සල්ලි පාවිච්චි කරන හරි විදිහ

 ඡායාරූපය:

සල්ලි පාවිච්චි කරන හරි විදිහ

වර්තමානයේදී බොහෝ කාන්තාවන් සමාජීය සහ ආර්ථික වශයෙන් පොහොසත්. එම නිසාම බොහෝ කාන්තාවන්ට ඔවුන්ටම ආවේණික වූ ශක්තිමත් පෞරුෂයක් තිබෙනවා. එවැනි පෞරුෂයක් ගොඩනඟා ගැනීමේදී ආර්ථික වශයෙන් ශක්තිමත් වීම සුවිශේෂී කාරණාවක් බවට පත්වන්නේ වත්මන් තරගකාරී සමාජය තුළ රටේ ආර්ථිකයට දායක වන කාන්තා ශ‍්‍රම බලකාය සංඛ්‍යාත්මකව දිනෙන් දින ඉහළ යමින් තිබෙන නිසයි. තම ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට කැමති හැම කාන්තාවක්ම මුදල් කළමනාකරණය ගැන අනිවාර්යයෙන්ම සැලකිලිමත් විය යුතුය. මේ ඒ සඳහා උපකාරී වන කරුණු කිහිපයක්.

ආදායම් සහ වියදම් සටහන්

ඔබේ මාසික ආදායම සහ වියදම පිළිබඳ දෛනික සටහන් පවත්වාගෙන යෑම අත්‍යවශ්‍ය කරුණකි. ඔබ ගෘහණියක නම් පවුලේ මාසික වියදම පිළිබඳ සැලැස්මක් සකස් කරන්න. එම වියදම් පියවා ගැනීම සඳහා පවුලේ සියලු ආදායම් මාර්ගවලින් ලැබෙන ආදායම නිසි පරිදි කළමනාකරණය කර ගැනීමට ආදායම් සහ වියදම් පිළිබඳ දෛනිකව සටහන් පවත්වාගෙන යෑම ඉතා වැදගත් වේ.

අනවශ්‍ය වියදම්

ඉහත කී ආකාරයේ ආදායම් වියදම් ලේඛනයක් පවත්වාගෙන යන විට මාසයක් අවසානයේදී ඔබට ඔබගේ ගනුදෙනු පිළිබඳ දළ අදහසක් ලබාගත හැකිය. එම සටහන් ප‍්‍රවේශමෙන් පරීක්ෂා කර බලන විට අනවශ්‍ය වියදම් මොනාවදැයි හඳුනා ගැනීමටත් ඊළඟ මාසයේ සිට එම වියදම් කපා හැරීමටත් හැකියාව ලැබේ.

ඉතිරි කිරීම්

කොයිතරම් අසීරුතා තිබුණත් සුළු මුදලක් හෝ සෑම මාසයකදීම ඔබේ බැංකු ගිණුමේ තැන්පත් කරන්න. මාස්පතා ඔබට විශාල මුදලක් තැන්පත් කළ නොහැකි නම් දිනපතා අවම වශයෙන් රුපියල් 50ක් හෝ 100ක මුදලක් කැටයකට දමන්න. ඔබ රුපියල් 50ක මුදලක් දැමුවහොත් මාසයක් ගත වන විට ඔබටත් නොදැනුවත්වම එහි රුපියල් 1500ක මුදලක් ඉතිරි වේ. දිනකට එවැනි මුදලක් ඉතිරි කිරීම ඔබට විශාල බරක් නොවනු ඇත. මාසයකට 1500 බැගින් ඉතිරි කළහොත් වසරක් අවසානයේ ඔබේ ගිණුමට රුපියල් 18,000ක මුදලක් තැන්පත් වනු ඇත. එයට බැංකුවෙන් ලබාදෙන පොලී මුදලත් එක් වූ විට එය ඔබට කදිම ආර්ථික ශක්තියක් වනු ඇත.

