හිරු නැඟෙන කල්ලඩි වෙරළ

 ඡායාරූපය:

හිරු නැඟෙන කල්ලඩි වෙරළ

පිනිබිඳු විසිරෙන, තෙතබරිත මුහුදු සුළඟේ වෙළෙමින් පැමිණෙන ලා හිරු කිරණ වෙරළ තීරය සිප ගනී. හිමිදිරි උදයේ නැඟෙනහිර වෙරළින් මතුවන හිරු, මුළු වෙරළ තීරයම තම අණසකට ගනිද්දී වෙරළ තීරයේ දැල්වුණු විදුලි පහන් කෙමෙන් නිවී යයි. වෙරළ තීරයේ කෙළවරක ඉදිකර ඇති ලී පාලම දිගේ කුඩා ළමෝ එහා මෙහා දිවයති. ෆයිනස් තුරු සෙවණ යට ඇති බංකුවක සිටිනා පෙම් යුවළක් මොනවාදෝ මුමුණයි. දෙමළ බසින් කෙරුණත් එහි ප්‍රේමණීය බව ඔවුන්ගේ ඉඟි බිඟිවලින් පෙනෙයි. ප්‍රේමයට සිංහලද දෙමළද යන්න වැදගත් නොවනවා සේම සුන්දරත්වයටද නැඟෙනහිර බටහිර වෙනසක් නොදැනේ. බටහිර වෙරළේ බෙන්තර මෙන්ම නැඟෙනහිර වෙරළේ කල්ලඩිය එක සේ සොඳුරුය. එක සේ ප්‍රේමණීයය. පෙම්වතුන් ගැවසෙන බටහිර දකුණු සීමාවේ බොහෝ වෙරළ තීරයන් මෙන්ම නැඟෙනහිර වෙරළේ කල්ලඩි වෙරළ තීරයද මඩකලපු පෙම්වතුන්ට ප්‍රේමණීය ඉසව්වකි. මඩකලපුවේ මිනිසුන්ට එය කදිම විවේක ස්ථානයකි. ගිනිගත් නැඟෙනහිර මොහොතකට හෝ සිසිලස විඳිය හැකි සොබා සොඳුරු උද්‍යානයකි.

මේ සොබා සොඳුරු කල්ලඩි වෙරළ තීරය නැඟෙනහිර පළාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ මන්මුනෙයි උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සීමාවෙහි සුප්‍රකට කල්ලඩි පාලමට නුදුරින් මඩකලපුව කල්ලඩි ප්‍රදේශයෙහි පිහිටා තිබේ. පළල් වෙරළ තීරයකින් සමන්විත කල්ලඩි වෙරළ තීරය සංචාරක කටයුතු සඳහා සකස් කරන ලද නැඟෙනහිර වෙරළෙහි පිහිටන ප්‍රකට සංචාරක ස්ථානයකි. දිවයිනේ නන් දෙසින් මඩකලපුව වෙත පැමිණෙන සංචාරකයන්ගේ ජනප්‍රිය සංචාරක ස්ථානයක් වන කල්ලඩි වෙරළ මඩකලපු වාසීන් බොහෝ දෙනකුටද ඔවුන්ගේ නිවස සහ ජීවිතය වැනිම වූ ස්ථානයකි. මේ නිසා විවේකී දිනයන්හි මඩකලපුවාසීන් බොහොමයක්ද මෙම ස්ථානයට පැමිණෙනු දක්නට ලැබිය හැකිය. වෙරළට පැමිණෙන වැඩිහිටියන් තම වෙහෙස නිවා ගනිද්දී කුඩා දරුෙවා් නිදහස් ප්‍රීතිය භුක්ති විඳීමින් වෙරළ පුරා දුව පැන ඇවිදිති. මිනිසුන් මෙන්ම සතුන්ටද නිදහසේ සැරිසැරීමට මෙහි අවස්ථාව හිමිව තිබෙන අතර පක්ෂීන් කුසගින්න තුරන් කිරීම සඳහා ආහාර සොයා ගැනීමට පියාසලද්දී සුනඛයෝ වැලි යට පෙරළෙමින් තෘප්තියක් ලබති.

අතීතයේ එතරම් ප්‍රසිද්ධියක් මෙම වෙරළ තීරයට නොලැබුණද සුනාමියෙන් පසු ඇතිවූ සංවර්ධනයත් සමඟ මෙම වෙරළ තීරයෙහිද සංචාරක පහසුකම් වර්ධනය කර සංචාරකයන් සඳහා වෙරළ උද්‍යානයක් ඉදිකරන ලදි. 2004 වසරේදී සිදුවූ සුනාමි ව්‍යසනයේදී මේ වෙරළ තීරයද දරුණු විනාශයකට ලක්‌වූ අතර වර්තමානයේ පවා එහි නටබුන් දක්නට හැකිය. සුනාමියෙන් හානි වී නැවත ගොඩනඟන ලද තිරුචෙන්ටූර් (Thiruchentoor) හින්දු කෝවිලද මේ අසල දැකිය හැකි අතර සුනාමි මතක සටහන් වෙරළෙහි සුන්දරත්වයට හානි නොවන අයුරින් සංරක්ෂණය කොට තිබේ. සුනාමියෙන් පසුව අලංකාර වෙරළ උද්‍යානයක්‌ ලෙස නවීකරණය කිරීමේදී ළමා උද්‍යානයක් හා ක්‍රීඩා අංගණයක්, උද්‍යාන බංකු සහ කුටි, ඇවිදීමේ මං පෙත්, ලී පාලම්, අවන් හල්, ගිමන් හල් හා සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් මෙහි ඉදිකර තිබේ. ක්‍රමානුකූල සංවර්ධනයකට ලක්කර ඇති මෙහි සියලු සංවර්ධන කටයුතු පරිසර සුන්දරත්වය ඉස්මතු වන අන්දමින් නිමවා තිබීම විශේෂත්වයකි.

