සංචාරකයන්ට රට එපා කරවන මිරිස්ස

 ඡායාරූපය:

සංචාරකයන්ට රට එපා කරවන මිරිස්ස

මෙරට ඉහළම වෙරලබඩ සංචාරක ආකර්ෂණයක් දිනාගෙන තිබුණු හික්කඩුව සහ ලෝකයේ සුන්දරතම වෙරළ තීරය ලෙස නම් දරා සිටි උණවටුන සංචාරක කලාපය කෙමෙන් සංචාරක ආකර්ෂණයෙන් මෑත වසර කීපයක තුළ ඈත් වද්දී ඒ තැන ගත්තේ මිරිස්ස වෙරළ තීරය බව නොරහසකි. ඒ සියල්ල ස්වාභාවිකව සිදු නොවුණු අතරම ඊට පැවති සහ පවතින සියලුම පාලන ආයතන මෙන්ම සංචාරක කර්මාන්තයේම යෙදී සිටින සියල්ලගේ චර්යාවන් මත වූවක්ම විය. කිසිදු ප්‍රමිතියකින් තොර අනාරක්ෂිත පරිසරයක් ගොඩනැගීමත් සමඟ හික්කඩුවෙන් සංචාරකයන් ඈත් විය. පාලකයන්ගේ අත්තනෝමතික තීන්දු අනුව ඉදිකළ දිය කඩනය හේතුවෙන් උණවටුන වෙරළ තීරය ඉන්පසුව සංචාරක කර්මාන්තයට අහිමි විය. අදටත් එහි වෙරළ වෙනුවට ගොඩනැගිලි පමණක් ඉතිරිවන සේ නීති නොතකා ඩඩ්ලි සිරිසේනලා පවා හෝටල් ඉදිකරමින් සිටිති.   


ඉන් පසුව දකුණු වෙරළ තීරයට ආදරය කළ සංචාරකයන් ගියේ මිරිස්සටය. වැලිගම නගරය පසුකර මාතර ෙදසට මහ පාරේ යෑමට නොහැකි තරමට පහුගිය මාස කීපය සංචාරකයින්ගෙන් පිරී පැවතිණි. අද වනවිට මිරිස්සෙහි වෙරළක් වෙනුවට ඇත්තේ ගොඩබිමට ඇදෙන රළු මුහුදය. ලොව ඕනෑම මත් පෙත්තක් ගත හැකි වෙරළ පුරා ඉදි වුණු අනවසර හෝටල්ය. සංචාරකයන්ට පහර දෙමින් මංකොල්ල කන, අතවර කරන කොලු රෑන්ය. ඊටත් වඩා අඩියෙන් අඩියට නිල ඇඳුමින් ඉන්නා පොලිස් නිලධාරීන්ය. සංචාරක කලාපයක නිදහසට වඩා එහි පෙනුම අධි ආරක්ෂිත කලාපයක සිරිය.   


 ' මේ රටේ හැමදාම කළේ අශ්වයා ගියාට පස්සෙ ඉස්තාලෙ වහපු එක. මිරිස්සට මේ දේ වෙන බව අපි අපේ කට රිදෙනකම් කිව්වා. මේ පහුගිය දවසෙ මෙහෙ වුණු සිදුවීම් පළවෙනි වතාවට වුණු දේවල් නෙමෙයි. දකුණු ආසියාවෙ රටක් විදියට අපේ රටට එද්දිම සුද්දො එන්නෙ මෙහේ නීතිය නැති බව දැනගෙන. ඒත් පාරක් පාරක් ගානෙ ගුටි කන්න, අතවරයට පත් වෙන්නෙ වෙයි කියල නම් ඒ අය හිතන්නෙ නැතුව ඇති. පාරෙ ඇක්සිඩන්ට් එකක් වුණත් පොලීසිය කියන්නෙ ඕක අපේ බල ප්‍රදේශෙ නෙමෙයි අර පොලීසියෙ මේ පොලීසියෙ කියල. වැල්ලෙ පොඩි පොඩි හෝටල්වල ගෙස්ට්ල දෙන්නෙක් හිටියත් කිසිම අවසරයක් නැතුව ඩීජේ සංගීත හවස හතේ ඉඳල උදේ හත වෙනකම් දානවා. ආයෙ උදේ හතේ ඉඳල හවස හත වෙනකම් දානවා. ඉතින් ගෙස්ට්ලාට නිදාගන්න බෑ කියල මෙහෙන් යනවා. ලෝකෙ තියෙන ඕනම මත්ද්‍රව්‍යයක් කිසිම ලියාපදිංචියක් නැති මෙහේ හෝටල්වල තියෙනවා. හැමදාම මොකක් හරි අතවරයක් නැත්තම් ගුටි කෙලියක්. ඒ කිසිම දේකට පොලීසිය බලන්න එන්නෙ නෑ. මම එක දවසක් වන් වන් නයින් කතා කළා විසිසැරයක්. ඒත් පොලීසිය ආවෙ නෑ.' මේ සෙන්ට්‍රල් බීච් ඉන් හෝටලයේ ප්‍රධානියෙකු වන ජීවන් සේනාරත්නගේ හඬය. 


