විජිතපුර සටනට ආයුධ හැදූ කොට්ටල්බද්ද කම්මල්කරුවෝ

 ඡායාරූපය:

විජිතපුර සටනට ආයුධ හැදූ කොට්ටල්බද්ද කම්මල්කරුවෝ

පොළ කැත්ත, විසි කැත්ත, ඇඹුල් කැත්ත, මන්නා පිහිය, දෑ කැත්ත, හිරමනා තලය, පන්කැත්ත, නගුල් තලය, උදලු තලය, පොරව, කුරහන් කැත්ත, ගිරය ආදී මෙකී නොකී එදිනෙදා ජන ජීවිතයට අත්‍යවශ්‍ය බොහෝමයක් ආම්පන්න නිෂ්පාදනය කළ කම්මල් කර්මාන්තය වර්තමානයේ කඳුළු අතර දියවෙමින් තිබේ. අද වන විට කොහේ හෝ ගම්මුල්ලක පවත්වාගෙන යන කම්මලක් දෙකක් දක්නට ලැබුණද එය කර්මාන්තයක් ලෙස ක්‍රමානුකූලව අභාවයට යමින් ඇති බව සැඟවිය නොහැක්කකි.

මෙරට සාම්ප්‍රදායික ගම හැම අතකින්ම පාහේ ස්වයංපෝෂිත වූවකි. තුන්වේල සරිකර ගැනීම උදෙසා අවැසි භවභෝග සම්පත්වලින් ගම සුරක්ෂිතව තිබිණි. කෘෂිකාර්මික කටයුතු සඳහා අවැසි හරකාබාන, වැව්අමුණු ආදියෙන්ද අඩුවක් නොවිණි. එදිනෙදා ජන ජීවිතයට අවැසි ආම්පන්න සකසා, සපයා දීමට සුදුසු හැකියාවෙන් යුතු සාම්ප්‍රදායික වෘත්තිකයන්ගෙන්ද ගම සවිමත්ව තිබිණි. “ලෝකුරු” හෙවත් “කම්මල්” කර්මාන්තයද එවක ගමේ ස්වඋත්පාදන ආර්ථිකයට මනා රුකුලක් වී ඇත. ඉමහත් පිළිගැනීමක් දිනමින් කම්මල් බාසුන්නැහැද එදවස ගම තුළ ඉහළ භූමිකාවකට පණ දුන්නේය.

කරුණු එසේ තිබියදී අනුරාධපුරයේ, ඉපලෝගම, “කොට්ටල්බද්ද” ගම්වාසීන් කිණිහිරය මත තවමත් ජීවිත අපේක්ෂාවන්ට පණ පොවති. තම ඒකායන ජීවනෝපාය කම්මල් කර්මාන්තය කොට ගත් ඔවුනගේ ජීවන අන්දරය සිනහ, කඳුළු මැද හුදෙකලා වූවකි. හැට හැවිරිදි ජේ.ඒ. නවරත්න මහතා ඉන් වසර හතළිහකට වැඩි කලක් ගෙවා ඇත්තේ ගිනියම් කම්මල තුළය. අද දවස වන විට කොට්ටල්බද්ද ගමේ ජීවත්ව සිටින කම්මල් බාසුන්නැහැලා අතර නවරත්නට ඇති අත්දැකීම් සම්භාරය තවෙකකුට නැති තරම්ය. මතක ඇති කාලයේ ඔහු සමඟ කම්මලේ දිවිසැරිය ඇරඹූ බොහෝ දෙනකු ගමන අතරමඟ නිමාකොට නික්ම ගොසිනි.

