත් මෑත කාලීනව  ඉදිරිගාමී පියවර කීපයක් ගත් අමාත්‍යවරයා අකිල විරාජ් බව කිව යුතුය. එහෙත් ඒවා කොතරම් ප්‍රායෝගිකද, එමෙන්ම එවැනි ඉදිරිගාමී යෝජනා ඔහුට පහළ නිලධාරීන් කොතෙක් දුරට ක්‍රියාත්මක කරනවාද යන්න සොයා බැලිය යුතුය. මෙරට ඉතිහාසයේ පළමුවරට ශ්‍රී ලංකාවේ විශේෂ අධ්‍යාපනය නඟාසිටුවීම වෙනුවෙන් පසුගිය අයවැයෙන් රුපියල් මිලියන 175ක් වෙන් කරන ලදී.  විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් වඩාත් ගුණාත්මක අධ්‍යාපන අවස්ථා සාක්ෂාත් කරලීම වෙනුවෙන් ‍අවශ්‍ය භෞතික පහසුකම් සංවර්ධනය කිරීම මෙන්ම මානව සම්පත් සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව කීවද තවමත් එහි ප්‍රගතියක් නොපෙනේ. ජාතික අධ්‍යාපන ආයතනයේ විශේෂ අධ්‍යාපන ගුරු පුහුණු කටයුතුවල යෙදෙන අන්තර්කරණ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ කථිකාචාර්යවරුන්, ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ කථිකාචාර්යවරුන්, සහ විශේෂ අධ්‍යාපන ඒකක ගුරුවරුන්ගෙන් යුත්  කණ්ඩායමක් කොරියාවට යවා පුහුණු කරන බවද අමාත්‍යවරයා පසුගිය වසරේදී ප්‍රකාශ කර තිබිණි.  එම වැඩසටහන අදියර 3කින් කෙටිකාලීන සැසි වශයෙන්  ක්‍රියාත්මක කර විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත දරුවන් සමඟ කටයුතු කළ යුතු ආකාරය සහ ඔවුන් වෙනුවෙන් ක්‍රියාත්මක කළ හැකි සංවර්ධන ක්‍රියාකාරකම් සම්බන්ධව පුහුණුවක් ලබාදීමට ඉන් අපේක්ෂා කර තිබිණි. ඊට අමතරව 2018 වසරේ දී විශේෂ අධ්‍යාපන ගුරුවරුන් 100 දෙනෙකුට ‍කොරියානු රජය සමඟ එක්ව දේශීය පුහුණුවක් ලබාදෙන බවද ප්‍රකාශ කර තිබිණි. එහෙත් සොමිකලා වසර තුනක් පුරාවට ගුරුවරයෙකු හෝ පාසලක් නොමැතිව බලා සිටී. ෙසාමික අැතුළු ෙමරට සිටින විෙශ්ෂ අධ්‍යාපනය අවශ්‍ය සියලුම දරුවන්ට ඒ සඳහා අවස්ථාව හිමි විය යුතුය. ඒෙමන්ම ෙමවැනි අත්ත                   කටයුතු කරන විදුහල්පතිවරයන්ටද අධ්‍යාපන අයිතිය සම්බන්ධව විෙශ්ෂ අධ්‍යාපනයක් ලබා දිය යුතුය.

 

[කසුන් පුස්සෙවෙල]

මාතෘකා

 
 
 
රටේ අපරාධ රැල්ල අඩු කිරීමට කළ යුත්තේ ?