ලන්දේසීන්ට පල්ලියක් වූ ඉංග්‍රීසීන්ට අධිකරණයක් වූ සිංහලයන් බිමට සමතලා කළ අම්බලන්ගොඩ තානායම

 ඡායාරූපය:

ලන්දේසීන්ට පල්ලියක් වූ ඉංග්‍රීසීන්ට අධිකරණයක් වූ සිංහලයන් බිමට සමතලා කළ අම්බලන්ගොඩ තානායම

අම්බලන්ගොඩ නගර සභාවට අයත් ඓතිහාසික ගොඩනැඟිලිවලින් සමන්විතව තිබූ ඉපැරණි අම්බලන්ගොඩ තනායම රුහුණු සංචාරක කාර්යාංශය පොළොවට සමතලා කර මේ වන විට වසර 12කට ආසන්න කාලයක් ගතව තිබේ.

නාගරික සංවර්ධන අධිකාරිය යටතේ තිබූ තානායමේ කළමනාකාරීත්වය, දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා මහතාගේ මැදිහත්වීමෙන් දකුණු පළාත් සභාවට පවරාගෙන පළාත් සභාව යටතේ පාලනය වූ රුහුණු සංචාරක කාර්යාංශට පවරා දීමෙන් පසු මෙම විනාශය සිදුව තිබෙන බව ප්‍රදේශවාසීහූ පවසති. රුහුණු සංචාරක කාර්යාංශය රුපියල් ලක්ෂ එක්දහස් පන්සියයක වියදමින් තානායම සඳහා නව ගොඩනැඟිලි සංකීර්ණයක් ඉදි කිරීමට බව පවසා 2008 වර්ෂයේදී එහි සභාපති කේ.එම්. හේමසිරි මහතා විසින් පැරණි ගොඩනැඟිලි සංකීර්ණය කඩා ඉවත් කළ බවත් එයින් පසුව මෙතෙක් තානායම ඉදිනොකළ බවත් ප්‍රදේශවාසීහූ කියති. ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ ඉපැරණි ගොඩනැඟිලි කඩා ඉවත් කිරීමේ කොන්ත්‍රාත්තුවෙන් රුහුණු සංචාරක කාර්යාංශයේ නිලධාරීන් දැවැන්ත මුදලක් උපයාගෙන තිබෙන බවයි. පළාත් සභාව සතුව මුදල් නොමැතිව නව ගොඩනැඟිලි සංකීර්ණයක් ඉදිකරන බව පවසා පැරණි ගොඩනැඟිලි කඩා දැමූ බවද ඔවුන් පෙන්වා දෙයි.

1715දී සිංහල රජ සමයේ ඉදිකරන ලද මෙම ගොඩනැඟිලි සංකීර්ණය ලන්දේසීන් විසින් 1735දී නවීකරණය කර තවත් ගොඩනැඟිලිද ඉදිකර නවාතැන්පොළක් ලෙස භාවිත කර තිබෙන බවද ඓතිහාසික කරුණුවල සඳහන් වේ. ලන්දේසීන් විසින් පල්ලියක් ලෙසද ප්‍රයෝජනයට ගෙන ඇති මෙම ගොඩනැඟිලි සංකීර්ණය ඉංග්‍රීසි ජාතිකයන් අධිකරණ කටයුතු සඳහා යොදාගෙන තිබෙන බවද අම්බලන්ගොඩ පුරාණය ග්‍රන්ථයේ සඳහන් වේ. වසර 300කට අධික ඉතිහාසයක් තිබූ මෙම තානායම කඩා ඉවත් කිරීමේ කොන්ත්‍රාත්තුව යටතේ නගර සභාවට ලැබී තිබුණේ රුපියල් 75,000ක සොච්චම් මුදලක් පමණි. නාගරික සංවර්ධන අධිකාරිය යටතේ තිබූ මෙම තානායම, පරිපාලනය පමණක් නාගරික සංවර්ධන අධිකාරිය යටතේ තබාගෙන අම්බලන්ගොඩ නගර සභාවට පවරා දී ඇත්තේ 1987 ඔක්තෝබර් මස 02 වැනි දින අංක 473/23 දරන අති විශේෂ ගැසට් පත්‍රය මඟිනි. එවකට පළාත් පාලන, නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය රණසිංහ ප්‍රේමදාස මහතා මෙය පවරා දී තිබේ. 1982 අප්‍රේල් මස 02 වැනි දින අංක 186/12 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින් තානායම නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරාගෙන තිබේ. 2008 ජුනි 05 වැනි දින ලියවිල්ලක් මඟින් තානායමේ පාලනය රුහුණු සංචාරක කාර්යාංශයට පවරා දෙන තෙක් නගර සභාවට බදු මුදල් ගෙවමින් තානායමේ පරිපාලන කටයුතු නාගරික සංවර්ධන අධිකාරිය විසින් හොඳින් පවත්වාගෙන යනු ලැබ තිබේ.

