අධ්‍යාපන නිදහස සොයා විදෙස්ගත වීම

 ඡායාරූපය:

අධ්‍යාපන නිදහස සොයා විදෙස්ගත වීම

2020 ජනවාරි 9 වැනිදා ගින්නක් හේතුවෙන් ඇති වූ දුම ආශ්වාසයෙන් හුස්ම හිරවීම නිසා අසර්බයිජානයේ බටහිර කැස්පියන් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික විශ්වවිද්‍යාල සිසුන් තිදෙනෙකු සිය නේවාසික මහල් නිවාසයේදී මියගොස් ඇත. මේ සිදුවීමත් සමඟම උසස් අධ්‍යාපනය සඳහා තරුණයන් විදේශගත වීම පිළිබඳව සමාජයේ කතාබහක් නිර්මාණය වී ඇත. රජයේ විශ්වවිද්‍යාල සඳහා වරම් නොලබන තරුණ පිරිස් උපාධිය හැදෑරීම සඳහා ගුණාත්මක බව හෝ සුරක්ෂිතතාව පිළිබඳ නොසලකා කුමන හෝ රටක විශ්වවිද්‍යාලයකට ඇතුළුවීම සඳහා පෙලඹී ඇත. එම නිසා රටේ උසස් අධ්‍යාපනය පුළුල් කිරීම පිළිබඳව සහ උසස් අධ්‍යාපනය සඳහා තරුණ පිරිස් විදෙස්ගත වීම පිළිබඳව සමාජ ක්‍රියාකාරීන්ගෙන් මත විමසුමක් කිරීමට අපි තීරණය කළෙමු.

උසස් පෙළ සමත් සියලුදෙනාට උසස් අධ්‍යාපනය

තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ/ උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන

ලංකාවේ අධ්‍යාපන පහසුකම් ලබාදෙන ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය පුළුල් කරන්න; සීමා විශාල ප්‍රමාණයක් තියෙනවා. ජාතික විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන සිසුන් පවා නවකවදය නිසා අධ්‍යාපනය අත්හරිනවා. දැනට වාර්තා වෙන පරිදි විශ්වවිද්‍යාලවලට ඇතුළත් වෙලා නවකවදය නිසා විශ්වවිද්‍යාල අධ්‍යාපනය අත්හැරපු සංඛ්‍යාව 2000ක් වෙනවා. ජාතික විශ්වවිද්‍යාලවලට යන්න බැරි අයට පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කරන විට ඒ සඳහා විරුද්ධව ජනතා විමුක්ති පෙරමුණ සහ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලය දීර්ඝ කාලයක් තිස්සේ විරෝධය පළ කරනවා. එම විරෝධය අර්ථ ශුන්‍ය කරමින් ඇති හැකි, නැති බැරි සියලුදෙනා උසස් අධ්‍යාපනය සඳහා විදේශීය විශ්වවිද්‍යාල කරා යනවා. ඒ නිසා වසරකට රුපියල් බිලිනය 50කට වැඩි මුදලක් මේ රටින් පිට වෙනවා. මේ තත්ත්වය සැලකිල්ලට ගෙන තමයි ජනාධිපතිතුමා උසස් පෙළ සමත් සියලුදෙනාට ලංකාවේ විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව සැලසීම ගැන අවධානය යොමු කළේ. ඒ අනුව මේ දිනවල ඒ සඳහා වැඩකටයුතු සූදානම් වෙමින් පවතිනවා. මේ වසරේ විශ්වවිද්‍යාල සමත්වන සියලුදෙනාට ජාතික විශ්වවිද්‍යාල, වරලත් විශ්වවිද්‍යාල, විවෘත විශ්වවිද්‍යාල යනාදියේ වෘත්තියාභිමුඛ ජීවනෝපායක් සලසාගත හැකි ඩිප්ලෝමා, උසස් ඩිප්ලෝමා ලබාදෙන වැඩපිළිවෙළ අපි සූදානම් කරනවා.

