කේක් හදන උඩරට නැටුම් නටන ඉංජිනේරුවරිය

 ඡායාරූපය:

කේක් හදන උඩරට නැටුම් නටන ඉංජිනේරුවරිය

කට ඇති පුතාත් රුව ඇති දියණියත් වාසනාවක් ලෙස සැලකූ යුගය ඉක්ම ගොස් බොහෝ කලක් ගතවී ඇත. කටයි රුවයි මෙන්ම අරුම පුදුම හැකියාවන්ගෙන් ලෝකයම බබළවන දියණියන්ගෙන් ලක් මව බොහෝ පොහොසත්ය. අහස ජයගත් ගගනගාමී දියණියන් වගේම එවරස්ට් තරණය කළ දියණියක්ද මේ වන විට ලක්මවගේ නම ජාත්‍යන්තරයට ගෙනගොස් තිබේ. විවිධ ක්ෂේත්‍ර ඔස්සේ අපූර්වතම කුසලතා දක්වන කාන්තාවන්ගේ දිවි වරුණාවෙන් 'ලිය'සරසන්නට අප අදහස් කළේ ඔවුන් සුවහසක් ලියන්ට අභිමානයක් සහ ආදර්ශයක් වන නිසාමයි.

ඒ අනුව මෙවර ඔබ හමුවට පැමිණෙන ඇය නමින් නිශාරා නිවන්ති පොල්හේනයි. ඉංජිනේරුවරියක ලෙස ගතකළ වෘත්තීය ජීවිතයට සමුදී මේ වන විට ඔස්ට්‍රේලියාවේ පදිංචි වී සිටින නිශාරා කේක් නිර්මාණ ශිල්පිනියක ලෙස කේක් සැකසීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන්නීය. පාසල් වියේදී සහ සරසවියේදී උඩරට නර්තනය ප්‍රගුණ කළ නිශාරා දැන් ඔස්ට්‍රේලියාවේ Black town සිංහල පාසලේ කුඩා දරුවන්ට නර්තනයද උගන්වන්නීය. පසුගිය වසර 4 පුරාම ඔස්ට්‍රේලියාවේ සිංහල අවුරුදු උලෙළ සඳහා එම පාසලෙන් ඉදිරිපත් කරන නර්තන නිර්මාණය සඳහා දරුවන් පුහුණු කරනු ලැබුවේද ඇයයි. මේ නිශාරාගේ දිවි සැරිය පිළිබඳ සොඳුරු සටහනකි.

බ/ වංගියකුඹුර ප්‍රාථමික විදුහලෙන් සහ බ/ වැලිමඩ ප්‍රාථමික විදුහලෙන් අධ්‍යාපනය ලබා 5 වසර ශිෂ්‍යත්ව විභාගය සමත්ව කොළඹ විශාකා විද්‍යාලයට ඇතුළත් වන නිශාරා ටික කලකට පසුව එම පාසලින් ඉවත්වී බණ්ඩාරවෙළ මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වන්නේ කොලොම්පුර තනිව සිටීමට ඇති බලවත් අකමැත්ත නිසාය. ඒ අනුව ගණිතය විෂය ධාරාවෙන් උසස් පෙළ හදාරා ඉංජිනේරු විද්‍යාව හැදෑරීමට පේරාදෙණිය ඉංජිනේරු පීඨයට ඇතුළු වන ඇය ඉන් පිටවන්නේ රසායන ඉංජිනේරු උපාධිධාරිනියක ලෙසිනි. සරසවියේ ඉංජිනේරු පීඨ කලා කවයේ ක්‍රියාකාරී සාමාජිකාවක ලෙස නර්තන හා ගායන කටයුතුවල යෙදුණු ඇය රසායන ඉංජිනේරු ශිෂ්‍ය සංගමයේ ලේකම් ලෙස කටයුතු කරන අතරම ක්‍රීඩිකාවක ලෙසත් සිය දස්කම් දක්වා තිබේ. උපාධිය ලබාගැනීමෙන් පසු මෙරට පෞද්ගලික ආයතනයක ඉංජිනේරුවරියක් ලෙස වසර හතක් සේවය කරන ඇය විවාහ වන්නේ විදුලි හා විද්‍යුත් ඉංජිනේරුවරයකු වන දිලිත විජයරත්න සමඟය. නිශාරා සැමියා සමඟ විදෙස්ගත වන්නේ 2016 වසරේදීය.

