පන් අහිමි බිමක පන්නමට පණ පොවන ආර්. පුංචි මැණිකා

 ඡායාරූපය:

පන් අහිමි බිමක පන්නමට පණ පොවන ආර්. පුංචි මැණිකා

මෙසිරිලක සාම්ප්‍රදායික ගැමි ජන සමාජය හා අනිවාර්ය අංගයක් ලෙස බැඳී පැවැති පාරම්පරික පන් පැදුරු කර්මාන්තය වර්තමානයේ ක්‍රමානුකූල බිඳවැටීමකට ලක්ව ඇති බව සැඟවිය නොහැක්කකි. අතීතයේ පන් පැදුරු, වට්ටි, පෙට්ටි, මලු ආදිය ලාංකීය ගැමි සමාජයේ එවක පැවැති සරල දිවි පෙවෙතට මනා රුකුලක්ව ඇතත් ආනයනික නිෂ්පාදන සපිරි වත්මන් අරුමෝසම් සමාජ පරිසරය තුළ ඒ සියල්ලක් අලුක්කාල් ගණනට වැටී ඇත.

වර්තමානයේ සියලු අසීරුතා, නොසලකාහැරීම් මැද වුවද පන් පැදුරු මත ජීවිතය සොයන කිහිපදෙනකු හෝ තවමත් ඈත ගම්මැදිවල වෙසෙයි. මහවැලි එච් කලාපයේ ගල්නෑව, හුරීගස්වැව, මුදුන්ගොඩ ගමෙහි ජීවත්වන

ආර්. පුංචිමැණිකේ ද එවැන්නියකි. හැට අට වියැති ඈ දශක පහකට වැඩි කලක් තිස්සේ පන්නම් කර්මාන්තය සමඟ දිවි ගෙවා ඇත. තමන් පන් පැදුරට අත ගැසු හැටි පුංචි මැණිකේ මහත්මිය සිහිපත් කරන්නේ නව පණක් ලද්දාක් මෙන් ප්‍රීතියෙන් ප්‍රමෝදමත්වය.

“ඒ කාලේ අඩුම ගානේ අපි සතියකට සැරයක් හරි පන් කපන්න වෙලට යනවා. නැත්නම් වැවට යනවා. අපේ පුංචි අම්මලා, ලොකු අක්කලා එහෙම පැදුරු, වට්ටි වියනකොට අපිත් වියනවා. ඉස්සර පැදුරක්, වට්ටියක් වියාගන්න බෑ කියන එක ලොකු අඩුවක්. ඉතිං කොහොම හරි ඉගෙන ගන්නවා. වෙලාවකට ලොකු අක්කා එහෙම වැරදුණාම අපිට ටොකු අනිනවා. වෙල පහළ, වැව් තාවලුවල එහෙම ඒ කාලේ ඕනෑ තරම් පන් ගාල් පිටින් හැදුණා. දැන් තියෙන ලොකුම ප්‍රශ්නෙ තමයි හොඳ පන් හොයා ගන්න නැතිකම. කුඹුරුවලට වල් නාශක ගහන්න ගත්තට පස්සේ පන් ගාල් පිටින් මැරිලා ගියා. මේ මහවැලි කලාපේ නම් දැන් හොඳ පන් ඇත්තේම නැති තරම්. සමහර වෙලාවට හොඳ පන් ටිකක් හොයා ගන්න හැතැම්ම සීය හමාර යන්න වෙනවා.”

හොරොව්පතාන, කපුගොල්ලෑව ගමේ සිය ළමා සහ යොවුන් අවදිය ගෙවා දමන පුංචිමැණිකා විවාහයෙන් අනතුරුවද අවුරුදු කිහිපයක් එහි දවස ගෙවා ඇත. සහෝදර, සහෝදරියන් එකොළොස්දෙනකුට මැදිව මහ ගෙදර ළමා කල ගෙවු ඈ පස්වැනි ශ්‍රේණිය දක්වා පමණක් පාසල් ගොස් ඇත. එවක යුද සමයේ උණුසුම හොරොව්පතානටද දැනෙන්නට වූ පසුව කපුගොල්ලෑව අතහැර යෑමට ඇයට සිදුව තිබේ. සැමියා සහ දරුවන් සමඟ මහවැලියේ ගල්නෑවේ, මුදුන්ගොඩ ගමට ඇය එන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසය. ඒ ආ ගමන සිහිපත් කළ ඈ පැවසුවේ මෙවැනි කරුණුය.

