ලියන දේ සංස්කරණය කළ හැක්කේ ලේඛකයාටම පමණයි

 ඡායාරූපය:

ලියන දේ සංස්කරණය කළ හැක්කේ ලේඛකයාටම පමණයි

- සේන තෝරදෙනිය

ප්‍රවීණ ලේඛක සේන තෝරදෙනියගේ අලුත්ම නවකතාව ‘නිමල මල’ නමින් පසුගියදා නිකුත් විය. ෆාස්ට් පබ්ලිෂින් සමාගමේ සුරස ප්‍රකාශනයක් ලෙස නිකුත් වී ඇත. ඒ නවකතාව නිමිති කරගෙන තෝරදෙනිය සමඟ පසුගියදා අප පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකි මේ.

‘නිමල මල’ ඔබ හඳුන්වාදෙන්නේ කුමන ආකාරයටද?

මේ නවකතාව මම හඳුන්වලා දීලා තියෙන්නෙ මියගිය සොල්දාදුවෙකුගේ නොමියෙන කතාව ලෙසයි. සොල්දාදුවෙක් කිව්වාට ඔහු හමුදා නිලධාරියෙක්. මෙය රචනා කරන්න මම පෙළඹුණේ යුද්ධය සහ සාමය පිළිබඳව මා තුළ තියෙන එක්තරා අදහසකට අනුවයි. යුද ක්‍රියාවලියේදී වගේම සාම ක්‍රියාවලියේදීත් ඒ හා සම්බන්ධ සියලු දේශපාලන ක්‍රියාකාරිත්වයන් නිසා මාධ්‍ය, චිත්‍රපට ඇතුළු බොහෝ දේවල් විකෘති තත්ත්වයට පත් වෙලා තියෙනවා කියලා මට හිතෙනවා. ඒ නිසා යුද ක්‍රියාවලිය, සාම ක්‍රියාවලිය සහ වර්තමාන දේශපාලනය එක්තරා උගුලකට අහු වෙලා තියෙනවා. ඒ උගුලෙන් සමාජය මුදවාගත හැක්කේ සාහිත්‍යකරුවාටයි කියලා මම විශ්වාස කරනවා. මේ කෘතියත් ඒ සඳහා ගත් උත්සාහයක් හැටියට පෙන්වා දෙන්න පුළුවන්.

නවකතාවේ ආඛ්‍යානයේ වෙනසක් තිබෙනවා?

මේ නවකාවේ ප්‍රධාන චරිත හතරක් තියෙනවා. ඒ අතරින් චරිත තුනක් මියගිය සොල්දාදුවා ගැන උත්තම පුරුෂ කථනයෙන් අදහස් ඉදිරිපත් කරනවා. ඒත් මියගිය සොල්දාදුවා උත්තම පුරුෂ කථනයෙන් හෝ ප්‍රථම පුරුෂ කථනයෙන් කතාවට සහභාගි වෙන්නෙ නැහැ. ඔහුගේ කතාව කියන්නේ අනෙක් චරිත තුන විසින්. ඒ තිදෙනාගේ උත්තම පුරුෂ කථනයෙන් තමයි ඔහුගේ චරිතය ඉදිරිපත් වෙන්නේ. මේ ආඛ්‍යාන ක්‍රමය මම මීට කලිනුත් භාවිත කරලා තියෙනවා. ‘සදත් විල මහා සුභද්‍රාවෝ’ සහ ‘සප්ත අපදාන වස්තුව’ වගේ කෘතිවලත් මෙවැනි ආඛ්‍යානයක් තියෙනවා. මෙහි විශේෂය තමයි ප්‍රධාන චරිතය වන සොල්දාදුවා මේ කථනයට සහභාගි නොවීම. ඔහුගේ කතාව කියැවෙන්නේ අනෙක් අය මඟින්. මට හිතෙන හැටියට සිංහල නවකතාවක ප්‍රථම වරට විද්‍යුත් පණිවුඩ හුවමාරු ක්‍රමය යොදාගත් අවස්ථාව හැටියටත් මෙය සැලකිය හැකියි.

මේ නවකතාවේ පරිච්ඡේද වෙන් කෙරෙන්නේ කවි පදවලින්?