" මම කේක් සෑදීමේ ඉතිහාසයට හරියටම මගේ ලොකු පුතාගේ වයස. මගේ පළමු කේක් එක හැදුවේ ලොකු පුතාගේ පළවෙනි උපන්දිනේට. ඊට කලින් මම බටර් කේක් එකක්වත් හදලා තිබ්බේ නැහැ. පළමු කේක් හැදිල්ලේ අදහසට නම් ස්තූතිවන්ත වෙන්න ඕනි මගේ සැමියා දිලිතට. ලොකු පුතාගේ පළමුවැනි උපන්දිනේට කේක් එකක් ඕඩර් කරන්න තැනක් හොය හොයා ඉන්නකොට දිලිත මට කිව්වා “ඔච්චර දේවල් කරන ඔයාට කේක් එකක් හදාගන්න බැරිවෙන්න නම් විදිහක් නැහැ. අපි හදමු. පුතාගේ උපන්දිනේට අම්මා අතින් කේක් එකක් හැදුවමනේ වටින්නේ” කියලා. ඉතින් මම හැදුවා. දැන් ඒවත් එක්ක බලනකොට හරිම ප්‍රාථමික වුණත් එදා මට ඒක ගොඩක් ලස්සනට පෙනුණා. එදා ඉඳන් හැම අවුරුද්දකටම පුතාලගේ සහ සැමියාගේ උපන්දිනවලට කේක් හැදුවා. ඔස්ට්‍රේලියා ආවට පස්සේ යාළුවන්ගේ බබාලට එහෙම කේක් හදලා දුන්නා උපන්දිනවලට. යාළුවන්ගේ දිරිගැන්වීම් ලොකු හේතුවක් වුණා මේ ව්‍යාපාරය පටන් ගන්න. ව්‍යාපාරයක් විදිහට පටන්ගත්තේ 2018 වසරේ මුලදි. චූටි පුතාගේ උපතත් සමඟ ප්‍රසූත නිවාඩු ඉන්න දිනවල ගෙදර නිකන් ඉන්න කම්මැළි නිසා පටන්ගන්න හිතුණා. "

මේ දිනවල නිශාරා ජාත්‍යන්තර කේක් නිර්මාණ තරගයකටද එක්ව සිටින්නීය. විදේශිකයන් අතර සිටිමින් එවැනි දේවල්වලට මුහුණ දීම අභියෝගයක් නොවේදැයි අපි ඇගෙන් විමසුවෙමු. "ඔස්ට්‍රේලියාවේදී නම් බාධකයක් විදිහට මම දකින්නේ තරගකාරීත්වය. මම ජීවත්වන නගරයේ පමණක් කේක් හදන අය 300කට අධික ප්‍රමාණයක් සිටිනවා. ඒ වගේම ඉතාම අඩු මිලට කේක් විකුණන Readymade cake shops සෑහෙන සංඛ්‍යාවක් තිබෙනවා. නමුත් මම මේ ව්‍යාපාරය තුළ ශක්තිමත්. දැනට මම මේ වෙනුවෙන් මගේ සම්පූර්ණ කාලය වැය කරන්නේ නැහැ. බබාලගේ වැඩත් එක්ක සතියට උපරිම කේක් තුනක් වගේ තමයි නිර්මාණය කරන්නේ. ඉතාම පොඩි කිලෝ එකේ කේක් නිර්මාණයක් මට $150 - $180 මිලකට විකුණන්න පුළුවන්. (ලංකාවේ මුදලින් රුපියල් 18,000 – 22,000ට වගේ) මම පූර්ණකාලීනව මේ ව්‍යාපාරය කළා නම් ඒ කියන්නේ සතිය පුරා අඩු තරමින් කේක් 10ක්වත් හැදුවා නම් ඉංජිනේරු රැකියාවෙන් උපයන ආදායමට වඩා ආදායමක් උපයන්න පුළුවන්. නමුත් ඉදිරියේදී මගේ බලාපොරොත්තුව ඉංජිනේරු වෘත්තියේ යෙදෙන අතර කේක් ව්‍යාපාරය කරගෙන යෑමයි"

