බලශක්ති උත්පාදනයේ අවශ්‍යතාවය

 ඡායාරූපය:

බලශක්ති උත්පාදනයේ අවශ්‍යතාවය

ජීවයේ පැවැත්ම උදෙසා අවශ්‍ය ප්‍රමුඛතා අනුව කරුණු වශයෙන් ගොනු කළ හැකි ද්‍රව්‍ය හෝ උපාංග රැසක් වේ. ඒ අතර අත්‍යවශ්‍ය දේවල් කිහිපයකි. එනම් වාතය, ජලය, ආහාර හා ඖෂධ ඊටඅයත් වේ. මේ අතර ජීවියාගේ යහපැවැත්ම උදෙසා පාරිසරික හා භෞතික ජෛව විවිධත්වය ආරක්ෂා කර ගනිමින් මිනිසාගේ දෛනික අවශ්‍යතාවය අනුව දියුණු වන තාක්ෂණය හා ඉදිකෙරෙන භෞතික සම්පත් කළමනාකරණය කර ගනිමින් පරිසරය ආරක්ෂා කර ගැනීමේ අභියෝගය මිනිසාට මුහුණ පෑමට සිදුව ඇති ප්‍රබලම ගැටලුව බවට පත්ව තිබේ.

වාතය, ජලය, ආහාර තරමටම අද වන විට අත්‍යවශ්‍ය සාධකයකි බලශක්තිය. ජීවියාගේ උපතේ සිට මරණය දක්වාම නොයෙකුත් අවස්ථාවලදී ප්‍රයෝජනයට ගන්නා නිසාම ජීවයේ පැවැත්මට උපයෝගී වන පාර්ශ්වයක් බවට පත්ව තිබේ.

එවන් වකවානුවක බලශක්තිය නිපදවා ගන්නා සේම පාරිසරික යහපැවැත්ම ආරක්ෂා කර ගැනීම සම්බන්ධව බොහෝ දියුණු රටවල් ඒ සම්බන්ධව සිය විශේෂ අවධානය යොමු කරමින්, දියුණු තාක්ෂණය හා විවිධ ක්‍රම යොදා ගනිමින් නොයෙකුත් අත්හදාබැලීම් හා සාර්ථක වූ ඇතැම් ක්‍රම ක්‍රියාවට නැංවීමට පියවර ගෙන තිබෙන මුත් ඇතැම් කරුණු සම්බන්ධයෙන් අප රට ඒ සඳහා තවමත් නිසි ලෙස සක්‍රිය වී නොමැති බව හැඟී යයි.

දෛනිකව රථ වාහනවලින් පිටවන දුමාරය, තැන තැන අවිදිමත්ව මුදා හරින කසළ, කැලෑ සහ වනාන්තර විනාශය, ජල දූෂණය ආදී කරුණු නිසා පරිසර සමතුලිතතාවය බිඳී යමින් උෂ්ණත්වය හා පරිසර ස්වභාවිකත්වය බිඳී යමින් පවතිනු ඇත. පෙර පැවතියා සේ වර්ෂාව හා පැහැපත් කාලගුණ චක්‍රය අක්‍රමවත් වී තිබේ. මාස ගණනාවකදී ඇදහැලිය යුතු වර්ෂාව එක දිනකදී පතිත වී කාණු, ඇළ දොළ පිටාර ගලමින් පස් කඳු කඩා වැටීම් හා නාය යෑම් සක්‍රිය වී ජීවිත හා පරිසර විනාශයන් සිදු වන අතර ඇතැම් ප්‍රදේශවලට බොහෝ කාලයක් වැසි නොලැබීම හා නියං තත්ත්වයන් ඇති වී ජන ජිවිතය අක්‍රමවත් කිරීම් දක්නට ලැබේ. මේ සියල්ල සඳහා බොහෝ විට ඉවහල් වනුයේ මිනිස් ක්‍රියාකාරකම් බව පරිසරවේදීන් හා විද්වතුන් කරුණු සහිතව සනාථ කරද්දී ඇතැම් දේශපාලන තීරණද ඊට පිටුවහලක් වී ඇති බව සමාජ විශ්ලේෂණයේදී අවබෝධ වනු ඇත.

