සාම්ප්‍රදායික ගොවි ඥානය විදහාපාන ‘වී බිස්සේ මහිමය’

 ඡායාරූපය:

සාම්ප්‍රදායික ගොවි ඥානය විදහාපාන ‘වී බිස්සේ මහිමය’

නෙළන අස්වැන්නෙන් වැඩි කොටසක් වෙළෙඳපොළ වෙතත් ස්වල්පයක් නිවස වෙතත් ගෙන යෑමට වත්මන් ගොවියාට සිදුව තිබේ. ඒ ණය වීම ආදී වෙනත් ගැටලු වැඩි වීම හේතුවෙනි. එය මෙවර යල කන්නයටද එක ලෙස සාධාරණව පවතී. එහෙයින්ම නිවසෙහි වී ගබඩා කොට තැබීම වත්මනෙහි සීමාසහිත වී තිබේ. එහෙත් අතීත සම්ප්‍රදාය ඊට හාත්පසින්ම වෙනස් එකකි. එවක සිංහල ගැමියා සිය වී අස්වැන්න සංරක්ෂණය කොට තැබීම සඳහා භාවිත කළ ‘වී බිස්ස’ හැම ගොවි නිවසකම පාහේ අත්‍යවශ්‍ය අංගයක්ව පැවැත ඇත. එය ගැමියන්ගේ සාම්ප්‍රදායික ඥාන මහිමය කොතෙක්ද යන්න තහවුරු කළ අගනා අවස්ථාවක් ලෙස සැලකිය හැකිය.

වී අස්වනු සංරක්ෂණයේදී තවමත් වී බිස්සේ තාක්ෂණය පරදවන්නට නූතන ක්‍රමවලට නොහැකි වී ඇතැයි පැවසීම අතිශයෝක්තියක් නොවේ. නූතන ක්‍රම හා සාපේක්ෂව බලන විට බිස්ස තුළ ලැබෙන සුරක්ෂිතතාව මහත් විශ්වාසදායී එකක් ලෙස සැලකේ. වී බිස්ස වැඩි වශයෙන් ව්‍යාප්තව පැවතියේ වියළි කලාපයේය. තෙත් කලාපයට වී බිස්සේ තාක්ෂණය පැතිර නොගියේ වර්ෂාව අධික ප්‍රදේශයක එළිමහනේ එවැනි ගබඩාවක් තනා වී තැන්පත් කර තැබීම දුෂ්කර නිසා විය හැකිය.

සාම්ප්‍රදායික ගොවිතැනේදී වනාත් කෙටීමේ පටන් අස්වනු කපා පාගා අටු කොටුලන තෙක් අනුගමනය කරන සිරිත් විරිත්, විශ්වාස, ජන ඇදහිලි සම්ප්‍රදායන් රැසක් දක්නට ඇත. එක් පසෙකින් මෙම චර්යා පද්ධතියෙන් බැහැරව කෘෂිකර්මාන්තයේ යෙදිය නොහැක. මන්දයත් එපමණටම සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තය හා ජන ජීවිතය එකිනෙකට බද්ධ වී තිබීමයි. එහි ප්‍රතිඵලයන් වූයේ කමත ගොවි ජන දිවියේ සිරිත් විරිත් පිළිබිඹු කරන කැඩපත බවට පත් වීමත් අස්වනු සංරක්ෂණයේ ප්‍රධාන කේන්ද්‍රස්ථානය වී බිස්සට හිමි වීමත්ය. වී බිස්ස වටාද අපූරු සිරිත් විරිත්, සම්ප්‍රදායන් සමූහයක් ගොඩනැඟී තිබූ බව පැහැදිලිය. ඵය වී බිස්සක් බැඳ ගැනීමේ සිට නැවත වී මුරයක් බිමට බෑම දක්වාම සිදුවන්නකි. ඵහෙත් මෙම සිරිත් විරිත් වැඩිමනක් ගොඩනැඟී ඇත්තේ ඵළිමහන් මැටි බිස්ස වටාය. ඵ් අනුව ගොවිජන ජීවිතයට වඩා සමීපව ඇත්තේ ඵළිමහන් මැටි බිස්ස බව ජන මූලාශ්‍රගතව පිළිගැනෙන්නකි.

