‘කොරොනා’ ආවොත්!

 ඡායාරූපය:

‘කොරොනා’ ආවොත්!

ලෝකයට කලින් කලට වසංගත රෝග පහළවනවා වගේම ඒවා වේගයෙන් පැතිරිලා යනවා. මිනිස්සු ලෙඩ වෙලා දුක් විඳලා මැරිලා යනවා. එකා දෙන්න නෙවෙයි බුරුතු පිටින් මැරෙන අවස්ථාද තියෙනවා. මෑත ඉතිහාසයේ ඒ විදිහට පැතිරුණු එක් වෛරසයක් වන්නේ Ebola වෛරසයයි. ඒ අප්‍රිකාවේ රටවල් කිහිපයකයි. එයින් ටිකක් ඈතට ගියාම ඒ විදිහේ වසංගත ඕනෑ තරම් තිබුණා. නමුත් මිනිස් වර්ගයා විසින් ඒකට විසඳුම් සොයා ගත්තා; ප්‍රතිකාර සොයා ගත්තා වගේම ප්‍රතිශක්තිකරණයත් ඇතිකර ගත්තා.

දැන් ලෝකයට අලුත් අභියෝගයක් පහළ වී තිබෙනවා. ඒ චීනයෙන්. චීනයේ Wuhan ප්‍රදේශය ආශ්‍රිතව පැතිරිලා යන අලුත් වෛරසයක් වසංගතයක් ලෙස පැතිරීමට පටන් ගෙන තිබෙනවා. මේ ලිපිය ලියන මොහොත වන විට (ජනවාරි 26) චීනයේ මිනිසුන් 56 දෙනකු මිය ගිහින්; ඒ රෝගය සෑදුණු මිනිසුන් 1,985ක් අතරින් සුවය ලබා තියෙන්නේ තවමත් 49 දෙනකු පමණයි.

මෙම වෛරසය හඳුන්වන්නේ 2019-Novel Corona Virus හෙවත් 2019n-CoV ලෙසයි. එය ශ්වසන පද්ධතිය, උගුර ආශ්‍රිතව ආසාදන තත්ත්වයක් ඇති කරන වෛරසයක්. මෙම වෛරසය ශරීරගත වන්නේ හුස්මෙන්ද සුළඟින්ද නැත්නම් කෙළ බිඳිතිවලින් දැයි තවමත් හරි හැටි සොයා නොගත්තත් එය මිනිසකුගෙන් මිනිසකුට බෝවන බව තහවුරු කරගෙන තිබෙනවා. මෙම වෛරසය ශරීරගත වූ රෝගියකු ළඟින් සිටියේ නම් සති දෙකක් ඇතුළත අනෙක් පුද්ගලයාට රෝගය වැලඳීමට හැකියාවක් තිබෙනවා.

මේ වෛරසය නිසා ඇතිවන ශ්වසන රෝගය සාමාන්‍ය කැස්ස හෙම්බිරිස්සාවේ සිට දැඩි ලෙස අසාධ්‍ය රෝගී තත්ත්වයට පත්වන නිව්මෝනියාව දක්වා ඇතිවිය හැකියි. ඒ ඒ රෝගියාගේ බරපතළකම අනුව රෝග ලක්ෂණ කැස්ස, හෙම්බිරිස්සාව, උණ, හුස්ම ගැනීමට අපහසුව හා හුස්ම හිරවීම ආදිය දක්වා ක්‍රමයෙන් වැඩිවිය හැකියි. නිව්මෝනියාව සෑදී අසාධ්‍ය තත්ත්වයට පත්වී දැඩි ලෙස ශ්වසන ආබාධයට ලක් වන්නන් මිය යා හැකියි.

අලුත් රෝගියකු වෛද්‍ය පරීක්ෂණවලට යොමු කිරීමට ප්‍රථම මෙම වෛරසය ආසාදනය වී ඇත්දැයි සැක කිරීමට නියමිත ක්‍රමවේදයක් තිබෙනවා. එම ක්‍රමවේදය මෙලෙස දැක්විය හැකියි.

1. නිව්මෝනියා රෝග ලක්ෂණ සහිතව හුස්ම ගැනීමේ දැඩි අපහසුව සමඟ අසාධ්‍ය තත්ත්වයට පත්ව සිටින රෝගීන්.

එවැනි රෝගීන් රෝගය පටන්ගත් දිනට පෙර සති දෙකක් ඇතුළත චීන රටට ගොස් තිබේ නම් ඔහුට හෝ ඇයට රෝගය තිබේ යැයි සැක කළ යුතුයි.