දෛනික සමාජ ක්‍රියාවලියේදී එකතු කර ගන්නා හා පරිහරණය කරනා සියලු දේවල්වලින් ඉවත් කරන කොටසක් අනිවාර්යයෙන්ම විවෘත පරිසරයට මුදා හරිනු ඇත. එයින් ආශ්වාස කරන්නා වූ ඔක්සිජන් වාතය වෙනුවට කාබන්ඩයොක්සයිඩ් වාතය ප්‍රශ්වාස කරන ලෙසම මිනිස් පරිභෝජනයෙන් පසු ඉවතලන කසළ අද පාරිසරික ව්‍යසනයක් බවට පත්ව තිබේ. ඒ අතර නොදිරන පොලිතින්, ප්ලාස්ටික් හා වෙනත් නොයෙකුත් ඝන අපද්‍රව්‍ය සමාජ පිළිලයන් බවට පත්ව ඇත. මෙවන් ද්‍රව්‍ය අක්‍රමවත් ලෙස විවෘත පරිසරයට මුදා හැරීම නිසා ස්වසන ආබාධ හා පිළිකා වැනි දරුණු රෝගකාරකයන් නිර්මාණය වන බව හඳුනාගෙන තිබේ. නමුත් බෝහෝ දියුණු රටවල් මෙම ද්‍රව්‍ය සමාජ හිතකර අයුරින් පරිහරණය කරමින් මිනිසාගේ, සත්ත්වයන්ගේ හා පරිසරයේ ආශිර්වාදයක් බවට පත්කරගෙන තිබේ.

ඔවුන් ක්‍රමයෙන් ඩීසල් භාවිතයෙන් ඈත් වෙමින් පවතියි. ඇතැම් රටවල් ඩීසල් භාවිතය මුළුමනින්ම නවතා දමා තිබේ. එමෙන්ම ගල් අඟුරු වැනි ද්‍රව්‍යයන් ඉවත් කරමින් සිටියි. ජනාකීර්ණ නගරයක දර ලිප භාවිතයද පරිසරය අපිරිසුදු වීමට බාලපාන සාධකයක් බවට හඳුනාගෙන තිබේ. එමෙන්ම ඉවතලන කසළ කඳු ගොඩගසනවා වෙනුවට පරිසර හිතකාමී ලෙස ගෑස්, ඉන්ධන හා විදුලිය වැනි බලශක්තීන් නිෂ්පාදනයට යොදාගෙන තිබේ.

ඒ අනුව බලන කල අප රට ඉතාම ප්‍රාථමික වශයෙන් කටයුතු කරන හා ස්වභාවික සම්පත්වලින් අවම වශයෙන් ප්‍රයෝජන ගනිමින් සිටින බව සංඛ්‍යා ලේඛන අනුව පැහැදිලි වනු ඇත.

සුනිත්‍ය බලශක්ති අධිකාරියේ දත්ත සටහන්වලට අනුව ශ්‍රි ලංකාව තුළ දැනට ක්‍රියාත්මක වන කුඩා ජල විදුලි බලාගාර සංඛ්‍යාව 199කි. එයින් මෙගාවොට් 406.5ක් ජාතික ජල විදුලි පද්ධතියට එකතු වනු ඇත. ක්‍රියාත්මක සුළං බලාගාර සංඛ්‍යාව 15ක් වන අතර එයින් මෙගාවොට් 128.45ක් නිෂ්පාදනය කෙරෙනු ඇත. රටේ අවශ්‍යතාවය අනුව එය සපුරා ගැනීමට ඩීසල් විදුලි බලාගාර ඉදිකළ හැකි වුවත් ඒ වෙනුවෙන් වසරකට ඩීසල් ලීටර් 919, 800ක් පමණ වැය වන අතර රුපියල් මිලියන 82ක පමණ මුදලක් විදේශයට ඇදී යන බව සුනිත්‍ය බලශක්ති අධිකාරියේ පුනර්ජනනීය බලශක්ති ඉංජිනේරු අතුල ජයසුන්දර මහතාගේ දත්ත සටහන උපුටා දක්වයි. එමෙන්ම සූර්ය බලශක්තිය ප්‍රයෝජනයට ගනිමින් විදුලිය නිෂ්පාදනය කරන අතර නිවාසවල වහලය මත සවිකර ඇති සූර්යකෝෂ මඟින් මෙගාවොට් 200ක් පමණ උපයා ගනිමින් සිටියි.

