රටේ සංවර්ධනය වේගවත් කිරීමට බුද්ධි ගලනය පාලනය කළ යුතුයි

 ඡායාරූපය:

රටේ සංවර්ධනය වේගවත් කිරීමට බුද්ධි ගලනය පාලනය කළ යුතුයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ

රට තුළ වේගවත් සංවර්ධනයක් ඇති කිරීම වෙනුවෙන් අනිවාර්යයෙන්ම බුද්ධි ගලනය පාලනය කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

ඉහළ ප්‍රමිතියකින් යුත් අධ්‍යාපනයක් ලබාදෙන බවට රාජ්‍ය සහ පෞද්ගලික විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන සහතික වන්නේ නම් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සඳහා විදෙස් සිසුන්ද ආකර්ෂණය කරගත හැකි බවත් ඒ තුළින් උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය රට වෙනුවෙන් විදේශ විනිමය උපයන මාර්ගයක් බවට පරිවර්තනය කළ හැකි බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පසුගියදා (10) පැවැති ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 2019 උපාධි ප්‍රදානෝත්සවයට එක් වෙමින් ජනාධිපතිවරයා ඒ බව පැවසීය. එම උපාධි ප්‍රදානෝත්සවයේදී විද්‍යාර්ථයන් 1,282කට උපාධි පිරිනැමීම සිදුවූ අතර දර්ශනපති උපාධිලාභියකු ඇතුළු පශ්චාත් සහ විද්‍යාපති උපාධිධාරීහු 224 දෙනකු ඒ අතර වෙති. ප්‍රථම උපාධිධාරීන් ගණන 1,057කි. 2019 වසරේ විශිෂ්ට දක්ෂතා දැක්වූවන්ට තිළිණ ප‍්‍රදානය සිදුවූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා මෙසේද පැවසීය.

"අද දින උපාධි ලබන දරුවන්ට, ඔවුන්ගේ මවුපියන්ට සහ පවුල්වලට මාගේ උණුසුම් සුභාශිංසන පිරිනමනවා. ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය තෘතීයික අධ්‍යාපන පද්ධතිය තුළ ඉතා වැදගත් ආයතනයක්. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සමඟ වන මගේ පෞද්ගලික සම්බන්ධතාව වසර ගණනාවක් ඈතට දිවයන්නක්. හමුදා නිලධාරියකු වශයෙන් මගේ වෘත්තීය ජීවිතයේ මා දැරූ අවසන් තනතුර වුණේ නියෝජ්‍ය අණදෙන නිලධාරී තනතුරයි. පසුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රජයේ ආරක්ෂක ලේකම් වශයෙන් මගේ සේවා කාලයේදී මෙම ආයතනය පූර්ණ විශ්වවිද්‍යාලයක තත්ත්වයට උසස් කළා. විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය පිහිටුවීම, සාමාන්‍ය හා විදෙස් කැඩෙට් සිසුන් ඇතුළත් කර ගැනීම, පර්යේෂණ හා සංවර්ධන ක්‍රියාකාරම් සඳහා පශ්චාත් උපාධි අධ්‍යාපන අවස්ථා හඳුන්වා දීම, දක්ෂිණ විශ්වවිද්‍යාලය සූරියවැව පිහිටුවීම ආදී සියල්ල සිදුවූයේ මෙම කාලයේදීයි. එපමණක් නොව, කොතලාවල විශ්වවිද්‍යාලයේ අති නවීන රෝහලක් ආරම්භ කිරීමටද මෙම කාලයේදී පියවර ගත්තා.

"වර්තමානය වන විට ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය හමුදා නිලධාරීන් සහ සිවිල් වෘත්තිකයන් සඳහා විවිධ විෂයධාරා යටතේ ඉහළ මට්ටමේ උපාධි සහ පශ්චාත් උපාධි අධ්‍යාපන පහසුකම් සපයනවා. වෛද්‍ය පීඨ ඇතුළු සියලුම පීඨ ඉතා ඉහළ මට්ටමේ කාර්ය සාධනයක් අත්කරගෙන තිබෙනවා. තෘතීයික අධ්‍යාපනය තුළ ආයතනයේ ස්ථාවරත්වය අඛණ්ඩව ආරක්ෂා කර ගැනීම සඳහා උද්යෝගිමත්ව කටයුතු කරන ලෙස විශ්වවිද්‍යාලයේ පරිපාලනය, ශාස්ත්‍රඥයන් සහ කාර්ය මණ්ඩලය දිරිමත් කිරීමට මම කැමතියි.

