සයිබර් පවුර කවි ලිවීමේ ජනප්‍රිය මාධ්‍යය වෙලා

 ඡායාරූපය:

සයිබර් පවුර කවි ලිවීමේ ජනප්‍රිය මාධ්‍යය වෙලා

අනුරාධා නිල්මිණි

අනුරාධා නිල්මිණි යන නම මුලින්ම අච්චු ගැහෙන්නෙ පත්තර පිටු මතය. ඒ අතරවාරයේ ඇය ‘යුගස්ත්‍රී’ව කාව්‍ය ක්ෂේත්‍රයට පිවිසෙන්නීය. ඒ 2011 වසරේදීය. එසේ පැමිණි ඈ ‘ලාලි කෙළිය’ ඔස්සේ 2012දී නව කතාවක් අපට කියයි. ඉන් දෙවසරකට පසු යළිත් ‘සවරංපාලිය’ නම් නව කතා පෙළහර පා 2015දී ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මාන අවසන් නිර්දේශිතව ‘වත් සියපත්’ සිපගනියි. එතනිනුත් නොනවතින ඈ 2016 වසරේ ‘මදහසක මැදියම’ පාමින් 2017දී ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මානයට මෙන්ම රජත පුස්තක සම්මානද අවසන් නිර්දේශිත වන්නීය. එපමණක්යැ සමනල ඉස්කෝලේ, ඉර මාමා ඇවිල්ලා, ඕලුගේ යාළුවෝ සහ අලුත් අවුරුද්ද ගැන පොඩිත්තන්ට කතන්දර කියා දෙමින් 2020ට පා තබන්නේ ‘රිදුම් පිරි පිරිමැදුම්’ ගැන අපට කියමින්ය. මේ සංවාදය, ඒ රිදුම් පිරි පිරිමැදුම් ඔබට සිහිගන්වනු පිණිසයි.

 මේ වෙද්දී ‘කවිය’ ෆේස්බුක් වැනි නව මාධ්‍ය හරහා මාද නියෝජනය කරන අලුත් පරම්පරාව අතර වඩාත් ප්‍රචලිත වෙලා තිබීමේ රැල්ල ඔබ දකින්නෙ මොන විදිහටද?

ඔබ කී පරිද්දෙන්ම ඉස්සර කැටපත් පවුර වගේ දැන් සයිබර් පවුර තමයි කවි ලිවීමේ ජනප්‍රිය මාධ්‍ය බවට පත් වෙලා තියෙන්නෙ. එය මුළුමනින්ම නරකයි කියන තැනවත් සියයට සියයක් හොඳයි කියන තැනවත් මම නෑ. මුළුමනින්ම නරකයි කියන තැන මම නොහිටින්නෙ; පත්තරවලින්, කවි පොත්වලින් මතු නොවුණු ප්‍රතිභාපූර්ණ යම් පිරිසක් ඒ ඔස්සේත් මතුවෙලා ඉන්නවා මං දැකලා තියෙන නිසා. ඒ අතර කුමන හෝ වචන ටිකක් යම් රිද්මෙකට ගළපලා ඒවා ප්‍රචාරය කරලා ලයික්, කමෙන්ට්ස් ඔස්සේම පමණක්; ක්ෂණිකව එක රැයකින් අභිෂේක ලබන අයවලුත් ඉන්න නිසා ඒක සියයට සියයක් හොඳයි කියන තැන මම නෑ. ඕකට තවත් හොඳම උදාහරණයක් තමයි; මෑතක ඉඳන් රට පුරා ව්‍යාප්ත වන සිතුවම් රැල්ල. තාප්පෙන් තාප්පෙට තියෙන ඒ සිතුවම් තුළත් තියෙනවා අපිට විඳින්න පුළුවන් ඒවත් දැක්කම අප්‍රසන්න මට්ටමේ ඒවත්.

 රිදුම් පිරි පිරිමැදුම් අතරමැද ලංකාවේ ජනප්‍රිය වාමාංශිකය දෙස ඔබ යම් උපහාසාත්මක බැල්මක් හෙළනවා. ඇයි ඒ?

ඒකට හේතුව මමම නැවත නැවතත් පැහැදිලි කරනවාට වඩා, ලංකාවේ දේශපාලනය ගැන සවිඥානික ඕනෑම කෙනකුට පහසුවෙන්ම තේරුම්ගන්න පුළුවන්. අනිත් අතට මම ඒ දෙස උපහාසාත්මක බැල්මක් හෙළනවා කියනවාටත් වඩා ඉතිහාසයේ සිට මේ දක්වා ඔවුන්ගේ ගමන්මඟ දෙස තුලනාත්මක හැරී බැලීමක් කළ යුතුය යන යෝජනාව ඉදිරිපත් කිරීමක් ලෙසත් අවශ්‍ය නම් එය වඩාත් නිවැරදිව හැඳින්විය හැකියි.

 ප්‍රචාරකවාදී නිර්මාණ භාවිතාව පිළිබඳව ඔබ දරන්නේ කෙබඳු මතයක්ද?

