ප්‍රතිකාරයක්වත් හොයාගෙන නැති මාරාන්තික කොරොනා වෛරසය

 ඡායාරූපය:

ප්‍රතිකාරයක්වත් හොයාගෙන නැති මාරාන්තික කොරොනා වෛරසය

චීනයෙන් මතු වූ මාරාන්තික කොරොනා වෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයන් සංඛ්‍යාව මෙය ලියන මොහත වන විට 80 දක්වා ඉහළ ගොස් ඇතැයි චීන බලධාරීහු පවසති. ඊට අමතරව වෛරසය ආසාදනය වූ බවට තහවුරු වූ පුද්ගලයන් ගණන 2,744කි.

මේ වන විට චීනයේ ප්‍රාන්ත 27ක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර මධ්‍යම චීනයේ නගර 10කට ඇතුළු වීම සහ පිටවීම තහනම් කර ඇත. මේ අතර කොරොනා වෛරසය ශීඝ්‍රයෙන් පැතිරයෑම හේතුවෙන් චීනයේ දැඩි අවදානම් තත්ත්වයක් උද්ගතව ඇතැයි එරට ජනාධිපති ෂි ජින් පිං අවධාරණය කර තිබේ.

මෙම වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා චීනය සහ හොංකොං මේ වන විට ජනතාව වැඩි වශයෙන් එක්රැස් වන උත්සව සහ රැස්වීම් සියල්ල අවලංගු කිරීමට පියවර ගෙන ඇත. කෙසේ වෙතත් මෙම වෛරසය "ජාත්‍යන්තර හදිසි තත්ත්වයක්" ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැත. ඊට එක් හේතුවක් වී ඇත්තේ විදෙස් රටවලින් ආසාදිතයන් විශාල සංඛ්‍යාවක් වාර්තා නොවීමය. කෙසේ වෙතත් මේ වන විට විදෙස් රටවල් 14කින් ආසාදිතයන් වාර්තා වී ඇත. තවදුරටත් එවැනි රෝගීන් වාර්තා වෙමින් පවතී.

වෛරසය පැතිරයෑම පාලනයට

ෙදැනට මිනිසාගෙන් මිනිසාට ශ්වසන පද්ධතිය හරහා පැතිරීම සිදුවන බවට තහවුරු කරගෙන තිබේ. ඒ සෙම බිඳිති වශයෙන් සුළඟ හරහා ආසාදනය වූ අයෙක් කිවිසුමක් ඇරියොත් මේ සෙම බිඳිති විශාල ප්‍රමාණයක් අවට පරිසරයට මුදාහැරෙන අතර ඒ මඟින් වෛරසය ආසාදනය වේ.

‍රෝගය පැතිරීම පාලනය කරන්න අපිට කළ හැකිදේ

1. කහින විට, කිවිසුම් අරින විට මුඛය සහ නාසය ලේන්සුවක් / වැලමිට ආධාරයෙන් ආවරණය කර ගැනීම.

2. පුරුද්දක් වශයෙන් අත් සබන් / මද්‍යසාර ආශ්‍රිත දෙයක් යොදා සේදීම. ආසාදිත අයෙක් ස්පර්ශ වුවහොත් වෙන කිසිදු ස්ථානයක් ඇල්ලීමට ප්‍රථමයෙන් අනිවාර්යයෙන්ම අත් සේදීමට පෙර මුහුණ නොඇල්ලිය යුතුයි.

3. සෙනඟ අතර ගැවසෙන එක අඩු කිරීම සහ විශේෂයෙන් ගුවන්තොටුපොළවල් වැනි වැඩි අවදානමක් සහිත ස්ථානවලින් ඈත්ව සිටීම.

4. ආසාදිතයන් හැකි සෑම අවස්ථාවකම මඟ හැරීම.

5. සත්ත්ව ආහාර හොඳින් පිස ආහාරයට ගැනීම හා අමු ආහාර ගැනීමෙන් වැළකීම.

6. සත්ත්ව ගොවිපොළවල් ආශ්‍රිත ප්‍රදේශ මඟහැරීම.

7. ආසාදිතයෙක් නම් මුහුණු ආවරණ භාවිත කිරීම.