2. නිව්මෝනියාව නොවන එහෙත් ඕනෑම කැස්සක්, උණක්, හෙම්බිරිස්සාවක් තිබෙන අයකු එම රෝගය වැලඳීමට පෙර සති දෙකක් ඇතුළත චීනයේ Wuhan හෝ Hubei පළාත්වලට ගොස් තිබේ නම් හෝ චීන රට තුළ ඕනෑම රෝහලකට ගොඩ වී ඇති නම් හෝ මෙම කොරොනා වෛරසය ආසාධිත යැයි සැලකූ යම් පුද්ගලයකු සමඟ ළඟ ඇසුරක් පැවැත්වූයේ නම් හෝ ඔහු හෝ ඇය රෝග පරීක්ෂාව සඳහා යොමුකළ යුතුයි.

මෙහිදී ළඟ ඇසුරක් යැයි සලකන්නේ මෙම වෛරසය ආසාදනය වූ රෝගියකු බලාගත් සෞඛ්‍ය සේවකයකු හෝ පවුලේ පුද්ගලයකු වන අතර එවන් ළඟ සම්බන්ධයක් පැවති අවස්ථාවකදී පමණයි. මීට අමතරව රෝගීන් සිටින ස්ථානයකට ආ ගිය, රෝගියා සමඟ එකට සිටි ඕනෑම අයකුද මෙලෙස ළඟ ඇසුරක් තිබූ අයකු ලෙස සැලකිය හැකියි.

එමෙන්ම වෙනත් රටක සිට ගුවන් මඟින් මවුරටට පැමිණීමේදී චීනය හරහා පැමිණි (Transit වූ) මගීන් චීනයට ඇතුළු වූ පුද්ගලයන් ලෙස සැලකිය යුතු නැහැ.

මෙම රෝගය හඳුනා ගැනීමට රෝගියාගේ සෙම්, සොටු සාම්පල හා රුධිර සාම්පල යොදා ගනිමින් වෛරසය වෙන්කර ගත යුතු වෙනවා. එය රෝහල මඟින් සිදුකරවා ගත හැකියි. මෙම රෝගය වෛරසයක් මඟින් සෑදෙන නිසා සෘජුවම ප්‍රතිකාර කළ හැකි ඖෂධයක් නැහැ. ඒ වගේම තවමත් ප්‍රතිශක්තිකරණ එන්නත්ද නිපදවා නැහැ. ඒ නිසා මෙහිදී වැඩිපුර ක්‍රියාත්මක වන්නේ Supportive Management එකක් හෙවත් රෝගය රෝගියාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මඟින් සුවකර ගන්නා තුරු ශරීරයට සහාය වීමයි. වෛරස් රෝගවල තත්ත්වය එලෙසයි.

කෙසේ වෙතත් මෙහිදී වැදගත්ම කාරණය වන්නේ රෝගයෙන් වැළකී සිටීමයි. ඒ සඳහා ජාතික මට්ටමේ වැඩපිළිවෙළක් ඕනෑම රටක සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් නිර්මාණය කරනවා. අපේ රටෙත් එවැනි වැඩපිළිවෙළක් තිබෙනවා. ඒ කොහොම වෙතත් රෝගය රට තුළට පැමිණීම සම්පූර්ණයෙන් නතර කිරීමට හැකියාවක් නැහැ. ඒ නිසා මහජනතාව විදියට අපි ප්‍රවේසම් විය යුතුයි.

අවදානමට පෙර සූදානම

එහෙම ප්‍රවේසම් වන්නේ කොහොමද? ඒ මෙහෙමයි.

මෙම වෛරසය සර්ජිකල් ස්ප්‍රීතු හෙවත් සියයට 70ක් ඇල්කොහොල් මඟින් විනාශ වනවා. එබැවින් ඔබට පුළුවන් යන යන තැන ඔබේ අත් පිරිසුදු කරන කුඩා Hand Rub එකක් එහෙම නැත්නම් කුඩා ස්ප්‍රීතු බෝතලයක් අරගෙන යෑමට. පොදු ස්ථානයක ඇති යම් යම් දේ ඇල්ලීමෙන් පසුව ඔබට ඔබේ අත් පිරිසුදු කර ගැනීමට ඉන් හැකියාව ලැබෙනවා. ෆාමසියකින් ඔබට එවැනි සර්ජිකල් ස්ප්‍රීතු ලබාගන්න පුළුවන්. සමහරු මෙය වැරදියට තේරුම් අරගෙන ඇල්කොහොල් යන්න මත්පැන්වලට ආදේශ කරගෙන තිබෙනවා. නමුත් මත්පැන් පානය කිරීමෙන් මෙම වෛරසය මරා ගන්නට බැහැ. නමුත් ඔබේ ප්‍රතිශක්තිකරණය දුර්වල වීමෙන් ඔබ රෝගයට ගොදුරු වීමට ඉඩක් තිබෙනවා.

