ෆේස්බුක් වීරයෝ

 ඡායාරූපය:

ෆේස්බුක් වීරයෝ

වීරයෝ ගැන කිව්වම අපිට පුංචි කාලේ කියලා දෙනවා ජාතික වීරයෝ ගැන. හැබැයි පස්සේ කාලෙක අපි ස්වාධීනව හිතන්න ගත්තම අපි වීරයෝ මාරු කරනවා අපිට ඕන විදිහට. පොඩි කාලේ පොත්වල දකින වීර පුරන්අප්පු, මද්දුම බණ්ඩාර, කැප්පෙටිපොළ වගේ වීරයෝ වෙනුවට තරුණ වෙනකොට බොබ් මාලේ, චේ ගුවේරා වගේ අය Repalce වුණා. තවත් කියැවීම වැඩි වුණාම ජිජැක්, ඩෙරීඩා, වගේ අය වීරයෝ වෙනවා. වීරත්වය කියන එක එහෙම හුවමාරු වෙන යුගයක් ඒ කාලේ තිබුණා.

ඒත් දැන් එහෙම තමන්ගේ වීරයා තමන්ට හොයා ගන්න අවස්ථාවක් නෑ. පුද්ගල අයිතීන් සියල්ල තමන් මත පටවාගෙන ඉන්න Media විසින් නිර්මාණය කර පෙන්වනු ලබන වීරයා අපිට අපේ වීරයා බවට පත් කර ගන්න වෙනවා. නැත්තං නිකං අපි සමාජයෙන් කොන් වුණා වගේ එකක් තියෙන්නේ. කිසිම reading එකක් නැතුව Media එක කියන ඕනෑම වීරයෙක් අපේ වීරයෙක් කර ගන්න අපිට සිදු වෙනවා. මේ වෙනකොට මේ වීරයා නිර්මාණය කිරීමේ කාර්ය වැඩිපුරම කරන්නේ Social media එක. ෆේස්බුක් එකේ කාලෙන් කාලෙට දවසින් දවසට විවිධ වීරයෝ නිර්මාණය කරනවා. මේ වීරයන් නිර්මාණය කරන වැඩේ හරි භයානක එකක්. මොකද සමාජය ගැන කිසිදු කියැවීමකින් තොරව ට්‍රෙන්ඩ් එකට වීරයෝ බිහි කරන ක්‍රියාවලියක් දැන් සිදු වෙන්නේ.

මොකද දැං Social media මෙහෙයවන්නේ සමාජය ගැන reading එකක් තියෙන අය නෙවෙයි. ඒක එයාලගේ වැරැද්දක් නෙවෙයි. සිස්ටම් එකේ අවුලක්. මොකද අපි දන්නවා 70 -71 වගේම 88 - 89 අවුරුදුවල දකුණේ කැරැල්ලෙන් සහ අවුරුදු 30ක් විතර තිබුණු උතුරේ කැරැල්ලෙන් මැරුණු තරුණ පරපුර තමයි සමාජයේ හොඳම Spirit එක. මොකද සමාජ අසාධාරණයට එරෙහිව නැඟිටින්නේ සමාජය ගැන හොඳ reading එකක් තියෙන උන් මිසක් ගොබ්බයෝ නෙවෙයි. එහෙම සමාජය ගැන reading එකක් තිබ්බ උන් උතුරින් සහ දකුණින් මතු වුණාම උන්ව මරලා දැම්මා. ඒ එක්ක සමාජයට නායකත්වය දෙන්න වුණේ අර සමාජ අසාධාරණයට එරෙහිව නැඟිටින්නේ නැතුව මුළුගැන්විලා හිටපු උන්ට. උන්ට සමාජය ගැන මෙලෝ reading එකක් නෑ. උන් හදන අධ්‍යාපන, දේශපාලන, ආර්ථික, ප්‍රතිපත්ති මත තමයි මේ සමාජය නිර්මාණය වෙන්නේ.

මේ ගන්ධබ්බ සමාජයේ නිෂ්පාදනය වන තරුණ පරපුර තමයි මේ Social media මෙහෙයවන්නේ. ඒ අතරින් අතිමහත් බහුතරයක් සමාජය ගැන මෙලෝ හැදෑරීමක්, කියැවීමක් නැතුව තමයි Social media කරන්නේ. මේක ඇත්තටම අර වඳුරාට දැලි පිහිය අහු වුණා වගේ වැඩක්. මොකක් හරි පිංතූරයක් දැක්ක ගමන් තමන්ගේ Page එකේ Reach එක වැඩි කර ගන්න Share කරනවා. කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නෑ. එකෙන් වෙන්නේ බරපතළ සමාජීය හානියක් වෙන්න පුළුවන්. ඒත් අවුලක් නෑ. එකෙන් වෙන්නෙත් Page එකේ Reach එක වැඩි වෙන එක නම් ඕනෑම බොරුවක් වුනණත් කමක් නෑ දානවා.

ඇත්තටම මේ ෆේස් බුක් එකේ චණ්ඩි පාට් දාන බුකි වීරයෝ ටික අපිට මහ පාරෙදි මුණ ගැහෙනවා නම් මේ රට කොයි තරම් සුන්දර වෙයිද? ෆේස් බුකේ සත්ත්ව කරුණාව, මනුෂ්‍යත්වය, මානව දයාව, පරිසර හිතකාමීත්වය අපිට මහපොළවේ යථාර්ථයක් වෙනවා නම් අපි හරි ඉක්මනින් දියුණු රටක් බවට පත් වෙනවා. නමුත් අවුල තියෙන්නේ ඔය අනුන්ගේ දුක දැකලා ඇඩෙන කොමෙන්ට්ස් දාන අයම තමයි අරයාගේ ලීක් වුණ එක, මෙයාගේ වීඩියෝව හතර වටේටම Share කරගෙන බලන්නේ. Real Profile එකේ ඉන්න එකා නෙවෙයි සැබෑ පුද්ගලයා. සැබෑ පුද්ගලයා ඉන්නේ ‍Fake Profile එකේ. මේ නිසා වර්තමානයේ කවුරු හරි ඇහුවොත් භයානකම ආයුධය මොකක්ද කියලා මම කියන්නේ Social media එක කියලා.

[අරවින්ද ඉන්ද්‍රජිත්]

මාතෘකා