මනමාල හැන්දෑවේ මතකයන් මුදාහරින ළයාන්විතයා

 ඡායාරූපය:

මනමාල හැන්දෑවේ මතකයන් මුදාහරින ළයාන්විතයා

සංගීතමය පසුබිමක් සහිත පවුලක බඩපිස්සා ලෙසින් සුන්දර හන්තාන කඳුවැටිය පාමුල ගම්මානයක ඉපදී මහනුවර ධර්මරාජයෙන් සිප්සතර හදාරන අවධියේදිම තම සොහොයුරාගේ ආභාෂය ලබමින් ගිටාරය ළංකර ගත් ඔහු අද වන තුරුද එය අත නෑරියේය. මහනුවරින් බිහිවුණු ‘ෆෝචූන්ස්’ හා ‘ගැලැක්සීස්’ සංගීත කණ්ඩායම්වල බේස් ගිටාර් වාදකයාව සිට කොළඹට සංක්‍රමණය වෙමින් ‘කොම්බෝ’, ‘මවුන්ට්චයිම්ස්’, ‘හේලියන්ස්’, ‘කලර්ලයිට්’ වැනි සංගීත කණ්ඩායම් තුළ වාදකයකු හා ගායකයකු ලෙසද කටයුතු කළේය. ඔහු 1982 වසරේදී තමන්ගේ ප්‍රථම ගීතය ලෙස “හන්තානේ නිල් කඳුවැටි අතරේ” එළිදැක්වීමට වාසනාවන්ත විය. එසේම ජනප්‍රිය ගායකයකුව සිටි ග්‍රේෂන් ආනන්දගේ ප්‍රථම ගීතය වූ “ඈත දුරක දෑස පාවෙලා” ගීතයට බේස් ගිටාර් වාදකයා ලෙස එක්වන ඔහු 1982 වසරේ සිට 1985 දක්වා විශාරද නන්දා මාලිනියගේ ‘සත්‍යයේ ගීතය’ ප්‍රසංගයේ දර්ශන වාර 530ක් සඳහා වාදකයකු සහ අත්වැල් ගායන ශිල්පියකු ලෙස සංගීත ක්ෂේත්‍රයේ අතිමහත් පන්නරයක් ලබා ගැනීමට සමත් විය. එසේම අති සාර්ථක ඒක පුද්ගල ප්‍රසංග ගණනාවක් පවත්වන අතරතුර චිත්‍රපට හා ටෙලිනාට්‍ය පසුබිම් ගීත ගායනයටද එක් විය. ‘චාරුලාතා’ , ‘ගව්වෙන් ගව්ව’ , ‘තරු’ හා ‘සාරා’ ටෙලි නාට්‍ය තුළින් රංගනවේදියකු ලෙසද කරළියට එක්විය. 1895 වසරේදී තම මුල්ම කැසට් පටය වූ ‘නීල අහසේ’ රසික ප්‍රජාවට නිකුත් කරමින් මේ වන විට කැසට් පට සංගත තැටි හරහා ගීත 600කට අධික ප්‍රමාණයක් එළිදැක්වීමට සමත් වී සිටී. ජනප්‍රිය ගීත දහසකට අධික ප්‍රමාණයකට බේස් ගිටාර් වාදකයා ලෙස සියලුම ජනප්‍රිය තලයේ සංගීත අධ්‍යක්ෂවරුන් යටතේ සහභාගීව එදා ලබාගත් ජනප්‍රියතාව හා රසික ආකර්ෂණය එකසේ රඳා පවත්වා ගනිමින් ගීත ලොවේ ‘ළයාන්විතයා’ යන අන්වර්ථනාමයෙන්ද පිදුම් ලැබූ ඔහු නමින් කීර්ති පැස්කුවල්ය. එළඹෙන ජනවාරි 26 සහ 29 යන දෙදින තුළදී ඔහු සෞන්දර්යාත්මක හා පුණ්‍යමය කටයුත්තක නියැලීමට සුදානමින් සිටී. මේ ඒ පිළිබඳව ඔහු හා යෙදුණු සංවාදයයි.

26 වැනි දින පැවැත්වෙන කටයුත්ත පිළිබඳව පැහැදිලි කිරීමක් කළොත්?

ඔව්. එදාට මා පසුගිය වසරේ නෙළුම් පොකුණ රඟහලේ පවත්වන ලද ‘මනමාල හැන්දෑව’ සජීවී ප්‍රසංගයේ ඩී.වී.ඩී. තැටියත් මගේ ජීවන ගමන්මඟ පිළිබඳව උපාලි කුමාරවංශ ලියූ “සුන්දර මියුරු සරක ආනන්දනීය චාරිකාව” කෘතියත් නිකුත් වෙනවා.

■මෙහි ඇති විශේෂත්වය?