‘සප්ත අපදාන වස්තුව’ කෘතියෙදිත් මේ විදිහට පරිච්ඡේද වෙන් කිරීමක් තිබුණා. හැබැයි ඒ සඳහා කවි පද යොදාගත්තේ නැහැ. මගේ නවකතාවක පරිච්ඡේද වෙන් කිරීමේදී මේ විදිහට කවිපද යොදාගැනීමක් කෙරෙන පළවෙනි අවස්ථාව මෙයයි. මේ කතාව පුරා දිවෙන කවියක් තියෙනවා. ඒ කවිපද අනුව තමයි පරිච්ඡේද නම් කරලා තියෙන්නෙ. මේ කවි පද ලියැවිලා තියෙන්නෙ සොල්දාදුවාගේ චරිතය විස්තර කෙරෙන ආකාරයටයි. එයින් සිදු වෙන්නේ සොල්දාදුවාගේ චරිතය ගොඩනැගීමක්. ඒකත් මේ ආඛ්‍යානය තුළ හමු වන විශේෂ දෙයක්.

මෙයට ‘නිමල මල’ වැනි සරල නමක් යෙදීමට තීරණය කළේ ඇයි?

මේ නවකතාවේ ඉන්න සොල්දාදුවාගේ අවමංගල්‍ය සභාවේදී කතා කරන කෙනෙක් කියනවා ලෝකයේ සියලුම මල් අරගෙන, පෙති අරගෙන, සුවඳ අරගෙන මම අලුත් මලක් හදනවා කියලා. ඒ මලට මම නමක් දෙනවා නිමල මල කියලා. ඒක තමයි මෙතැන තියෙන්නෙ. ඒ නමේ කිසියම් සරල බවක් තියෙනවා තමයි. හැබැයි නිමල මල කියලා මලක් නැහැ. එය සැබෑ ලෝකයේ ඇති මලක් නෙවෙයි. මේ නවකතාව සඳහා එවැනි මලක් නිර්මාණය කරගන්නේ උතුම් චරිතයක්, ශ්‍රේෂ්ඨ පුරුෂයෙක් ගැන කතා කරන්නයි. නවකතාව තුළ මම ගොඩනඟන සොල්දාදුවා තමයි නිමල මල. ඒ හරහා සංකේතවත්ව පෙන්වන්නේ සොල්දාදුවාගේ නිර්මල ගුණයයි.

මෙය සරල කතා පුවතක් වුණාට ලිවීමට දුෂ්කරම වූ නවකතාවක් බව පෙරවදනේ සඳහන් වෙනවා?

මේ නවකතාව බැලූ බැල්මට තරමක් සරලයි. කතා වස්තුවේ පවා යම් සරල බවක් තියෙනවා. ඒත් මේ සොල්දාදුවාගේ චරිතය ගොඩනැඟීමේදී ඔහු මෙහෙයුමට සහභාගි වූ ආකාරය විස්තර කිරීම සඳහා අවශ්‍ය වූ තොරතුරු සොයාගැනීම, ඒවා නිසි පරිදි පෙළගැස්වීම වැනි දේවල් ඉතා සැලකිල්ලෙන් කළ යුතු වුණා. ඒ වගේම ඉන්දීය සාමසාධක හමුදාව ලංකාවට ආපු කාලය වගේ බොහෝ වැදගත් කරුණු පිළිබඳ නැවත සොයා බලන්න පවා සිදු වුණා. ඒ අනුව ලංකාවේ දේශපාලන ඉතිහාසය ඔස්සේ යළිත් ආපස්සට යෑමක් මෙතැනදි කෙරෙනවා. සටන් විරාම ගිවිසුම කාලයේ ඇති වූ තත්ත්වය, සටන් විරාම නිරීක්ෂණ කටයුතු සහ සටන් විරාම කාලයේදී සොල්දාදුවාගේ ජීවිතය වගේ දේවල් ගැන ලියනකොට ඒ දේවල් බැලූ බැල්මට සරලයි වගේ පෙනුණාට ඒවා ලිවීම දුෂ්කර වුණා. ඒ වගේම දේශපාලන ලියවිල්ලකට අදාළ එවැනි තොරතුරු එකතුවක් නවකතාවක් බවට පත් කිරීමත් ලෙහෙසි කටයුත්තක් වුණේ නැහැ.

ඔබේ ලිවීමේ ක්‍රියාවලිය කෙබඳුද?