ලංකාවේ උසස් අධ්‍යාපනය මීට වඩා පුළුල් කරන්න ඕනෑ

අධ්‍යාපනවේදී සමරසිංහ ගුණසේකර

ලංකාවේ උසස් පෙළ සමත් වන හැමදෙනාටම රජයේ විශ්වවිද්‍යාලවලට යන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඉතාම සුළු ප්‍රතිශතයකට පමණයි රජයේ විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය හදාරන්න ලැබෙන්නේ. ඒ නිසා විශ්වවිද්‍යාල වරම් නොලැබෙන පිරිසක් පෞද්ගලික විශ්වවිද්‍යාලවල උසස් අධ්‍යාපනය හදාරනවා. තවත් පිරිසක් උසස් අධ්‍යාපනය සඳහා විදෙස්ගත වෙනවා. විදේශ විශ්වවිද්‍යාල උසස් අධ්‍යාපනයට සුදුසුද, ලබාදෙන උපාධිය ගුණාත්මකද නැද්ද යන්න නොසලකා කුමන හෝ රටක විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්න යන්න තරුණ තරුණියන් පෙලඹිලා තියෙනවා. දැන් හැම දෙයක්ම පෞද්ගලීකරණය වෙලා; අධ්‍යාපනයත් එසේමයි. ලංකාවෙදිම උසස් අධ්‍යාපනය ලබාගැනීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශ පහසුකම් පුළුල් කළහොත් විශාල මුදලක් වැය කරලා විදේශගත වෙන්න අවශ්‍ය නැහැ. ඒ නිසා ලංකාවේ උසස් අධ්‍යාපනය මීට වඩා පුළුල් කරන්න ඕනෑ. ලංකාවේ මුදලාලිලා කිහිපදෙනෙක් පෞද්ගලික විශ්වවිද්‍යාල හරහා උසස් අධ්‍යාපන ඒකාධිකාරියක් පවත්වාගෙන යනවා. ඒ ගැන රාජ්‍ය අංශවල අවධානය යොමු වෙන්න ඕනෑ. මේ දරුවන් උසස් අධ්‍යාපනයට කියලා යන රටවල් අධ්‍යාපනයට සුදුසුද නැද්ද කියලා බලන්නෙවත් නැහැ. සමහර දරුවෝ හරිම අනාරක්ෂිතව ඉන්නේ. ඒ නිසා මේ සම්බන්ධයෙන් කඩිනම් වැඩපිළිවෙළක් අවශ්‍යයි.

උසස් අධ්‍යාපනය සඳහා රජය වැඩියෙන් ප්‍රතිපාදන වෙන් කළ යුතුයි

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු රත්කරවුවේ ජිනරතන හිමි

උසස් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවශ්‍යයි කියලා අපි මීට පෙරත් කිව්වා. උසස් පෙළ සමත් සියලුදෙනාට උසස් අධ්‍යාපනය ලබන්න අවස්ථාව තියෙන්න ඕනේ. එහෙම අවස්ථාව නැති නිසා තමයි විදෙස්ගත වෙලා ඉගෙන ගන්න සිද්ධ වෙන්නේ. ඒ සඳහා ලංකාවේ උසස් අධ්‍යාපනය පුළුල් වෙන්න ඕනේ. මේ සම්බන්ධයෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවශ්‍යයි කියලා අපි දිගින් දිගටම කිව්වා. උසස් අධ්‍යාපනය සඳහා පවතින රාජ්‍ය අංශ මීට වඩා පුළුල් කරන්න ඕනේ. විශ්වවිද්‍යාල සහ අනෙක් උසස් අධ්‍යාපන ආයතනවල පවතින භෞතික හා මානව සම්පත් ගැටලු විසඳන්න ඕනෑ. එසේ කළහොත් තවත් විශාල පිරිසක් විශ්වවිද්‍යාල සඳහා බඳවාගන්න ඉඩ හසර ලැබෙනවා. නමුත් සියලුම බලධාරීන් උත්සාහ කළේ අධ්‍යාපනය වෙළෙඳ භාණ්ඩයක් බවට පත් කරන්න. අධ්‍යාපනයට වෙෙළඳපොළ මැදිහත් වුණාම එහි ගුණාත්මක බව වියැකිලා යනවා. රජයට උසස් අධ්‍යාපනය පුළුල් කරන්න පුළුවන් වෙන්න ඕනෑ. උසස් අධ්‍යාපනය සඳහා වැඩි වශයෙන් ප්‍රතිපාදන වෙන් කරන්න ඕනෑ. එසේ නොමැති නම් අද අසර්බයිජානයට වුණු ඛේදවාචකය හෙට වෙන්නේ ලංකාවට.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවශ්‍යයි