මම හිතන්නේ ඒක තනිකරම ඒ ඒ නිර්මාණකරුවන්ගේ පුද්ගල මනෝභාවයන් සමඟ බැඳී පවතින්නක්. නමුත් ඒක තරමක අසාධාරණ කතාවක් විදියට කෙනකුට දැනෙන්නත් පුළුවන්. මොකද මේ වන විට ලංකාවේ වගේම ලෝකයේ වෙනත් බොහෝ රටවල පවා සාහිත්‍ය කෘති සමාජගත කරවීම සඳහා විවිධ ප්‍රචාරණ ක්‍රමවේද භාවිතයට ගැනෙනවා. ඒ සඳහා ඒ ඒ ප්‍රකාශන සමාගම් විසින්ම වෙනම පුද්ගලයන් හෝ කණ්ඩායම් පත්කොට තිබෙනවා. නමුත් ලංකාව වැනි සදාකල් දියුණු වෙමින් පවතින්නේය යන ලේබලය යටතේ ජීවත් වෙමින් නිර්මාණ කාර්යයේ යෙදෙන අයටයි ගැටළුව මතු වෙන්නේ. එවිට ඔවුන්ට නිරායාසයෙන්ම සිදුවෙන දේ තමයි; නිර්මාණකරුවාගේ භුමිකාවට අමතරව තම කෘතිය හෝ නිර්මාණය සමාජගත කරවීමේ ප්‍රචාරක ක්‍රියාවලියටත් ප්‍රවේශ වීමට සිදුවීම. මෙතැන තමයි මම අර මුලින්ම කියපු ඒ ඒ නිර්මාණකරුවන් හෝ පුද්ගල මනෝභාවයන් සෙසු සමාජයට නිරීක්ෂණය වන හොඳම අවස්ථාව. එහෙම නොකරන කෙනකුගෙ යම් නිර්මාණයක් වැඩිපුර සමාජාවධානය දිනාගන්නනට නම්; එක්කෝ එම කෘතියට සම්මානයක් ලැබිය යුතුයි; එහෙම නැත්නම් අවම වශයෙන් යම් සම්මාන උලෙළක කෙටි ලැයිස්තුවකට හෝ ඇතුළත් විය යුතුයි.

 ලාංකික සමාජයේ මේ මොහොතේ පවතින ආගමික සංස්ථාපිතය පිළිබඳ ඔබේ මතය?

ඒකට ඇත්තටම කෙටි හෝ සරල පිළිතුරක් දෙන්න අමාරුයි. මොකද ඒ ප්‍රශ්නයට පිළිතුර අප සොයා ගත යුත්තේ පොදුවේ රටක් විදියට කියන එකයි මගේ නම් හැඟීම. ලෝක ඉතිහාසයේ සෑම යුද්ධයකම ආරම්භය තමයි ආගම. ශුද්ධ වූ ලියැවිල්ලක විචාරයෙන් තොර ඇදහිල්ලක් නාමයෙන් තමයි ඉතිහාසය පුරාමත් වර්තමානයේත් බොහෝ ගැටුම් නිර්මාණය වෙමින් පවතින්නෙ. දැන් ඔබේ ප්‍රශ්නයට ආවොත්; මං හිතන්නේ පිළිතුර පැහැදිලියි. ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රමුඛ කොට සලකනු ලබන ආගම තමයි ලංකාවේ "මේ මොහොත" තීරණය කරනු ලබන තීරණාත්මක සාධකය වෙන්නේ. කිසියම් රටක සියල්ලට ඉහළින් පවතින නීතිය; ආගම වන විට ඒ රට ගමන් කරන දිශානතිය පිළිබඳව දළ අවබෝධයක් එහි සිටින සිහි නුවණ ඇති පුරවැසියන්ට තිබෙන බව මම විශ්වාස කරනවා.

 කුටුම්බගත වීමත් සමඟ කාන්තාවගේ ජීවිතය විතැන් වන වපසරිය දෙස ඔබගේ බැල්ම එල්ල වන්නේ කුමනාකාරයෙන්ද?

ඒකත් කෙටි පිළිතුරක් දෙන්න බැරි සංකීර්ණ ප්‍රශ්නයක්. ආසියාවේ; විශේෂයෙන්ම දකුණු ආසියාතික රටවල කාන්තාවන්ට නිශ්චිත ජීවන චක්‍රයක් තිබෙනවා. අධ්‍යාපන හා සමාජ තත්ත්වයෙන් ඉහළට ගිය කාන්තාවන්ට වුණත් එය වෙනස් වන්නේ සුළු වශයෙන්. කාන්තාව එවැනි ඒකාකාරී ජීවන තත්ත්වයකට කොටු වීමේ පසුබිමත් කිසියම් සංකීර්ණ ක්‍රියාවලියක එක් අවස්ථාවක්. රටේ දරිද්‍රතාව, සම්ප්‍රදාය, සංස්කෘතිය, ආගම වැනි මුලික කාරණා සියල්ලේම කැඩපත වන්නේ කාන්තාව. ඒ කැඩපත් රාමුවෙන් මිදී යෑමට සමාජයෙන් ඇයට අවසරයක් නෑ. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් වුවත් ඒ සම්ප්‍රදායයන් ඇය රැකිය යුතුයි. ජීන් ටෙක්නොලොජී තාක්ෂණය සමඟ වැඩ කරන මේ වර්තමානයේ වුණත් කාන්තාවගේ දෛනික කාල සටහනේ වෙනසක් නෑ. ඒ ඇතුළාන්ත කියැවීම ඇති, තමාව තමා තුළින්ම දැකිය හැකි ගැහැනුන් ඉතාම සුළුතරයක් පමණක් මම කලින් කිව්ව ඒ කැඩපත් රාමුවෙන් පිටතට පැමිණ විචාරශීලීව ලෝකය හා ගනුදෙනු කරමින් සිටිනවා. නමුත් තවදුරටත් සමාජ කෙවිටෙන් තැලුම්කමින් කැඩපතක් වෙනවාද නැතිනම් ඒ රාමුවෙන් මිදී විචාරශීලීව ලෝකය හා ගනුදෙනු කරනවාද යන්න තීරණය කිරීමක් කළ යුත්තේ ඇය විසින්මයි.

සංවාද සටහන [දුලාජ් මධුශංක දේවපුර]

News Order: 
4
මාතෘකා