ගර්මකලාපීය රටක් වන ශ්‍රී ලංකාව තුළ සූර්ය බලය ප්‍රයෝජනයට ගනිමින් බලශක්තිය නිෂ්පාදනය කර ගැනීමට බොහෝ අවස්ථා ඇතිමුත් එවන් අවස්ථා වෙනුවෙන් සූර්ය පැනල සවි කිරීමට ඇතැම් ප්‍රදේශවලදී ගත් උත්සාහයන් ව්‍යර්ථ වී ඇත්තේ ජනතාවගේ විරෝධය නිසාය. ඇතැම් අවස්ථාවල එමඟින් පරිසර උෂ්ණත්වය වැඩිවන බව පැවසීම හා තවත් පළාත්වල සූර්ය පැනල සවි කරන බිම් ප්‍රමාණයේ යටි රෝපණයක් කිරීමට නොහැකි විම හෝ එම භූමි ප්‍රමාණයේ වෙනත් කිසිදු ඉදිකිරීමක් කිරීමට නොහැකි වීම යන කරුණු බලපෑ බව මොරටුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය තුසිත සුගතපාල හා බලශක්ති ඉංජිනේරු සමන් ඇල්විටිගල හා බලශක්ති අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විමල් නදීර යන මහත්වරු පවසති. ඒ එම සූර්ය පැනල පොළොව මට්ටමේ සිට අඩි තුනක් වැනි උසකින් සවි කිරීම නිසා බවත් ඒ සම්බන්ධයෙන් විකල්ප ක්‍රම අත්හදා බලමින් සිටින බව පවසයි. මේ අතර ඉවත දමන කසළ තොගය තුළින් ප්‍රයෝජනයක් ගැනීමට මේ වනතුරුත් නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවන බවද අවධාරණය කෙරිණ.

බොහොමයක් දියුණු රටවල කසළ උපයෝගී කර ගනිමින් ජීව වායුව, ඉන්ධන, විදුලිය නිෂ්පානය කෙරෙන අතර භූගත ව්‍යාපෘතීන් ලෙසින් ක්‍රියාත්මක එවන් ස්ථාන තුළින් කිසිදු පාරිසරික හානියක්ද සිදු නොවනු ඇත. ශ්‍රී ලංකාව තුළදී දිනෙන් දින ඉහළ යන බලශක්ති ඉල්ලුමට සරිලන අයුරින් විදුලිය, ගෑස් හා වෙනත් බලශක්තීන්වල අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට විදිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු අතර ඒ සඳහා ස්වභාවික සම්පත් නිසි පරිදි කළමනාකරණයකින් හා තාක්ෂණය භාවිත කරමින් ඉතා අවම පරිසර බලපෑමක් සහිතව සිදු කළ යුතුය. ඒ සඳහා අවශ්‍ය තරම් සම්පත් මෙරට නැතුවාම නොවේ.

මෙරට පළාත් නවයට ආවේණික වූ කාලගුණික හා දේශගුණික සමබරතාව මෙන්ම විවිධ වූ ස්වභාවික සම්පත් ප්‍රමාණයක් පවතියි.

