දෙනගම වැව්තලය සිපගෙන එන දරුවන්ගේ සිනා හඬ

 ඡායාරූපය:

දෙනගම වැව්තලය සිපගෙන එන දරුවන්ගේ සිනා හඬ

සිරි සිරි පොද වැස්ස වරින් වර මහ වැස්සක් බවට පත් වෙයි. කාපට් ඇතිරූ මඟ දෙපස කුඹුරු යාය දුඹුරු පැහැ ගැන්වී තිබේ. ලියද්දක මඩේ එරුණු ගොයම් කපන යන්ත්‍රයකි. නොකඩවා ඇද හැලෙන වැස්ස භූතයන් හා මහසෝනුන්ද මෙල්ල කර ඇත. පැසුණු වී කරල්‍ සහිත ගොයම ඇද වැටී තිබේ. ගොයම් කැපීම දුෂ්කර කටයුත්තකි. තන්හි තන්හි ගොවියෝත් ගෙවිලියෝත් මඩෙන් වී කරල් වෙන්කර ගැනීමේ දුෂ්කර උත්සාහයක නිරතව සිටිති.

මාතර නගරයේ සිට හක්මන පසුකර දෙනගම ප්‍රදේශයට ළංවන විට අප නෙත්වල ගැටෙන දසුන් එසේය.

දිනය සැප්. 12දාය. එදින හිමිදිරියේ කොළඹින් ඇරඹුණු ගමන දෙනගමින් අවසන් වන විට එම ප්‍රදේශයේ වත්මන් ජන දිවිය ගැන දළ චිත්‍රයක් අප සිත්හි ඇඳීමට මඟ අවට පරිසරය සමත් විය. කුඹුරු යායට එපිටින් හුදෙකලා කඳු ගැට මත අස්වද්දමින් පවතින කුරුඳු වගා බිම් යැපුම් කෘෂිකර්මයේ වෙහෙසකර ගමනින් නව දිවියකට අපේක්ෂා දල්වන සිහින ලප මෙන් දිස්වේ.

දෙනගම නගරයට පිවිසෙත්ම ඇස ගැටෙන්නේ පීත්ත පටියක් මෙන් දිගු වන වැවයි. එය එක් පසෙකින් දෙනගම කඩ වීදියටද අනෙක් පසින් දෙනගම විදුහලටද මායිම් වෙයි. විදුහල පිහිටියේ වැව් ඉහත්තාවේ පටු උස් බිමක් මතය. ලේක්හවුස් ආයතනය විසින් මාසිකව පවත්වනු ලබන සිසු නැණ රැස සහ ජනසභාව සඳහා මෙවර තෝරා ගනු ලැබුවේ දෙනගම මහ විදුහලයි. එය සම්බන්ධීකරණය කළේ "අපි යාළුවෝ" තරුණ සංවිධානයේ සභාපති හක්මන අධ්‍යාපන කාර්යාලයේ අධ්‍යාපන උපදේශක රංගන සෙනෙවිරත්න ඇතුළු සහෘද පිරිසයි.

දෙනගම මහ විදුහල ලෙස ප්‍රකට වුවද උසස් පෙළ දක්වා පන්ති පැවැත්වෙන මේ විදුහලෙහි සිසු ගහණය කෙමෙන් හැකිළෙන ස්වභාවයක් ගෙන ඇත්තේ මාතර නගරයේ ජනප්‍රිය පාසල් පොරයට මුහුණ දීමේ ශක්තිය එයට නොමැති හෙයිනි.

මුලටියන කලාපයට අයත් මේ විදුහලෙහි භෞතික සම්පත්වල අඩුව කැපී පෙනේ. කලකින් තීන්ත ආලේප නොකිරීම නිසා බිත්ති දුර්වර්ණව ඇත. දරුවන් විසින් ඒ බිත්ති මත අඳින ලද සිතුවම් හෙවත් ගොළු කවි අලුත් වර්ණ අයදී. විද්‍යාගාරය දුප්පත්ය. දරුවන්ගේ හිස් මතට වහලය කඩා වැටේය යන බියෙන් මුක්කු ගසා ඇත.

අවිද්‍යාව නැංවීම වෙනුවෙන් මිලියන ගණන් වෙන් කෙරෙන රටක පාසල් විද්‍යාගාරය දුප්පත් වීම ශෝකජනකය.

පෙරවරුව වෙන් වූයේ දරුවන්ගේ නිර්මාණ ඇගයීම හා සාහිත්‍ය කලා රසවින්දනයේ අත්පොත් තැබීම සඳහාය. විදුහලෙහි එවැනි වැඩසටහනක් පැවැත්වුණේ පළමුවරට බව විදුහල්පතිවරයා මෙන්ම අපි යාළුවෝ තරුණ පිරිසද අවධාරණය කළහ.