“ගමේ හිටපු පරණ බාස්ලා ගොඩක් අය දැන් නෑ. පරණම අයගෙන් දැන් ඉන්නේ මමයි තව යාළුවකුයි විතරයි. අද වෙනකොට අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි යකඩ හොයා ගන්නේ කොහොමද කියන එක. ඉස්සර අපිට කාර්මික සංවර්ධන මණ්ඩලය හරහා යකඩ, වානේ එහෙම දෙන වැඩපිළිවෙළක් තිබුණා. ඔය බස් ඩිපෝවලින් එහෙම අහක දාන දුනුකොළ වගේ දේවල් ලාභයට අරගෙන දුන්නා අපිට. ගම්වල සමුපකාර සමිති පිහිටුවලා තිබුණා. නිලධාරීන් ගමට ආවා. දැන් සමිතිත් කඩාකප්පල් වෙලා තියෙන්නේ. කිසිම නිලධාරියෙක් ගම පැත්ත පළාතේ එන්නේ නෑ. අපිට යකඩ හොයාගෙන තැන් තැන්වල යන්න වෙලා තියෙන්නේ. එකතු කරලා යකඩ විකුණන මිනිස්සු ළඟ ගාණ වැඩියි. කිලෝ එක රුපියල් එකසිය පනහක් විතර වෙනවා. ඒ ගාණට අරගෙන බඩු හදලා විකුණන්න ගියහම මිනිස්සු කියන්නේ අපේ බඩුවල ගාණ වැඩියි කියලා.”

කොට්ටල්බද්ද මෙම ප්‍රදේශයේ පිහිටි සාම්ප්‍රදායික පැරණි ගම්මාන කිහිපය අතුරින් එකකි. මහවැලි සංවර්ධන ව්‍යාපාරය මෙහි එන්නට පෙර සිටම මෙම ගම් ප්‍රදේශයේ පතළව පැවත ඇත. ඒ මෙම කම්මල් කර්මාන්තය හේතුවෙනි. දැන් මෙහි පරම්පරා කිහිපයක් වානේ පන්නරය තබමින් කල් ගෙවති. කැකිරාව නගරයේ සිට එප්පාවල දෙසට පැමිණෙන අතරවාරයේ කිලෝමීටර් දොළහක් පමණ ආ පසු කොට්ටල්බද්ද මුණගැසේ.

කොට්ටල්බද්ද ගමේ ඉතිහාස කතාව දුටුගැමුණු රජ දවස දක්වා දිවයන්නක් බව ජනප්‍රවාදයේ කියැවේ. ගැමුණු කුමරු සේනා සංවිධාන කොට එලාර රජු සහ පිරිවර සමඟ ඇවිළුණු විජිතපුර මහ සටන දක්වාම එම ඉතිහාසය දිගහැරෙන බව ජනප්‍රවාදගතව පවතී. එම අවසන් සටන සඳහා අවැසි අවි ආයුධ සකසා, සපයා දුන් ගැමියන් විසූ එක් ගම්මැද්දක් ලෙස කොට්ටල්බද්ද සැලකේ. නිල් දිය දහරින් විචිත්‍රවත් විසල් කලා වැවට මඳක් ඔබ්බෙන් පිහිටි විජිතපුර රාජමහා විහාරය මේ ඓතිහාසික පුරාවෘත්තවල ජීවමාන සාක්ෂිකරුවෙකි. එහි පිහිටි “කඩු ගෑ ගල” ජන මන පතළය. අවසන් සටන ඇවිළුණු ජය භූමිය ලෙස මේ අඩවිය අදද මෙහි ගැමියන්ගේ බුහුමනට ලක්වෙයි.

මේ අන්දමින් ඓතිහාසිකව විජිතපුර අවසන් සටනට උරදුන් ප්‍රවේණිගත ගැමියන් විසූ ගම් කිහිපයක්ම කොට්ටල්බද්දට යාබදව පවතී. පාරම්පරික වාද්‍ය ශිල්පීන් විසූ මුඩපෙරුමාගම, පොත පතේ ශිල්ප ශාස්ත්‍ර ලියා කියා ඉගැන්වූ උදවිය ජීවත්ව ඇති ශාස්ත්‍රවෙල්ලිය වැනි ගම් ඒ අතර වේ. කොට්ටල්බද්ද ගමට කිලෝමීටර් කිහිපයක් ඔබ්බෙන් පිහිටි සඳගල්පායද එවැනි ගමක් බවට ජනප්‍රවාදයේ කරුණු කියැවේ. විවිධ පරිවර්තනයන් හමුවේ වුවද අදද කොට්ටල්බද්ද ගමේ වැඩි පිරිසකගේ ජීවනෝපාය කම්මල මඟින් සරි වේ.