පසුගිය අප්‍රේල් 8 වැනිදා අලුයමදී වැලිගම පොලිස් වසමට අයත් මිරිස්ස වෙරළ තීරයේ දී විදේශීය පිරිමි පුද්ගලයින් කිහිප දෙනෙකුට පහර දී කාන්තාවකට ලිංගික අතවර කළ සැකකරුවන් 9 දෙනෙකු හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. එම සිදුවීම සම්බන්ධයෙන් වැලිගම පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් අනුව විමර්ශන සිදුකර සැකකරුවන් 6 දෙනෙකු අප්‍රේල් 13 වැනිදා අත්අඩංගුවට ගෙන 14 වැනිදා මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර 17 වැනිදා තවත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී. ඔවුන් සියලුදෙනා ඉකුත් 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි. එම පහර දීමට අමතරව අප්‍රේල් 15 වැනිදා වැලිගම පොලිස් වසමේ මිදිගම වෙරළ තීරයේ දී ඊශ්‍රායල් ජාතිකයින් 05 දෙනෙකුට පහරදීම සම්බන්ධයෙන් වැලිගම පොලිසිය මඟින් අප්‍රේල් 17 වැනිදා එම සිද්ධියට අදාළ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් අතර ඊට අදාළව තවත් සැකකරුවන් තිදෙනෙකු 18 වැනිදා අත්අඩංගුවට ගන්නා ලදි. ඔවුන් ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී. මෙම පහර දීම් හා අතවර කිරීම්වලට සැකකරුවන් වූවන් වයස අවුරුදු 17, 18, 23 වයස්වල පසුවන මිදිගම, අහංගම, මිරිස්ස ප්‍රදේශවල පදිංචිකරුවන්ය. 


' මම මෙහේ ප්‍රජා පොලිස් ඒකකයේ සභාපතිනි. මම වගකිවයුත්තන් හැමෝටම නම් එක්ක කියලා තියෙනවා මේ ප්‍රශ්න ගැන. කිව්වට කිසිම දෙයක් කළේ නෑ. හෙව්වෙ බැලුවෙ නෑ. දැන් එම්බසිවලින් පැමිණිලි ආවාම, කොළඹින් ලොකු ලොකු නිලධාරීන් එන්න පටන් ගත්තාම තමයි පොලීසිය ඇහැරුෙණ්. මෙච්චර දේවල් පහුගිය සතියෙ වෙලා තියෙද්දිත් ඊයෙ සුද්දෙකුට ගහලා. මේ සිද්ධි ඔක්කොම මත්ද්‍රව්‍ය එක්ක බැඳිලා තියෙන්නෙ. මෙහේ කුඩු ගංජා පුදුම විදියට. අපිට තේරෙන විදියට මේව හොයන්න ඉන්න ආයතන ඔක්කොම සල්ලිවලට යටයි. මේ කලාපෙ අඩියෙන් අඩියට තියෙන නීතිවිරෝධී හෝටල්වල අඩුම ගානෙ සේවක නාම ලේඛනයක් නෑ. ඉතින් ඔක්කොම නීතිවිරෝධී වැඩ කරලා පොලීසිය ප්‍රශ්න කරද්දි අයිතිකාරයෝ කියනවා අපරාධ කරපු අය තමන්ගෙ සේවකයො නෙමෙයි කියලා. අපිට ඕන අපේ ගමේ දරුෙවා් ටික හදාගන්න. ඒත් මේ කුඩු ගංජා එක්ක ඒක කරන්න වෙන්නෙ නෑ.' ටෙස්ලින් ගලප්පත්ති ඇගේ පැමිණිලි ගැන කියන විට සමස්ත මිරිස්ස ජනතාවම ඊට සමාන අදහස් දක්වති. 