තානායමේ පරිපාලනය රුහුණු සංචාරක කාර්යාංශය පවරාගත් පසු එය කඩා ඉවත් කර ඇත්තේ තානායමේ අයිතිය ඇති අම්බලන්ගොඩ නගර සභාවට පවා කිසිදු දැනුම්දීමකින් තොරව බවද අම්බලන්ගොඩ නගර සභාව කියයි. තානායම කැඩීම පිළිබඳව එවකට අම්බලන්ගොඩ නගර සභාවේ ලේකම් එන්.ඒ. විමලසිරි මහතා විසින් 2008 ජූලි 12 වැනි දින සී.අයි.බී. 388/11 යටතේ අම්බලන්ගොඩ පොලිසියටද පැමිණිල්ලක් කර තිබේ. පසුව එවකට දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා මහතාගේ මැදිහත්වීම මත තානායම් ගොඩනැඟිල්ල කඩා ඉවත් කර නව ගොඩනැඟිල්ලක් ඉදි කරන්නට රුහුණු සංචාරක කාර්යාංශයට අනුමැතිය ලැබිණ.

නමුත් තානායම් ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීම සදහා මිල ගණන් කැඳවන ලද රුහුණු සංචාරක කාර්යාංශයේ සභාපති කේ. එම්. හේමසිරි මහතාගේ අත්සනින් යුත් 2008.06.12 දිනැති ලිපියේ පිටපතක් අම්බලන්ගොඩ නගර සභාවට ලබා දී තිබෙන අතර එවකට නගරාධිපති අරුණ ප්‍රදීප් මහතා සටහන් යොදා එය දැන්වීම් පුවරුවටද යොමුකර ඇත. ඒ අනුව ගොඩනැඟිල්ල කඩා ඉවත් කිරීම නොදන්නවා යැයි පවසා ඇඟ බේරා ගැනීමට අම්බලන්ගොඩ නගර සභාවට නොහැකි බවද නගර සභාවේ විපක්ෂය පවසයි. වර්තමානයේ අම්බලන්ගොඩ නගර සභාවේ නගරාධිපතිවරයා වන්නේද අරුණ ප්‍රදීප් මහතාය. කෙසේ වෙතත් තානායම් ගොඩනැඟිලි කඩා ඉවත් කරන බවට අම්බලන්ගොඩ නගර සභාව, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා රුහුණු සංචාරක කාර්යාංශය අතර හුවමාරු වූ ලිපිවලින් පෙනී යන්නේ ගොඩනැඟිලි කඩා ඉවත් කිරීමට බලයක් රුහුණු සංචාරක කාර්යාංශයට නොතිබුණු බවයි.

රුහුණු සංචාරක කාර්යාංශයේ සභාපති කේ.එම්. හේමසිරි මහතා ප්‍රකාශ කර ඇත්තේ නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති රාමලිංගම් මහතා තානායමේ භුක්තිය රුහුණු සංචාරක කාර්යාංශයට පැවරූ නිසා නව ගොඩනැඟිලි සංකීර්ණයක් ඉදිකිරීම සඳහා පැරණි ගොඩනැඟිලි කඩා ඉවත් කළ බවයි. දකුණු පළාත් සභාවේ ඉන්ජිනේරුවන් විසින් ගොඩනැඟිලි කඩා ඉවත් කිරීම සහ අබලි ද්‍රව්‍ය ඉවත් කිරීම රුපියල් 75,000කට තක්සේරු කරනු ලැබ තිබූ බවද ඒ මහතා කියයි. නමුත් අම්බලන්ගොඩ නාගරික ජනතාව ප්‍රකාශ කරන්නේ මීට වඩා දැවැන්ත වටිනාකමක් මෙම ගොඩනැඟිලි ද්‍රව්‍යවල තිබූ බවයි. රුහුණු සංචාරක කාර්යාංශය විසින් සකස් කරන ලද වියදම් ඇස්තමේන්තුවද පිළිගත නොහැකි බව ඔවුන් පවසයි.