හැට එක් වියැති චන්දන කරුණාරත්න කිණිහිරය මත පදම් වන දිවිසැරිය ගැන කීයේ මෙවැනි කරුණුය.

“මුළු ගමේම පවුල් හැත්තෑවක් විතර ඉන්නවා. වැඩි දෙනෙක් ජීවත් වෙන්නේ මේ කම්මල් රස්සාවෙන්. ග ෙම් කම්මල් 20ක් විතර තියෙනවා. හැම පවුලකටම තමන්ටම කියලා කම්මලක් නැති වුණත් පුළුවන් විදිහට කාගේ හරි කම්මලකට එකතු වෙලා පිරිමි අය රස්සාව කරනවා. අද කාලේ මිනිස්සු කැමැති නෑ නිකරුනේ රස්තියාදු වෙන්න. හොඳ නරක මොකක් වුණත් කඩෙන් බඩු ගන්න තමයි ගොඩක් අය කැමැති. අනෙක් එක මිනිස්සු හිතනවා අපේ බඩුවල ගාණ වැඩියි කියලා. මේවා හදන්න යන වියදමයි අපේ මහන්සියයි බලපුවහම අපට මහ ලොකු ලාභයක් නෑ. සමහර මාසවල කරන්ට් බිල දැක්කහම ඔළුවේ කැක්කුම හැදෙනවා. මේ ඔක්කොම එක්ක අපට ජීවත් වෙන්න තියෙන එකම කර්මාන්තේ මේක. අපි කන්නේ, බොන්නේ, දරුවෝ දීගතල දෙන්නේ මේ හම්බ කරන කීයෙන් හරි තමයි.”

සාම්ප්‍රදායික කම්මලේ තිබූ “මයිනහම” දැන් කොට්ටල්බද්දේ කොතැනකවත් දැකගත නොහැකි තරම්ය. මෙහි ගැමියන් මයිනහමෙන් ඈත් වී වසර කිහිපයක් ගත වී ඇත. ඒ ගමට විදුලිය ලැබීම හේතුවෙනි. එහෙයින් විදුලි බලෙන් වානේ රත් කිරීමට අවැසි අඟුරු අවුළුවා ගත හැකිය. කම්මලේ වැඩ වෙහෙසකරය. එහෙත් එහි වූ සාම්ප්‍රදායික ඥානයට දෙස් දෙන මයිනහම අපූරු උපකරණයකි. මයිනහමෙහි මූලික ක්‍රියාවලිය සුළං නිපදවා දීමය. මයිනහමක් සෑදීම සඳහා පදම් කළ හරක් සම් පහක් පමණ අවශ්‍ය වන බව මෙම ගැමියන් පවසන තොරතුරු අතර වේ. හරක් සම් තබා ඇණ ගසා බෙරයක් බඳු අභ්‍යන්තරයකින් යුතුව මෙම මෙවලම සාදා ගනියි. මයිනහම ඇරෙන වැසෙන අතරවාරයේ සුළං පිට වේ. මෙසේ සුළං නිපදවීමට උපකාරී වන්නේ හම්පොල්ල නම් වූ සාමාන්‍ය මිනිසකුගේ උසට වඩා අඩි දෙකක් පමණ උසින් මයිනහමට සවිකර ඇති ලී ආධාරකය ඉහළ පහළ ඇදීමෙනි.

මෙසේ නිපදවෙන සුළං යකඩ බටයක් දිගේ මයිනහමට සමාන්තර උසකින් ඇති “උෂ්ණය” වෙත වේගයෙන් ළඟා වෙයි. උෂ්ණය හා මයිනහම කෙටි වරිච්චි බිත්තියකින් වෙන්ව එහෙත් එකිනෙකට සම්බන්ධව තිබේ. උෂ්ණය තුළ ඇති අඟුරු ඇවිළෙන්නේ මෙසේ එන සුළං පහරිනි. උෂ්ණය යනු යකඩය හොඳින් රත් කර ගන්නා ස්ථානයයි. කිණිහිරය ඇත්තේද උෂ්ණය අසලය. රත් වූ යකඩය නිවෙන්නට පෙර තළා ගන්නේ මේ කිණිහිරය මතදීය.