බැංකු කටයුතු

ඔබ මූල්‍ය ගනුදෙනු සඳහා තෝරාගත යුත්තේ ඉතිරි කිරීම් සඳහා වැඩි පොලියක් සහ වැඩි පහසුකම් සහ සේවා සපයන මූල්‍ය ආයතනයක්ය. බැංකු කිහිපයක පොලී අනුපාතයන් සහ පහසුකම් පරීක්ෂා කර බලා හොඳ බැංකුවක් ඔබේ මූල්‍ය අවශ්‍යතා සඳහා තෝරා ගන්න. එමෙන්ම දැන් බොහෝ බැංකුවල අන්තර්ජාල බැංකු සේවා ක්‍රියාත්මක වන බැවින් එවැනි සේවාවක් ලබාගැනීම ඔබේ කාර්යබහුල ජීවිතයට පහසුවක් වනු ඇත. නමුත් එහිදී එම සේවාවන්හි විශ්වසනීය භාවය පිළිබඳ විශේෂයෙන් සැලකිලිමත් වන්න.

ස්වයං රැකියාවක්

කාන්තාවක ලෙස ඔබට දක්ෂතා රැසක් තිබිය හැකිය. ඔබ රැකියාවක නොයෙදෙන කාන්තාවක් නම් ඔබ තුළ තිබෙන ඉවුම්පිහුම්, ගෙවතු වගා සහ මැහුම් ගෙතුම් වැනි අතිරේක කුසලතාවලින් විශේෂ ප‍්‍රයෝජනයක් ගැනීමට උනන්දු වන්න. එවැනි දක්ෂතාවක් ප‍්‍රයෝජනයට ගනිමින් ස්වයං රැකියාවක් ආරම්භ කරන්න. කාන්තා ව්‍යවසායකයන්ට අතහිත දෙන අඩු පොලී සහ පොලී රහිත ණය පහසුකම් දැන් විවිධ බැංකුවල ක‍්‍රියාත්මක වේ. එවැනි බැංකුවක් වෙත යොමුවී ඒ සඳහා වන උපදෙස් සහ සහාය ලබාගන්න.

[දෙව්දුනි මධුෂිකා]

*********

ලොකු පොඩි කවුරුත් කැමති බ්‍රෝකන් ග්ලාස් ජෙලි පුඩින්

බ්‍රෝකන් ග්ලාස් ජෙලි පුඩින් කියන්නේ ලොකු පොඩි හැමෝම කැමති රසම රස දැක්ක ගමන් කන්න ආස හිතෙන අතුරුපසක්. විශේෂයෙන්ම පොඩිත්තන්ගේ උපන් දින සාදවලට මෙය ඉතා කදිමයි. ඉතා පහසුවෙන් සාදාගත හැකි වීම නිසා මවුවරුන්ටත් පහසුවක්.

මෙය සෑදීමට පාට කිහිපයක ජෙලි අවශ්‍ය වනවා. මම භාවිත කර තිබෙන්නේ රතු, කහ, නිල් සහ දම් පාට ජෙලි. මේවා සාමාන්‍ය ජෙලි පැකැට්ටුවේ සඳහන් ප්‍රමාණයට වඩා වතුර මිලිලීටර 100ක් පමණ අඩුවෙන් දමා සකස් කර පාට හතර වෙන වෙනම භාජන හතරකට දමා ශීතකරණයේ තබා සෙට් කරගන්න. (සාමාන්‍යයෙන් ජෙලි සකස් කරගන්නා ආකාරයට)

මෙම පුඩිම සෑදීමට මෝල්ඩ් එකක් අවශ්‍ය වනවා. මම මෙහිදී භාවිත කර තිබෙන්නේ කේක් සෑදීමට ගන්නා සිලිකන් මෝල්ඩ් එකක්. එය රෝස මලක හැඩය තිබෙන නිසා පුඩින් එක අලංකාරව සකසා ගත හැකියි. භාවිත කිරීමට පෙර ඒ මත තෙල් ස්වල්පයක් ආලේප කර තබන්න. එවිට පුඩිම ගලවා ගැනීම පහසුයි.

දැන් ටින් කිරි මිලිලීටර් 500ක් ගන්න. අවශ්‍ය නම් ඔබට මේ සඳහා නැවුම් කිරිද භාවිත කළ හැකියි. මුලින්ම කිරි ටික බඳුනකට දමා ළිප තබා හොඳින් නටවා ගන්න. අවශ්‍ය නම් මේ අවස්ථාවේදී රස පදමට සීනිද එකතු කර ගත හැකියි. ඉන්පසු ළිප වසා ජෙලටින් මේස හැඳි 5-6ක් එයට එක්කර හොඳින් දියකර ගන්න. දැන් මෙම මිශ්‍රණය හොඳින් නිවාගන්න. එය ඉතාම හොඳින් නිවිය යුතු බව මතක තබාගන්න.