නමුත් තානායම කඩා ඉවත් කර මේ වන විට වසර 12කට අධික කාලයක් ගතවී ඇතත් මේ වනතෙක් නව තානායමක් ඉදිකර නැත. මේ වන විට දක්නට ඇත්තේ තානායම තිබූ ස්ථානයේ නටබුන් පමණි. තානායමේ මෙන්ම කාමර සංකීර්ණයේත් මුළුතැන්ගෙයිත් අත්තිවාරම සහ නටබුන් කොටස් ඉතිරිව තිබෙන අයුරුද දැකිය හැකිය. යාබදව වම් පසින් 1978දී නගරාධිපති ඩබ්ලිව්.ඕ. ආනන්ද මහතා විසින් ඉදිකරන ලද උත්සව ශාලා ගොඩනැඟිල්ලක්ද ගරා වැටෙමින් තිබේ.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව බාරයේ තිබෙන තවත් ගොඩනැඟිල්ලක්ද තානායම් ගොඩනැඟිල්ල තිබූ ස්ථානයට වම් පසින් ඇත. එයද නිසි නඩත්තුවක් නොකරන බව පෙනී යයි. එය ලන්දේසි යුගයේ ඉස්තාලයක් ලෙස භාවිත කළ බවක්ද එහි සඳහන් සමරු ඵලකයේ සඳහන් වේ. එම ගොඩනැඟිල්ල වෙනුවෙන් ඉදිකළ වතුර ටැංකියද විනාශ වෙමින් තිබෙන අතර ඒ සඳහා වූ ළිඳද වසා දමා ඇත.

තානායම සඳහා ගොඩනැඟිලි සංකීර්ණයක් ඉදිකිරීමට මේ වන විට අම්බලන්ගොඩ නගර සභාව ආයෝජකයකු තෝරාගෙන කොන්ත්‍රාත්තුවද ලබාදී තිබෙන බව දැනගන්නට ඇත. 2010දී මෙම කොන්ත්‍රාත්තුව ලබාදී ඇත්තේ ඇස්කොට් නමින් වූ කොළඹ ප්‍රදේශයේ පිහිටි සමාගමකට බවද අම්බලන්ගොඩ නගර සභාව කියයි. නමුත් ඔවුන් නගර සභාවට මාසිකව බදු මුදල් ගෙවමින් සිටින බවත් මෙතෙක් තානායම ඉදිකර නොමැති බවත් දැනගන්නට තිබේ.

නගර සභාව හා කොන්ත්‍රාත්කරු අතර වූ ගිවිසුම 06 වතාවක් සංශෝධනය වූ බවත් මාස 18කින් කාමර 15ක් ඉදිකළ යුතු බව ගිවිසුමේ මුලින් සඳහන්ව තිබූ බවත් නගර සභාවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ප්‍රකාශ කරයි. තානායම ඉදිකිරීම සඳහා වසර 50ක කාලයක් කොන්ත්‍රාත්කරුට ලබාදී තිබේ. වත්මන් ගිවිසුමට අනුව කොන්ත්‍රාත්තුව අහෝසි වන්නේ මාස 03ක් බදු මුදල් නොගෙවුවහොත් පමණි. ඒ අනුව කොන්ත්‍රාත්කරු මාසිකව බදු මුදල් ගෙවමින් සිටින අතර මෙතෙක් තානායම ඉදිකිරීමට කටයුතු කර නැත. තානායම ඉදිකිරීම සඳහා වූ වසර 50ක කාලයෙන් මේ වන විට වසර 10ක් ගෙවී ගොස් ඇති අතර තවත් ඉතිරිව ඇත්තේ වසර 40ක කාලයක් පමණි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අම්බලන්ගොඩ, උස්වැල්ල පාරේ පදිංචි හිනිදුමගේ කුමුදුසිරි මහතා මෙසේ පැවසීය.