රත් වූ යකඩ පදම් කිරීමේ කලාව හොඳින් දත් හේමන්ත සුමනසේන කිණිහිරේටම දිය වූ සෙයකි. අද දවසේ කම්මල් කෙරුවාව ගැන ඔහුට ඇත්තේ කනස්සල්ලකි.

“එක පැත්තකින් නානාප්‍රකාර ආයුධ වෙළෙඳපොළට එනවා. මේ කර්මාන්තය විතරක් කරලා ජීවත් වෙන එක අද හරිම අමාරුයි. ඒත් වෙන දෙයක් කරන්න අපි දන්නෑ. දන්න කියන දවසේ ඉඳලා අතහුරු වුණේ මේ කර්මාන්තෙට. මේක අපේ පරම්පරා උරුමේ. ගොවිතැන් කරන්න වුණත් ඉඩක් නෑ. ඉඩමකට කියලා තියෙන්නේ මේ පදිංචි වෙලා ඉන්න අක්කර කාල විතරයි. මේ හැමදේම තියෙද්දි තාමත් මිනිස්සු කැත්තක්, පිහියක් හදා ගන්න එන්නේ පරණ පුරුදු ගාණටමයි. ඒ අය ඉල්ලන ගාණට බඩු දීලා මේ කර්මාන්තේ කරන්න බෑ.”

පෙර රජ දවස ගමින් ගමට කම්මල් කර්මාන්තයේ හපන්කම් ඇත්තවුන් පත් කිරීම සම්ප්‍රදායක් කොට පැවැති වග පැවසේ. ඓතිහාසික කාරණාවලට අනුව මෙසේ පත්කොට ඇති කම්මල් කාර්මිකයන් වෙත පැවරුණු කාර්යන් අතර ප්‍රදේශයේ නිල හොබවන්නවුන් වෙත අවැසි ආම්පන්න සාදා දීමට නියම වී ඇත. මෙහෙයින්ම නිරායාසයෙන්ම කම්මල්කරුවාගේ ජීවනෝපාය සරි වී ඔහු සුරක්ෂිත වී තිබේ. එවක කම්මල් බාසුන්නැහැ හා ගම්වාසීන් අතර වූයේ අවියෝජනීය, අව්‍යාජ, ෙළන්ගතු සබඳතාවකි. කම්මල් කර්මාන්තය ලාංකීය ජන ජීවිතයේ එවක පැවැති සරල දිවි පෙවෙතට මනා රුකුලක්ව තිබේ. එහෙත් වර්තමානයේ එම තත්ත්වය හාත්පසින්ම වෙනස් වී කම්මල් කර්මාන්තය සේම බාසුන්නැහැද ඉවතලන රම්පේ, කරපිංචා මෙන් වී තිබේ.

යකඩ රත් කිරීම උදෙසා අවැසි අඟුරු සඳහා දැව සපයා ගැනීමද අද වන විට කොට්ටල්බද්ද ගැමියන්ට ඇති තවත් ගැටලුවකි. ඉතා හොඳ අඟුරු අස්වැන්නක් ඇති පලු, වීර වැනි දැව වර්ග හිඟ වී තිබේ. අන්දර, කෝන්, ඇහැල ආදියද සොයා ගැනීම අසීරු වී තිබේ. පාන් පෝරනු ආදියෙන් ඉවතලන අඟුරු සොයා විත් යන්තමින් දවස පිරිමසා ගත හැකිය. ඊට අමතරව ඉන්දියාව, චීනය වැනි රටවල නිෂ්පාදිත හැඩවැඩ දැමූ පිහි වර්ග ආදිය ලංකාවට ආනයනය කිරීමද සාම්ප්‍රදායික කම්මල්කරුවන්ගේ වෙළෙඳපොළ අර්බුදය උග්‍ර කරන්නක් වී තිබේ. මේ හැම අතරේ පාරම්පරික කම්මල් කර්මාන්තයෙන් තරුණ පිරිස ඈත් වීම අද කොට්ටල්බද්දටද උරුම පොදු ගැටලුවක් වී තිබේ.

සුරංග කුමාර නවරත්න කම්මලේ එකලස් වන ආම්පන්න ගමින් ගම ගොස් විකිණීමට වෙහෙස වෙයි. මේ ඔහු කියන කතාවය.