මහාචාර්ය සෝමරත්න බාලසූරිය

රජයේ විශ්වවිද්‍යාලවල ඉඩකඩ තිබුණත් නැතත් ශිෂ්‍යයන්ට කැමති නම් විදේශගත වෙලා උසස් අධ්‍යාපනය ලබාගන්න නිදහස තියෙන්න ඕනෑ. නමුත් ඒ සඳහා නියාමනයක් අවශ්‍යයි. කුමන රටවල කුමන විශ්වවිද්‍යාලවලටද යා යුත්තේ කියලා නියාමනයක් තියෙන්න ඕනෑ. ලංකාවේ උසස් අධ්‍යාපනය ඉතාමත් ඉහළ මට්ටමක තියෙනවා. නමුත් ලෝකයේ අධ්‍යාපනය දියුණු මට්ටමක තියෙන රටවල පවා අධ්‍යාපනය අලෙවි කරනවා. ඒ සඳහා ගොදුරු වෙන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල්. එකී රටවල මවුපියන් නොයෙක් දුෂ්කරතා මධ්‍යයේ තමයි දරුවන්ව උසස් අධ්‍යාපනය සඳහා විදේශ රටවලට යවන්නේ. ඒ දරුවන් පවා නොයෙක් අන්දමේ රැකියා කරමින් දුක්ඛිත ජීවිත ගත කරමින් තමයි අධ්‍යාපනය හදාරන්නේ. අසර්බයිජාන්වල සිසුවියන් තිදෙනා මියගිය සිදුවීම ඒ සඳහා උදාහරණයක්. ඒ නිසා උසස් අධ්‍යාපනය සඳහා යන රටවල් සහ යා යුත්තේ කුමක් හැදෑරීමටද යන්න පිළිබඳ නියාමනයක් අවශ්‍යයි. හැම විෂය ක්ෂේත්‍රයකටම උසස් අධ්‍යාපනය ලබන්න විදේශගත වෙන්න ඕනෑ නැහැ. ලංකාවෙත් පෞද්ගලික අධ්‍යාපන ආයතන මඟින් උපාධි ලබාදෙනවා. රජයේ විශ්වවිද්‍යාල පද්ධතිය පවතිනවාට වඩා පුළුල් කරන්න යනවා. තවමත් සියයට 6යි උසස් පෙළ ලියන සිසුන්ගෙන් රජයේ විශ්වවිද්‍යාලවලට යන්නේ. ඒ නිසා මානව හා භෞතික පහසුකම් දියුණු කරලා රජයේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගන්නා විද්‍යාර්ථීන් සංඛ්‍යාව පුළුල් කරන්න ඕනෑ. ඒ සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවශ්‍යයි.

