රෝද පුටුවේ ඉඳගෙන අක්කරයක් වගා කරන ගොවි තාත්තා

 ඡායාරූපය:

රෝද පුටුවේ ඉඳගෙන අක්කරයක් වගා කරන ගොවි තාත්තා

රජරට පළාතේ පවතින දැඩි පෑවිල්ල හමුවේ එහි ගහකොළ සතා සිව්පාවුන් පමණක් නොව මිනිස් ජීවිතද වියළී ගොස් ඇති සෙයකි. මාස ගණනාවකින් වැහි දිය පොදක් සිප නැති රජරට පොළොවේ තණකොළ පවා කහ පැහැයට හැරී මැරී ‍ගොස්ය.

එහෙත් ගොවිතැන ජීවිකාව කරගත් රජරට ගොවි ජනතාව කර්කශ පොළොව හා ගැටෙමින් වගාබිම් සකස් කරමින් සිටිති. මාස් කන්නයේ වැස්ස බලාපො‍රොත්තුවෙන් සිය වගා බිම් සකස් කර ගැනීම ඔවුන්ගේ සිරිතය. ඒ වෙනුවෙන් කර්කෂ මහ පොළොව සමඟ ඔට්ටු වීම ඔවුන්ගේ ජීවිතවලට හුරුපුරුදුය. ගොවි පවුල්වල වැඩිහිටියෝ මෙන්ම දූ දරුවෝ පවා තමාට හැකි පමණින් ඒ ජීවන සටනට දායක වෙති.

දෙදරු පියකු වන හැට දෙහැවිරිදි ඕ. ඒ සිරි‍සේන නම් ගොවි පියාද එලෙස පොළොව හා ඔට්ටු වෙන්නේ එළැඹෙන මාස් කන්නයේ වගාව උදෙසාය. ගිනිගහන පෑවිල්ලේ උඩුකය නිරුවත්ව ඔහු තමා ජීවත් වන ගෙවත්තේ මානා පඳුරු උගුල්ලන ආකාරය දකින අයකුගේ සිතද දවාලන්නකි.

ඊට හේතුව තම ගෙවතුවල මානා උගුල්ලන සෙසු ගොවීන්ට වඩා ඔහු තරමක් වෙනස් වන නිසාය. සිරිසේන ගොවි පියාගේ දෙපා වාරු නැත. එහෙත් දෙපා වාරු ඇත්තන්ට නොදෙවැනි ලෙස ඔහු ගොවිතැන් කටයුතුවල යෙදෙන්නේ ස්වභාවධර්මයටත් සිය දෛවයටත් අභියෝග කරමින්ය.

ඔහුගේ ගෙවත්තේ එක් පසෙක කෙසෙල් වගාවකි. කෙසෙල් ගස් අතර පොල් පැළ හිඳුවා ඇත. ඒ අතරින් පතර මුරුංගා ගස් වගාවකි. කලක් ගෙවත්ත අරක්ගෙන සිටි මානා උගුල්ලා පොළව මනාව සකසා ඇති සිරිසේන අහස් කුස දිහා බලා සිටින්නේ මාස් කන්නයේදි ගෙබිමේ තල, බඩඉරිඟු, මිරිස් ආදි ගොඩ බෝග වගා කිරීමේ බලාපොරොත්තුවෙන්ය.

"මාස් කන්නයට තල ටිකකුයි මිරිස් ටිකකුයි වගා කරන්නයි ඉන්නේ. මම කාටවත් කරදරයක් වෙලා ජිවත්වෙන්න කැමති නෑ. වත්තේ මානා ගැලෙව්වට පස්සේ ගිය අවුරුද්දේ වත්ත පුරාම තල ඉස්සා. තල ඉහලා හොඳ ආදායමක් ගත්තා. තල ගහපු හින්දා මානා නැවත මතුවුණේ නෑ. තල ඉහලා කැපුවාට පස්සේ මම වත්තේ එක පැත්තක කෙසෙල්, පොල්, පලතුරු පැළ ටිකක්, මුරුංගා ගස් ටිකක් වගා කෙරුවා. දැන් එව්වා සරුවට වැවිලා. මුරුංගා ගස්වල ඵලදාව ආවා හිතපු නැති තරමට. දෙපා වාරු නැති මම පොළොවට වගුරන දහඩියවලට පොළොවත් මට හොඳ අස්වැන්නක් දෙනවා,"