කරුණු කිහිපයක් නිසාම මෙම අවස්ථාව විශේෂයි. මනමාල හැන්දෑව සජීවි ප්‍රසංගය පැවැත්වීමට නියමිත දිනයටත් පෙරදීම ප්‍රසංගය සඳහා නිකුත් කළ සියලුම ප්‍රවේශපත්‍ර අලෙවි වීම නිසා ප්‍රසංගය නැරඹීමට බලාපොරොත්තුවෙන් සිටි බොහෝ පිරිසකට එම අවස්ථාව අහිමිව ගියා. ඒ පිරිස වෙනුවෙන් තමයි ඩී.වී.ඩී. තැටිය නිකුත් කිරීමට කටයුතු කළේ.

කෙනකුට හිතෙන්න පුළුවන් ප්‍රසංගයේ සජීවී අත්දැකීම ඩී.වී.ඩී. පටය නැරඹීමෙන් ලබා ගැනීමට නොහැකියි කියා. නමුත් මෙම ඩී.වී.ඩී. තැටිය විශේෂිත වූ නවීනතම තාක්ෂණ ක්‍රමවේදයක් ඔස්සේ පටිගත කර තිබීම නිසා ප්‍රසංගයේ සජීවී අත්දැකීම් රසවත්ව එලෙසම නැරඹීමට අවස්ථාව සැලසෙනවා. ඒ වගේම මේ ඩී.වී.ඩී. තැටිය සමඟ ප්‍රසංගයේ සියලුම ගීත ඇතුළත් එම්.පී. 3 තැටියක් නොමිලේ ලබා දීමටද කටයුතු කර තිබෙනවා.

එසේම එදින නිකුත්වන කෘතිය ගැන සඳහන් කළොත් මගේ වසර 38ක සංගීත චාරිකාවේ නිකුත්වන ප්‍රථම ග්‍රන්ථය මෙයයි. එදා සිට අද දක්වා මට ලැබෙන රසික ආකර්ෂණය ගෞරවය තවමත් අඩු වී නෑ. ඔවුන් මගෙන් විවිධ දේ ගැන ප්‍රශ්න කරනවා ලිපිවලින් හා දුරකථනයෙන්. ඒ විශේෂයෙන්ම පෞද්ගලික ජීවිතය ගැන හා මා ආ ගමන් මඟ පිළිබඳවයි. තමන් ආදරය කරන කලාකරුවන්ගේ තොරතුරු සොයා බැලීම රසිකයන්ගේ පුරුද්දක් වගේම විනෝදාංශයක්. ඒ හැමෝම මගෙන් අහන, අහපු ප්‍රශ්නවලට මේ කෘතිය තුළ පිළිතුරු තියෙනවා. මා මෙතෙක් ආ ගමන් මඟ සුන්දර එකක් නොවේ. විවිධ කරදර බාධක හිරිහැර කැපිලි කෙටිලි මත තමයි මේ දුර එන්නට හැකි වුණේ. ඒ වගේම මගේ පෞද්ගලික ජීවිතය තුළත් විවිධ හැලහැප්පීම් ප්‍රශ්නකාරී වාතාවරණයන් ඇති වූ අවස්ථා බොහොමයක් තියෙනවා. ඒ ප්‍රශ්න උච්චස්ථානයටම පැමිණි මොහොතක තමයි මා රට හැරදා නවසීලන්තය කරා පිටත්ව යන්නේ. එහිදී ගෙවූ දිවියත් සුන්දර වූයේ නෑ. ඒ සියලුම කරුණු කාරණා පිළිබඳව සවිස්තරාත්මකව මෙම කෘතිය තුළ සඳහන් වෙනවා. එසේම මෙම ග්‍රන්ථයේ මගේ ජනප්‍රියම ගීත 30ක ස්වර ප්‍රස්ථාර සහ ගී පදමාලා ඇතුළත් කර තිබෙනවා. එලෙස කළේ මගේ ගීත ප්‍රියකරන ආධුණිකයන්ට. ඒවා සරළ ලෙසම පුහුණු වීමට අවස්ථාවක් උදාකර දීමටයි. එම ගීත 30 අඩංගු එම්.පී. 3 තැටියක් කෘතිය සමඟ නොමිලේ ලබා දෙනවා. හයසීයකට අධිකව මා විසින් ගයා ඇති ගීත අතුරෙන් සොයා ගැනීමට හැකි වූ ගීත විශාල ප්‍රමාණයක නාමාවලියක් සහ මාගේ ළමා වියේ සිටි මේ දක්වා විවිධ අවස්ථාවන්හිදී ගත් ඡායාරූප විශාල ප්‍රමාණයක්ද මේ තුළට ඇතුළත් කර තිබෙනවා.

මෙම උත්සවය පැවැත්වෙන දිනය සහ ස්ථානය සඳහන් කළොත්?

මෙය පැවැත්වෙන්නේ එළඹෙන ජනවාරි 26 වැනි දින සවස 3.00ට ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී. මෙහිදී ආචාර්ය රවීන්ද්‍ර රන්දෙණිය, ප්‍රවීණ ගායනවේදී නිහාල් නෙල්සන්, සංගීතවේදී නදීක ගුරුගේ, මාධ්‍යවේදී ගත්කතුවර ආචාර්ය නුවන් නයනජිත් යන මහත්වරුන්ගේ කථනයෙන් හැඩගන්වන අතර රංගන ශිල්පී ධනංජය සිරිවර්ධන විසින් මෙම උත්සවය මෙහෙයවනවා.

