තුහින තුඩු රිදවිල්ල කවි මහිමය

 ඡායාරූපය:

තුහින තුඩු රිදවිල්ල කවි මහිමය

කරුණාරත්න අමරසිංහ

පද්මිණී ශ්‍රියාලතා කිවිවරියගේ කවි කියවන විට මට වහා සිහියට නැඟුණේ විශ්ව විශ්‍රැත බටහිර කවියෙකු වන ඩබ්ලිවු.එච්. ඕර්ඩන් (W.H.Auden - 1907 - 1973) විසින් කාව්‍යය අරබයා ප්‍රකාශිත ප්‍රශස්ත නිර්වචනයෙකි. බ්‍රිතාන්‍යයේ ජනිතව පසුකලෙක ඇමෙරිකාවට සංක්‍රමණය වී මියයන තෙක් එහිම දිවි ගෙවූ, විශිෂ්ට ඇමෙරිකානු කවීන්ද්‍ර ඩබ්ලිව්.එච්. ඕඩන් කාව්‍යය අරබයා ඉදිරිපත් කළ ඉංග්‍රීසි නිර්වචන පාඨයේ සිංහලාර්ථය මෙසේය.

“කෙනෙක් කවියකින් දෙවැදෑරුම් දෙයක් පතයි. කාව්‍යය වනාහි උපයුක්ත භාෂාවට ගෞරව සම්ප්‍රයුක්තව මනාලෙස නිර්මිත වාංමය වස්තුවක් වියයුතු බව පළමුවැන්නයි. එමගින් අප සියලු දෙනාටම පොදු යථාර්ථයක් ගැන, අසමාන දැක්මකින් පසක් කළ වැදගත් යමක් පැවසිය යුතු බව දෙවැන්නයි. කවියා පවසන දෙය ඉන්පෙර කවදාහෝ නොකියැවුණකි. එහෙත් ඔහු එය පැවසූ සැණින් පාඨකයෝ එහි වලංගුභාවය තුමූම හඳුනා ගනිති.”

පද්මිණී ශ්‍රියාලතාවන්ගේ මේ කාව්‍ය මංජරියෙහි සංගෘහිත බොහෝ පද්‍ය රචනා ඉහත දැක්වුණු නිර්වචනයෙහි සඳහන් උභය ගුණාංග පිළිබිඹු කොට සිටින ක්ෂුද්‍ර කැටපත් රැසක් වැනිවෙයි. පද්මිණී ශ්‍රියාලතාවන් තම කාව්‍ය රචනා උපයුක්ත භාෂාවට ගෞරව සම්ප්‍රයුක්තව, මනාලෙස නිර්මිත වාංමය වස්තු බවට පත්කිරීමට පරම අභිලාෂ ඇති කිවිඳියක බව සනාථ කරන නිදසුන් මෙහි සුලබව දක්නට ලැබෙන බව ඇගේ කවිශක්තියට ගෞරව පිණිස පැවසිය යුතුය. ඇගේ “සිසිරයට පෙර” කාව්‍ය රචනාව මගේ ඒ විනිශ්චයට ප්‍රත්‍යක්ෂ සාක්ෂ්‍යයක් යැයි සිතමි.

“අහස් වියනට එළා තිමිර තිර ඇතිරිල්ල

ඇට මිඳුළු විනිවිදින හීගතුවෙ වැලපිල්ල

සහස් කගපත් සදිසි තුහින තුඩු රිදවිල්ල

ආයෙමත් කුරගගා ඇවිත් නන් දෙඩවිල්ල

වසරකට වරක් විත් හිතක් පපුවක් නැතිව

කී වරක් නම් පැහැර ගත්තා ද දරු පොකුර

දුකක් නෑ ඉදී ගිලිහුණා නම් ගස මුලම

සුහුඹුල්ය ඔවුන් ඇයි අත තියන්නේ මෙහෙම..

මද නලේ නළවමින් පරෙස්සම් කළ තරම්

රිදෙනවා ගිලිහුණත් ඒ නිසා එක පතක්

පහර පිට පහර දී සැමිටියෙන් සිය වරක්

කරන මේ හිරිහැරය මහ ගහක් වුව බරක් ..

නෑවිදින් තව ළඟට ඔතන ඔබ නවතින්න

එක වරක් වත් මලක් පූදින්න ඉඩ දෙන්න

පත් කිරුළු බිම හළා නග්න වූ වන අරණ

නතු කරන් ඔය තරම් ලද සුවය පවසන්න.

පද්මිණිය බසට සංවේදී කිවිඳියක පමණක් නොව බස ඇසුරෙන් නිර්මාණාත්මක කාව්‍යෝක්ති බිහිකිරීමටත් ශූරියක බව “සිසිරයට පෙර” කාව්‍ය රචනයෙන් විශද වෙයි. “තිමිර තිර ඇතිරිල්ල”, “හීගතුවෙ වැලපිල්ල” “තුහින තුඩුරිදවිල්ල” “කුර ගගා ඇවිත් නන් දෙඩවිල්ල” වැනි යෙදුම් මඟින් එය මනාව සනාථ වෙයි.

