පිරිමිකමේ සෞන්දර්ය

 ඡායාරූපය:

පිරිමිකමේ සෞන්දර්ය

"මේ පෙට්ටිය ඇතුළේ ඉන්නේ උඹලා වදාපු, අම්මා වගේම මැරිච්ච ගෑනියෙක්. මේ ගෑනිට හූ කියන්න කලින් උඹෙ අම්මාට හූ කියලා වරෙන්" (මීට අබසිරි)

හදවතේ ඉතාමත් සංවේදී ප්‍රදේශ සියුම් වේදනාවකින් කළ එම දෙබස් උපුටනය, ප්‍රසන්න ජයකොඩි අධ්‍යක්ෂණයක් වන "28" නම් වූ සිනමා පටයෙනි. පිරිමිකම ගෑනුකම තරම් වූ ලාලිත්‍යයකින් සැරසුනේ නැතත් එතුළ යම් ගාම්භීර බවකින් යුතු මනුෂ්‍යත්වයක් අන්තර්ගත වෙයි. පිරිමියකු පිටතට නොපෙන්වන කඳුළු බිඳුවක ගැබ්ව ඇති වේදනාව දැකිය හැකිනම් එක් කඳුළු බිඳුවක් දැක ගැහැණු ඇස් දස දහසක් කඳුළු සලනු ඇත. ජීවිතයේ බොහෝ වේදනාවන් දෙස උපේක්ෂාවෙන් බැලිය හැකි සිතක් පිරිමියකුට ඇත. ඉන් අදහස් කරනුයේ ගැහැනියකට වේදනා දරාගැනීමේ හැකියාවක් නොමැත යන්න නොවේ. මෙලොව දිවිගෙවන ජීවියකුට දරන්නට සිදුවන ඉහළම වේදනාව දරන්නේ ගැහැනු සත්ත්වයා ය. එනම් දරු ප්‍රසූතිය නම් කායික වේදනාවයි. ඒ හා සමාන ම හිත් වේදනාවන් තුරුලු කරගනිමින් ජීවිත කාලය ම ගෙවා දමන ගැහැනුන් මෙන්ම පිරිමින් ද මෙබිම මත නැතිවාම නොවේ. ගැහැනිය වේදනාව පහකර ගන්නේ ඇඬීම නැතහොත් අතිමහත් වූ කැළඹීම තුළිනි. නමුදු පිරිමියකු වේදනාව දරා ගන්නේ නිශ්ශබ්දතාව තුළිනි.

උස් වූ කඳු මුදුන් හි මිදී තිබෙන සුදු වලාකුළු කැටිත්තක් සේ පිරිමි සිතක වේදනාව ඝනව පවතී. ඈතින් පෙනෙන කඳු මුදුන් සිසාරා පැතිර පවතින ගුප්ත නිශ්ශබ්දතාව මෙන් පිරිමි සිතක වේදනාව ගල් ගැසී පවතී. එම වේදනාවෝ කල් යත්ම අළු පැහැති රූප රාමු බවට පත්වෙති. අතීතයේ අපි කළු - සුදු රූපවාහිනිය නැරඹීමු. එහි තිරය මත සටහන් වූ රූප අළු පැහැති ඒවාය. ඕනෑ තරම් වේලාවක් බලා සිටිය හැකිය. වත්මන් වර්ණ රූපවාහිනී තිරය මෙන් ඇසට මෙන්ම හිතටද කර්කෂ නොවේ. පිරිමි සිතක මැවෙන අළු පැහැති රූප රාමුද එලෙසමය. අමුතු සුන්දරත්වයක් උසුලයි. එම රූප රාමු අතර ඔවුහු සිහිනයෙන් මෙන් නිතර නිතර මනසින් සක්මන් කරති. ගල් ගැසී ඇති වේදනාව හද දියර යොදා ඇතැම් විටෙක මුදු මොළොක් කරවයි. ඒ තුළ පැනනඟින මිහිරියාව තට්ට තනියම වින්දනය කරයි. එම වින්දනය ගැඹුරු ගං දිය මතට වැටුණු මල් අහුරක් මෙන් දිවි ගං දිය මතින් පහළට ඇදී යයි.

සුද්දිගේ මිනිය සහිත පෙට්ටිය කිචි කිචි ඩෙලිකා වෑන් රථයක හුඩ් රැක් එකේ පටවාගෙන එන අතරතුර එහි පැටලැවුණු රතු පැහැති කොඩි වැලක් දැක දෙදෙනා සංවාදයේ යෙදෙති.

මනියා: අම්මට හුඩු මාමෙ, මේං සුද්දි නැන්දා

රතු කොඩි දාලා, මේ බලපන්කො.

අබසිරි: අනේ.... අනේ පුතේ ඔන්න ඕවා

ඔක්කොම ටික ඇදලා දාපන් පුතේ, ඔය ටික

ඇදලා දාපන්, සුද්දි නැන්දාට අගෞරව

කොරන්න බෑ, ඇදලා දාපන්, ඇදපන්.

අබසිරිගේ පිරිමි හද පතුලෙහි ඇනී තිබෙන වේදනාවේ විෂකටු එකින් එක පිටතට ඇදෙන්නේ එලෙසිනි. සුද්දි එක්තරා මාර්ගයක ගොස් අකාලයේ මරණයට පත්වීම සම්බන්ධයෙන් අබසිරි තුළ ඇති දුක්ඛදායී සහ වරදකාරී හැඟීම හංගාගෙන සිටින්නට නොහැකි තැන, එය ක්‍රියාව සමඟ මුසුවන්නේ නොදැනුවත්වම ය. වේදනාවේ අන්තයටම ගිලුණු කල ඔහු අපේක්ෂා කරන්නේ තනි වීමයි. එම තනිවීම තුළ බාහිර ලෝකය විමසන දහසක් ප්‍රශ්නවලට පිළිතුරු ඇත. දහසක් හිත් වේදනා සමනය කරන්නට ඇවැසි බාම් එතුළ ඇත.