එය නිවුණාට පසුව ශීතකරණයේ තබා සෙට් වූ ජෙලි බඳුන් පිටතට ගෙන ඉතා කුඩා කැබලිවලට කපා ඒවා පාට මිශ්‍ර වන ආකාරයට කලින් සූදානම් කරගත් මෝල්ඩ් එකට දමාගන්න. ඉන්පසු හොඳින්ම නිවී ඇති කිරි මිශ්‍රණය ගෙන ජෙලි උඩින් වත්කර ශීතකරණයේ තබා සෙට් කර ගන්න. සෙට් වූ පසු පිටතට ගෙන පිඟානක් මත තබා අනිත් පැත්ත හරවා ප්‍රවේශමෙන් ගලවා ගන්න. මෙය මේ ආකාරයටම පිළිගැන්විය හැකියි.

සූපවේදිනී [චාමලී මදනායක] හැනෝවා නගරය- ජර්මනිය

*****************

Fashion ගැන A-Z හැමදේම ලබන සතියේ සිට...

කාන්තාවන් සහ යුවතියන් අතර විලාසිතාවලට තිබෙන්නේ විශාල කැමැත්තක්. දිනෙන් දින වෙනස් වන විලාසිතා ලෝකය අතර ඇතැම් විට ඔබ මුළා වන්නේද ඒ නිසාමයි. විලාසිතා යනු නිසි අවබෝධයෙන් ඔබේ ජීවිතයට සමීප කරගත යුතු සුන්දර කලාවක්. ඉතින් ලබන කලාපයේ සිට අපි විලාසිතා ගැන A-Z හැමදේම කතාකරමු.

ඒ සඳහා ලිය සමඟ අත්වැල් බැඳගන්නේ දක්ෂ යොවුන් විලාසිතා නිර්මාණ ශිල්පිනියක වන මුතුහාරි අත්තනායකයි.

මොරටුව විශ්වවිද්‍යාලයේ පේෂකර්ම හා ඇඟලුම් තාක්ෂණ දෙපාර්තමේන්තුව පවත්වනු ලබන විලාසිතා හා නිපැයුම් ප්‍රවර්ධන පාඨමාලාව- 2019 සඳහා දෙවැනි පන්තියේ ඉහළ සාමාර්ථයයක් සහිතව සමත් වූ මුතුහාරි, විලාසිතා නිර්මාණවේදි ගෞරව උපාධිධාරිනියක්.( B.Des(hons) in Fashion Design and Product Development)

2018දී MAS Holdings ආයතනය මඟින් පිරිනමනු ලැබූ වසරේ විශිෂ්ටතම ශිෂ්‍යාවට හිමි සම්මානය ( Best overall student of the year award for Fashion Design and Product Development) දිනාගත් මුතුහාරි අත්තනායක දැනට පෞද්ගලික සමාගමක විලාසිතා නිර්මාණවේදිනියක් ලෙස කටයුතු කරන්නීය.

**************

ලස්සන වෙන්න මී පැණි

රූපලාවණ්‍ය ශිල්පිනී [සමීරා තරංගනී] 'සැලෝන් සමීරා' පිටුම්පෙ- පාදුක්ක

කිසි දිනක නරක් නොවන ඖෂධයක් වන මී පැණි ආයුර්වේදයේදී බොහෝ සත්කාර සඳහා යොදා ගැනෙනවා. ඒ වගේම ශරීරය පුරා ක්ෂණිකව පැතිර යෑමේ ගුණයෙන් හෙබි මී පැණිවල විෂබීජනාශක ගුණයක්ද තිබෙනවා.

මී පැණි භාවිතය තුළින් රුව පැහැපත් කර ගැනීමට හැකි බව කවුරුත් දන්නා රහසක්. ඒ වගේම කුසගිනි අඩු අයට කුසගිනි ඇති කරවීමටද මී පැණි ඖෂධයට හැකියාවක් තිබෙනවා.