විමලසුරේන්ද්‍ර මහතා ජලවිදුලි බලාගාරය ඉදිකිරීමට බස්නාහිර හෝ උතුරු පළාත තෝරා නොගන්නට ඇත්තේ ඊට අවශ්‍ය භූගෝලීය පිහිටීම නොමැති නිසා විය හැක. දකුණ හෝ උතුරු පළාත්වල ඉදිකළ හැකි සුළං බලාගාර හා සූර්ය පැනල සවි කිරීම කඳුකරයේ කළ නොහැකිය. විශේෂත්වය නම් මෙරට ඒ ඒ ප්‍රදේශයන්ට ආවේණික වූ හා පිහිටීම් අනුව, අවශ්‍යතාවයට අනුව අවම පිරිවැයකින් මෙන්ම පාරිසරික සුන්දරත්වයද ආරක්ෂා කර ගනිමින් බලශක්ති ඌනතාවයට පිලියමක් සකස් කර තිබේද යන්නය.

සමස්තයක් ලෙස ගත් කල දකුණු පළාතේ දැනට ඉදිකර තිබන සුළං බලාගාර සංඛ්‍යාව කීයද? තව කොපමණ ප්‍රමාණයක් සවි කළ හැකිද? උතුර, උතුරු මැද ආදී පළාත්වල සූර්ය බලාගාර හෝ සුළං බලාගාර ව්‍යාප්තිය කෙසේද? එලෙසම අනෙකුත් පළාත් පිළිබඳවද සමීක්ෂණයක් කළ හැකිය.

මධ්‍යම පළාතේ බටහිර බෑවුම යනු වර්ෂයේ වැඩිම කාලයක් යහමින් වර්ෂාව පවතින ප්‍රදේශයකි. එම වර්ෂා ජලයෙන්, පවතින ස්වභාවික ඇළ මාර්ග, ගංගා ආදියෙන් නිසි ප්‍රයෝජන ගන්නවාද යන්න විමසිය යුතු කරුණක් බවට පත්ව ඇත. එලෙස ප්‍රයෝජන ගත් වර්තමානයේද අනාගතයේදීද ජාතික ආර්ථිකයට සවියක් කර ගත හැකි බොහෝ සම්පත් අද වල් වැදී දිරා යමින් විනාශයට පත්වෙමින් තිබෙනු දක්නට ලැබේ.

පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනය පරිසරයද සංරක්ෂණය කරමින් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් උනන්දුවක් පවතින හා නිෂ්පාදන පිරිවැය ඉහළ යෑම අර්බුදයක් බවට පත්ව ඇති වකවානුවක ජාතික විදුලිබල පද්ධතියට කිලෝ වොට් 1.28ක විදුලිය ප්‍රමාණයක් ලබා දුන් දික්ඔය හයිඩ්රෝ ඉලෙක්ට්‍රිකල් පවර් ප්‍රොජෙක්ට් නම් කුඩා ජල විදුලි බලාගාරය වැනි මෙවන් කුඩා ජලවිදුලි බලාගාර කිහිපයක් කඳුකරයේ වසර ගනනාවක සිට සේවයක් ලබා නොගෙන වසා දමා දිරාපත් වීමට ඉඩ හැරීම ජාතික අපරාධයකි.

හැටන් - දික්ඔය වනරාජ ප්‍රදේශයේ කාසල්රි ජලාශයට ඉහළින් දික්ඔය හරස් කරමින් ලබා ගන්නා ජලයෙන් ක්‍රියාත්මක වු මෙම කුඩා ජලවිදුලි බලාගාරය තුළින් එවකට කිසිදු පාරිසරික හානියක් හෝ බලපෑමක් නොමැතිව ජාතික විදුලි පද්ධතියට විදුලිය සැපයීම හා පවුල් රැසකට ජීවත් වීමට රක්ෂාවක් වූ විදුලි ජනන මධ්‍යස්ථානයකි.