වෙරළ තීරය එක් පසෙකින් අලංකාර ෆයිනස් වන වගාවකින් ආවරණය වන අතර වෙරළ තීරය දිගේ දිවෙන කස ගස්‌ පෙළ වෙරළ තීරයට සුන්දරත්වයක්‌ එක්කරයි. පාසිකුඩා වැනි නැඟෙනහිර බොහෝ වෙරළ තීරයන්හි දක්නට ලැබෙන සිනිඳු වැලි සහිත වෙරළ තීරය වෙනුවට මෙහි හමුවන්නේ ගොරෝසු වැල්ලක් සහිත වෙරළ තීරයකි. මේ නිසා ඉතා පහසුවෙන් ඇවිදීමට සහ ක්‍රීඩා කිරීමටද මෙම වෙරළ තීරය ඉතා යෝග්‍ය වන අතර ජාතික මට්ටමේ ක්‍රීඩා තරගාවලි ගණනාවක්ම මෙම වෙරළ තීරයෙහි පැවැත්වීම සිදුවේ. ක්‍රීඩා තරගාවලි නොමැතිව වෙරළෙහි සුන්දරත්වය විඳීමට පැමිණෙන පිරිස් පවා වෙරළ ක්‍රීඩා පිටියක් බවට පත්කර ගන්නා අවස්ථා ඕනෑ තරම්ය. නැඟෙනහිර ‍වෙරළ තීරය මුහුදෙහි නෑම සහ කිමිදීම සඳහා ප්‍රකට වෙරළක් වූවද මෙම කල්ලඩි වෙරළ ඒ සඳහා සුදුසු නොවීමද විශේෂත්වයකි. මෙම වෙරළ තීරය සතු මුහුදු ප්‍රදේශය අනතුරුදායක ප්‍රදේශයක් ලෙස සැලකෙන බැවින් සියලු සංචාරක කාර්යයන් වෙරළ තීරයට පමණක් සීමාවී තිබේ. ඒ නිසා කෙතරම් සුන්දර මුහුදක් හිමි වුවද මුහුදට බැස දිය නෑමෙහි නිරත සංචරකයන් මෙහිදී දැකිය නොහැකිය.

ක්‍රීඩා තරග මෙන්ම රාත්‍රී සාද සඳහාද මෙම වෙරළ ඉහළ ප්‍රසිද්ධියක් උසුලයි. රාත්‍රියේදී වෙරළ උද්‍යානයෙන් එපිට සීමාවේ ගිනිමැල සකස් කරගනිමින් වෙරළේ සාද පවත්වන්නන් මෙන්ම සඳ එළියේ අසිරිය විඳිමින් වැල්ලේ නිදන්නෝද මෙම වෙරළ තීරයේදී දැකිය හැකිය. මැදියම් රැය වන විට වෙරළ සොයා එන කකුළුවන් අල්ලන්නන් විදුලි පන්දම් දල්වා වෙරළෙහි සක්මන් කිරීමද රාත්‍රියේ මෙම වෙරළේ සුලබ දසුනකි.

අධික ජනගහනයක් නොමැති බැවින් පවුලේ සාමාජිකයන් සමඟ පැමිණ සාමකාමී ලෙස කාලය ගත කළ හැකි මෙම වෙරළ මෙරට අනෙක් වෙරළ තීරයන් මෙන් කුණු කසළ විශාල ලෙස එක් රැස් නොවූ වෙරළකි. නමුත් මෙම සුන්දර වෙරළ තීරය අපිරිසුදු කරන්නෝද සිටිති. මේ නිසා ඒ පිළිබඳ අවවාද කරමින් අවවාදාත්මක පුවරු සවි කිරීමට පවා මෙම වෙරළ තීරය පාලනය කරන මඩකලපුව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට සිදුවී තිබේ. හුදෙක් වෙරළක් නොව බොහෝ මිනිසුන්ගේ ජීවිත රඳා පවතින තවත් කුඩා ගම්මානයක් සහ වටිනාකම් රැසක් සහිත සොඳුරු පරිසර පද්ධතියක් ලෙස සැලකිය හැකි මෙම වෙරළ තීරයෙහි සුන්දරත්වය සැමදා පවත්වා ගත යුතුය.

[අසිරු වේදිත කරුණාරත්න]

මාතෘකා