ඔවුන්ට අනුව යම් යම් අවස්ථාවල මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු වැලිගම පොලීසිය වෙත ලබා දුන්නද එකෙනෙහිම එම තොරතුරු ජාවාරම්කරුවන් වෙත හා හෝටල් හිමියන් වෙත පොලීසිය විසින්ම ලබාදී තිබේ. කොතෙක් පැමිණිලි කළද වැලිගම පොලිසිය නිසි ක්‍රියාමාර්ග නොගත් බවද, එහි මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා මෙම අනවසර කුඩා හෝටල් හා ඒවයෙහි හිමිකරුවන් සමඟ සමීපව කටයුතු කරන බවද මිරිස්ස ගම් වැසියන්ගේ බරපතළ චෝදනාවකි. ගෙවුණු කාලය පුරාම මිරිස්ස හා මිදිගම ආශ්‍රිත ප්‍රදේශ ගණනාවකදී අතුරු මාර්ගවල ගමන් ගන්නා විදේශිකයන්ගේ ගමන් මලු පැහැරගෙන ගොස් තිබේ. ඒ බොෙහාමයකගේ අත හෝ බෙල්ල තියුණු ආයුධවලින් තුවාල සිදුකර එම මංකොල්ලකෑම් සිදුකර තිබේ. දිනපතාම පාහේ මිරිස්ස හෝ මිදිගම ආශ්‍රිත සංචාරක කලාපය තුළ විදේශීකයන්ට අතවර හෝ පහරදීම් සිදුව තිබේ. 


'පොලිසියට කොච්චර කිව්වත් කිසිම දෙයක් වුණේ නෑ. මේ ව්‍යාපාරයේ ඉන්න අයත්, ගමේ අයත් කම්ප්ලේන් කරන්න බයයි. මොකද කොණ්ඩෙ වවාගෙන කොයි වෙලාෙවත් කුඩු හරි ගංජා හරි ගහගෙන ඉන්න මැරයො වගේ අය තමයි දැන් මිරිස්සේ ඉන්නේ. සුද්දොත් පොලිසියට යන්න බයයි මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නෙ නැති නිසා. ඒ වගේම භාෂා ප්‍රශ්න නිසා. කොළඹින් මේවයේ හෝටල් චෙක් කරන්න එනවා නම් ඒ අය එන්න කලින් මෙහෙට පණිවිඩය එනවා. පොලිසියයි, එක්සයිස් එකයි එහෙම කරනව නම් අපි වගේ මිනිස්සු කට වහගෙන ඉන්නව ඇරෙන්න මොනව කරන්නද. මීට ඉස්සර දක්ෂ පොලිස් නිලධාරීන් හිටියා. දේශපාලකයො එහෙම අයට ඉන්න දෙන්නෙ නෑ. කුඩු, ගංජා, පෙති වර්ග මෙහේ වැහි වැහැලා. එහෙන් ඩීජේ සද්දෙ. කිසිම අරක්කු බලපත්‍රයක් මේවට නෑ. මෙහේ ඩ්‍රග්ස්වලින් විතරක් දවසට ලක්ෂ පහ දහය හොයන තැන් තියෙනවා. පැන්නම පනස්දාහක් දීලා දඩය ගෙවනවා. ඒක ඒ අයට ලාභයි. අපි ලයිසන් අරගෙන ලක්ෂ ගණන් රජයට බදු ගෙවනවා. ඒත් අපට නීතියෙන් කිසිම පිහිටකුත් නෑ. නීතිවිරෝධී දේවල් නොකරන නිසා ආදයමකුත් නෑ. සුද්දො දැන් මිරිස්සෙන් ගිහින් ඉවරයි මේ කරදර නිසා.' ෆාම් විලා හෝටලයේ අධිපති නිස්සංක ජයසූරියගේ ප්‍රකාශය සාධාරණය. රටේ සංචාරක ක්ෂේත්‍රය වෙනුවෙන් ආයතන ගණනාවක් තිබේ. සුළු හෝ මධ්‍ය පරිමාණ හෝටල් හිමියන් මෙම කර්මාන්තයේ දියුණුවට දායක විය යුතුය. එහෙත් රටේ නීති හා රෙගුලාසි එකිනෙකාට ක්‍රියාත්මක වන්නේ වෙනස්ව නම් එහි ඇත්තේ ගැටලුවකි. 