1996 වසරේ සිට ක්‍රියාත්මක වූ මෙම ආයතනය වසර 20ක ගිවිසුම කල් ඉකුත් වීම හා නිෂ්පාදනය කෙරෙන විදුලි ඒකකයක් සඳහා ලංකා විදුලි බල මණ්ඩලයෙන් ලබා දෙන මුදල ප්‍රමාණවත් නොවීම ආදී කරුණු නිසා වල් බිහි වෙන්නට අතහැර දමා තිබේ. එමෙන්ම වටවල ප්‍රදේශයෙන් මහවැලි ගංගාවේ ජලය ලබා ගෙන දියගල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය කුඩා ජලවිදුලි බලාගාරයද වසර ගණනාවක සිට වසා දමා පාළුවට ගොස් තිබේ. පෞද්ගලික වුවත් රාජ්‍ය වුවත් මෙහි ඉදිකිරීම් සඳහා විශාල මුදලක් වැය කර තිබේ. එනිසා තවදුරටත් සේවය ලබා ගන්නේ නම් එය ජාතික ආර්ථිකයට පිටුවහලක් වනුයේ ඉන්ධන බලාගාරයක විදුලි උත්පාදනය කිරීමේදී මෙන් අධික පිරිවැයක් දැරීමට සිදු නොවීමත් පාරිසර හිතකාමීත්වයත් නිසාය. එමෙන්ම වසරේ බොහෝ කාලයක් වර්ෂාව පවතින මධ්‍ය කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට සූර්ය කෝෂ ආශ්‍රයෙන් විදුලිය නිෂ්පාදනය හෝ සුළං බලාගාරවලට වඩා ඵලදායී ලෙස ගලා බසින ජලයෙන් ප්‍රයෝජන ගත හැකිය.

බලශක්තිය හා ඒ සම්බන්ධව පවතින ගෝලීය ගැටලු ලෙස හඳුනාගත් කරුණු අතර මූලිකව භාවිත කරන ඉන්ධන වර්ගවල ප්‍රමාණත්වයේ සීමාවන් හා ගුණාත්මකභාවයේ ගැටලු, බලශක්ති ජනන තාක්ෂණය හා ක්‍රියාවලිය, අසීමිත ලෙස වැඩි වන ශක්ති ප්‍රයෝජන හා නාස්තිය, පොසිල ඉන්ධන නිධි ක්ෂය වීම සහ මිල වැඩි වීම, බලශක්ති සැපයුම් සහ පරිභෝජනයේ විෂමතාවන්, පාරිසරික හා සමාජීය බලපෑම්, බලශක්ති අර්බුදයට සැබෑ විසඳුම් සෙවීම තවදුරටත් පමා කිරිම වැනි කරුණු හේතුවෙන් ගෘහස්ථ, වානිජ, කර්මාන්ත, ප්‍රවාහන වැනි ක්ෂේත්‍රයන් සඳහා ආලෝකනය, තාපනය, සිසිලනය, යාන්ත්‍රික බලය, ගමනාගමනය අවම කිරීම හෝ මුළුමනින්ම නවතා දැමීමට හේතු වනු ඇත.

එහෙත් එය කිසිසේත් කළ නොහැක්කක් වන්නේ වැඩි වන ජනගහනය අනුව ඉහළ යන අවශ්‍යතා වෙනුවෙන් ජීවියාගේ පැවැත්ම උදෙසා බලශක්තිය අත්‍යවශ්‍ය සාධකයක් බවට පත්ව ඇති නිසාය. එබැවින් ජෛව විවිධත්වයත්, පාරිසරික සුන්දරත්වයත් ආරක්ෂා කර ගිනිමින් මිනිසාගේ පැවැත්ම උදෙසා කුඩා ජල විදුලි බලාගාර, සූර්ය, සුළං, ජීව ඉන්ධන, භූගත තාපය, මුහුදු තාපය, මුහුදු රළ වැනි කාරකයන් උපයෝගී කර ගනිමින් බලශක්තිය උත්පාදනය සඳහා පවතින ප්‍රවණතාවයට වඩා ඉහළ ප්‍රමුඛතාවයක් ලබා දෙමින් ජාතික ප්‍රතිපත්තියකට අනුව ඉදිරි දැක්මකින් කටයුතු කිරීම ශ්‍රි ලාංකිකයන් වන අපේ උන්නතියට හේතු නොවන්නේද?

හැටන් [චන්දන ජයවීර]

මාතෘකා