ඔබ ශරීරයේ අධික තරබාරු බව නිසා හිතින් පීඩා විඳින තරුණියක් හෝ කාන්තාවක් නම් උදෑසන හිස් බඩට 'අලුත් මී පැණි 'හැන්දක් පානය කිරීම තුළින් ශරීරයේ අධික මහත බව අඩු කර ගැනීමටත් හැකියාවක් තිබෙනවා.

අධික තරබාරුකම වගේම ශරීරයේ අධික කෘෂ බවත් බොහෝ තරුණ තරුණියන්ට තිබෙන ගැටලුවක්. ශරීරය මහත් කර ගැනීමට ඇතැමුන් විවිධ වර්ගයේ ඖෂධ ලබා ගැනීමට පෙලඹී තිබෙනවා. වෛද්‍ය උපදෙස්වලින් තොරව එවැනි ඖෂධ ලබාගැනීම අනුමත කළ නොහැකියි. නමුත් මී පැණි යනු ඖෂධයකට සමානයි. ඔබට ශරීරය මහත් කර ගැනීමට අවශ්‍ය නම් පරණ මී පැණි හැන්දක් හිස් බඩට බීම සුදුසුයි. ඒ වගේම මී පැණිවලින් ආයුෂ වැඩි කර ගැනීමටද හැකියාවක් තිබෙන බව පැවසෙනවා.

මී පැණිවලින් ඔබේ සම පැහැපත් කර ගැනීමට හැකියි. මී පැණි මසාජ් ක්‍රීම් එකක් ලෙසද භාවිත කරන්නට හැකියාව තිබෙනවා . මී පැණි සහිත පහත සඳහන් සත්කාර තුළින් ඔබේ සමේ කැපී පෙනෙන සුන්දර වෙනසක් සිදුකර ගත හැකියි.

= එඬරු තෙල් සමඟ මී පැණි කලවම් කර විනාඩි 20ක් පමණ තබා සෝදා හරින්න.

= යෝගට්, මී පැණි සහ පේෂල් පවුඩර් සම ප්‍රමාණයන්ගෙන් ගෙන හොඳින් මිශ්‍ර කර තලපයක් ලෙස සාදා මුහුණේ ආලේප කර විනාඩි 20ක් පමණ තබා සෝදා හරින්න.

*********

අයිසින් මල් හදමු

පාඩම් අංක -1

කේක් හදන කවුරුත් අයිසින් මල් හදන්න දක්වන්නේ ලොකු උනන්දුවක් සහ කැමැත්තක්. ස්වයං රැකියාවක් ලෙස කේක් සැකසීමේ නිරත වීමට අපේක්ෂා කරන ගෘහණියන්ටත් නිවැරදිව අයිසින් මල් සාදාගන්නා ආකාරය ඉතා වැදගත් වනවා. එම නිසා අයිසින් මල් සැකසීම පිළිබඳ නිවැරදි දැනුම ලබාදෙන පාඩම් මාලාවක් ආරම්භ කිරීමට අප අදහස් කළා. මේ එහි පළමු වැන්නයි.

අයිසින් මල් සෑදීමට පෙර ඒ සඳහා අවශ්‍ය වන අයිසින් එක නිවැරදිව සකසා ගත යුතුයි. එම අයිසින් එක Gum paste නමින් හඳුන්වනු ලබනවා. කේක් නිර්මාණයේදී අවශ්‍ය වන අයිසින් මල් සහ අනෙකුත් අලංකරණ සැකසීම සඳහා යොදා ගන්නා එම Gum paste (ගම්පේස්ට්) මෙලෙස සකසා ගනිමු.