“මං කරන්නේ අපි හදන දේවල් පිට ගම්වලට ගිහිල්ලා විකුණන එක. එහෙම ගියත් ප්‍රශ්න නැතිව නෙමෙයි. සමහර මිනිස්සුන්ගේ කකුල් දෙක ළඟට බඩු ගිහින් දුන්නත් ගන්න පුළුවන් අඩුම ගාණට තමයි ඒ අය බඩු ඉල්ලන්නේ. පුදුමේ කියන්නේ ඒ බඩුව කඩවලින් කීයයි කිව්වත් ගන්න ඕනෑතරම් මිනිස්සු ඉන්නවා. අපෙන් බඩු ගන්න එන හුඟ දෙනකුට අපේ මහන්සිය ගැන ගාණක් නෑ. කැති, මන්නා, පොරෝ එහෙම පණ පොවන්න, නඟුල් තල හදා ගන්න වගේ එදිනෙදා වැඩ කර ගන්න සමහරු එනවා. එහෙම කට්ටිය වැඩිපුර ආපු දවසට කීයක් හරි ඉතුරු කර ගන්න පුළුවන්.

එහෙම නැතිව ආම්පන්න හදලා පිට වෙළෙන්දකුට දීලා මේ කර්මාන්තෙන් ආදායම් හොයන්න බෑ. එතකොට වැඩිම ලාභය යන්නේ වෙළෙන්දන්ට.”

බොහෝමයක් පාරම්පරික දේශීය කර්මාන්ත අභාවයට යෑම කෙරෙහි අප එකිනෙකාගේ ඕනෑඑපාකම්, ඇවතුම් පැවතුම්, සිතුම් පැතුම්වල වෙනස් වීමද නොඅඩුව බලපා ඇති බව නොකියමනාය. දෑතේ සවියත් සිතේ ධෛර්යත් පිළිබඳ විශ්වාසයෙන් යකඩ මට්ටු කරන මේ මිනිසුන් ඒ වග දනීදැයි නිරවුල් නැත. දෙදෙනකු එක්ව යකඩයක් හෝ වානේ කෑල්ලක් තුනී කිරීම රිද්මයානුකූල වැඩකි. එකකු පොඩි මිටියෙන් යකඩයේ තැළිය යුතු තැන පෙන්වයි. අනෙකා ලොකු මිටියෙන් ඉලක්කයට පහර දෙයි. පොඩ්ඩ එහේ මෙහේ වුවහොත් අනතුරක් සිකුරුය.

අඟුරු සඳහා දැව ලබා ගැනීමට අවැසි හොඳ යෝජනාවක්ද කොට්ටල්බද්ද ගැමියන් සතුව පවතී. දැව සංස්ථාව වැනි ආයතනයකින් ඉවත ලන, වැඩක් ගත නොහැකි දැව කඳන් සුළු මුදලකට ලබා ගැනීමට පොටක් පාදා දිය හැකි අයකු වේ නම් අගනේ බව ඔවුන් පවසයි. එහෙත් කිසිවකුත් ඒ සඳහා ඉදිරිපත් වේ යැයි ඔවුනට විශ්වාසයක් නොවේ. දැන් දැන් ගම ආසන්නයේ කැකිරාව - එප්පාවල මඟ දෙපස කැති, පොරෝ, මන්නා පිහි, හිරමනා වැනි ආම්පන්න විකණීමට තබා ඇති අයුරු කොට්ටල්බද්දේදී දැකගත හැකිය. සමහරකු යකඩ තැළීමෙන් සපුරාම ඉවත් වී ආම්පන්න විකිණීමට අත ගසා ඇත. ඒ සඳහා සැලකිය යුතු ඉල්ලුමක් පැවතීම මේ ගැමියන්ට සැනසීමකි. එහෙත් ඒ සැනසීමට අකුල් හෙලන ගැටලු අතොරක් ඔවුන් පිරිවරා සිටින බව දන්නේ ඔවුන්ම පමණකි.

තඹුත්තේගම විශේෂ [ඩබ්ලිව්. ප්‍රදීප්]

මාතෘකා