8. රෝග ලක්ෂණ දින තුනකට වැඩි නම්, විශේෂයෙන් ශ්වසන අපහසුතා ඇත්නම් ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබාගත යුතුය

ශ්‍රී ලංකාවේ තත්ත්වය

කොරොනා වෛරසය ආසාදනය වූ බවට සැක කෙරෙන චීන හා ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනකු ඇතුළු හතර දෙනකු සෙනසුරාදා (25) අංගොඩ පිහිටි (IDH) ජාතික බෝ වන රෝග විද්‍යායතනයට ඇතුළත් කර තිබේ. අදාළ පිරිසට ඇත්තේ කොරොනා වෛසරයද යන්න සනාථ කර ගැනීම සඳහා රුධිර සාම්පල බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතන වෙත යොමු කරනු ලැබීය. පසුව බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමු කෙරුණු එම පුද්ගලයන් සිව්දෙනාගේ සැක සහිත රුධිර සාම්පල පරීක්ෂාවේදී ඔවුන්ට කොරොනා වෛරසය වැලඳී නොමැති බව තහවුරු කර තිබේ

නමුත් කොරොනා වෛරසය ශීඝ්‍රයෙන් පැතිරීම පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇඟවූ රටවල් අතර ශ්‍රී ලංකාවද සිටින බව රිපබ්ලිකන් නෙක්ස්ට් වෙබ් අඩවිය වාර්තා කළේය. ඇත්තටම අවදානමක් තිබෙන බවට ප්‍රධානම හේතුව ලංකාවේ සැලකිය යුතු සංඛ්‍යාවකින් චීන ජනයා ජීවත්වීමය. ඔවුන් නිතර යන එන නිසා පහසුවෙන් මේ රෝගය ආසාදනය වූ අයෙක් අපේ රටට ඇතුළු විය හැකිය. මේ වන විට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ උණ රෝගීන් හඳුනා ගැනීමේ ස්කෑන් යන්ත්‍ර සවිකර ඇත.

එහෙත් බරපතළම කාරණය නම් මෙම රෝගය ආසාදනය වී දින 14ක් වැනි කාලයක් රෝග ලක්ෂණ ඇති වීමට ගත වන නිසා මුල් අවදියේදී රෝග වාහකයන් අප රටට ඇතුළුවීමට වැඩි ඉඩක් තිබේ. ඒ අාකාරයට රටට මෙම වෛරසය ආසාදනය වූ රෝගීන් ඇතුළු වී සිටීමේ හැකියාව ඉහළ මට්ටමක පවතී.

ප්‍රතිකාර

මෙම රෝගය සඳහා මෙතෙක් කිසිම ඖෂධයක් නිපදවා නොමැත. කෙසේ වෙතත් MERS රෝගය සඳහා ලබා දුන් වැක්සිනයම මේ සඳහාද ගැළපෙන්නේදැයි දැනට පරීක්ෂණ පවත්වමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ගර්භණී මවුවරුන් හා කොරොනා වෛරසය

අවාසනාවකට ගර්භණී මවුවරුන්ට මෙම වෛරසය වඩාත් ප්‍රභලව බලපාන බවක් මින් පෙර ව්‍යාප්ත වූ MERS හා SARS වෛරස්වල අත්දැකීම් ඇසුරෙන් ප්‍රකාශ වී තිබේ. සාමාන්‍ය උණ තත්ත්වයක සිට හදිසි ගබ්සා වීම් හෝ මාතෘ මරණ දක්වාම මේ රෝගය විනාශකාරී විය හැකි බව වෛද්‍යවරුන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ නිසා ගර්භණී මවුවරුන් මේ ගැන ඉතා විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුය. තමන්ගේ වගේම දරුවාගේත් ආරක්ෂාව රඳා පවතින්නේ තමා මත බව තරයේ සිහිතබා ගනිමින් ඉහත සඳහන් කළ ආරක්ෂණ ක්‍රමවේද ක්‍රියාවට නැංවිය යුතුය.

මුඛවාඩම් පැලඳීමෙන් වෛරසයේ ව්‍යාප්තිය පාලනය කළ හැකිද?

ඕනෑම වෛරස් වසංගත තත්ත්වයකදී බොහෝ විට දක්නට ලැබෙන්නේ, ශල්‍ය වෙස් මුහුණු පැළඳ සිටින පුද්ගලයන්ය. වෛරස් ආසාදනය වීම වැළැක්වීම සඳහා ලොව පුරා බොහෝ රටවල් ඒවා භාවිත කරයි. විශේෂයෙන්ම චීනය පරිසර දූෂණයෙන් බේරී සිටීමට මෙන්ම නව කොරොනා වෛරසයෙන් බේරීමටද මුඛවාඩම් පැලඳ සිටිනු දැකිය හැකි විය.