වර්තමානයේ සී.ඩී, ඩී.වී.ඩී. තැටිවලට හොද වෙළෙඳපොළක් තියෙනවාද?

ඇත්තෙන්ම නැහැ. ඒ නිසා තමයි සී.ඩී., ඩී.වී.ඩී. තැටි නිෂ්පාදනය සඳහා කිසිම අනුග්‍රාහයකයෙක් ඉදිරිපත් නොවන්නේ. එහෙම වුණා කියලා අපට අලුත් ගීත නිර්මාණය නොකර ඉන්න බැහැ. මා අවසන් වරට ගීත එකතුවක් නිකුත් කළේ 2016 වසරෙදි. එයින් පසුව මේ දක්වා අලුත් ගීත 30කට අධික ප්‍රමාණයක් පටිගත කළා. මේ වසර තුළදී නව නිර්මාණ එකතුවක් නිකුත් කිරීමටත් බලාපොරොත්තුවෙන් සිටිනවා. වෙළෙඳපොළට මෙම ගීත තැටි නිකුත් නොකළත් මගේ රසික රසිකාවියන් ඒවා ලබා ගන්නා නිසා මට ගැටලුවක් ඇති වන්නේ නැහැ.

ජනවාරි 29 ඔබට විශේෂ දිනයක්

ඔව් එදින තමයි මගේ උපන් දිනය. ඒ වගේම එදාට විශේෂ කටයුත්තක් සිදුකිරීමටත් සැලසුම් කර තිබෙනවා.

■මොකක්ද ඒ විශේෂ කටයුත්ත?

පසුගිය වසරේ මගේ මැදිහත් වීමෙන් ‘ප්‍රාර්ථනා’ නමින් අරමුදලක් රැස්කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කළා කොතලාවල ආරක්ෂක වෛද්‍යපීඨයේ ඇට මිදුළු බද්ධ කිරීමේ ඒකකයට මිලියන 3,000ක් වටිනා උපකරණ ලබා ගැනීමට සහයක් වීම සඳහා. නමුත් අවාසනාවකට අප්‍රේල් 21 සිදුවීමත් ඉන් අනතුරුව රටේ පැවැති අයහපත් දේශපාලන වාතාවරණයත් නිසාවෙන් අපේ අපේක්ෂිත ඉලක්කය කරා යෑමට හැකි වුණේ නෑ. නමුත් ඒ සඳහා අප රැස් කළ ලක්ෂ හැත්තෑපහක මුදල, මහරගම අපේක්ෂා රෝහලේ ඇට මිඳුළු බද්ධ කිරීමේ ඒකකයට ප්‍රධානය කිරීමට අප තීරණය කළා. මේ මුදල ලබා දුන්නේ මහජනතාවයි. ඒ තවත් ජීවිතය යදින පිරිසකගේ ජීවිත සුරක්ෂා කිරීමේ පරමාර්ථය පෙරටුකරගෙනයි. මේ වන විට අපේක්ෂා රෝහලේ නව ඒකකයට අවශ්‍ය උපකරණ ලබා ගැනීම සඳහා ලක්ෂ 210ක මුදලක් අවශ්‍යව ඇති මොහොතයි. ඒ වෙනුවෙන් තමයි අපේ මේ මුදල් ප්‍රධානය සිදු වෙන්නේ.

ඒ වගේම එදින අපේක්ෂා රෝහලේ නේවාසිකව සිටින රෝගීන්ගේ මානසික සුවය සඳහා සංගීතමය හෝරා කිහිපයක් ඔවුන් සමඟ ගත කිරීමටත් ඒ අයට ගීත ගායනා කිරීමට අවස්ථාව ලබා දීමටත් සැලසුම් කර තිබෙනවා. මෙය පැවැත්වෙන්නේ 29 වැනිදා උදේ 9.30ට.

එසේම මේ අවස්ථාවේදී මා විශේෂ ස්තූතියක් පිරිනැමීමට කැමතියි. ප්‍රාර්ථනා අරමුදලට ආධාර ලබා දුන් සියලුම පින්වතුන්ටත් ප්‍රාර්ථනා ව්‍යාපෘතිය දියත් කිරීම සඳහා මට ශක්තියක් වෙමින් මා වටා පෙළගැසුණු සියලුම හිතවතුන්ටත් ඒ සඳහා අවසරය ලබා දුන් ඉහළ නිලධාරීන්ටත් සිතුතිය පුද කරනවා.

එසේම මා විවෘත ආරාධනයක් කරනවා මගේ රසික රසිකාවියන්ටත් 26 වැනිදා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්වෙන මගේ මනමාල හැන්දෑව ඩී.වී.ඩී. තැටිය හා ග්‍රන්ථය එළිදැක්වීමේ අවස්ථාවට සහභාගී වන ලෙස.

[ඇන්ටන් ඡේ. ප්‍රනාන්දු]

News Order: 
5
මාතෘකා