අනික් කාරණය තමයි මුහුණු ආවරණ හෙවත් face mask එකක් පැලඳීම. එහිදී භාවිත කළ හැකි මුහුණු ආවරණ වර්ගයක් වන්නේ Surgical Mask හෙවත් 3 Ply Mask ලෙස හඳුන්වන ශල්‍යාගාර තුළ භාවිත කරන සරල mask එක. අනිත් එක N95 mask ලෙස හඳුන්වන තරමක් සංකීර්ණ තදබල mask වර්ගයයි. මේ දෙකෙන් සරල Surgical Mask එක මෙහිදී ප්‍රමාණවත් වනවා. දැනට චීනයේ පවා එය පමණයි භාවිත කරන්නේ. එම mask එක තුළ පෙරනයන් 3ක් මඟින් හුස්ම පෙරීම සිදුවනවා. ඔබට N95 mask එකක් දාන්න හිතුණත් කමක් නෑ. නමුත් එය දමාගෙන වැඩි වෙලා සිටිය නොහැකියි. එය ඉතා තදයි. එම නිසා හුස්ම ගන්නට අපහසුයි. කවුරු හරි කිව්වොත් N95 එකක් දාගෙන හුස්ම ගන්න ලෙසියි කියලා එයා mask එක හරියට දාගෙන නැහැ. නැතිනම් වැරදි ප්‍රමාණයක එකක් දමාගෙන ඇති බව කිව යුතුයි.

ඒ වගේම මේ වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා ඔබ කළ යුත්තේ වැඩිය එළිපහළියේ ඇවිදීමෙන් වැළකී සිටීමයි. රෝගය වැලඳෙන්නේ මිනිසකුගෙන් මිනිසකුට නිසා මෙම තත්ත්වය සමනය වන තුරු හෝ වැඩිපුර මිනිසුන් ගැවසෙන ස්ථාන මඟහැර සිටීම ඔබේ සෞඛ්‍යයට හිතකර වනවා.

කොහොම නමුත් මේ වන විට ලෝකයේ බොහෝ රටවලට මෙම වෛරසය පැතිර ගොස් තිබෙනවා. සිංගප්පූරුවේ පවා රෝගීන් 4 දෙනකු වාර්තා වී තිබෙනවා. ඒ සියලු දෙනාම චීනයේ Wuhan ප්‍රදේශයෙන් පැමිණි අය; නැත්නම් ඒ අය ළඟ සිටි අයයි. මේ රෝගීන් හතර දෙනා ළඟින් සිටි තවත් පුද්ගලයන් 200ක් පමණ මේ වන විට රෝග පරීක්ෂාවට ලක්කර තිබෙනවා. නමුත් ඔවුන්ට රෝගය වැලඳී ඇති බවක් මෙතෙක් වාර්තා වී නැහැ.

ශ්‍රී ලංකාවේද රෝගීන් සිව්දෙනෙකු සැක පිට මුල්ලේරියාවේ පිහිටි IDH රෝහලට ඇතුළත් කර පරීක්ෂණ සිදුකළ අතර ඔවුන්ට එම වෛරසය වැලඳී නැති බව මේ වන විට තහවුරු වී තිබෙනවා.

මේ අතර චීනයේ Wuhanහි අධ්‍යාපන කටයුතුවල නිරත වූ ශ්‍රී ලාංකිකයන් පිරිසක් මේ වන විට වසා දමා ඇති එම නගරය තුළ සිරවී සිටින බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූවා. තමන් සිය රටට ගෙන්වා ගන්නා ලෙස ඔවුන් දැඩි ඉල්ලීමක් කර තිබුණේ Wuhanහි තත්ත්වය නරක අතට හැරෙමින් තිබෙන නිසයි. ආහාර හා ජලය සීමාසහිත වීමත් සිරවී සිටීමට සිදුවීමත් තමන් මුහුණ දෙන ගැටලු ලෙස ඔවුන් විසින් දන්වා තිබුණා. මේ පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය හා සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ව විශේෂඥ කමිටුවක් පත් කර තීරණය කළ යුතුව තිබෙනවා. ඔවුන් මෙරටට රැගෙන ඒමෙන් පසු ඔවුන් ගෙන ඒමට ගිය ගුවන් කාර්ය මණ්ඩලය ඇතුළු පිරිස අවම වශයෙන් සති දෙකක කාලයක්වත් සෙසු පුද්ගලයන්ගෙන් වෙන්කර තබා (Quarantine) රෝග නිරීක්ෂණය කිරීමෙන් පසු මුදා හැරීම වැනි ඉතා සංවේදී ක්‍රියාමාර්ග ගැනීමට පවා සිදුවිය හැකියි. ඒ පිළිබඳ තීරණ ගැනීම වෛද්‍ය බලධාරීන් සතු කටයුත්තක් බැවින් මහජනතාව ලෙස ඔබගේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කර ගැනීමට හැකි පමණින් කටයුතු කිරීම මෙම අවදානම් සහිත අවස්ථාවේ ඔබ සියලු දෙනා සතු වගකීමයි.

වෛද්‍ය [පැතුම් කර්නර්]

News Order: 
1
මාතෘකා