මේ සියල්ල ජනතාවගේ මුදල්

 ඡායාරූපය:

මේ සියල්ල ජනතාවගේ මුදල්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

නෙළුම් කුලුන අප රටට ලැබුණු ජාතික සම්පතක් මෙන්ම තාක්ෂණයේ සහ සන්නිවේදනයේ නව පියවරක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ පෙරේදා (16) කොළඹ නෙළුම් කුලුන විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද කීය.

"අපේ රටේ විශේෂයෙන්ම මේ යුගය තුළ ගොඩනැඟිලි තාක්ෂණයේ නව පරිවර්තනයක් වගේම නව යුගයක උදාවක් ඇති කරන මේ කොළඹ නෙළුම් කුලුන අද සිට විවෘත කරලා ජනතා අයිතියට පත් කිරීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා. මේ නෙළුම් කුලුන ගොඩනැඟිලි තාක්ෂණයේ නව පිම්මක් වගේම සන්නිවේදන තාක්ෂණයේ නව පිම්මක්. විශේෂයෙන්ම තාක්ෂණික වශයෙන් ලෝකයේ පරිවර්තනයන් වේගයෙන් සිදු වන යුගයක අපේ රටෙත් මේ නව ඉදිකිරීම නව පරිවර්තනයක් ඇති කරනවා කියලයි මම විශ්වාස කරන්නේ. මෙම නෙළුම් කුලුන අපේ රටේ සංචාරක ව්‍යාපාරය තුළ දේශීය වශයෙන් වගේම විදේශීය වශයෙන් තවත් වැදගත් පියවරක්. අනුරාධපුර යුගයේ, පොළොන්නරු යුගයේ සිට මහනුවර යුගය දක්වා වාරි තාක්ෂණය, ගොඩනැඟිලි තාක්ෂණය, ඒ විවිධ ක්ෂේත්‍ර හරහා ගොඩනැඟුණු ප්‍රතිමා නිර්මාණය මෙවැනි විශිෂ්ට තාක්ෂණික නිර්මාණයන් පිළිබඳව උරුමයක් තිබෙන රටක් තමයි ලංකාව. ඒ වගේම කොළඹ නෙළුම් කුලුන ශ්‍රී ලංකාව ලැබූ තාක්ෂණික ජයග්‍රහණයක් විදියටයි මම සලකන්නේ. ඒ නිසා දේශීය හා විදේශීය සංචාරකයන් සඳහා මෙය වැදගත් ස්ථානයක් බවට පත් වෙනවාට කිසිදු සැකයක් නැහැ.

"ඒ වගේම මේ කුලුනේ කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් වී නැහැ. නමුත් අපි විවෘත කිරීමට තීරණය කළේ දැනට අවසන් කර ඇති ප්‍රමාණය තුළ එය විවෘත කිරීමට හැකියාවක් තිබෙන නිසයි. ඉතිරි සම්පූර්ණ ප්‍රමාණය සකස් කරලා වැඩ අවසන් කරලා විවෘත කිරීම සඳහා තව යම් කාල සීමාවක් ගත වෙනවා වගේම තව සෑහෙන මුදලකුත් අවශ්‍ය වෙනවා. මේ තත්ත්වයට මේ ගොඩනැඟිල්ල ගෙන ඒමට වසර 07ක කාලයක් ගත වී තිබෙනවා. 2012දී තමයි මෙහි වැඩ ආරම්භ කරලා තිබෙන්නේ. මේ ගෙවී ගිය වසර 07ක කාලය තුළ මේ ගොඩනැඟිල්ලේ ඉදිකිරීම් කටයුතු සිදු වුණා. මේ ගොඩනැඟිල්ල පරිත්‍යාගයක් නෙවෙයි ණය මුදලක් ලබා ගෙන ඉදිකරන ලද ගොඩනැඟිල්ලක්. මේ ගොඩනැඟිල්ල ඉදිකිරීමේ මුදල චීනයේ එක්සින් බැංකුවෙන් ශ්‍රී ලංකාව ලබා ගත් විශාල මුදලක්. මේ විශාල ණය මුදල සමඟ මේ ගොඩනැඟිල්ල ඉදිකිරීම සඳහා 2012දී එවකට අපේම රජය ත්‍රෛපාර්ශ්වික ගිවිසුමක් අත්සන් කරලා තිබෙනවා. ඒ ගිවිසුමට ශ්‍රී ලංකා රජය වෙනුවෙන් විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාව, චීනයේ එක්සිම් බැංකුව, ඒ වගේම චීනයේ සමාගම් දෙකක් අත්සන් කර තිබෙනවා. ඒ ණය ගිවිසුම තුළ මේ ගොඩනැඟිල්ල ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා රජයට එකඟ වී තිබෙන මුදල රුපියල් බිලියන 16ක්. රුපියල් කෝටි 1,600ක්. ඒ මුදලෙන් අපට ලැබුණේ බිලියන 12යි. කෝටි 1,200යි. 2017දී ඉතිරි ගෙවීම් නැවතුණා. චීන එක්සිම් බැංකුව 2017දී බිලියන 12කින් ණය මුදල නැවතුණා. ඉතිරි මුදල දීම වැළකුණා.