අවශ්‍ය ද්‍රව්‍ය

මේ සඳහා බිත්තර සුදු මද ග්‍රෑම් 100ක්, අයිසින් සීනි ග්‍රෑම් 600- 900ත් අතර ප්‍රමාණයක්, තයිලෝ පව්ඩර් ග්‍රෑම් 15ක්, මාවෝ හෝ සුදු පොල්තෙල් ස්වල්පයක් (අතේ තවරා ගැනීම සඳහා) අවශ්‍ය වනවා. බිත්තර සුදු මදවල ප්‍රමාණය ග්‍රෑම්වලින් දක්වා ඇත්තේ එක් එක් බිත්තරවල ඇති සුදු මදවල බර වෙනස් වන නිසා බව සලකන්න. තයිලෝ පව්ඩර් යනු edible glue වර්ගයක් වන අතර සුපිරි වෙළෙඳසල් සහ කේක් නිෂ්පාදන අමුද්‍රව්‍ය අලෙවි කරන ස්ථානවලින් ලබාගත හැකියි. මෙහිදී භාවිත කරන අයිසින් සීනිවල ප්‍රමාණය හරියටම ගණනය කළ නොහැකි බැවින් ඉහත දී ඇති ප්‍රමාණයට වඩා වැඩිපුර අයිසින් සීනි ප්‍රමාණයක් සූදානම් කරගෙන පසෙකින් තබාගන්න.

සාදන ක්‍රමය

බිත්තර සුදුමද ටික බඳුනකට දමා සාමාන්‍ය වේගයෙන් බීට් කරන්න. බිත්තර සුදු මදය හොඳින් දියවිය යුතු අතර කැදලි ස්වභාවය නැතිවන තෙක් බීට් වූ පසු අයිසින් සීනි එකතු කරන්න. ඊට හේතුව අයිසින් එක සවි වන්නේ බිත්තර සුදුමදය නිසයි. බිත්තර නිසි පරිදි මිශ්‍ර නොවීමෙන් අවසන් නිර්මාණ දෝෂ සහිත වනවා. දැන් අයිසින් සීනි ටිකෙන් ටික එකතු කරමින් දිගටම බීට් කරන්න. මෙම මිශ්‍රණය මිශ්‍රණය 'මරැයන්' එකක් එහෙමත් නැත්නම් වැක්කෙරෙන සුලු ක්‍රීම් ගතියකට පත් වූ විට එයට තයිලෝ පවුඩර් එකතු කරමින් බීට් කරන්න. මෙසේ ඉහත කී සියලු දේ දමමින් බීට් කරන කාලය විනාඩි 10-12ත් අතර අවසන් කළ යුතුයි.

ඉන්පසු එසේ සකසා ගත් අයිසින් මිශ්‍රණය අයිසින් සීනි ඉසගත් පිරිසුදු මතුපිටක් මත දමාගෙන සුදු පොල්තෙල් හෝ මාවෝ අත්ලේ තවරාගෙන හොඳින් අනාගන්න. එසේ මිශ්‍රණය අත්ලේ නොඇලෙන පදම එනතුරු අනාගත යුතුයි. හොඳින් අනාගත් ගම්පේස්ට් අයිසින් මෝලිය හොඳින් ඇදෙන සුලු එකකි. දැන් ඔබට එය අවශ්‍ය පරිදි වර්ණ ගන්වාගත හැකිය. ඒ සඳහා අවශ්‍ය වර්ණ මිශ්‍ර කර හොඳින් අනාගන්න. ඉන්පසු සුළං නොවදින ලෙස හොඳින් ආවරණය කරන්න. මෙය පැය 24ක් පමණ ශීතකරණයේ තබා අවශ්‍ය පරිදි ප්‍රයෝජනයට ගන්න. පාවිච්චියට ගන්නාතුරු ශීතකරණයේ ගබඩා කර තැබීම අත්‍යවශ්‍ය වේ. පාවිච්චියට ගන්නා විට ශීතකරණයෙන් ගෙන අයිසින් මෝලිය කාමර උෂ්ණත්වයට පැමිණි පසු නැවත අත් ගැසීම (knead) අත්‍යවශ්‍ය වේ. දැන් එය සුදුසු පරිදි මල් සහ වෙනත් සැරසිලි සාදා ගැනීමට යොදා ගන්න. ෆොන්ඩන්ට් අයිසින් සාදන විටද එයට තයිලෝ පවුඩර් ස්වල්පයක් මිශ්‍ර කිරීමෙන් ඇදෙනසුලු ස්වභාවයක් ගනී. එමඟින්ද සැරසිලි නිමවා ගැනීමට හැකියාව ඇත.

ගම්පේස්ට් භාවිත කර රෝස මලක් සාදන අයුරු ලබන කලාපයෙන්...

 

[දිනේෂි අමරකෝන්]

***********

ඒ කරදරකාරී ලෙඩේට ප්‍රතිකාර නැද්ද?

