2019 වසරේ ගුරුවරයා අප්‍රිකාවේ පීටර් තබීචි

 ඡායාරූපය:

2019 වසරේ ගුරුවරයා අප්‍රිකාවේ පීටර් තබීචි

තවමත් වයස 37ක් වන පීටර් තබීචි 2016දී කෙරිකෝ මිශ්‍ර ද්විතීයික පාසලට සම්බන්ධ වූ අතර එහිදී ඔහු දරුවන්ට ගණිතය හා භෞතික විද්‍යාව ඉගැන්විය. මෙම පාසල සාගතයෙන් හා නියඟයෙන් බලපෑමට ලක් වූ කෙන්යානු කලාපයක් වන රිෆ්ට් වැලි පළාතේ අර්ධ ශුෂ්ක ගම්මානයකි. වඩාත් සිත්ගන්නා කාරණාව නම් මේ මිනිසා පාසලේ දරුවන්ට ඉගැන්වූයේ තම වැටුපෙන් 80%ක්ම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපනයට වියදම් කරමිනි.

ඔහු මහා පොහොසතකු නොවේ. තම වයස 11දීම මව මියායෑම නිසා දැඩි වේදනාවෙන් හා දූෂ්කරතාවලින් අධ්‍යාපනය ලැබූ දුප්පතෙකි. මෙම පාසලේ ළමුන් විවිධ ගෝත්‍ර හතකින් සමන්විත වන අතර සිසුන්ගෙන් 95%ක් පමණ දරිද්‍රතාවයෙන් පෙළෙන දරුවන්ගෙන් සමන්විතය. ඉන් තුනෙන් එකකට මව අහිමිය. එසේ නොමැති නම් පියා අහිමිය. තවත් තුනෙන් එකකට මවුපියන් නොමැත. ඉතිරි දරුවන්ට මවුපියන් දෙදෙනාම සිටියද ඔවුහු මත්ද්‍රව්‍ය අනිසි භාවිතය, නාඹර වියේ ගැබ් ගැනීම්, පාසලෙන් ඉවත් වීම, තරුණ විවාහ සහ සියදිවි නසා ගැනීම් බහුලව සිදුවන පවුල් හා සාමාජීය හා පාරිසරික තත්ත්වයක ජීවත් වන දරුවෝ වෙති.

මේ අන්දමට ලෝකයේ ඇති ඛේදජනකම පාසලකට පීටර් තබීචි එන්නේ කිලෝමීටර් 7ක් පයින් ඇවිදගෙනය. මේ මිනිහාගේ මනුෂ්‍යත්වයට හා අවංකත්වයට එයම ප්‍රමාණවත්ය. කෙරිකෝ මිශ්‍ර පාසලේ පීටර් තබීචි විද්‍යාව සහ ගණිතය ඉගැන්වූවද මුළු පාසලටම තිබුණේ එක් පරිගණකයකි. එයද ක්‍රියාත්මක වූයේ දුර්වල අන්තර්ජාල සම්බන්ධතා හරහාය. එහි ශිෂ්‍ය ගුරු අනුපාතය 58: 01කි. එවන් තත්ත්වයක මේ විද්‍යා ගුරුවරයා ගණිත හා විද්‍යාව පිළිබඳ අරගල කරන සිසුන්ට එකිනෙකා හමුවී උපකාරක පන්ති ලබාදෙයි. සිසුන්ගේ නිවෙස්වලට ගොස් ඔවුන්ගේ පවුල් හමුවී ඔවුන් මුහුණ දෙන අභියෝග හඳුනා ගනී. මෙසේ ඔහු දිවා රාත්‍රී නොබලා අසීමාන්තික කැපවීමකින් වසර 3ක් ඇතුළත ඉහළ ශ්‍රේණිවලට ඇතුළත් වන ළමුන්ගේ සංඛ්‍යාව වසරකට 400 දක්වා දෙගුණයකින් වැඩි කර ගත් අතර විශේෂයෙන් ගැහැනු ළමයින්ගේ අධ්‍යාපනික ජයග්‍රහණ ඉහළ නංවා තිබේ.

කෙන්යාවේ අනාගතය ඇත්තේ ඔබේ අතේ බව කියමින් තම ශිෂ්‍ය ශිෂ්‍යාවන් තමන් ගැන විශ්වාස කිරීමට පෙලඹවීම තුළින් පීටර් ඔහුගේ සිසුන්ගේ ජයග්‍රහණය හා ආත්ම අභිමානය නාටකාකාර ලෙස වැඩි දියුණු කර ඇත. එහි විශිෂ්ට ප්‍රතිඵලයකි කෙන්යාවේ අතිදුෂ්කරම හා සම්පත් හීනම පාසලේ විද්‍යා විෂය ඉගෙන ගන්නා ඔහුගේ පන්තියේ දරුවන් 59 දෙනා අතරින් 2017 වසරේ ඉන් 16 දෙනකු කෙන්යා රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියට ඇතුළුවීම. 2018දී එය සිසුන් 26 දෙනකු දක්වා ඔහු වර්ධනය කර පෙන්වීය. එනම් පන්තියේ සිසුන්ගෙන් 50%ක් ඔහු විශ්වවිද්‍යාල තුළට රිංගවා ඇත.