"මේ ගොඩනැඟිල්ල අපිට ලැබුණු ජාතික සම්පතක්. තාක්ෂණයේ සහ සන්නිවේදනයේ නව පරිවර්තනයක්. ඒ සියල්ලෙහිම ඓතිහාසික කාර්යක වැදගත්කම පිළිබඳව සතුටු වෙනවා වගේම තවත් කිව යුතුම දෙයක් තිබෙනවා. ඒ තමයි 2012දී මේ ගොඩනැඟිල්ලේ වැඩ ආරම්භ කරන්න ශ්‍රී ලංකා රජය කෝටි 200ක්, රුපියල් බිලියන් 02ක් අත්තිකාරම් වශයෙන් ගෙවලා තිබෙනවා. ඒ ගෙවලා තිබෙන්නේ චීනයේ 'ඇලිත්' කියන සමාගමට. 2016 වන විට ඇලිත් සමාගම අතුරුදන් වුණා. ඇලිත් සමාගමට වුණු දෙයක් නැතිව ගියා. ශ්‍රී ලංකා රජය දුන්න රුපියල් කෝටි 200ක මුදලත් ආගිය අතක් නැතිව ගියා. ඒ රුපියල් කෝටි 200ක අත්තිකාරම් මුදල ගෙවලා තිබෙන්නේ 2012දී.

"අපි මේ ගැන දැන ගත්තට පස්සේ මේ පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කළා. චීනයේ ශ්‍රී ලංකා තානාපති කරුණාසේන කොඩිතුවක්කු මහත්තයාට මම පෞද්ගලිකව වගේම නිල වශයෙන් දැනුම් දුන්නා මේ ඇලිත් කියන සමාගම හොයලා දෙන්න කියලා. ඒ මොකද ඒක කලින් ත්‍රෛපාර්ශ්වික ගිවිසුමේ අත්සන් කළ සමාගමක්. නමුත් අතුරුදන් වුණාට පස්සේ ඇලිත් කියලා එවැනි සමාගමක් ලෝකේ කොහෙවත් නැහැ. එවකට සිටි අපේ ශ්‍රී ලංකාවේ චීන තානාපතිතුමාටත් අපි දැනුම් දුන්නා. චීනයේ සිටින අපේ තානාපතිතුමාටත් දැනුම් දුන්නා. මම කරුණාසේන කොඩිතුවක්කු මහත්තයට කිව්වා ත්‍රෛපාර්ශ්වික ගිවිසුම අත්සන් කරලා තිබුණු ඇලිත් සමාගමේ ලිපිනය බීජිං නගරයේ ලිපිනයක්, ඒ නිසා චීනයේ විදේශ කටයුතු අමාත්‍යාංශයටත් දන්වලා මේ ගැන පෞද්ගලිකව සොයලා බලන්න, මේ ලිපිනය තිබෙන ස්ථානයට ගිහින් බලන්න කියලා. අපේ තානාපතිතුමා ඒ ස්ථානය බලන්න ගියා. ඒ ලිපිනයේ එහෙම සමාගමක් නැහැ. එතකොට අත්තිකාරමට වුණු දෙයක් නැහැ. සමාගමත් නැහැ. ඒ තත්ත්වය උඩ තමයි චීනයේ එක්සිම් බැංකුව බිලියන 16ක ණය මුදලින් බිලියන 12කින් නැවතුණේ. ඊට පස්සේ අපට සිදු වුණා අපේ සල්ලිවලින් මේ කුලුන හදන්න. මේ රටේ ජනතාවගේ සල්ලිවලින්. මේ මුළු කුලුනම හදලා තියෙන්නේ මේ රටේ ජනතාවගේ සල්ලිවලින් තමයි. මොකද මේ ලැබුණු රුපියල් බිලියන 12ත් ණය. අපි අවුරුද්දකට රුපියල් බිලියන 2,400ක් එක්සිම් බැංකුවට ගෙවන්න ඕනෑ වසර 10ක්. අපි 2018 මිලියන 2,400ක් ගෙව්වා ඒ අවුරුද්දේ ගෙවිය යුතු ණය මුදල. රුපියල් කෝටි 240ක් අපි ගෙවලා තිබෙනවා. 2019 මේ අවුරුද්දේ මේ වන විට මිලියන 1,200ක් ගෙවලා තිබෙනවා. කෝටි 120ක් ගෙවලා තිබෙනවා. එතකොට වසරකට කෝටි 240ක් නැත්නම් මිලියන 2,400 බැඟින් වසර 10ක් මේ ණය මුදල අපිට ගෙවන්න තිබෙනවා. ඒ වගේම මෙහි තිබෙන ඉතිරි වැඩ අවසන් කරන්න අපිට තව මිලියන 3,000ක් නැත්නම් කෝටි 300ක් අවශ්‍ය වෙනවා.