සමාජ වපසරිය සුදු පැහැ විසල් පෘෂ්ඨයක් බවට පත්ව, ජීවිතය ඒ මත තැබූ කළු පැහැති තිතක් ලෙස දිස්වන්නට පටන්ගනී. අන්වීක්ෂයක් තුළින් දකින ක්ෂුද්‍රජීවීන් රාශියක් මෙන් කළු තිත් ඒ මේ අත සැරිසරනු පෙනෙයි. ඇතැම් විට එම කළු තිත් එකිනෙක ගැටෙයි, තෙරපෙයි, එමෙන්ම නිදහසේ පා වෙනු ද පෙනෙයි. පාවීම නම් වූ වින්දනීය චලනයට බොහෝ සේ ආශා කරන මේ කුඩා තිත් බොහෝ විට පවතින්නේ නිදහසේ පාවෙමින් ය. ඇතැම් අය පවසන්නේ යම් යම් ධර්මතාවන් පාලනය කරන්නට උත්සාහ දරා බැරිම තැන "අපි කාලයට ඉඩ දෙමු" යි යන්නයි. ඇතැම් නවකතා පරිච්ඡේදයන් ද "කාලයාගේ ඇවෑමෙන්...." යනුවෙන් ආරම්භ වන්නේද එම නිසා විය යුතුය. එම පදය දකින තැන අපට දිගු සුසුමක් පිට වෙන්නේ නොදැනුවත්වමය. මන්ද කාලයාගේ ඇවෑමෙන් අපට හිතාගන්නටවත් නොහැකි බොහෝ දේ සිදුවන නිසාය.

සුද්දි ජීවත්ව සිටිනා කාලය තුළ ඇයව මැරුණාක් සේ සිතා ජීවත්වන්නට සිදුවන අබසිරිට, ඇය ජීවත්වෙනවාක් මෙන් සිතන්නට සිදුවන්නේ, සත්‍ය වශයෙන් ම ඇය මළ පසුවයි. රථයේ වහල මත පටවා තිබූ සුද්දිගේ මෘත දේහය සහිත මිනී පෙට්ටිය බිම වැටී කුඩුපට්ටම්ව ගිය පසුවත් අබසිරි සහ මනියා එය එකලස් කර යළිඳු වහලය මතට පටවන්නට උත්සාහ දැරීමේදී එම හැඟීම අබසිරි තුළින් මතුව එයි.

මනියා: අල්ලහං, මාමෙ අල්ලහං...

අබසිරි: යකෝ ඉස්සෙල්ලා පාර පෙට්ටිය උඩට

ගත්තෙ කී දෙනෙක් එක්කද කියලා

උඹලා දන්නවාද? විකාර කතා

කරන්නෙ? උඹලාට ඕන තව පාරක් මේ

ගෑනිව වට්ටගන්නද?

එය ඉතාමත් සජීවී මනෝභාවයකි. පණ පිටින් සිටින ගැහැනියක් වෙනුවෙන් කරන ප්‍රකාශයක් මෙනි. එක් වරක් බිම වැටී පොළොවේ ගැසුණු තම කසාද ගැහැනිය තවත් වරක් වැටෙනු දැකීමට නොරිසි මනෝභාවයකි. මෙවැනි මානසික මට්ටමක් සහිත පිරිමියකුගේ පෞරුෂත්වයෙහි ඇති සෞන්දර්ය මෙතෙකැයි කියා කියන්නට සහ ලියන්නට නම් භාවිතයෙහි ඇති අකුරු, වචන සහ ලිවීමට ඇති පොත් පිටු ගණන ප්‍රමාණවත් නොවන බව හැඟී යයි.

ගැහැනුකමේ ලාලිත්‍ය ගැන කතා කරන අපි, පිරිමිකමේ සෞන්දර්ය ගැන කතා කරන්නට මැළි වෙමු. මන්ද එය අපගේ දර්ශන සීමාවන්ට හසුකර ගැනීම ඉතාමත් අපහසු ය. කොටින්ම කිවහොත් ගුප්ත ය. සෑම පිරිමි මනසක් තුළ ම වචනවලට පෙරලන්නට නොහැකිමුත් සන්සුන් මනසකින් කියවිය හැකි කතාවක් ඇත. එය කියවීමට නම් පුරුෂ අභ්‍යන්තරයට මනස විවර කළ යුතු ය. පුරුෂ හද ගැස්මට සවන් දිය යුතු ය.

එම හද ගැස්ම හඳුනා ගත් මියගිය ගැහැනියකගේ ආත්මය පවසන එක් කතාවකට හද සම්මුඛ කරමින් නවතිමි.

"අබසිරියි මායි කසාද බැඳලා අවුරුදු පහළොවක් වෙනවා. හැබැයි ඊයෙ රෑ තමයි අබසිරි පළමුවැනි වතාවට මගේ හෙළුව දැක්කේ. ඒ මල් ශාලාවෙ එම්බාම් ලෑල්ල උඩදි. ඒ වෙලාවෙ අබසිරි හැසිරිච්ච හැටි දැක්ක මට, මිනියක් නිසා ඇස්වල කඳුළු තිබුණේ නෑ අඬන්න. උගුරෙ සද්දෙ පිටවුන්නෑ ඉකි ගහන්න."

(මීට සුද්දි)

-දෙබස් උපුටා ගැනීම 'විසි අට' සිනමා පටයෙනි.

මාතෘකා