"මෙරට අධ්‍යාපනික පද්ධතියේ සමස්ත සන්දර්භය තුළ ජාතියක් වශයෙන් අපගේ සැබෑ ශක්‍යතා විවර කර ගැනීමට නම් අප තව බොහෝ දේවල් කළ යුතු වනවා. අවාසනාවකට මෙන් වර්තමාන අධ්‍යාපන ක්‍රමය විභාග ඉලක්ක කරගත් එකක්. එය සිසුන්ගේ උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම වෙනුවට පටු කිරීම කෙරෙහි සීමා වී තිබෙනවා. මෙය විශේෂයෙන් ද්විතීයික පාසල් මට්ටමේ ඇති ගැටලුවක්.

"සිය ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනයේදී ශිෂ්‍යයන් අත්කර ගන්නා දැනුම, නිපුණතා සහ කුසලතා සැලකිල්ලට නොගෙන ඔවුන්ගේ අනාගතය අ.පො.ස. සාමාන්‍ය පෙළ හා අ.පො.ස. උසස් පෙළ වැනි ජාතික මට්ටමේ විභාගවලදී ලබා ගන්නා ප්‍රතිඵල මත අනාගතය තීරණය කරනු ලබනවා. විභාග කෙරෙහි වන මෙම අවධානය ශිෂ්‍ය ප්‍රජාව අතර අයහපත් තරගකාරීත්වයක් නිර්මාණය කර තිබෙනවා. මෙම විභාගවලට පෙනී සිටින සිසුන්ගෙන් සීමිත ප්‍රමාණයක් පමණක් උසස් අධ්‍යාපන කටයුතුවල නිරත වීමට වරම් ලබන නිසා සිසුන් මත වන මවුපිය සහ සමාජ පීඩනය ඉමහත්. එම නිසාම දරුවන් විශාල ප්‍රමාණයකට සිය ජීවිතයේ වඩාත් තීරණාත්මක අවධීන්ගෙන් එකකදී පුද්ගල අභිවෘද්ධිය සඳහා වන අවස්ථා රැසක්ම අහිමි වනවා.

"රටේ දරුවන්ට එලෙස අධ්‍යාපනය තුළ අතරමං වීමට මට ඉඩ දිය නොහැකියි. රජය මෙන්ම පෞද්ගලික අංශයේ අධ්‍යාපන අවස්ථා පුළුල් කළ යුතුයි. ඒ සඳහා විශ්වවිද්‍යාල සහ අනෙකුත් තෘතීයික අධ්‍යාපන ආයතන සඳහා ඇතුළත් කර ගන්නා සිසුන් සංඛ්‍යාව ඉහළ නැංවීම ඉතා වැදගත් වනවා. රජයේ විශ්වවිද්‍යාලවල යටිතල පහසුම් සංවර්ධනයට සහ මානව සම්පත් වර්ධනයට වැඩි වශයෙන් ආයෝජනය කළ යුතුය. එමෙන්ම විශ්වවිද්‍යාලවලින් පිරිනමනු ලබන උපාධි පාඨාමාලා සිසුන් අපේක්ෂා කරන රැකියා අවස්ථා ළඟා කර ගැනීමට උපකාර වන අන්දමින් නිර්මාණය කිරීම ඉතා වැදගත් වනවා

"21 වැනි සියවස දැනුමේ සියවසයි. කෘත්‍රිම බුද්ධිය, දත්ත, රොබෝ තාක්ෂණය, අන්තර්ජාලය සහ ජෛව තාක්ෂණය, ස්වයංක්‍රීයකරණය වැනි තාක්ෂණික අංගයන් ඉදිරි දශක කිහිපය තුළ සංවර්ධිත රටවල ආර්ථික වර්ධනය ප්‍රතිනිර්මාණය කරනු ලබනවා. ඒ සඳහා පර්වර්තනීය තාක්ෂණයන් විසින් ලබාදෙනු ලබන අවස්ථා කල්තියාම හඳුනාගත යුතුව තිබෙනවා.