‘රැස’ නියෝජ්‍ය කර්තෘ මංජුල සමරසේකර පුවත්පත සහ නවමාධ්‍ය ගැන මූලික අවබෝධයක් ලබාදෙමින් ඔවුන්ගේ සන්නිවේදන ශක්‍යතා වර්ධනය කිරීමේ ක්‍රියාකාරකම් සිදු කළේය. නදී මානික්කගේ දරුවන්ගේ චිත්‍ර නිර්මාණ විමසුවේ ඔවුන්ගේ මනස් සිතුවම් වර්ණවත් කරමිනි. කාව්‍ය නිර්මාණ සාකච්ඡාවට ගැනුණේ ලියුම්කරු විසිනි. ඉනික්බිති මංජුලත් නදීත් දරුවන්ට යහපත් කලා රසවින්දනයක් සඳහා අවශ්‍ය මඟ පෙන්වීම්හි නිරත වූහ.

සහතිකපත් සහ පොත් තෑගි කිරීමෙන් අනතුරුව පෙරවරු සැසිය නිමා විය. ඉන්පසුව අපි යාළුවෝ සංවිධානයේ මෙහෙයවීමෙන් දරුවන් සඳහා නාට්‍ය පුහුණු වැඩසටහනක් දියත් විය.

දැඩි හිරු රැස් පතිත නොවෙතත් දවස විඩාබරය. දෙනගම වැව් තලය නිසලය. එහි නිසල බව මඳකට බිඳෙයි. තටු තෙමුණු පරෙවියකු දිවි ගලවා ගැනීමේ වෑයමක නිරත වනු පෙනේ. වැවෙහි දියවරෙන් සැනහෙමින් සිටි මංජුල සහ ඡායාරූප ශිල්පී ගයාන්ගේ අවධානය ඊට ලැබේ. ඔවුන් ජීවිතයක් බේරා ගැනීමේ සටනකය. දුෂ්කර වෑයමකින් පසුව මිනිස් දෑතකින් පරෙවියාට යළි ජීවිතය ලැබෙයි.

ගොම්මන් අඳුර පැතිරෙන යාමය වන විට අවට ගම්මානවල වැසියෝ විදුහල කරා ඇදෙන්නට වූහ. ප්‍රදේශයේ පවතින ගැටලු මාධ්‍යවේදීන්ට ඉදිරිපත් කිරීමේ අවස්ථාව ඔවුන්ට ලැබී තිබේ. ගැටලු ඉදිරිපත් කිරීම අතරතුර දරුවන්ගේ ප්‍රාසාංගික ඉදිරිපත් කිරීම් කිහිපයකි.

‘රැස’ පුවත්පතේ දෙයියන්දර සමූහ ප්‍රවෘත්ති ලේඛක තමරසිරි විජේසේකර මහජනයාගෙන් තොරතුරු ලබාගැනීම සඳහා අවශ්‍ය මැදිහත්වීම කළේය. පුවත්පත සහ ග්‍රාහක ජනතාව අතර සම්බන්ධතාව කෙබඳුදැයි පහදා දෙමින් ජන අදහස් මතු කිරීමේ කටයුත්ත සිදු කෙරුණේ මංජුල සමරසේකර අතිනි.

දෙනගම එල්. ඩී. සමන්ලතා අත්වැල්පාලම අබලන් වීම නිසා ප්‍රදේශයේ සිසු දරුවන් ඇතුළු පොදු ජනතාව මුහුණ දෙන දුෂ්කරතා පැහැදිලි කළාය. කැබැල්ලකැටිය, නරවැල්පිට, ඇල්ලෙපොළ හා කඹුරුපිටිය ඇතුළු ගම්මාන ගණනාවක ජනතාවට මෙයින් ලැබෙන සේවාව ගැන එහිදී සාකච්ඡා කෙරිණ.

"වළං කර්මාන්තයේ යෙදුණු අයගෙන් දැන් ඒක කරන්නෙ පවුල් දෙකයි. පවතින ප්‍රශ්න නිසා එය අභාවයට යනවා. ගංවතුරට අසුවීමෙන් වෙච්ච විනාශයට කිසිම වන්දියක් ලැබුණේ නෑ. මැටි ගේන්ඩ බෙලිගල්ල වාගෙ ඈත ගම්වලට යන්න ඕනෑ. ඒකට ලොකු වියදමක් යනවා. ගැටලු විසඳලා දෙනවා නම් මේ වටිනා කර්මාන්තය රැකගන්න පුළුවන්".බී. දයාවතී පැවසුවාය.