“කොටි කලබල ආපු හින්දා සමහරු කපුගොල්ලෑව ගම දාලා ගියා. ඉතිං අපිත් මහවැලියේ ඉඩමක් හොයාගෙන 1986 අවුරුද්දේ මේ ගමට පදිංචියට ආවා. ඒ කාලේ ජීවත්වෙන එක යුද්දයක් වෙලා තිබුණේ. හැම අතින්ම අමාරුකම්. එතකොට මෙහේ ඕනෑ තරම් වෙල්දෙනිවල, වැව්වල පන් තිබුණා. පැදුරු, වට්ටි, පෙට්ටි එහෙම වියළා විකුණුවා. ඒකෙන් ජීවත් වෙන්න ආදායමක් හොයා ගත්තා. මහත්තයාටත් හරිහමන් රස්සාවක් තිබුණෙ නැති හින්දා ඒක ලොකු හයියක් වුණා.” ඇය සිනාමුසු මුහුණින් යුතුව අදහස් දක්වන්නීය.

පන් පැදුරු සඳහා කුඹුරු යාබදව හෝ වැව් තාවලු අශ්‍රිතව වැවෙන පන් පුංචිමැණිකේ අම්මලා සිය කර්මාන්තයට භාවිත කරති. ගල්ලැහැ, තුන්හිරියා, හම්බු හෙවත් පොතු කොල, වැටකෙයියා, ගැට පන්, තුනැස්ස, එළු පන් ආදී පන් වර්ග මෙන්ම ඉඳි කොළ, පොල් කොළ, තල් කොළ ආදියද වියළා පදම් කොට පැදුරු හා ඒ ආශ්‍රිත විවිධ නිෂ්පාදන සඳහා යොදා ගැනෙයි. නෙලන ලද අමු පන් මනාව වියළීමට දින පහක් පමණ ගත වේ. කුප්පි ලාම්පු එළියෙන් රෑ මැදියම තෙක් පැදුරු වියන කල පටන් මේ දක්වා පන් ගොලු අතර ජීවිතයේ දවස් ගෙවා දමා ඈ තවමත් පැදුරු, වට්ටි, පෙට්ටි ආදිය සමඟ ජීවිතය ජීවත් කරවීමට වෙහෙසෙන්නීය. දෝමනස්ස සපිරි ජීවිතයේ තවත් කඩඉමක් ගැන ඇය සිහිපත් කළාය.

“ඔහෙම ඉන්නකොට 1992 අවුරුද්ද වගේ කාලේ රජරට සේවයෙන් කිව්වා ස්වයං රැකියා කරන අයට උදව් කරන වැඩසටහනක් ගැන. පැදුරු වියන ගමන් ඉන්න කොට මට ඒක ඇහුණා. පළාත් සභාවේ වනිතා කටයුතු අමාත්‍යාංශයෙන් තමයි එහෙම උදව් කරනවා කිව්වේ. එතැනින් තමයි මං පළාත් කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුවට සම්බන්ධ වෙන්නේ. මට අද වගේ මතකයි ඒ කාලේ තිබ්බ කුඩා කර්මාන්ත තරගයට මං පැදුරක් ඉදිරිපත් කෙරුවා. ඒකෙන් මට කුසලතා සහතිකයක් එක්ක රුපියල් 250ක් ලැබුණා. ඒත් එක්කම තිබ්බ කර්මාන්ත ප්‍රදර්ශනේට පැදුරු එකොළහක් ඉදිරිපත් කෙරුවා. පැදුරු ටික ඔක්කොම එක පැයට හමාරට විකුණුනා. රුපියල් සීයකට තමයි පැදුරක් වික්කේ.”

