The tooth  කෙටි චිත්‍රපටයේ අළු පැහැති ආරංචි

 ඡායාරූපය:

The tooth  කෙටි චිත්‍රපටයේ අළු පැහැති ආරංචි

The tooth කෙටි චිත්‍රපටය නූතන මානව සමාජය විසින්ම ස්ව්‍යං සංස්කෘතික උත්කර්ෂණයකින් ඔසවා තබන ලද තාක්ෂණික ඉසව්වක් පිළිබඳ සියුම් විශ්ලේෂණයක නියැලෙයි. එමෙන්ම ඒ හා බැඳෙන දෛනික ජීවිතයේ පැතිකඩක්ද අනාවරණය කරයි. මිනිත්තු 12කට ආසන්න කාලයක් විකාශනය වන මෙම කෙටි චිත්‍රපටය ඇරඹෙන්නේ මධ්‍යම පාන්තික මිනිසාගේ පැවැත්ම පිළිබඳ ගවේෂණශිලී නිරීක්ෂණයකිනි. තරුණ සමය පසු කරමින් සිටින බැංකු නිලධාරියකුගේ දතේ කැක්කුමක් වටා කතා වින්‍යාසය නඩත්තු වුවද එය සංකේතාත්මක දතේ කැක්කුමක් බවත් සෑම මිනිසකුම එකී දතේ කැක්කුමෙන් ජීවිත කාලය තුළ එක් වතාවක් හෝ පීඩාවට පත් වන බවත් පෙනී යයි.

බොහෝ සෙයින් ණය තුරුස් ඇති, ණය වෙමින් පවතින, ඉදිරියටත් ණය වන්නට නියමිත මධ්‍යම පාන්තික බැංකු නිලධාරියා යටතේ සේවකයන් සේවය කරන අතර ඔහුද ඉහළින් පාලනය වන තවත් එක් සේවකයකු බව පෙනෙයි. නූතන මධ්‍යම පාන්තික කුටුම්භ පොදුවේ මුහුණ දෙන එකට වාසය කිරීමට නොහැකි පවුල් සංස්ථාවේ සමාජයීය අර්බුදය මුල් දර්ශන අතර ප්‍රදර්ශනය වන සැටි ළගන්නා සුළුය.

ණය, කාර්‍යබහුල ජීවිතය, දතේ කැක්කුම නම් යථා ලෝකයෙන් මිදී ඔහු සිය පරිගණකයෙන් 'Sex Clip' යන්න සෙවීමට පෙළඹෙන්නේ තාවකාලික සුවයක් ලැබීමටය. ඉදිරියේ ඇති කුඩා බුදුපිළිමය අනෙක් පසට හරවා තැබීම ආගමත් ලෞකික ජීවිතයත් අතර පවතින පරස්පර බව සංඥා කරයි. එමෙන්ම ව්‍යාජ ආගමානුකූලත්වය, නිරාමිස සුවය ප්‍රාර්ථනා කරමින් බුදුන් සරණ යාමත් ශෘංගාර කලාපයේ කිමිදීමට අවැසි මොහොතක බුදු පිළිමය කැමති පසෙකට රිසි සේ හරවා තැබීමත් ආගමික භාවිතය නූතන මිනිස් ආධ්‍යාත්මය තුළ හැසිරෙන අයුරු හෙළිදරව් කරයි. සිනමාකරුවා මෙතෙක් වේලා රැගෙන ආ ඒකීය ධාරණාව නිශ්චිතව රේඛාගත වුවද එය ගමන් කරනා දිශානතිය අනිශ්චිතය. කාංසාවේ චෛතසික අවුළුවයි. හදිසියේ නිවසේ සීනුව නාදවීමත් සමඟ දොර ඇර බැලූ විට දොරකඩ සිටින්නේ තමා මීට සුළු මොහොතකට කලින් ගූගලයෙන් සෙවූ අවිඥානගත ආශාවයි. ඇය පැමිණෙන්නේ දතේ අමාරුව සුව කිරීමටය. එහෙත් ඔහුගේ දතේ කැක්කුම ඇය දැනගත්තේ කෙසේ දැයි යන්න ඔහුටත් ප්‍රේක්ෂකයා අභිමුවත් ඇති පැනයකි.