වර්තමාන සමාජයේ කාන්තාවන් බොහෝ දෙනකු මුහුණ දෙන කාන්තා රෝගයක් ලෙස ' ශ්වේත ප්‍රදරය හෙවත් සුද යෑම' හැඳින්විය හැකිය. සමහර කෙනකු මෙය රෝගයක් ලෙසට නොසලකා සාමාන්‍ය තත්ත්වයක් ලෙසට හැඳින්වූවත් මෙම රෝගය සමහර අවස්ථාවලදී තවත් රෝග රාශියකට මූලාරම්භය විය හැකිය. බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව මෙම රෝගයට ප්‍රතිකාර කළ විටදී බොහෝ රෝගීන්ට ඖෂධ ලබාගන්නා තෙක් රෝගය සුවවන තත්ත්වයක් පෙන්වූවද ඖෂධ ලබාගැනීම නතර කළ පසු එය නැවතත් ඉස්මතු වීමක් සිදුවේ.

නමුත් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව මෙය නිට්ටාවටම සුවකළ හැකි රෝගී තත්ත්වයක් වේ.ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව ශ්වේත ප්‍රදර රෝගය කාන්තා රෝගයක් ලෙස දක්වයි.මෙය මූලික වශයෙන් ස්ත්‍රී ලිංගික පද්ධතිය ආශ්‍රිත රෝගී තත්ත්වයක් වේ. සෙම සහ පිත යන ද්විදෝෂ කෝපවීම නිසා මෙම තත්ත්වය ඇතිවේ.

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව යෝනි මාර්ගය තුළින් පිටවන ශ්‍රාවයේ වර්ණය අනුව ප්‍රදර රෝග අවස්ථා දෙකක් පවතී. එනම් ශ්වේත ප්‍රදරය හා රක්ත ප්‍රදරය ලෙසයි. ශ්වේත ප්‍රදරයේදී යෝනි මාර්ගය තුළින් අධික වශයෙන් තරමක් උකු ස්වභාවයෙන් යුතු ශ්‍රාවයක් පිටවන අතර එය සුදු පැහැය, කහ පැහැය, රතට හුරු කහ පැහැය ලෙස විවිධ පැහැයන්ගෙන් යුක්ත විය හැකිය.

ඇතැම් කාන්තාවන්ගේ මෙය සුදු පැහැති කුඩා කැබලි වශයෙන් යෝනි මාර්ගය තුළින් ඉවත් වී ඒ ආශ්‍රිතව විසිරී පැවතිය හැකිය.තවද එම වැගිරෙන ශ්‍රාවය ගන්ධයකින් යුක්ත වේ. මෙම ශ්‍රාවය වැගිරෙන අවස්ථාවලදී යෝනි මාර්ගය ආශ්‍රිතව කැසීමක්, ඉකිලි ආශ්‍රිතව කැසීමක් ඇතිවිය හැකිය. මුත්‍රා කිරීමේ අපහසුතාව හා මුත්‍රා දැවිල්ලද මෙහිදී ඇතිවේ. හිසරදය, ඇඟපත රිදීම, කොන්දේ පහළ කොටසේ වේදනාව, අධික නිදිමත ස්වාභාවය, ශරීරයේ බර අඩු වීම, ආහාර අරුචිය හා මලබද්ධය ඇතිවීම, ශරීරයේ දැවිල්ලක් ඇතිවීම වැනි ලක්ෂණ ප්‍රධාන වේ.

සුද යෑම රෝගය සඳහා බටහිර වෛද්‍ය විද්‍යාවේදී හේතු ලෙසට ප්‍රධාන වශයෙන් සඳහන් කරන්නේ දිලීර ආසාදනයන්ය.ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව මෙම රෝගය සඳහා පුළුල් පරාසයක් තුළ රෝගය සෑදීමේ හේතු ඇත.එහිදී අදාළ රෝග ලක්ෂණය නොව රෝග නිධානය හඳුනාගෙන එයට ප්‍රතිකාර කිරීම මඟින් රෝගය නිට්ටාවටම සුවකළ හැකිය.