පුංචිමැණිකේ මහත්මිය සිය නිරීක්ෂණ හැකියාව මඟින් විවිධ විසිතුරු රටා අසූවක් පමණ සිය පන් නිෂ්පාදන සඳහා භාවිත කොට ඇත. දෙපාලන පාවහන්, මුදල් පසුම්බි, දෑතලන වළලු ආදිය පවා ඈ අතින් පන් ඇසුරින් නිෂ්පාදනය වනුයේ එහි ප්‍රතිඵලයක් ලෙසය. ඒ අතර ඇගේ ජීවිතයේ විශේෂ අවස්ථාවක් වන්නේ “ප්ලාස්ටික් පටි” ඇසුරින් ගමන් මලු, වට්ටි, පෙට්ටි ආදිය විවීමට අත ගැසීමය. මුලු රටටම මේ කලාව හඳුන්වා දීමේ ගෞරවය හිමි වන්නේ පුංචිමැණිකේ මාතාවටය. ඒ 2013 වසර තරම් මෑතකදීය. ඇය එම අතීතය සිහිපත් කළේ මෙපරිද්දෙනි.

“ඉස්සර ඔය ප්ලාස්ටික් පටි පාවිච්චි කෙරුවේ ටයිල් පෙට්ටි බඳින්න වගේ දේවල්වලට. ඉතිං දවසක් නිකමට වගේ ගෙදරට ගෙනත් තිබ්බ පටියක් අරන් වියලා බැලුවා. වියන්න පුළුවන්. ඇත්තටම ඔය පටිය ඉස්සර ආවේ කහ පාටින් විතරයි. පස්සේ මං පුතාට කිව්වා කොළඹ මේ පටි ගන්න තියෙනවද කියලා බලන්න කියලා. ඊට පස්සේ මං පුතත් එකක් කොළඹ ගිහිල්ලා මේ පටි හදන සමාගමෙන් ඉල්ලීමක් කළා පුළුවන් නම් මට කහ පාට ඇරුනහම තව පාටවලින් පටි ටිකක් හදලා දෙන්න කියලා. ඊට පස්සේ මගේ ඉල්ලීමට තමයි විවිධ පාටවලින් මේ පටි වෙළෙඳපොළට ආවේ. පන් හිඟ නිසා මං මේ පටිවලින් කාන්තා ගමන් මලු, වට්ටි, පෙට්ටි එහෙම වියලා කඩවලට දැම්මා. අතින්මයි විව්වේ. ඒ කාලේ හොඳ ඉල්ලුමක් තිබ්බා. දැන් නම් ඒ ඉල්ලුමත් අඩු වෙලා තියෙන්නේ. දැන් ගොඩක් දෙනෙක් මේ පටිවලින් බෑග් එහෙම මහනවා. ඒ සමහරු ඉගෙන ගත්තේ මගෙන්. ඒ ගැන හිතනකොට නම් හරිම සතුටුයි.”

සිය පන්නම් කර්මාන්තය උදෙසා පුංචිමැණිකේ මහත්මිය අවස්ථා ගණනාවකදී සම්මානයට පාත්‍ර වීම ජීවිතයේ සොදුරු මතක සටහන් අතර වේ.

1995 වර්ෂයේදී ඈ වෙත පිරිනැමුණු ජනාධිපති සම්මානයත් 2012 වර්ෂයේදී ලද කලාභූෂණ සම්මානයත් 2014 වර්ෂයේදී ජාතික ශිල්ප සභාව මඟින් පිරිනැමුණු විශ්මකර්ම ගෞරවය සම්මානයත් ඇගේ ගමන් මඟට සැනසුමකි. එමෙන්ම උතුරු මැද පළාත් කර්මාන්ත සහ ග්‍රාම සංවර්ධන අමාත්‍යාංශය, පළාත් කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුව සමඟ එක්ව වාර්ෂිකව සංවිධාන කරන හස්ත කර්මාන්ත තරග අතුරින් අවස්ථා ගණනාවකදී සම්මාන, උපහාර ලැබීමට ඇය භාග්‍යවන්ත වී ඇත. මේ අන්දමින් විවිධ ආයතන, සංවිධාන ආදිය මඟින් ඈ වෙත පිරිනැමුණු ගෞරව, සම්මාන, සහතික ආදිය හැත්තෑවකට ආසන්නව පවතී. අතීතය, වර්තමානය එකිනෙක ගලපා පුංචිමැණිකේ මහත්මිය යළි කතාව ඇරඹුවාය.