"පසුගිය වසර 05කට ආසන්න කාලය තුළ මගේ අත්දැකීම තමයි මාස 02කට 03කට සැරයක් භාණ්ඩාගාරයට සල්ලි දෙන්නේ විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාව. ඔබ දන්නවා විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවට විශාල ආදායමක් තිබෙනවා. ඒ ආදායමෙන් තමයි සල්ලි ගෙවන්නේ. රජයේ සේවකයන්ට වැටුප් ගෙවන්න භාණ්ඩාගාරයේ සල්ලි නැහැ කිව්වම අපි තමයි සල්ලි දෙන්නේ. ඉතින් මේ සල්ලි මේ රටේ රජයේ සේවකයන්ට පඩි ගෙවන්න තිබෙන සල්ලි. මේ රටේ සංවර්ධනයට තිබෙන සල්ලි. රෝගීන්ට බෙහෙත් ගන්න ළමයින්ට ඩෙස් පුටු ගන්න තිබෙන සල්ලිවලින් තමයි මේ ගොඩනැඟිල්ල හදලා තිබෙන්නේ. ඒ නිසා අපිට ඉතිරි වැඩ කරන්න තව රුපියල් කෝටි 300ක් අවශ්‍යයි. ඉතිරි කාලය තුළ ඒ වැඩ කටයුතු අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ තත්ත්වය පැහැදිළි කළේ මේ දකින සුන්දරත්වය වගේම අපිට තිබෙන අභියෝගත් අප තේරුම් ගත යුතු නිසයි. ඒ පසුබිම කෙසේ වෙතත් මම ඉතාමත් සතුටු වෙනවා මේ වගේ නව නිර්මාණයක් මම පෙර කී පරිදි සන්නිවේදනයේ නව පරිවර්තනයක් සිදු කිරීමට ලැබීම පිළිබඳව. මේ ගොඩනැඟිල්ල ඉදිකිරීමේදී මොරටුව විශ්වවිද්‍යාලය තමයි උපදේශන සේවාවන්වල සිටියේ. මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්යතුමාලා උපදේශන සේවාවේ කටයුතු කළා. ඒ වගේම පසුගිය වසර කිහිපය තුළ තාක්ෂණික ඉංජිනේරු සේවාවල විශ්වවිද්‍යාල සිසුන්ට මේ මඟින් ඔවුන්ගේ දැනුම වර්ධනය කර ගන්නට වගේම නව දැනුම ලබා ගන්නට අවස්ථාව ලැබුණා. ඒ නිසා අපට ලැබුණු සම්පත අපි ආරක්ෂා කර ගන්නට ඕනෑ. හොඳින් නඩත්තු කරන්න ඕනෑ.

"ඒ වගේම අපි මුදල් අමාත්‍යාංශයත් සමඟ සාකච්ඡා කරලා තීරණයක් ගත්තා මෙය රාජ්‍ය සමාගමක් බවට පත් කරන්න. රාජ්‍ය සමාගමක් බවට පත් කිරීමේ අනුමැතිය අපිට පසුගිය දවස්වල ලැබුණා. ඒ අනුව ඉදිරි සති දෙකක පමණ කාලය තුළ ඒ සමාගම සඳහා අධ්‍යක්‍ෂ මණ්ඩලයක් පත් කරලා මෙය පෞද්ගලික සමාගමක ස්වරූපයට කටයුතු කරන රාජ්‍ය සමාගමක් බිහි කිරීමේ කාර්ය අපි කරනවා. මේ ගොඩනැඟිල්ලේ තිබිය යුතු අනෙකුත් අලංකාර දේවල් වෙළෙඳසල්, සාප්පු, අවන්හල් ඉදිරියේදී විවෘත කරන්න තිබෙනවා. ඒ සඳහා කටයුතු කරනු ලැබිය යුත්තේ අමාත්‍ය මණ්ඩල එකඟතාව අනුව බිහිවන සමාගම විසින්. එම සමාගම විසින් ටෙන්ඩර් කැඳවලා ඒ ආයතන පිහිටුවීම ඉදිරියේදී සිදු කරනවා. මෙය අපේ රටට ලැබුණු ජාතික සම්පතක්. තාක්ෂණයේ සහ සන්නිවේදනයේ නව පියවරක්. මෙය ජනතා අයිතියට පත් කිරීමට ලැබීම පිළිබඳ නැවත නැවතත් සතුටු වෙනවා."