ලිවීම කියන්නෙ මට දිගටම කරන්න පුළුවන් දෙයක්. ලිවිය හැකි තව බොහෝ දේවල් මගේ අදහස් ගබඩාවේ තියෙනවා. පොත් විදිහට එළියට දාන්න හිතාගෙන ඉන්න තව බොහෝ දේවල් ඒ ගබඩාවේ තියෙනවා. විචාර ග්‍රන්ථත් ඒ අතර තියෙනවා. අතරමඟ නතර වූ ඒවාත් ඒ අතර තියෙනවා. ළඟදි මගේ තව පොතක් ‘නිදහස් අරගලය සහ සාහිත්‍යය’ නමින් පළ වීමට නියමිතව තිබෙනවා. මේ දවස්වල මම ඒ පොතේ සෝදුපත් බලමින් ඉන්නවා. ඒ වගේ විචාර ග්‍රන්ථ තව කිහිපයක්ම ඉදිරියේදී ලියැවෙයි. ඒවා එක දිගට ලියන දේවල් නෙවෙයි. සාමාන්‍යයෙන් ප්‍රබන්ධ රචනා කිරීම නම් මට අඛණ්ඩව කරන්න පුළුවන්. ඒත් ‘හඳුන් මල් කඩුල්ල’ වගේ නවකතාවක් එක දිගට ගියන්න බැරි වුණා. ඒ නවකතාවට ඇතුළත් වුණේ විටින් විට ලියපු දේවල්. ‘බණ්ඩර මැරූ උන්’ වගේ තවත් නවකතා කිහිපයක්ම ලියැවුණෙත් ඒ විදිහටයි. මේ අලුත් නවකතාව නම් ආරම්භයේ සිට අවසානය දක්වාම අඛණ්ඩව ලියන්න පුළුවන්කම තිබුණා.

ඒ ලිවීමේ ක්‍රියාවලිය තුළ සංස්කරණය සිදු වන්නේ කුමන ආකාරයටද?

බොහෝ විට ලියන දෙයක් කටුසටහන් හැටියට නැවත ලියැවෙන අවස්ථාවේදී පවා කිසියම් සංස්කරණයක් කෙරෙනවා. ලියලා අවසන් වුණාට පසුව ආපහු ලිවීමේ ක්‍රියාවලියේ යෙදෙන්නෙ නැති අවස්ථාවලදී පවා ඒ සංස්කරණය සිදු වෙනවා. අපි නැඟිටලා ඉන්නකොට, ඇවිදිනකොට, නිදාගන්නකොට ඒ ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙනවා. එතැනදි අර ලියපු දේවල්වල වෙනස් විය යුතු තැන් මොනවද කියලා දැනෙනවා. ඒකත් එක්තරා විදිහක සංස්කරණය කිරීමක්. ස්වයංව කරන සංස්කරණයක්. කටුසටහන විදිහට ලියපු දේ මුද්‍රණය සඳහා නැවත පිටපත් කරනකොට ඒක අමුතුවෙන් ලියනවා. ඒකට අලුත් දේවල් එකතු වෙනවා. මුලින් ලියපු සමහර දේවල් අයින් වෙනවා, අලුත් දේවල් එකතු වෙනවා. මම සෝදුපත් බලන නිසා සංස්කරණ ක්‍රියාවලිය අවසාන සෝදුපත දක්වාම සිද්ධ වෙනවා. ඒ නිසා ඒක අඛණ්ඩ ක්‍රියාවලියක්. මම ලියපු දෙයක් වෙන කෙනෙක් හෝ වෘත්තීය සංස්කාරකවරයෙක් බැලුවෙ නැති වුණත් ඒ සංස්කරණය මා අතින් සිද්ධ වෙනවා.