ඇය දස්කම් දක්වන්නේ කේක් නිර්මාණයට පමණක් නොවේ. සිය පුතු වෙස් නැට්ටුවෙක් ලෙස අබිසෙස් ලබනු දැකීමේ අරමුණින් ඔහු උඩරට නර්තනය හැදෑරීමට ‘Sri Lankan dance academy in Sydney’ වෙතට ඇතුළත් කර ඇති අතර නර්තනය ගැන තිබෙන ආශාව නිසාම ඇයද උඩරට, පහතරට, සබරගමු හා නිර්මාණ නැටුම් හදාරන්නීය‍. මේ සියල්ල කිරීමේදී මුහුණ දෙන අභියෝග ගැනද අප ඇගෙන් විමසුවෙමු.

" ඔස්ට්‍රේලියාවේ නම් ගැහැනු පිරිමි කියන වෙනසට නොව හැකියාවටයි මුල්තැන දෙන්නේ. මම හැමදේටම මුහුණ දෙන්නේ ශක්තිමත් හිතකින්. මම නිතරම කියන්නේ ඔබ ඔබම වෙන්න. ඔබ තුළ ඇති හැකියාවන් ගැන නිහතමානීව ආඩම්බර වෙන්න. තවත් කෙනෙක් කරන පලියට යමක් කරන්න යන්න අවශ්‍ය නැහැ. තමා තරග කළ යුත්තේ තමා සමඟමයි. වෙන කවුරුත් සමඟ තරග කරන්න යන එකෙන් වෙන්නේ ඉරිසියාව, ක්‍රෝධය, හීනමානය ඇතිවීම පමණයි. මම සර්ව සම්පූර්ණ කාන්තාවක් නෙවෙයි. නමුත් මා ගැන මට විශාල අභිමානයක් තියෙනවා. අනිත් දේ තමයි තමන් කැමති දේවල් පටන්ගන්න අපි කවදාවත් පරක්කුයි, වයස වැඩියි කියලා හිතන්න එපා. ඒවගේම අපිට වෙලාවක් නැහැ කියන දේත් ලොකු බොරුවක්. අවශ්‍යතාව තිබේ නම් හැමදේටම වෙලාව හොයාගන්න පුළුවන්. මම ගැන කිව්වොත් මම නටනවා, කේක් හදනවා, මහනවා, ගොතනවා, මල් වවනවා, දරුවන්ගේ සියලු වැඩ කරනවා. ඊට අමතරව Black town සිංහල පාසල් community එකේ වැඩවලට ක්‍රියාකාරීව සම්බන්ධ වෙනවා. ඒ ඔක්කොමත් කරලා ගේ දොරත් ලස්සනට තියාගෙන ඉන්නවා. ඔබ ඔබගේ කාලය හරි හැටි කළමනාකරණය කරගන්න. එවිට හැමදේටම ඕනෑවටත් වඩා වෙලාව ඉතුරු වෙයි."

අවසාන වශයෙන් ඇය සියලු දේ සඳහා සහයෝගය දෙන ආදරණීය සැමියා, මවුපියන්, සහෝදරයන් ඇතුළු සැමට ස්තුති කරන්නටද අමතක නොකළාය.

[දිනිදුනී මදුෂිකා]

මාතෘකා