ශරීරයේ පිත කෝප වීම මඟින් මෙම රෝගී තත්ත්වය ඇතිවන අතර එයට ප්‍රධාන හේතුව වන්නේ උෂ්ණ අධික ආහාර වර්ග අනුභවයයි.උෂ්ණ අධික ආහාර වර්ග ලෙසට අන්නාසි, අමු අඹ, ඇඹරැල්ලා, බිලිං, තක්කාලි, බලකරවල, අච්චාරු මෙන්ම වර්තමානයේදී භාවිතා කරන සියලුම ක්ෂණික ආහාර වර්ග හා කෘත්‍රිම රසකාරක(මොනො සෝඩියම් ග්ලූටොමේට් ආදිය)යෙදූ ආහාර වර්ග හැඳින්විය හැකිය. තවද සනීපාරක්ෂක පුරුදු පිළිබඳව අඩු අවධානය, එක් වේලකදී පමණ ඉක්මවා ආහාර අනුභවය හා දිරවීමට පෙර නැවතත් ආහාර අනුභවය, අධික ලෙසට කුසගින්නේ සිටීම, අක්‍රමවත් ඔසප් චක්‍රය, දීර්ඝකාලීනව පවතින දියවැඩියාව, හතිය, පාණ්ඩුව, කැස්ස සහ සමේ රෝග තත්ත්වයන්, දීර්ඝකාලීන මානසික ආතතිය, දීර්ඝ කාලීනව වාඩිවී හෝ සිටගෙන සිටින රැකියාවල නිරත වීම හා නිතර බර වැඩවල නිරත වීම වැනි හේතූන් ද දැක්විය හැකිය.

මෙම රෝගය පිළිබඳ රෝග ලක්ෂණ ඉහත ආකාරයට පෙන්නුම් කළද වෙනත් රෝගී තත්ත්වයන් සඳහාද මෙම රෝගී ලක්ෂණම පෙන්නුම් කළ හැකිය.එනිසා පළමුවෙන්ම කළ යුත්තේ සුදුසුකම් ලත් වෛද්‍යවරයකු වෙතට යොමුවීමයි.එහිදී රෝග ඉතිහාසය මඟින් රෝග නිධානයට ඔහු විසින් ප්‍රතිකර්ම කරනු ඇත.

මෙවැනි තත්ත්වයන් නොසලකා හැරීම නිසා පසුකාලීනව දරුවන් නොමැති වීම හා ගබ්සා වීමේ තත්ත්වයන්ද ඇතිවිය හැකිය.එම නිසා රෝගයේ මූලික අවස්ථාවේදීම සුදුසුකම් ලත් වෛද්‍යවරයකු වෙතට යොමු වන්න.

ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළින් මෙය නිට්ටාවටම සුවකළ හැකි අතර ශරීරයේ උෂ්ණත්වය වැඩි කරන උෂ්ණාධික ආහාරපානවලින් නිරතුරුව වැළකිය යුතුය.එමෙන්ම සනීපාරක්ෂක පුරුදු පිළිබඳව වැඩි අවධානය යොමු කරන්න.ඔසප් දිනවලදී ස්නානය අනිවාර්‍ය වන අතර ලිංගේන්ද්‍රය ආශ්‍රිතව පිරිසුදුව හා වියළිව තබාගන්න. පිරිසුදු කපුවලින් නිමවූ ඇඳුම් පරිහරණය කිරීමට හුරුවන්න. මානසික ආතතියෙන් හැකිතාක් මිදෙන්න. හැකි තරම් ජලය පානය කරන්න.මෙම රෝගී අවස්ථාවලදී මුත්‍රා නොයෑමේ තත්ත්වයක් පවතී නම් කැකිරිවලින් සාදාගත් පානයක් බීම සුදුසුය. පණු ආසාදනවලින් වැළකී සිටීමට නිසි කාලයේදී පණුවන් සඳහා ඖෂධ ලබාගන්න.දේහ උෂ්ණත්වය අවම කරන ආහාර ලෙසට හාතාවාරිය කැඳ හා ඉරමුසු කැඳ පානය කරන්න.කෑමට සුදුසු පලතුරු ලෙස කළු උක්, දෙළුම්, නෙල්ලි, කැකිරි, කොමඩු සඳහන් කළ හැකිය.

සංස්කරණය [සුරේකා නිල්මිණි ඉලංගකෝන්]

මාතෘකා