“ඒ කාලේ අපි කරන්නේ මොනවද කියලා බලන්න නිලධාරීන් අපේ ගෙවල්වලට හොයාගෙන ආවා. අද වැරදීමකින්වත් එහෙම එන්නෙ නෑ. අවුරුද්දකට සැරයක් කර්මාන්ත ප්‍රදර්ශනයක් තියෙනවා. ඒකෙදි වයසක අපිට සහතිකයක් දීලා කීයක් හරි අතට දෙනවා. ආයේ අපිව මතක් වෙන්නේ ඊළඟ අවුරුද්දේ. ඉතිං මොකක්ද තියෙන ප්‍රයෝජනේ. අපි කරන නිෂ්පාදන එකතු කරලා නිලධාරී ප්‍රදර්ශන තියෙනවා. පසු විපරමක් නැතිව මේ දේවල් ඉස්සරහට යන්නේ නෑ. අනුරාධපුර ශිල්ප සභා වෙළෙඳපොළේ අපේ නිෂ්පාදන අවුරුදු ගාණක් ඔහේ තියෙනවා විකිණෙන්නෙ නැතිව. මිනිස්සු ගොඩක් දෙනෙක් දන්නෙ නෑ එහෙම තැනක් තියෙනවා කියලා. අපේ ඇඟේපතේ හයිය තියෙනකල් මේ දේවල් කරන්න පුළුවන්. ඊට පස්සේ අද අපිට සහතික දෙන කවුරුවත් අපි දිහා බලන එකක් නෑ. අපිට යමක් කරන්න පුළුවන් කාලේ අපිව බලා ගන්න වැඩපිළිවෙළක් හදන එක නේද වටින්නේ.” ඇය කතාව නවතන්නේ සිතන්නට ප්‍රශ්නයක්ද ඉතිරි කරමිනි.

දියණියන් දෙදෙනකුටත් පුතුන් දෙදෙනකුටත් මවු වූ පුංචි මැණිකේ මහත්මිය දිරිය කාන්තාවකට කදිම නිදසුනකි. මීට වසර හතකට පමණ මත්තෙන් වකුගඩු මාරයාට ගොදුරුව සිදු වූ සැමියාගේ වියෝවත් වැඩිමහල් පුත්‍රයාගේ අකල් මරණයත් ඇයට මහත් වේදනාවකි. විශ්මිත පන්නම් කර්මාන්තයෙන් දහස් ගණනකගේ දෑස් පෑදු ඇය අද ගෙවනුයේ යම් පමණක හුදෙකලා දිවියකි. හෙටක් නොපෙනුනත් ජීවිතය පවත්වාගෙන යෑමට වෙනත් මඟක් නොමැති හෙයින්ම පාරම්පරික පන් කර්මාන්තයට පෙම් බැඳි වියපත් ධෛර්ය සම්පන්න මෙවැනි ළඳුන් වටා කියැවෙන කදුළු කතාව තවමත් වගකිව යුතු කිසිවකුත් විසින් නිසි ලෙස නොකියවන ලද්දකි. ඇය වැන්නියන් නැති දවසක යුගයක් නිමාවනු ඇත. ජන සම්ප්‍රදායන්, වටිනාකම් සමූහයක්ද ඒ සමඟ අහවර වනු ඇත. ඒ වග වගකිවයුත්තන්ට නොවැටහීම අභාග්‍යයකි.

 

සටහන [ඩබ්ලිව්. ප්‍රදීප්] තඹුත්තේගම විශේෂ

මාතෘකා