කෙසේ වෙතත් වෛරස් පිළිබඳ විද්‍යාඥයන් වාතය මඟින් පැතිරෙන වෛරස්වලට එරෙහිව මුඛවාඩම්වල කාර්යක්ෂමතාව පිළිබඳව සැක පළ කරති. එහෙත් මුඛවාඩම් මඟින්, අත මඟින් මුඛය වෙත වෛරස් සම්ප්‍රේෂණය වීම වළක්වා ගත හැකි බවට සාක්ෂි කිහිපයක් තිබේ.

ශල්‍ය මුව ආවරණ පළමු වරට රෝහල් සඳහා හඳුන්වා දෙන ලද්දේ 18 වැනි ශත වර්ෂයේ අග භාගයේදීය. එහෙත් 1919 වසරේදී ඇති වූ ස්පාඤ්ඤ උණ වසංගතයෙන් මිලියන 50කට අධික පිරිසක් මියයන තුරු ඒවා මහජන භාවිතයට පැමිණියේ නැත.

ලන්ඩන් විශ්වවිද්‍යාලයේ ආචාර්ය ඩේවිඩ් කැරිංටන් පවසන්නේ සාමාන්‍ය ශල්‍ය මුඛවාඩම් පැලඳීම වාතයේ සැරිසරන වෛරස් හෝ බැක්ටීරියාවලින් ආරක්ෂා වීමට ඵලදායී ක්‍රියාමාර්ගයක් නොවන බවත් එම මුඛවාඩම් ලිහිල් වීමත් (එමඟින් ලිහිල් තැන්වලින් වෛරස්වලට ගමන් කළ හැක.) වායු පෙරණයක් (air filter) නොතිබීමත් ඇස් නිරාවරණය වී තිබීමත් නිසා ‘බොහෝ වෛරස්’ ශරීරගත වීම සිදුවන බව ඔහු පවසයි.

කෙසේ වෙතත් කිවිසුම් යෑමෙන් හෝ කැස්සකින් වෛරසයක් වැලඳීමේ අවදානම අඩු කර ගැනීමටත් වෛරස් අතින් මුඛයට සම්ප්‍රේෂණය වීම යම් ප්‍රමාණයකින් අඩු කර ගැනීමටත් එමඟින් හැකියාව පවතී. නිව් සවුත් වේල්ස්හි 2016දී සිදු කළ අධ්‍යයනයකින් අනාවරණය වූයේ සාමාන්‍යයෙන් මිනිසකු පැයකට 23 වරක් සිය මුහුණ ස්පර්ශ කරන බවය.

එම නිසා යහපත් පෞද්ගලික සනීපාරක්ෂාවක් සහ දෑත්වල සනීපාරක්ෂාව කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීම වඩා යෝග්‍යය.

වූහාන් නගරයේ තත්ත්වය

වෛරසය හේතුවෙන් ගමනාගමනයට සීමා පැනවීමත් සමඟ වූහාන් නගරයේ දෛනික කටයුතු සියල්ල අඩාළ වී ඇතැයි පාලි භාෂා කථිකාචාර්යවරයකු වන වූහාන් නගරයේ ප්‍රධාන විශ්වවිද්‍යාලයක ආචාර්ය උපාධිය හදාරන උපුල් ගමගේ ප්‍රකාශ කර ඇත.

වූහාන් නගරයේ දුම්රිය, බස් සහ කුලී රථ සේවා පවා නවත්වා තිබීම නිසා නගරයට ඇතුළු වීම සහ පිටවීමට නොහැකි වෙලා තිබෙන බව ඔහු පවසා ඇත. තමන් දන්නා පරිදි වූහාන් නගරයේ සිටින ශ්‍රී ලාංකික සිසුන් අතරින් වෛරසය ආසාදනය වූවන් තවමත් වාර්තා වී නොමැති බව පවසන උපුල් ගමගේ ඔවුන් එකිනෙකා විවිධ සන්නිවේදන මාර්ග ඔස්සේ සම්බන්ධ වන බව පැවසීය.