පීටර් කෙරිකෝ පාසලේ දක්ෂතා පෝෂණය කිරීමේ සමාජයක් ආරම්භ කර පාසලේ විද්‍යා සමාජය පුළුල් කළ අතර එමඟින් 60%ක් දූ දරුවන් ජාතික තරග සඳහා සුදුසුකම් ලබාගැනීමේ තත්ත්වයට ගෙන ආවේය. ඔහුගේ ගුණාත්මක හා විද්‍යාත්මක පර්යේෂණ ව්‍යාපෘතිය කෙන්යාවේ 2018 විද්‍යා හා ඉංජිනේරු ප්‍රදර්ශනයේදී අන්ධ හා බිහිරි අයට වස්තූන් මැනීමට ඉඩදීම සඳහා ඔවුන් විසින් නිර්මාණය කරන ලද උපකරණයක් ප්‍රදර්ශනය කරන ලදි. මෙම උපකරණය නිර්මාණය කළ ගණිත විද්‍යා ශිෂ්‍ය කණ්ඩායම ඇෙමරිකා එක්සත් ජනපදයේ ඇරිසෝනාහි පැවැත්වෙන INTEL ජාත්‍යන්තර විද්‍යා හා ඉංජිනේරු ප්‍රදර්ශනය 2019 සහභාගී වීමට සුදුසුකම් ලබා ඇත. 2018දී පීටර්ගේ ශිෂ්‍යයන් කණ්ඩායම විදුලිය ජනනය කිරීම සඳහා දේශීය ශාක විශේෂයක් යොදා තැනූ විදුලිජනන යන්ත්‍රය බ්‍රිතාන්‍ය රාජකීය රසායන විද්‍යා සංගමයෙන් සම්මානයක්ද දිනා ගෙන තිබේ.

වසර 3ක් ඇතුළත දිළිඳු දරුවන්ගේ අධ්‍යාපනය සඳහා මහා මෙහෙවරක් කළ මේ මිනිසාට 2019 අන්තර් ජාතික Global Teacher Prize ලැබුණේ මේ ආකාරයටය. ඔහු එය ලබාගත්තේ ඩුබායි පාලක ෂීක් මොහොමඩ් බින් රෂීඩ් කුමරුගේ දෑතිනි. පීටර් තබීචි එම සම්මානයත් සමඟම ඇමෙරිකන් ඩොලර් මිලියනයක්ද දිනාගත්තේය. සම්මානය දිනාගත් පසු ඔහු ප්‍රේක්ෂකාගාරය දෙසට හැරී මෙසේ කීවේය.

‘'මගේ ඉගෙන ගන්නන්ගේ දැනුම, කුසලතා සහ විශ්වාසය වර්ධනය වීම දැකීම ඉගැන්වීමේ මගේ ලොකුම ප්‍රීතියයි! ඔවුන් සමාජයේ ඔරොත්තු දීමේ, නිර්මාණශීලී හා ඵලදායී වන විට, ඔවුන්ගේ හැකියාවන් වඩාත් ආකර්ෂණීය ලෙස විවර කරනවිට ඒ විශිෂ්ටයන්ගේ ඉරණම සක්‍රීය කරන්නා සහ එහි යතුර ලෙස ක්‍රියා කිරීමට හැකි වීම ගැන මම සෑහීමකට පත්වෙමි. අප්‍රිකාව විද්‍යාඥයන්, ඉංජිනේරුවන්, ව්‍යවසායකයන් බිහි කරනු ඇත. ඔවුන්ගේ නම් ලෝකයේ සෑම අස්සක් මුල්ලක් නෑරම ප්‍රසිද්ධ වනු ඇත. ගැහැනු ළමයින් මෙම කතාවේ විශාල කොටසක් වනු ඇත. අප්‍රිකාවේ විභවය විවෘත කිරීමේදී විද්‍යාවට හා තාක්ෂණයට ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළ හැකි යැයි මම විශ්වාස කරමි. එය අප්‍රිකාවේ උදෑසන අහස සේ පැහැදිලිය. මෙය අප්‍රිකාවේ කාලයයි.”

එවිටම වේදිකාවෙි පුළුල් තිරය මත කෙන්යාවේ ජනාධිපති උහුරු කෙන්යාටාගේ වීඩියෝ සුබ පැතුම් පණිවිඩය සටහන් විය. “පීටර්, ඔබේ කතාව අප්‍රිකාවේ කතාවයි, මහාද්වීපයේ තරුණ දක්ෂතා පුපුරා යයි.”

[උපාලි ජයසිංහ]

මාතෘකා