දෙනගම ප්‍රදේශයේ අතුරු බෝග වගා හැටියට කුරුඳු හා ගම්මිරිස්වලට ප්‍රමුඛ තැනක් හිමිවේ. එහෙත් රු.1200ට අලෙවි කළ ගම්මිරිස් කිලෝව රු.400ක් වැනි අඩු මුදලට අලෙවි කිරීමට සිදුවීමෙන් ගම්මිරිස් ගොවීන්ගේ ආර්ථිකය කඩා වැටී ඇති බව කිහිප දෙනෙක්ම අවධාරණය කළහ.

වී අස්වනු මහ වැස්සෙන් විනාශ වීමට සුදුසු වන්දියක් ලබා ගැනීමේ අවශ්‍යතාව ඔවුන්ට ඇත.

මුලටියන පාර පිහිටියේ විදුහල සහ වැව් මායිම අතරිනි. එහි ඇති රුක් ගොමුව රියැදුරන්ට ගිමන් නිවා ගැනීම සඳහා සොඳුරු අඩවියකි. එහෙත් දිනපතා එහි රොක්වන පොලිතීන්, හිස් බියර් ටින් ඇතුළු නොදිරන ද්‍රව්‍ය වැවෙහි පරිසර පද්ධතියට මෙන්ම විදුහලේ දරුවන්ගේ සෞඛ්‍යයටද තර්ජනයක් බව විදුහල්පති ඇතුළු ප්‍රදේශවාසීන්ගේ අදහසයි.

වැව ආශ්‍රිත උද්‍යානයක් සඳහා මුල්ගල තබා ඇතත් තවම එහි ඉදිකිරීම් අරඹා නැත.

දෙනගම තෙත් කලාපයට අයිති ප්‍රදේශයකි. දිගු නියං සමයක්ද බලනොපායි. එහෙත් එම ප්‍රදේශයේ උග්‍ර පානීය ජල ප්‍රශ්නයක් පවතී. මෙය ගම්මාන කිහිපයකටම බලපා ඇත. ළිං ජලය කිවුල නිසා ඇතැම් විට ට්‍රැක්ටර්වල බූලි සහ බැරල් පටවාගෙන බොහෝ දුර යෑමට ඔවුන්ට සිදුව ඇත. දෙනගම නැඟෙනහිර ඩී. බී. ප්‍රියංකා, ඥානවතී රණසිංහ ඇතුළු බොහෝ දෙනකු මේ පිළිබඳ කරුණු දැක්වූහ. පානීය ජලසම්පාදන ව්‍යාපෘතියක අවශ්‍යතාව ඔවුහු අවධාරණය කරති. ප්‍රදේශයේ අතුරු මාවත් නඩත්තුව ඇතුළු පොදු පහසුකම් නඩත්තුව පිළිබඳ ගැටලු රැසකි.

ජනසභාව අවසන් වන්නට පෙර සංගීත රසවින්දන වැඩසටහනකි. වෛද්‍ය ප්‍රසාද් ඉන්දික සහෘදයා එය මෙහෙයවීය. දිනාල්ක ගුණවර්ධන ප්‍රමුඛ කණ්ඩායම ගායනයෙන් වාදනයෙන් සභාව රසවත් කළේය.

ජනසභාව සහ සංගීත රසවින්දන වැඩසටහන නිමා වූයේ රංගන සෙනෙවිරත්න සහෘදයාගේ කුලී නිවසෙහි දිගහැරුණු පැදුරෙහි රසෝඝයෙනි. සොඳුරු අත්තටු ඇති තරුණයන්ට පියඹා යන්නට අවකාශයක් තිබේ නම් ලොව අසුන්දර නොවනු ඇත.

මැදියමෙහි අඳුර කපාගෙන වෑන් රිය දෙනගම සිට කාපට් පාර දිගේ ඇදෙයි. මඟ දෙපස කුඹුරු සහ හුදෙකලා කඳු තිමිරයෙහි බොඳවී ඇත. දරුවන්ගේ සිනා හඬ හා කතාලතා සවනට ඇසී නෑසී යයි. ගැමියන්ගේ බලාපොරොත්තුසහගත දෑස් තරුකැට මෙන් ඇසිපිය සළා මැකී යයි. බොඳ වූ අහස විසුළ වැහි පොද දෑස මත්තේය. ජීවිතයෙහි තවත් පිටුවක් පෙරළෙයි. එය අසුන්දර නැත.

සටහන [තිඹිරියාගම බණ්ඩාර]

ඡායාරූප [ ගයාන් පුෂ්පික]

 

මාතෘකා