අධ්‍යාපන ප්‍රතිපත්ති පිළිබඳ සාකච්ඡාවලදී මේ ගැටලුව පුළුල් ලෙස සාකච්ඡා විය යුතුයි

ආචාර්ය චරිත හේරත්

මෙය අපේ රටේ උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් දීර්ඝ කාලයක සිට පවතින ගැටලුවක්. ලංකාවේ උසස් අධ්‍යාපන අවස්ථා අහිමි වන දරුවන් විශාල ප්‍රමාණයක් උසස් අධ්‍යාපනය සඳහා විදෙස් රටවලට යනවා. එමඟින් රටට වන හානියක් තමයි රටේ විදේශ විනිමය වෙනත් රටවලට යන එක. ඒ වගේම රට තුළ පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන ආරම්භ කරලා තියෙනවා. එසේ පෞද්ගලික අධ්‍යාපන ආයතන තවත් ආරම්භ කරන විට විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් "අධ්‍යාපනය පෞද්ගලීකරණය කරනවා" කියලා කලබල ඇති කරන එක බරපතළ ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. රජයේ විශ්වවිද්‍යාලවලත් හැමෝටම අධ්‍යාපනය හදාරන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා සිසුන් උසස් අධ්‍යාපනයට විදේශගත වෙන එක වළක්වන්න සහ ලාංකේය උසස් අධ්‍යාපනය තවත් ගුණාත්මක කරන්න නම් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවශ්‍යයි. ඉදිරි රජයක් යටතේ අධ්‍යාපන ප්‍රතිපත්ති ගැන සාකච්ඡා කරන විට මේ ගැටලුව මීට වඩා පුළුල් ලෙස සාකච්ඡා කරන්න අපි බලාපොරොත්තු වෙනවා. කෙසේ නමුත් ජනාධිපතිවරයාගේ අවධානය යොමු වෙලා තියෙනවා නව විශ්වවිද්‍යාල ආරම්භ කරන්න සහ රජයේ විශ්වවිද්‍යාල සඳහා තෝරාපත් කරගන්නා පිරිස වැඩි කරන්න. එය මේ සඳහා හොඳ විසඳුමක් ලෙස මම දකිනවා.

උසස් අධ්‍යාපනය දැන් වාණිජකරණය වෙලා තියෙනවා

ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර

අපේ රටේ දරුවන්ගේ දක්ෂතා විවිධයි; විෂමයි. උසස් පෙළින් සමත් වෙන හැමෝටම විශ්වවිද්‍යාල වරම් හිමිවෙන්නේ නැහැ වගේම උසස් පෙළ අසමත් හැමෝම අදක්ෂ නැහැ. නමුත් ලංකාවේ අධ්‍යාපනය සැකසිලා තියෙන ආකාරය අනුව එයට අනුගත වන්නට සිදුවෙනවා. උසස් පෙළ සමත් සියලු ශිෂ්‍යයන්ට උසස් අධ්‍යාපන වරම් ලබාදෙන්න ජනාධිපතිවරයාගේ අවධානය යොමුවෙලා තියෙනවා. උසස් අධ්‍යාපනය දැන් වාණිජකරණය වෙලා තියෙනවා. බොහෝ තරුණ පිරිස් ඒ සඳහා විදේශගත වෙනවා. උසස් අධ්‍යාපනයට විදෙස්ගත වන්නන් අතර වැඩිපුර ඉල්ලුම පවතින්නේ වෛද්‍ය විද්‍යාව හැදෑරීම සඳහා. ඒ සඳහා මවුපියන් ණය වෙලා හෝ ඉඩකඩම් උකස් කර හෝ දරුවන් උසස් අධ්‍යාපනය සඳහා විදේශයන්ට යවනවා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමත ලැයිස්තුවක් තියෙනවා විදේශ විශ්වවිද්‍යාල සම්බන්ධයෙන්. ඒ ගැන සොයා බැලීමක් නොමැතිව කුමන හෝ විදේශ විශ්වවිද්‍යාලයකට දරුවා ඇතුළත් කිරීමයි මවුපියන්ගේ අරමුණ. දරුවා යවන රටේ සමාජ පරිසරය පිළිබඳව හෝ දරුවා ආරක්ෂිත වටපිටාවක ජීවත් වෙනවාද නැද්ද යන්න පිළිබඳ හෝ සොයා බැලීමක් කරන්නේ නැහැ. ලංකාවේ පෞද්ගලික විශ්වවිද්‍යාල ගැනත් සමාජයේ යම් දුර්මතයක් පවතින්නේ. විවිධ ආයතන මඟින් විවිධ රටවල විශ්වවිද්‍යාල හා සම්බන්ධ වෙලා උසස් අධ්‍යාපනය ලබාදෙනවා. රටකට මේ සඳහා යම් සැලැස්මක් තිබිය යුතුයි. එසේ නොමැති දරුවන්ට මේ වගේ අවාසනාවන්ත සිදුවීම්වලට මුහුණදෙන්න වෙනවා. කලිනුත් මේ වගේ සිදුවීම් කිහිපයක් වුණා. ඒක කනගාටුදායක තත්ත්වයක්. ඒ නිසා මේ සඳහා සුදුසු වැඩපිළිවෙළක් අවශ්‍යයි.

