කථනය අහිමි වූවන්ගේ නිහඬ භාෂාවේ අරුමය

 ඡායාරූපය:

කථනය අහිමි වූවන්ගේ නිහඬ භාෂාවේ අරුමය

hgvජාත්‍යන්තර සංඥා භාෂා දිනය අදයි

එකිනෙකා අතර අදහස් හුවමාරුව මිනිස් ජීවිතයේ අත්‍යවශ්‍යම කාර්යයකි. සිතට නැඟෙනා අදහසක් කියා ගැනීමට නොහැකි වීම තරම් පීඩාවක් මිනිසාට නොමැති තරම්ය. මේ සඳහා මිනිසා විසින් භාෂාවන් බිහිකරමින් සන්නිවේදන ක්‍රමයන් දියුණු කර ගෙන තිබේ. භාෂාවන්, සන්නිවේදන ක්‍රමයන් කෙතරම් දියුණු වූවද කතාබහ කළ නොහැකි නම් එය මිනිසාට සැබෑ වේදනාවක් වනු ඇත. සැබැවින්ම එවැනි පිරිසක්ද සමාජයේ අප අතරම වාසය කරති. වචන උච්චාරණය කිරීමට නම් වචන, ශබ්ද ඇසීම මඟින් ඒවා හඳුනා ගැනීමට අවශ්‍ය වේ. ශ්‍රවණාබාධිත නිසා නිහඬ ලෝකයක ජීවත්වන බිහිරි පුද්ගලයන්ට ශබ්ද නෑසෙන බැවින් ශබ්ද හඳුනා ගැනීමට නොහැකි වීම නිසා කතාබහ කළ නොහැකිය. එවැනි පුද්ගලයන් සඳහා ඇති හොඳම ක්‍රමය වන්නේ සංඥා භාෂාවයි. ආදි මිනිසා භාෂාවන් නිපදවා ගැනීමට පෙර සන්නිවේදනය සිදුකළේ සංඥා මඟිනි. මේ නිසා ශබ්ද නෑසුනද අත් හා ශරීරය භාවිතයෙන් සන්නිවේදනය කළ හැකිය. එය පදනම් කර ගනිමින් බිහිරි පුද්ගලයන් සඳහා සම්මත පිළිගත් ආකාරයට සංඥාවන් සකස් කර ගැනීම මඟින් සාමාන්‍ය පිරිස් අදහස් හුවමාරු කරගන්නා ආකාරයෙන්ම පහසුවෙන් සන්නිවේදනය සිදුකළ හැකිවේ.

ලෝක බිහිරි සම්මේලනයට (World Federation of the Deaf) අනුව ලොව පුරා මිලියන 72ක පමණ බිහිරි ප්‍රජාවක් වාසය කරන අතර ඔවුන් සංඥා භාෂාව සිය සන්නිවේදන කටයුතු සඳහා භාවිතා කරයි. සංඥා භාෂාවද අංගසම්පූර්ණ ස්වභාවික භාෂාවකි. නමුත් සංඥා භාෂාව ව්‍යුහාත්මකව කථන භාෂාවලින් වෙනස් වේ. එක් එක් රටවල එක් එක් ජාතීන් විසින් තම රටෙහි ජනතාව භාවිත කරන භාෂාව ඇසුරෙන් සංඥා භාෂාවන් නිර්මාණය කොටගෙන ඇති අතර 300කට අධික සංඥා භාෂාවන් ප්‍රමාණයක් මේ වන විට ලොව පුරා භාවිත වේ. ශ්‍රී ලංකාව තුළද සිංහල හා දෙමළ මවුබස වන බිහිරි පුද්ගලයන් වෙනුවෙන් ශ්‍රී ලංකා සංඥා භාෂාව නිර්මාණය කර තිබේ. ශ්‍රී ලංකා සංඥා භාෂාව අංගසම්පූර්ණ උසස් මට්ටමේ සංඥා භාෂාවක් වන අතර සාමාන්‍ය පුද්ගලයන් සිදුකරනා ඕනෑම ආකාරයක සන්නිවේදනයක් ශ්‍රී ලංකා සංඥා භාෂාවෙන්ද සිදුකළ හැකිය. එනම් භාවිතය අනුව සංඥා භාෂාව කථන භාෂාවන්ට සමාන තත්ත්වයක පවතී.

සිංහල භාෂාවේ දක්නට ලැබෙන ප්‍රාදේශීය ව්‍යවහාර, සමාන පද වැනි සංකීර්ණ භාෂා විලාශයන් පවා

ශ්‍රී ලංකා සංඥා භාෂාව තුළ පවතින අතර එයද භාවිතය සමග පරිණාමය වෙමින් පැරණි සංඥා ඉවත් වෙමින්, නව සංඥා සකස් වෙමින් පවතින ජීව භාෂාවකි.

