මා සසල කළේ ඉසබෙල් අයියන්දේගේ ‘ඊවා ලූනා’ නවකතාවයි

 ඡායාරූපය:

මා සසල කළේ ඉසබෙල් අයියන්දේගේ ‘ඊවා ලූනා’ නවකතාවයි

- සීතා රංජනී

මගේ සිත සසල කළ පොත් කිහිපයක් තියෙනවා. ඒ අතර වි‍ශේෂයෙන් සඳහන් කළ යුතු පොත් තමයි ඉසබෙල් අයියන්දේගේ ‘ඊවා ලූනා’, ඇගේම ‘මායාවාස’, ගේබ්‍රියෙල් ගාර්සියා මාර්කේස්ගේ ‘කොලරා කාලේ ආලේ’, ඩොස්ටොයෙව්ස්කිගේ ‘අපරාදය හා දඬුවම’, ටෝල්ස්ටෝයිගේ ‘ඇනා කැරනිනා’ වගේ පොත්. මේ හැම පොතක් මගේ හදවත සසල කළා. ඇත්තටම රුසියානු පොත් කියවන්න මට තිබුණේ පුදුමාකාර පිපාසාවක්. කොහොම වුණත් මම කැමතිම, මගේ හිතේ පළමුව මුල් බැස ගෙන තියෙන මා සසල කළ පොත වෙන්නේ ඉසබෙල් අයියන්දේගේ ‘ඊවා ලූනා’ නවකතාවයි. මම ‘ඊවා ලූනා’ කියෙව්වේ 90 දශකයේ අග. ඒ කියෙව්වේ ගාමිණී වියන්ගොඩ සිංහලට පරිවර්තනය කළ කෘතියයි.

‘ඊවා ලූනා’ මගින් එකල සමාජය මනාව නිරූපණය වෙනවා යැයි කීවොත් නිවැරදියි. තත්කාලීන සමාජයේ පැවති සමාජ, දේශපාලන, ආර්ථික ගැටලු හමුවේ දියණියක වූ ඊවා මුහුණ දෙන අභියෝගයන් ඉන් මනාව නිරූපණය වෙනවා. තමන්ගේ අම්මා මියගිය පුංචි දැරියකට මුහුණ පෑමට සිදු වන අතොරක් නැති ගැටලු ඉන් කතුවරිය විදහා පානවා. ඊවා මුලින්ම උත්සාහ ගන්නේ තමන්ගේ

කෑම වේල හොයා ගන්නයි. ක්‍රමයෙන් ඇය තමන් ජීවත් වන දුෂ්කර දිවිය තේරුම් ගෙන ඉන් මිදීමට උත්සාහ ගන්නවා.

ඉසබෙල් අයියෙන්දේ ඊවාගේ උපත සනිටුහන් කරන්නෙත් අපූර්ව විදිහට. ඒ උපත පිළිබඳ සිදුවීමත් මගේ සිත සසල කළා. ඊවා ලූනාගේ මව එකල සමාජයේ මහාචාර්යවරයෙකුගේ නිවසේ වැඩ කළ මෙහෙකාරියක්. ඒ වන විට මව විවාහ වී නැහැ. ඇය සේවය කළ මහාචාර්යවරයා සියල්ල දෙස පරීක්ෂාකාරී නෙතින් බැලූ කෙනෙක්. ඔහුට සෑම දෙයක්ම පරීක්ෂණයක්. දවසක් ඔහුගේ වත්තක සේවය කළ සේවකයෙකුට පොළඟෙක් දෂ්ට කරනවා. මෙය දැනගන්නා මහාචාර්යවරයා කියන්නේ ඔහු මියගිය පසු නිවසේ පරීක්ෂණ කුටියට ගෙනත් දමන ලෙසයි. මෙය ඊවාගේ මවට ඇසෙනවා. ඇය හරිම සංවේදී කාන්තාවක්. ඇය රෝගී සේවකයා සිටි තැනට යනවා. ඔහු මේ වෙලාවේ බොහොම රෝගාතුර වෙලායි ඉන්නේ. ඇය ඔහුගේ තුවාලයේ විෂ උරා ලේ ඉවතට ඇද දමනවා. ඇය ඔහු සුවපත් කරන්න ලොකු උත්සාහයක් දරනවා. ඇය සර්පයා දෂ්ට කළ සේවකයාගේ ශරීරය පිරිමදින විට ඔහු ලිංගික වශයෙන් යම් උත්තේජනයක් ලබනවා. ඔහුගේ ශාරීරික වෙනස් වීම දකින ඕ මියයමින් සිටින ඔහුට යම් සතුටක් ගෙන දීමට කල්පනා කරනවා. එහෙම කල්පනා කරලා ඔහු සමඟ ලිංගිකව එකතු වෙනවා. පසුකාලීනව මේ රෝගී වූ සේවකයා සුවපත් වී එම නිවස හැර යනවා. මේ එක් වීම හේතු කොටගෙන ඇය ගැබිනියක් වෙනවා. එසේ උපන් දරුවා තමයි ඊවා ලූනා. ඇගේ උපතම අනෙකෙකු වෙනුවෙන් ඇගේ මව කළ පරිත්‍යාගයක්.