මිරිස්ස සහ මිදිගම සිදු වූ මෑතම බරපතළ සිදුවීම් දෙකෙහි සැකකරුවන් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 26 වන දින හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා රක්ෂිත බන්ධනාගාරයේ තවම රඳවා සිටී. මෙම සිදුවීම් අරඹයා පසුගියදා සංචාරක හා ක්‍රිස්තියානි ආගමික අමාත්‍ය ජෝන් අමරතුංග ඇතුළු නිලධාරීන් මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළේ එම පහරකෑම්වලට ලක් වූ විදේශිකයන් රජයේ වියදමින් මෙරටට ගෙන්වා හඳුනා ගැනීමේ පෙරෙට්ටුවට යොමු කරන බවයි. එමෙන්ම කප්පරක් හාස්‍යමය ප්‍රකාශ අතරින් කැපී පෙනෙන කතාවක් කීවේය. ඒ නම් නීත්‍යානුකූල මත්පැන් බලපත්‍ර හිමි හෝටල් තුනක් පමණක් මිරිස්ස ප්‍රදේශයටම ඇති බවකි. එහි හාස්‍ය නම් බලධාරීන් ඒ ගැන දැනුවත් වන්නේ විදේශීකයන් ගණනාවක් ගුටි කා, ලිංගික අතවරයන්ට පත්ව රටම ලෝකය ඉදිරියේ මිලේච්ජයන් වූ පසුවය. මිරිස්ස ප්‍රදේශයේ නීත්‍යානුකූල මත්පැන් බලපත්‍ර ඇති හෝටල් ඇත්තේ බේ රිසෝට්, ගිරිගල විලේජ්, පැරඩයිස් බීච් ක්ලබ් හා තවත් එකක් හෝ දෙකක් තරම් සීමිත හෝටල් සංඛ්‍යාවකට පමණි. එහෙත් ගම් වැසියන්ට හා හෝටල් හිමිකරුවන්ට අනුව සෑම කුඩා හෝටලයකම සංචාරක හා පාරිසරික නීතින් උල්ලංඝනය කරමින් අධික ලෙස මත්පැන්, නීති විරෝධී මත්ද්‍රව්‍ය විකුණන අතර අලුයම තෙක් ඩීජේ සංගීතයද අදටත් භාවිත කරමින් සිටී. 


' මම අවුරුදු තිහක් මිරිස්සෙ ඉන්නවා. මේ ඔකොම ප්‍රශ්නවලට මුල නියාමනයක්, දැනුමක් වගේම මේ කර්මාන්තයට ප්‍රමිතියක් නැති අය ඇතුල් වීම. මේකට දැන් එන අය නිසි අධ්‍යාපනයක් ලබලා නෑ. කොන්ඩෙ වවල, පච්ච ගහල ගංජ බිව්වම මේකට එන්න පුලුවන් වීම විතරයි එකම සුදුසුකම කියල හිතනවා. මම නම් කියන්නෙ ඒ හැමෝටම සංචාරක ව්‍යාපාරයෙන් සෙතක් වෙන්න ඕන. ඒත් මේ අය හිතන්නෙ සුද්දො ලංකාවට එන්නෙ සෙක්ස් ඇන්ඩ් ඩ්‍රග්ස් වලට කියලා. ඇත්ත ඒක නෙමෙයි. සීයට එකක් එහෙම පිස්සු නටන්න එනවා ඇති. නමුත් ඉතිරි සීයට අනූනමයම එන්නෙ ඒ රටවල්වල යන්ත්‍ර වගේ වැඩ කරලා නිස්කලංකව මෙහෙට වෙලා නිවාඩුවක් ගත කරන්න බලාගෙන. මෙහේ දැන් ඒක නෑ. එලිවෙනකම් ඩීජේ ගහනවා. ඒ මදිවට රෑ දොළහට මල් වෙඩි දානවා. ඉතින් එයාපෝට් ඉඳලා මහන්සියෙන් එන සුද්දා ඊළඟ දවසෙම මෙහෙන් යනවා. මම මත්පැන් බලපත්‍රයට ලක්ෂ හයක් ගෙවනවා. ලක්ෂ තිහකට වඩා ගිය අවුරුද්දෙ බදු ගෙව්වා රජයට. ඒත් අපිට මොකක් නැතත් නීතියවත් හරියට ක්‍රියාත්මක කරලා දෙනව නම් දුකක් නෑ. මේ මුළු මිරිස්ස ගමම එකතු වෙලා අත්සන් කරලා අදාල ආයතන වලට ලියුම් යැව්වා. සුද්දොන්ගෙ අතින් ලියපු ලියුම් යැව්වා. වැඩක් වුණේ නෑ.' ඒ මිරිස්සේ සංචාරක කරමාන්ත ගැටලුව පිළිබඳව පැරඩයිස් බීච් ක්ලබ්හි කළමනාකාර අධ්‍යක්ෂ ආනන්ද ජයදේවගේ අදහසය. 