මේ කාව්‍ය මංජරියෙහි හමු වන බොහෝ රචනා අප සියලු දෙනාටම පොදු යථාර්ථයක් ප්‍රකට කර සිටියි. පොදු යාථාර්ථයක් ගැබ් වුණු පමණින් ප්‍රශස්ත ගණයට වැටෙන කාව්‍ය රචනා බිහිවෙතියි සිතිය නොහැකිය. පද්මිණී කිවිඳිය ඒ බැව් නිශ්චිතව වටහාගෙන කාව්‍යකරණයෙහි යෙදෙන පරිණත නිර්මාණකාරියක බැවින්, ඇගේ රචනා තුළ අන්තර්ගත පොදු යථාර්ථය විදාරණය කොටගෙන ගැඹුරු ජීවනාර්ථ ඉස්මතු වෙයි. පොදු යථාර්ථය තුළ අප නොදුටුදේ තියුණු ලෙස විනිවිද දුටු ඇය, ඒවා අපගේ භාවමය අනුභූතීන් බවට පත්කරන්නේ අපූරු කාව්‍යෝක්ති මගිනි. පහත දැක්වෙන “මල් පිපුණ සල්ගස” නමැති කාව්‍ය රචනය ඊට මනා සාධකයකි.

“මායා මව් බිහි කරන විට ලොවට බුදු පුතෙක්

අතු නමා පාත් කර සැනසුවේ සල් ගහක්

පිරිනිවන් පාන දා ඒ උතුම් බුදු කෙනෙක්

අතුපතර පටලවා වැලපුණේ සල් ගහක්

මේ මෙතන තිඹිරිගෙයි ඉදිරිපිට රෝහලේ

අතුපතර විදාගත් සල් ගහක සිහිලලේ

බිම වැටුණු කඳුළු කැට බදා මිහි උරතලේ

ඉකි ගසනු ඇත අදත් රැය ද මෙන් දහවලේ

“අපායට එපා මුල් ” වටකරන් විසල් බඳ

ගොළු බසින් කියන සුදු වට රවුම් අසුන මත

ළං ළංව මුමුණනා ප්‍රේමයේ සුසුම් පද

හිමිට රහසින් ඔබත් පත් සලා අහනවද?

තුඩ’ග කවි සින්දු නැති කළුම කළු කපුටියක්

කූඩුවක් තනනු බැරි කෙට්ටු කළු කෙවිලියක්

ගැබ් දරති කාටවත් වේද එහි අරුමයක්

කොන් සැඟව ගැට ගැසුණු මෙය පුදුම ලෝකයක්

සිදුහත් ද දෙව්දත් ද කච්ඡපුටලා වුණත්

මවු ළමැද හපා කන උණහපුළු පැටවුනුත්

බිහිකරන විට නැඟෙන විළිරුදාසන් අසන්

කම්පිතව සසල වී ගැට ගැසුණු සල් ගහක්

අතුපතර විහිදුවා මුළු අහස නතු කළත්

පිපෙන්නේ සල් මලක් ගැට ගැසුණු කඳ බදන්

මින් කෙනෙක් හෙට ඇවිත් ගස කැපිය හැකි නමුත්

ගැට ගැටිති පුරාවට කඳම මල් බදු අරන්

කාව්‍ය අරබයා ග්‍රීක දාර්ශනික ඇරිස්ටෝටල් විසින් ඉදිරිපත් කරන ලද ප්‍රකාශයක සිංහල අරුත මෙසේ වෙයි.

“කාව්‍යය වූ කලී ඉතිහාසයට වඩා දාර්ශනිකය. උසස් අගයකින් යුතුය. මක්නිසාද යත් කාව්‍යය, විශ්ව සාධාරණ දෙයක් ප්‍රකාශ කරන අතර, ඉතිහාසය, විශේෂ දෙයක් ප්‍රකාශ කරන බැවිනි.”

පද්මිණී ශ්‍රියාලතාවන්ගේ කාව්‍ය මංජරියෙහි එන “සර්පයෝ” නැමැති කාව්‍ය රචනය ඇරිස්ටෝටල් පඬිවරයාගේ යට කී ප්‍රකාශය ඉඳුරා සමර්ථනය කරන්නක් වැනි වෙයි. විවිධ ලෙස අර්ථකථන ඉදිරිපත් කිරීමට තුඩු දීම කවියක විශ්වීය ලක්ෂණයක් ලෙස සැලකේ. එහි උසස් බවට ද එය ප්‍රධාන සාධකයක් කොට ගැනේ. පද්මිණියගේ “සර්පයෝ” කාව්‍ය රචනය ඇරිස්ටෝටල් පඬිවරයාගේ කාව්‍ය නිරුක්තිය සමර්ථනය කරන්නක් වන්නේ එබැවිනි. පද්මිණීගේ “සර්පයෝ” කාව්‍ය රචනය විවිධ ලෙස අර්ථ කථන දිය හැකි පරිණත නිර්මාණයකි.

සර්පයෝ.. සර්පයෝ.... සර්පයෝ...

පුපුර පුපුරා බිත්තර

ඇදි ඇදී එති එළියට

සිත් ලෙනෙහි සිදුරු අතරින්..

නොමේරූ බිජු ලෙස

සිත් ලෙනෙහි පතුලත

නොපෙනී කිසිම කෙනෙකුට

කාලයක් තිබුණි පොකුරට

නොපැකිළව ඔබ අබියස

විවර කෙරුවෙන් හදවත

මේරීම පිණිස බිජුවට

ඔබයි දුන්නේ උණුසුම

පුපුර පුපුරා බිත්තර

සර්ප පැටවුන් පොදියට

ඇදී ඇදී විත් පිටතට

දෂ්ටනය කරයි පිට පිට

විෂ බදින මන්තර

මතුරයි කෙනෙක් හෙමිහිට

ඔබට අවනත නැති

මට ද අවනත නැති

සර්පයින් විසිර දස දෙස

ලොවක් ආතුර කරමින්

හැසිරේය දැන් රිසි ලෙස

News Order: 
3
මාතෘකා