අන්‍යයන්ගේ සතුට වෙනුවෙන් ලොවට දියණියක් බිහි කළ ඊවාගේ මව ඇය කුඩා කාලේදීම මියයනවා. එතැන් පටන් ඊවාටත් සිදු වෙන්නේ ආහාර වේල සොයා ගන්න එක එක නිවාසවල බැලමෙහෙවර කිරීමටයි. නමුත් ඇය මේ ජීවිතයට මුහුණ දෙන්නේ බොහොම ශක්තිමත් විදිහට. ඇය එකල පැවති සමාජ අරගල හා ගැටෙමින් නව මඟකට සිය දැක්ම ගෙන යන්න උත්සාහ කරනවා. ළමා වියේදී විඳිය යුතු නිදහස අහිමි වුණත් ඇය වැඩිහිටි කතක් බවට පත් වී මාධ්‍යවේදිනියක බවටත් පත් වෙන්නේ ඇගේ උත්සාහයෙන්මයි. මේ කෘතිය තුළ කිසිම වෙලාවක කතුවරිය ඊවා පරාජිත චරිතයක් බවට පත් කරන්නේ නැහැ. මේ නිසාම මගේ මතකයෙන් මේ කෘතිය ඉවතට ගියේ නැහැ.

මං ගැන කතාවත් එක්තරා දුරකට ඊවා ලූනාගේ වගේ. ගොවිතැනින් ජීවිතය සරිකරගත් දෙමාපිය යුවලකගේ වැඩිමල් දරුවා ලෙස මම උපන්නේ අනුරාධපුර පූජා නගරය ආශ්‍රිත පෙරිමියන්කුලම කියන ගමේයි. මගේ පවුලේ මට බාල සහෝදර සහෝදරියෝ පස් දෙනෙක් ඉන්නවා. මමත් එක්ක අපි ඔක්කොම හය දෙනෙක්. ඒ කාලේ අපට ඉගෙනගන්න කියලා අම්මලා බල කළේ නැහැ. ඔවුන් යෙදුණේ අපිව ජීවත් තරන ජීවන සටනක. පොත් කියවන එකත් එච්චර වැදගත් දෙයක් විදිහට අපේ සැලකුවේ නැහැ. මගේ නැන්දා කෙනෙක් හිටියා ගුරුවරියක්. ඇය ජීවත් වුණෙත් අපේ ගේ ළඟමයි. ඒ නැන්දා අනුරාධපුර නගරයේ තිබූ පුස්තකාලයකින් පොත් ගෙනත් කියෙව්වා. ඒ ගොඩක් සෝවියට් රුසියානු පොත්. මම ඒ නැන්දා ගේන හැම පොතක්ම වගේ කියවන්න පටන් ගත්තා. ඒ මම පහ හය ශ්‍රේණිවල ඉන්නකොටයි. මට මතක විදිහට මක්සිම් ගෝර්කිගේ ‘අම්මා’, ෂෝලහොව්ගේ ‘පෙරළූ නැවුම් පස’ වගේ පොතුත් ඒ අතර තිබුණා. පස්සේ කාලෙක නැන්දා එක්කම ඒ පුස්තකාලය පරිහරණය කරන්න මමත් පෙළඹුණා.

මගේ පාසල වුණේ අනුරාධපුර නගරයේම තිබුණ අශෝක මහා විදුහලයි. ඒ පාසල තුළින් මම ගොඩක් පොතපත කියවීමේ පන්නරය ලබාගත්තා. එහෙම පොත් කියවන්න හුරු වුණ මගේ එදා මෙදාතුර කියවූ පොත් අතරින් සිත සසලම කළ කෘතිය ඉසබෙල් අයියන්දේගේ ‘ඊවා ලූනා’ යි.

මාතෘකා