ප්‍රතිපත්තිමය තීරණයක් ගත යුතුයි

මහාචාර්ය ගීතානි බුලන්කුලම

ලංකාව වගේ සංවර්ධනය වෙමින් පවතින රටක ආර්ථිකය හැරුණු කොට අනෙක් අංශයන්හි සංවර්ධන දර්ශක හොඳ මට්ටමක තියෙනවා. විශේෂයෙන් අධ්‍යාපනය හා සෞඛ්‍ය පිළිබඳව සලකා බැලූ කල හොඳ මට්ටමක තියෙනවා. නමුත් ආර්ථික වර්ධනයේ පසුබෑමක් පසුගිය වකවානුවේ සිදුවුණා. ඒ සමඟම අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනයක් පෙන්නුම් කළා. ලංකාවේ අධ්‍යාපනය තුළ ආකල්ප සංවර්ධනය සඳහා නැඹුරුවීමක් පෙන්නුම් කරන්නේ නැහැ. ඒ නිසාම උසස් අධ්‍යාපනය සඳහා වසරකට තරුණ තරුණියන් විශාල ප්‍රමාණයක් විදේශගත වෙනවා. මේ වගේ විදේශගත වෙන්නේ අධ්‍යාපන හදාරනවාටත් වඩා කුමක් හෝ රටකට ගිහින් ඉගෙන ගැනීමේ මානසිකත්වයෙන් කියලත් හිතෙනවා. මේකෙන් ලංකාවේ ආර්ථිකයටත් යම් බලපෑමක් වෙනවා; විදේශ විනිමය වෙනත් රටවලට යෑම නිසා. ලංකාවේ මේ වන විට පෞද්ගලික අධ්‍යාපන ආයතන තියෙනවා. ඒවා වෙනත් විදේශ රටවල විශ්වවිද්‍යාල සමඟ සම්බන්ධ වෙලා උපාධි ලබාදෙනවා. වෛද්‍ය උපාධිය හැර අනෙකුත් සියලුම විෂයන් සඳහා පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන විසින් උපාධි ලබාදෙනවා. මේ සඳහා නිසි ප්‍රතිපත්තියක් හැදෙන්න ඕනෑ කියලා මම හිතනවා. උසස් පෙළ සමත් සියලු දෙනාටම රජයේ විශ්වවිද්‍යාල සඳහා වරම් ලැබෙන්නේ නැති බව හැමෝම දන්න දෙයක්. උසස් පෙළ ලියන අපේක්ෂකයන්ගෙන් සියයට 6ක් පමණයි රජයේ විශ්වවිද්‍යාල සඳහා වරම් ලබන්නේ. ඉන් සියයට 80ක් පමණ පිරිසක් විධිමත් අධ්‍යාපනයෙන් බැහැර වෙනවා. මේ සඳහා රජය විසින් ප්‍රතිපත්තිමය තීරණයක් ගත යුතුයි. නව විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට රජයේ අවධානය යොමුවෙලා තියෙනවා. ඒ වගේම පවතින රජයේ විශ්වවිද්‍යාලවල භෞතික හා මානව සම්පත් දියුණු කර විශ්වවිද්‍යාල ප්‍රවේශය සංඛ්‍යාත්මකව ඉහළ නංවන්න ඕනෑ. ඒ වගේම මේ විදේශ රටවල විශ්වවිද්‍යාල සඳහාත් යම් නියාමනයක් අවශ්‍යයි. ලංකාවට පුළුවන් වෙන්න ඕනෑ උසස් අධ්‍යාපනය සඳහා ශිෂ්‍යයන් යා යුත්තේ කුමන රටවලටද ඒ සඳහා තොරාගත යුත්තේ කුමන විශ්වවිද්‍යාලද කියලා තෝරලා බේරලා දෙන්න.

[නිර්මාණි බණ්ඩාරනායක]

News Order: 
1
මාතෘකා