ඕ.ඒ. සිරි‍සේන ගොවි පියා සිය දිරිය ශක්තිය ගැන එසේ කීවේය. මහ පොළොවට බරත් නැති ණයත් නැති ඔහුගේ කතාව කෙනෙකුට ආදර්ශයකි. දක්ෂ ගොවියකු වූ ඔහුගේ ගතේ සවිය දුබල වූ ආකාරය ගැනද සිහිකරමින් ඔහු සිය අතීත මතක අවදි කළේ මෙලෙසිනි.

"මගේ මුල් ගෙවල් කුරුණෑගල පොල්පිතිගම. අපිට උරුමවුණ ගොවිතැන තමයි මගේ ප්‍රධානම ආදායම් මාර්ගය වුණේ. ඒ දවස්වල අපි කඩේකින් කියලා ගත්තේ ඔය ලුණු ටිකක් තුනපහ කුඩු ටිකක් විතරයි. අනෙක් හැම දෙයක්ම මම වත්තේ වගා කළා. ඔහොම ඉන්නකොට 2015දී මගේ එක කකුලක ගෙඩියක් ආවා. ඒ ගෙඩිය ටිකෙන් ටික ලොකු වෙන්න ගත්තා. පස්සේ මම කුරුණෑගල ඉස්පිරිතාලයට ගියා. ගිහිල්ලා ඒ ගෙඩිය පෙන්නපුවහම දොස්තර මහත්තයා කිව්වා ඒ ගෙඩිය පළන්න ඕනේ කියලා. ගෙඩිය පලලා ඇතුළේ තිබුණ දිය එහෙම අයින් කෙරුවා. ඒ දවස්වලම ඒ කකුලේම තවත් ගෙඩියක් ආවා. ඒ ගෙඩියත් ලොකු වුණා. ආයෙත් මම කුරුණෑගල ඉස්පිරිතාලයට ගියා. එතනදීත් දොස්තර මහත්වරු කිව්වා ගෙඩිය පළන්න ඕනේ කියලා. එහෙම කියලා ඒ ගෙඩියත් පළලා බෙහෙත් දැම්මා. ඒත් මගේ කකුල් පණ නැති වුණා. දොස්තර මහත්වරු කිව්වේ විෂබීජයක් ගිහිල්ලා කියලා.

මගේ අනෙක් කකුලෙත් ඒ වාගේ ගෙඩි දාලා වාරු නැති වුණා. මොන කරුමෙකට මෙහෙම වුණාද කියලා මම දන්නේ නෑ. දෙපයින් ඇවිදලා හිටපු මට අද ඇවිදගන්න බැරි වුණා. මගේ කකුල් දෙකම පණ නෑ. කොහොමහරි මගේ තුවාල හොඳ වුණාට පස්සේ මගේ දරුවෝ මම ගෙදර එක්කගෙන ආවා. ඒ ඇවිල්ලා දුව ළඟයි, පුතා ළඟයි ජීවත් වෙනවා."

එසේ සුපුරුදු ජීවිතයත් ගොවිකමත් අහිමි වූ ඕ.ඒ. සිරි‍සේන මහතා මේ වන විට ජීවත් වන්නේ අනුරාධපුරයට අයත් රඹෑව, සදමල්ගම පිහිටි සිය පුතුගේ නිවසේය.

"මගේ වැඩ කටයුතු කරන්න පහසු හින්දා පුතා, එයා කසාද බැඳලා ඉන්න ගමට මාව එක්කගෙන ආවා. ඒත් පුතාටත් හරි හමන් රස්සාවක් නෑ. කුලී වැඩ කරලා තමයි පවුලේ අය ජීවත් කරවන්නේ."

එවැනි අගහිඟකම්වලින් පෙළෙන පුතුට තවත් බරක් වීමට ඔහුට සිත් දෙන්නේ නැත. රෝගී තත්ත්වය නිසා කාලාන්තරයක් පුරුදු ගොවිකම් ගිලන් ඇඳකට සීමා කරන්නටද ඔහුට නොහැකි විය.