ප්‍රේක්ෂකයා නළුවා පසුවන තත්ත්වයට පරරෝපණය වන සංසිද්ධිය එහිදී සිදු වෙයි. ඇය ඔහු දතත් ඔහුගේ දතේ කැක්කුම ඇය දන්නේ කෙසේද? ඇගේ ශෘංගාර කලාප අබියස සාමාන්‍ය සාම්ප්‍රදායික පිරිමියාගේ පැමිණීමත් ක්ෂණයකින් ඇය ඔහුගේ දතේ අමාරුව සුව කරනා විදියත් නැරඹිය යුතුම දර්ශනයකි. නූතන පරිභෝජනවාදී ස්ත්‍රිය පිරිමින්ගේ දතේ අමාරුවලට කරන ක්ෂණික සැත්කම්වලින් පිරිමින්ගේ දත් ගැලවී අමාරුකම් සුවවන්නා සේම ප්‍රේක්ෂකාගාරයේද දත් ගැලවෙයි. පුරුෂයා බිම හෙළා පුරුෂ ලිඟුවට එල්ල කරන වේගවත් පහරින් ප්‍රේක්ෂකාගාර කැක්කුම්ද සුව වෙයි. ෆැන්ටසිය සහ යථාර්ථය අතර කතිකාවට එම දර්ශනය විසින් එළඹුමක් ඇති කරයි . ඔහු ඇයගේ ශෘංගාර කලාප ස්පර්ශ කරමින් ඇඟිලි තුඩු ශරීරය ඉහළට රැගෙන යන විට පරිගණකයකින් හෝ ජංගම දුරකථනයකින් චිත්‍රපටය නරඹන්නාද එකී ස්පර්ෂයේ මනෝවින්දකයන් බවට පත් වෙයි. එළඹීමට නියමිත ප්‍රීතියේ මූලධර්ම (Leassure Principal) ක්ෂණයකින් යථාර්ථයේ මූලධර්ම (Reality Principal) විසින් කුඩුපට්ටම් කරනු ලබන්නේ ප්‍රේක්ෂකයා හිඳ සිටින සංකල්පීය දෘෂ්ටිවාදීමය මනෝමූලික පුටු දෙදරවමිනි. අනතුරුව එල්ල වන ප්‍රබල පා පහරත් සමඟ ප්‍රේක්ෂකයා ස්වයං ලැජ්ජාවකට ඇද දමන්නේ ඒ පා පහර ප්‍රේක්ෂකයාගේ විඥානයට එල්ලවන නිසාවෙනි. එහිදී ෆැන්ටසියේ උත්කෘෂ්ටතම තැන සංසර්ගය වන අතර යථාර්ථයේ සත්‍ය ලැජ්ජාවයි.

ඇය ඔහුගේ මුදල් පසුම්බියෙන් චණ්ඩි විලසින් මුදල් රැගෙන ගිය පසු මොහොතකින් නැවත සීනුව නාද වේ. ඒ ඇවිත් සිටින්නේ ඉම්පෝටන්ඩ් දත් වෙළෙන්ඳෙකි. නිවැසියාගෙන් කිසිවක්ම නොවිමසා ඉම්පෝටන්ඩ් දතක් බලමුදැයි ඔහු පවසයි. පුද්ගල අවශ්‍යතා සම්පූර්ණ කිරීමට ධනවාදය දොරකඩටම පැමිණ ඇති බව සිනමාකරුවා යටිපෙළින් ඉදිරිපත් කරන අයුරුය ඒ. කෙටි චිත්‍රපටය අර්ථමය තලයකින් පුපුරා යන්නේ ඒ සියල්ල සී.සී.ටී.වී කැමරා දර්ශනයකින් පටිගතවන බව දර්ශනය කිරීමෙනි. ලියනගේ අමරකීර්ති ලියූ අළු පැහැති ආරංචි කෙටිකතාව සිහියට ඒම වැළැක්විය නොහැක්කකි. අප කාගෙ කාගේත් අළු පැහැති ආරංචි ඒ කැමරා කාච තුළ සටහන් වී ඇත. චිත්‍රපටයට අනුව මේ මොහොතේ ලිපිය ලියන මා දෙසද ඒ කැමරා ඇස යොමු වී ඇති සෙයකි. හඬපට හෙළි කිරීමේ ප්‍රහසන නාටකය අප ඉදිරිපිට රඟ දැක්වෙමින් තිබෙනා මොහොතක නළින් ගල්කන්ද ආරච්චි විසින් හෙළිදරව් කරන The tooth සී.සී.ටී.වී. දර්ශනද නැරඹිය යුතුම මොහොතයි මේ.

[රන්දික රාජපක්ෂ]

News Order: 
5
මාතෘකා