ශ්‍රී ලංකා සංඥා භාෂාවේදී සිංහල හෝඩිය හා දෙමළ හෝඩිය නිරුපණය සඳහාද සංඥා සකස් කර ඇති අතර සාමාන්‍ය පුද්ගලයන් කතාබහින් දක්වන ඕනෑම වචනයක්, බිහිරි අයටද මෙම සංඥා මගින් දැක්විය හැකිය. සංඥා භාෂාවන් ස්වභාවික සංඥා ඇසුරේ බිහිවී ඇති බැවින් එක් එක් රටවල භාවිත වන සංඥා භාෂාවන් ජාත්‍යන්තර සංඥා භාෂාවටද අනුකූලත්වයක් දක්වයි. නමුත් ජාත්‍යාන්තරව භාවිත කිරීම සඳහා ලෝක බිහිරි සම්මේලනය මඟින් අනුමත ජාත්‍යන්තර සංඥා භාෂාවක්ද පවතී. එය එය ජාත්‍යන්තර සමුළු, සංචාරවලදී සහ සමාජගත කටයුතුවලදී බිහිරි අය විසින් භාවිත කරනු ලබයි.

සංඥා භාෂාව කථනය අහිමි නිහඬ ලෝකයක දිවි ගෙවන පුද්ගලයන් හට ඇති ප්‍රධානම සන්නිවේදන මාධ්‍ය වේ. මේ නිසා බිහිරි පුද්ගලයන් පොදු සමාජය හා බද්ධ කරන සංඥා භාෂාව සිහිකිරීම වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩලය මඟින් සැප්තැම්බර් මස 23 වැනි දින ජාත්‍යාන්තර සංඥා භාෂා දිනය ලෙස ප්‍රකාශයට පත්කිරීම සිදුකරන ලදි. 2017 නොවැම්බර් 16වැනි දින සංඥා භාෂා දින යෝජනාව ඉදිරිපත් කරන ලද අතර 2017 දෙසැම්බර් 19දින 72 වැනි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී මෙම යෝජනාව නිල වශයෙන් සම්මත වී තිබේ.

සැප්තැම්බර් 23 වැනි දින සංඥා භාෂා දිනය ලෙස තෝරා ගැනීම 1951දී ලෝක බිහිරි සම්මේලනය (WFD) පිහිටුවන ලද දිනය සිහිපත් කිරීම වෙනුවෙන් සිදුවූ අතර මෙම දිනය සංඥා භාෂා සහ බිහිරි සංස්කෘතිය සාක්ෂාත් කර ගැනීම සඳහා උපදේශන සංවිධානයක වන ලෝක බිහිරි සම්මේලනයේ උපත සනිටුහන් කරයි. සංඥා භාෂාවේ වැදගත්කම පිළිබඳ දැනුවත් කිරීම මඟින් බිහිරි පුද්ගලයන්ගේ මානව හිමිකම් පිළිබඳව පූර්ණ අවබෝධයක් ලබාදීමට මෙම දිනය නිමිති කරගනිමින් සිදුවන අතර 2018 වසරේදී “With Sign Language, Everyone is Included!” යන තේමාව යටතේ ප්‍රථම වරට සංඥා භාෂා දිනය සැමරීම සිදුකරන ලදී. මෙවර එහි තේමාව වන්නේ “Sign Language Rights for All” යන්නය.

සංඥා භාෂාව පිළිබඳව පොදු සමාජයේ ඇත්තේ අඩු දැනුමකි. බොහෝ පුද්ගලයන්ගේ අදහස වන්නේ අප නොදන්නා භාෂාවක් භාවිත කරනා පුද්ගලයන් අතරට ගිය විට කුසගින්න, පිපාසය, නිදිමත වැනි දෑ සංඥා මඟින් දක්වන්නාක් මෙන් බිහිරි අයද අතපය වනමින් අදහස් දක්වන බවයි. නමුත් අප අකුරකින් වචනයකින් දක්වන සෑම වචනයක්ම බිහිරි පුද්ගලයන් හට සංඥාවෙන් දැක්වීමට හැකිය. සංඥා භාෂාවද ලොව කිසිදු භාෂාවකට නොදෙවැනි ඉහළ දියුණුවක් ලැබූ පොහොසත් භාෂාවකි. මේ නිසා බිහිරි නොවන අයට පවා සංඥා භාෂාව ඉගෙනීමෙන් ලෝකයා සමඟම භාෂා භේදයකින් තොරව පහසුවෙන් ගනුදෙනු කළ හැකිය. ඒ නිසා අලුත් භාෂාවක් ඉගෙන ලෝකය වෙනස් කිරීමට කැමති සැමට සංඥා භාෂාව හොඳ අවස්ථාවකි. සංඥා භාෂා දිනය ඒ වෙනුවෙන් අත්පොත් තැබීමට සුදුසුම දිනයයි.

[අසිරු වේදිත කරුණාරත්න]

මාතෘකා