"රෝද පුටුවේ හිටියත් තවමත් මගේ හිත හයියයි" ඒ නිරන්තරයෙන් ඔහුගේ සිතේ රැව් දෙන අදහස විය. ඒ අදහස යථාර්ථයක් කරමින් ඔහු තමාට පුළුවන් උපරිමයෙන් ගොවිකම යළිත් ජීවමාන කරන්නට සිතට දිරි ගත්තේය.

"මට එක තැනක වැතිරිලා ඉන්න එක තරම් අමාරු වෙන කිසිම දෙයක් නැහැ. මම මෙහෙට එනකොට අක්කරයක් විතර වුණු පුතාගේ ඉඩම මානාවලින් වැහිලා තිබ්බේ. මම කල්පනා කෙරුවා මානාවලින් වැහිලා තිබෙන වත්ත සුද්ද කරන්න. පස්සේ මම පුතාට කියලා උදැල්ලක් හදාගත්තා.

ඒත් පුතා මට බැන්නා 'ඔය රෝද පුටුවේ ඉඳගෙන මොන වගා කෙරුවාවක්ද?' කියලා. ඒත් මම එයාගේ කීම අහන්නේ නැතුව වත්තේ තිබුණ මානා ගලවන්න පටන්ගත්තා. ටිකෙන් ටික රෝද පුටුවෙන් තල්ලුවෙවී වත්තේ මානා ගැලෙව්වා. දැන් වත්තේ එක මානා ගහක්වත් නෑ."

ඇත්තටම මානා වෙනුවට දැන් වත්ත පුරාවට ඇත්තේ මේ ගොවි පියාගේ උත්සාහවන්තකමේ ඵලදාවය.

"දැන් වත්තේ අනෙක් පැත්ත සුද්ද කරලා බිම හදාගෙන ඉන්නවා. මාස් කන්නයට තල ටිකකුයි, මිරිස් ටිකකුයි වගා කරන්න ඉන්නේ. මම කාටවත් කරදරයක් වෙලා ජීවත්වෙන්න කැමති නෑ. කුලී වැඩ කරන පුතාට බරක් වෙන්න මම කැමති නෑ. මගේ දෙපා වාරු නැති වුණත් මම දන්න ගොවිතැන රෝද පුටුවේ ඉඳගෙන වුණත් මට කරන්න පුළුවන්."

ඔහු කියන්නේ අවිහිංසක ආඩම්බරයකිනි. ඒ ආඩම්බරය, අභිමානයට ඔහු සුදුසුය.

"මම අරක්කු සිගරට් බොන්නේ නෑ. හැබැයි බුලත් විට කනවා. බුලත් විට ගන්නවත් මම දරුවාගෙන් සල්ලි ඉල්ලන්නේ නෑ. බුලත් විටට සල්ලි ටික මම හොයාගන්නේ වත්තේ වගා කරන දෙයක් විකුණලා තමයි. මගේ හිතේ හයිය තිබෙනකම් මම රෝද පුටුවේ ඉඳගෙන වගා කරනවා. මම කියන්නේ උත්සාහය තිබෙනවා නම් මොන අපහසුකම් තිබුණත් අපිට ජීවිතේ ජය ගන්න පුළුවන්. මහත්තයා වැස්සෙන් පස්සේ එන්නකෝ මගේ වගාවේ තත්ත්වෙ බලන්න"

තමා විසින් සකස් කළ වගා බිම දෙස බලාගෙන පවසන ඔහුගේ දෙනෙතේ ඇත්තේ අධිෂ්ඨානය මුසු බැල්මකි. දෑත දෙපා සවිය ඇත්තන් පවා උපන් බිමටත් මහ පොළොවටත් බරක් වෙමින් කටයුතු කරද්දී දෙපා වාරු නැතත් සිත සවිබල ඇති මේ ගොවි පියා සිය අපූරු ගොවිකමින් කියාදෙන්නේ අපූරු පාඩමක් නොවේද?

 

විශේෂ ස්තුතිය- BBC (සිංහල)

මාතෘකා