“මම පදිංචි වෙලා ඉන්නේ තානායමට යාබදව. තානායම කඩා ඉවත් කරන විට මම අම්බලන්ගොඩ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙක් ලෙසත් කටයුතු කළා. මේක අම්බලන්ගොඩට තිබුණු සම්පතක්. පාලනය විතරයි රුහුණු සංචාරක කාර්යාංශයට පැවරුවේ. ඒ අයට ගොඩනැඟිලි කඩන්න කිසිදු අයිතියක් නැහැ. කඩා ඉවත් කළ පෞරාණික දේපළවලට සභාවට ලැබුණේ රුපියල් 75,000යි. මිල කළ නොහැකි දේපළක් නගර සභාවට නැති වුණා. අත යට ගනුදෙනු විශාල වශයෙන් සිදු වෙන්න ඇති. දැන් හිස් ඉඩමක් මුර කරනවා.

තානායම හදන්න කියලා 2013දී විතර මුල්ගල් 24ක් තිබ්බා. ප්‍රදේශයේ අයකු හැටියට මමත් මුල්ගලක් තිබ්බා. දැන් මුල්ගලුත් නැහැ. ගොඩනැඟිලිත් නැහැ. ඉතා ශක්තිමත් ගොඩනැඟිල්ලක් තිබුණේ. සුනාමියටවත් කැඩුණේ නැහැ.”

අම්බලන්ගොඩ, හිරේවත්තේ පදිංචි සෙනෙවිරත්න ප්‍රියන්ත මහතා කීවේ මෙවන් කතාවකි.

“තානායම තිබුණු කාලෙ වෙරළේ විශාල පිරිසක් ගැවසෙනවා. තානායමට යාබදව ස්වභාවික මුහුදු පිහිනුම් තටාකයක් පිහිටා තිබුණා. අද එය ගොඩවෙලා. තානායමේ පැරණි බව නිසාම විවාහ උත්සව විශාල වශයෙන් සිදු කෙරුණා. මෙහි දේපළ ලක්ෂ 50කට 60කට විතර විකුණන්න ඇති. සල්ලි නැති නම් ඇයි අලුතෙන් හදන්න කියමින් තිබුණු එක කැඩුවේ? පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවවත් කිසිදු ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. ඉඩම තිබෙනවා අක්කරයක් විතර. දැන් කෙනෙක් මුර කරනවා. ගන්න කිසිම දෙයක් නැහැ. කාමර 15ක් 20ක් හදනවා කියා කියනවා. දැන් වසර 12ක් වෙනවා. මේක කඩන්න මූලික වුණු අයට දිට්ඨධම්මවේදනීය කර්මය පළදේවි.”

අම්බලන්ගොඩ නගරාධිපති නීතිඥ අරුණ ප්‍රදීප් මහතා මෙසේ අදහස් දැක්වීය.

“අම්බලන්ගොඩ තානායමේ අයිතිය තිබෙන්නේ නගර සභාවට. එහි පාලනය විතරයි නාගරික සංවර්ධන අධිකාරියෙන් රුහුණු සංචාරක කාර්යාංශයට පැවරුවේ. 2006දී අපි බලයට ආවම පෙනුණා 2002 සිට තානායමෙන් නගර සභාවට බදු ගෙවල නැහැ කියල. ඊට පස්සේ තානායමේ පාලනය පවරාගෙන රුහුණු සංචාරක කාර්යාංශයට පාලනය විතරක් බාර දුන්නා. රුහුණු සංචාරක කාර්යාංශය තානායම කඩද්දී අපි ඊට විරුද්ධව පොලිසියට පැමිණිලි කළා. පසුව දකුණේ මහ ඇමතිවරයා මැදිහත් වෙලා නැවත ඉදිකිරීමේ පදනම මත තානායම කඩා ඉවත් කරන්න කටයුතු කළා. අපි පසුව ටෙන්ඩර් කරල, තානායම හදන්න කොම්පැණියකට බාර දුන්නා. මාසික බදු මුදල රුපියල් 1,75,000යි. වසර 05කට සැරයක් 25%ක මුදලක් වැඩි වෙනවා. සභාවෙන් වියයුතු සේවය අතහැරිල තිබෙන බව පිළිගන්නවා. නමුත් නගර සභාවට පාඩුවක් වෙලා නැහැ.”

අහුන්ගල්ල [ජයකාන්ත ලියනගේ]

News Order: 
11
මාතෘකා