මිරිස්ස වෙරළ පොලිස් බල ප්‍රදේශ දෙකකට අයත්ය. මාතර පැත්තේ කොටස අයත් වන්නේ කොටවිල පොලිස් වසමටය. අනෙක් පැත්ත වැලිගමටය. එම බෙදුම් ස්ථානය අසලම ප්‍රධාන පාරේ විසිහතර පැය ක්‍රියාත්මක පොලිස් මුරපොළක් ද තිබේ. නමුත් ඇස පෙනෙන මානයේ දිනපතාම විවිධ සංචාරක අඩත්තේට්ටම්ය. නීතිය ක්‍රියාත්මක වනවාට වඩා ඔවුන්ට ගැටලුව ඇත්තේ බල ප්‍රදේශය පිළිබඳවය. 'අපි පැය විසිහතරම මෙතන ඉන්නවා. ෆෝන් නැති වුණ පැමිණිලි නම් එනවා. ඔය කියන සිදුවීම් හෝටල් ඇතුළේ වුණු ඒවා. ඒවාට අපට යන්න බෑ. අපි දන්නෙත් නෑ. දැන් නම් එස්ටීඑෆ් එක හැමතැනම දාලා තියෙනවා. මෙතනින් එහා අයිති වැලිගමට. එහෙන් පොලිස් මොබයිල් එනවා අපි දකිනවා.' කොටවිල සංචාරක පොලිස් මුරපොළෙහි සේවයෙහි නියුතු සාජන් ටී.ජී ජයරත්නගේ සහ කොස්තාපල් ඒ.ජී අජිත්ගේ අදහස්‍ ය. 


රටකට ආයෝජන ඒමට නම් ඒ රට නීතියේ ආධිපත්‍ය සහිත රටක් විය යුතුය. නීතියක් නැති හෝ නීතිය වෙනස්ව සැලකෙන රටක, අපරාධවලට නීතිය ක්‍රියාත්මක නොවන රටකට විදේශ ආයෝජන නොඑනු ඇත. එමෙන්ම මෙරටට වැඩිම ආයෝජනයන් ප්‍රමාණයක් එන සංචාරක ක්ෂේත්‍රය මඟින් රටට විනිමය ලැබීම පමණක් නොව කීර්තියද ලැබේ. මේ වනවිට සංචාරක කර්මාන්තය මෙරට ප්‍රධානතම ආදායම් මාර්ගය හා කීර්තිය ලබා ගැනීමේ මාර්ගයද වී හමාරය. ඒ සඳහා අමාත්‍යංශයට යටත්ව ක්‍රියාත්මකවන ආයතන ගණනාවක් ද තිබේ. නියාමන ප්‍රතිපත්තීන් ද ගණනාවක් තිබේ. මේ සියලුම සිදුවීම් හරහා තවදුරටත් කියාපාන්නේ මෙරට තවම නීතියේ ආධිපත්‍ය ස්ථාවරව ක්‍රියාත්මක නොවන බවද නැතහොත් නිවැරැදි දැක්මකින් යුතු සංචාරක ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොවන බවක්ද යන්න රජය තේරුම් ගත යුතුය. මෙවර සංචාරක සමය නිමවෙමින් මිරිස්සටත්, ශ්‍රී ලංකාවටත් කළු පැල්ලම් ගණනාවක් එක්ව ඇත. මෙම සිදුවීම් අරභයා ගත් පියවර පිළිබඳව දැනුවත් කිරීමට ඉදිරි සතිය තුළ විදෙස් තානාපතිවරු හමුවීමට සංචාරක අමාත්‍යවරයා තීරණය කර ඇත. සිදුවීම් පළමුව වලක්වා නොගෙන පසුව මෙවැනි විකල්ප සෙවීම ප්‍රායෝගික නොවනු ඇත. සංචාරක කර්මාන්තයෙන් මෙරට සුඛිත මුදිත කිරීමට යහපාලන රජය බලාපොරොත්තු වේ නම් වහාම නීතිය හා සංචාරක ප්‍රවර්ධන නීති රාමු ප්‍රායෝගිකව වහාම ක්‍රියාත්මක කළ යුතුය. එවිට සුන්දර මිරිස්ස සැබැවින්ම සුන්දර හා ආරක්ෂිත සංචාරක නැවතුමක් වනු නියතය. 

මාතෘකා