අනෙක් එක, මම හිතන විදිහට නම් තමන් ලියන දේ සංස්කරණය කරන්න පුළුවන් ලේඛකයන්ට පමණයි. ඒ කියන්නේ තමාගේ සංස්කාරකයා තමාමයි. පිටරටවල්වල ඒක වෘත්තියක්නෙ. ඒ වෘත්තියේ යෙදිලා ඉන්න අය අතින් සංස්කරණය වෙනකොට බොහෝ විට අවසානයේදී එළියට එන්නේ ලේඛකයාගේ කෘතිය නෙවෙයි. ඒක සංස්කාරකයාගේ කෘතියක් හෝ ප්‍රකාශන ආයතනයට අවශ්‍ය කෘතියක් බවට පත් වෙනවා. අපේ ක්‍රියාවලියේදි එහෙම දෙයක් වෙන්නෙ නැහැ. අපේම කෘතියක් අපේම සංස්කරණයක් හැටියට ඉදිරිපත් කරනකොට ඒ කෘතියේ ලොකු වෙනසක් සිද්ධ වෙන්නෙ නැහැ. සමහර විට අපි ලියන දෙයක් කියවලා තවත් කෙනෙකුට ඒ ගැන අදහස් කියන්න පුළුවන්. එතැනදි සිද්ධ වෙන්නෙ අදහස් හුවමාරු කරගැනීමක්. ඒත් එහෙම සිරිතක් ලංකාවේ නැහැ. කෙනෙක් ලියූ දෙයක් පළ කරන්න කලින් ඒ ගැන තවත් කෙනෙක් සමඟ අදහස් හුවමාරු කරගැනීමේ ක්‍රියාවලියක් ලංකාවේ නැහැ. ලංකාවේ ප්‍රකාශකයින් වුණත් ලේඛක ලේඛිකාවන්ට තදබල බලපෑමක් කරන්නෙ නැහැ. ඒ නිසා ලංකාවේ සාහිත්‍ය සංස්කරණය බොහෝ විට ස්වාධීන ක්‍රියාවලියක්. මට හිතෙන්නෙ ඒ ක්‍රමය හොඳයි කියලයි. හැබැයි ඒක හැමෝටම කරන්න පුළුවන් කියලා මම හිතන්නෙ නැහැ. මම විචාරකයෙක්. අනුන්ගේ නවකතා විචාරය කරන කෙනෙක්. මගේ නවකතාව, මගේ රචනා ශෛලිය, මගේ දෙබස්, මම ඇතුළත් කරන සිද්ධි වර්ණනා මගේම විචාරයට අහුවෙනවනෙ. එතකොට එතැන ද්විත්ව ක්‍රියාකාරිත්වයක් තියෙනවා. විචාරකයාගේ සහ ප්‍රබන්ධකරුවාගේ ක්‍රියාවලීන් දෙක සමාන්තරව ගමන් කරනවා. ඒක නිර්මාණයකට හොඳයි කියලා මට හිතෙනවා.

වෘත්තීය සංස්කාරකවරුන් අපට අවශ්‍ය නැති බවද ඔබ කියන්නෙ?

එහෙම වෘත්තීය මට්ටමෙන් සංස්කරණය කරන්න මෙහෙ කවුද ඉන්නෙ? ඒ අයත් ලියන අය සහ විචාරකයොම වෙන්න ඕන. එහෙම නැතිව වෙනම සංස්කාරකයො පිරිසක් ලංකාවේ නැහැනෙ. බොහෝ රටවල්වල වෘත්තීය සංස්කාරකවරුන් විදිහට කටයුතු කරන්නේ විචාරකයින්වත්, රචකයින්වත් නෙවෙයි. බොහෝ විට ඔවුන් අඥාතයි. එහෙම නැත්නම් ඔවුන් ප්‍රකාශන ආයතන හා සම්බන්ධ අය වෙන්න පුළුවන්. එහෙම වෙනකොට ප්‍රකාශන ආයතනයේ සැලැස්ම අනුව, ඒ ආයතනයේ අලෙවිකරණ පැත්ත වගේ බොහෝ දේවල් එතැනදි ඔවුන් බලනවනෙ. මම සංස්කරණය ප්‍රතික්ෂේප කරන්නෙ නැහැ. හැබැයි පිළිගත හැකි මට්ටමෙන් සංස්කරණය කළ හැකි පිරිසක් අපට ඉන්නවාද කියන එක ගැටලුවක්. එවැනි පසුබිමක් තුළ අපට කරන්න සිද්ධ වෙන්නෙ එකිනෙකා අතර අදහස් හුවමාරු කරගැනීම වගේ දෙයක් පමණයි. ඒ නිසා කෙනෙක් ලියන දෙයක් ගැන වෙන කෙනෙකුට අදහසක් දෙන්න පුළුවන්. මගේ පොත වුණත් මුද්‍රණයට පෙර කවුරු හරි කියවලා යම් අදහස් පළ කරනවා නම් සහ සලකා බැලිය යුතු දේවල් ඒ අදහස්වල තියෙනවා නම් එතැන කිසි ගැටලුවක් නැහැ. මම ලියන දේවල් ගැනත් ඒ වගේ අදහස් පිළිගන්න මම කැමතියි.

සාකච්ඡා කළේ [අජිත් නිශාන්ත]

මාතෘකා