"සෑම සිසු දරුවකුටම සුවිශේෂී බවක් සහ ඔවුන්ට විශේෂ වූ විවිධ අවස්ථා තිබෙන බව හඳුනාගත යුතු වනවා. ඒ වගේම තෘතීයික අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමට රාජ්‍ය සම්පත් නොමැතිකම බාධකයක් නොවිය යුතුයි. රැකියා වෙළෙදපොළහි ඉල්ලුමක් පවතින නිපුණතාවන් වර්ධනය කර ගත යුතුයි. ව්‍යාපාරික වශයෙන් ඉහළ ඉල්ලුමක් සහිත උපාධි, ඩිප්ලෝමා සහ වෙනත් උසස් අධ්‍යාපන සුදුසුකම්ද විශ්වවිද්‍යාල විසින් ලබා දිය යුතු අතර එවැනි පාඨමාලා රටේ අනාගත ආර්ථික අභිවෘද්ධිය ඇතිකරලීම සඳහාද උපකාරී වන අයුරින් නිර්මාණය විය යුතුයි.

"රට තුළ ඉහළ ගුණාත්මකභාවයකින් යුත් තෘතියික අධ්‍යාපන සැපයුම්කරුවන්ගේ සංඛ්‍යාව ඉහළ දැමිය හැකි නම් තම දරුවන් විදේශගත කිරීමට අපේක්ෂා කරන මවුපියන්ට ඔවුන්ගේ දරුවන් මෙරට රැඳී සිටිමින් අධ්‍යාපනට ලැබීමට අවස්ථාව උදාවීම පිළිබඳ සතුටට පත්විය හැකියි. මෙය අපගේ විදේශ සංචිත සැලකිය යුතු මට්ටමින් රටින් පිටවීම අවම කර ගැනීමට උපකාරී වනවා පමණක් නොව, ඊටත් වඩා වැදගත් වන්නේ එයින් දක්ෂ තරුණ තරුණියන් කොටසක් රටේ රඳවා ගතබාගැනීමට හැකි වීමයි.

"ශ්‍රී ලංකාව වේගයෙන් සංවර්ධනය වීමට නම් බුද්ධි ගලනය අප විසින් අත්‍යවශ්‍යයෙන්ම පාලනය කළ යුතුයි. දේශීය විශ්වවිද්‍යාල සහ වෙනත් උසස් අධ්‍යාපන ආයතන විසින් ඉහළ ප්‍රමිතියකින් යුතු අධ්‍යාපනයක් ලබාදෙන බවට රජයට මෙන්ම පෞද්ගලික අංශයටද සහතික විය හැකි නම්

ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සඳහා ජාත්‍යන්තර සිසුන් ආකර්ෂණය කර ගැනීම ආරම්භ කිරීමට පවා අපට හැකියාව ලැබෙනවා."

'සෞභාග්‍යයේ දැක්ම' සිය ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කර ඇති පරිදි පෙර පාසල් අධ්‍යාපනයේ සිට තෘතීයික අධ්‍යාපන මට්ටම දක්වා අධ්‍යාපන ක්ෂේත්‍රයට අවශ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට සැලසුම් සහගතව කටයුතු කරන බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය. ඒ සඳහා සහාය වන ලෙස ක්ෂේත්‍රයේ සියලුම පාර්ශ්වකරුවන්ගෙන් ජනාධිපතිවරයා ඉල්ලීමක්ද කළේය.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඇතුළු මැති ඇමතිවරු කිහිප දෙනකු, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරු සහ කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ කුලපති දයා සඳගිරි මහතා අතුළු අධ්‍යයන කාර්ය මණ්ඩලයද මෙම අවස්ථාවට එක්වූහ.

News Order: 
2
මාතෘකා