"අපි ඉන්නේ ඉතා අවදානම් තත්ත්වයක. ශ්‍රී ලාංකික සිසුන් සියලුදෙනා එකතු වෙලා බීජිංවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන්, ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් සහ උසස් අධ්‍යාපන කටයුතු අමාත්‍යාංශයෙන් ඉල්ලීම් කර තිබෙනවා වූහාන්වල සිටින සියලු සිසුන් නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්න කටයුතු කරන්න කියලා."

කෙසේ නමුත් වූහාන් නගරය සම්බන්ධයෙන් මේ වන විට පවතින නීති රෙගුලාසි අනුව එයින් පිට වීමට තවමත් ඉඩ නොමැති බව තානාපති කාර්යාලය සිසුන්ට දැනුම් දී ඇතැයි උපුල් ගමගේ පැවසීය.

"ශ්‍රී ලාංකික සිසුන් අනතුරේ වැටෙන්න පෙර ශ්‍රී ලංකා රජය ඉක්මන් පියවරක් ගත යුතුයි. තවමත් මේ සියල්ල පවතින්නේ සාකච්ඡා මට්ටමේ." ඔහු තවදුරටත් පැවසීය.

ශ්‍රී ලංකාවෙන් ආරක්ෂිත පියවර

චීනයෙන් මතු වුණු කොරොනා වෛරසය ශ්‍රී ලංකාව තුළ පැතිර යෑම වැළැක්වීමට යම් ආරක්ෂිත පියවර කීපයක් අනුගමනය කිරීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවා සමාගම ක්‍රියා කර ඇත. ඒ අනුව මෙම වෛරසය ආසාදනය වීම වැළකීම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් කාර්ය මණ්ඩලය සහ අනෙකුත් කාර්ය මණ්ඩලද ගුවන් යානා සහ ගුවන් තොටුපොළ, විශේෂයෙන් ආසියානු පැසිෆික් කලාපය තුළදී ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මේ වන විටත් දැනුවත් කළ බව

ශ්‍රී ලන්කන් ගුවන් සේවය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

කොරොනා වෛරසයෙන් ගුවන් මගීන්ට සහ ගුවන් කාර්ය මණ්ඩලයට ඇතිවිය හැකි ආසාදන අවදානම අවම කිරීම සඳහා මෙම පූර්ව ආරක්ෂණ ක්‍රියාමාර්ග මේ වන විටත් ක්‍රියාවට නංවා ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් කියවේ.

ශ්‍රී ලාංකිකයන්ට අනතුරක් නැහැ

වැඩිදුර අධ්‍යාපනය සහ රැකියා සඳහා චීනයේ වූහාන් වෙත පිටත්ව ගොස් ඇති කිසිදු ශ්‍රී ලාංකිකයකුට කොරොනා වෛරසය අාසාදනය වී නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සහ චිනයේ බිජිංහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පැවසීය.

වූහාන් ප්‍රදේශයේ 85ත් 100ත් අතර ශ්‍රී ලාංකිකයන් පිරිසක් දිවි ගෙවන අතර ඉන් බොහෝ පිරිසක් චීන අවුරුදු නිවාඩුව හේතුවෙන් දිවයිනට පැමිණීම නිසා දැනට එම ප්‍රදේශයේ සිටින්නේ 25ත් 30ත් අතර පිරිසක් පමණක් යැයි එහි ප්‍රකාශිකාවක් පැවසුවාය.

නිරන්තරයෙන් චීන විදේශ කටයුතු අමාත්‍යාංශය සහ එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ සම්බන්ධතා පවත්වා ගනිමින් හදිසි අවස්ථාවක් උද්ගත වුවහොත් එකී ශ්‍රී ලාංකිකයන් මෙරටට හැකි ඉක්මනින් ගෙන්වා ගැනීම සඳහා දැනටමත් කටයුතු සියල්ල සූදානම් කර අවසන් ඇති බව ඇය ප්‍රකාශ කර ඇත.

මේ අතර ශ්‍රී ලාංකික සිසුන් සියලු දෙනා ගෙන්වා ගැනීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලධාරීන්ට උපදෙස් දී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ විදේශ ලේකම්වරයාට සහ ශ්‍රීලන්කන් ගුවන් සමාගමට ජනාධිපතිවරයා අදාළ උපදෙස් දී ඇති බවයි. එමෙන්ම එම සිසුන් වෙනුවෙන් සියලු ගුවන් ටිකට් පත් වියදම් ආණ්ඩුව දරන බවද ජනාධිපතිවරයා පවසා තිබේ.

[ෆර්හාන් නිසාම්දින්]

News Order: 
1
මාතෘකා