වී බිස්ස ආහාර සංරක්ෂණයේ සංකේතයක් බඳු විය. නිවසක දොරකඩ පිහිටි වී බිස්ස එම පවුලට හිමි සමාජ තත්ත්වය සංකේතවත් කරන්නක් ලෙසයි එකල්හි ගැමියන් සැලකුවේ. යහමින් වී වපුරන ගෙදරක වී බිසි කිහිපයක් දැකගත හැකි විය. එවක වී බිස්සක් නැති නිවසකට තරුණියක් දීග දීමට අකමැති වූවා සේම වී බිස්සක් නැති ගෙදරකින් යුවතියක් සරණ පාවා ගැනීමට තරුණයන් වැඩි මනාපයක් නොදැක්වූ බවද කියැවේ. ස්වයංපෝෂිත යැපුම් ආර්ථිකයකට හුරුව සිටි සාම්ප්‍රදායික ගැමියාගේ වත්කම් ප්‍රකාශනයේ ප්‍රධාන සාධකය වූයේ වී බිස්සයි. තම නිවස ඉදිරිපිට වී බිස්සක් නොමැති වූ නිවසක් එකල සොයා ගැනීම ඉතා අපහසු විය. එබැවින් වී බිස්සට සිංහල සංස්කෘතිය තුළ ඉතා ඉහළ වටිනාකමක් හිමි විය. වී බිස්සක් තම නිවස තුළ නොමැති පවුල ඉතා අනාරක්ෂිත හා දුබල බවින් යුතු බව එකල සමාජ පිළිගැනීම විය. තම නිවසෙහි පෙනුම මෙන්ම තමා සතු වී බිස්සෙහි පෙනුම පිළිබඳවද ගැමියන් වැඩි අවධානයක් යොමු කළ බවට සාධක බොහෝ වෙති.

වී බිස්සේ ප්‍රභේද කිහිපයක් හඳුනාගත හැකිය. එළිමහන් මැටි බිස්ස, කෝටු බිස්ස, පිදුරු බිස්ස, ඇතුළත මැටි බිස්ස, කමත් බිස්ස, බිත්තර වී බිස්ස, දැව බිස්ස එවැනි බිසි වර්ග කිහිපයකි. වී බිස්ස තැනීමද වී ගොවිතැනෙහි අනෙකුත් කාර්යන් මෙන්ම චාරිත්‍රානුකූලව ඉටු කළ කාර්යකි. වී බිස්ස තැනීමට ලී කපා ගැනීමේ සිට එහි මුල් වරට වී තැන්පත් කිරීම දක්වා සියලු කාර්යයන් සිදු කර ඇත්තේ නැකැත් වේලාවන්ට අනුවය. එදවස වී බිස්ස තැනීම ආරම්භ කෙරෙන දිනයේ ගොවි ගෙදර උත්සව සිරියක් ගෙන තිබේ. පැමිණෙන අසල්වාසීන්ට කැවුම්, කිරිබතින් සහ බුලතින් සංග්‍රහ කොට එම කටයුත්ත ආරම්භ කරනු ලැබූ බව සඳහන් වේ. තනා අවසන් වූ බිස්සට මුල් වරට වී තැන්පත් කිරීමද සිදු කරනුයේ සුබ හෝරාවකට අනුවය.

ඒ සඳහා බොහෝ විට සිකුරාදා දිනයක් යොදාගෙන ඇත. මුල් වරට වී දමනු ලබන්නේ ගැබ්බර ලියක හෝ කිරිදෙන මවක විසිනි. මෙසේ මුල් වරට බිස්සට වී දැමීම හඳුන්වා ඇත්තේ බිස්ස ඉඳුල් කිරීම යනුවෙනි. බිස්ස ඉඳුල් කිරීමට ගැබිනි මවක හෝ කිරිදෙන මවක යොදා ගැනීම සශ්‍රීකත්වය සංකේතවත් කිරීමක් විය. නිවසෙහි මල්වර වීමක් හෝ කිලි පවත්නා විටකදී බිස්ස ඉඳුල් නොකිරීමට වගබලා ගැනීම සිරිත් සම්ප්‍රදාය වී තිබේ. බිස්සෙහි වී තැන්පත් කරන අවස්ථාවේ “සබ්බ පාපස්ස අකරණං” යන ගාථාව කීමද සිරිතක් කොට පැවත ඇත. එය “බුද්ධ බෝගයට” දැක්වූ ගරු බුහුමනකි. එසේම බිස්සට වී දැමීමට පෙර එහි පතුළට ඖෂධීය ශාඛ කොළ තට්ටුවක් තැන්පත් කිරීමද සාම්ප්‍රදායික ගොවියාගේ ඥාන මහිමය කොතෙක්ද යන්නට කදිම නිදසුනකි.

නුවර කලාවියේ බොහෝ ප්‍රදේශවල වී බිස්ස වටා බැඳුණු ජනකවි මෙන්ම ජනවහරක්ද දැකගත හැකිය. මේ ඔස්සේ ගොඩනැඟුණු ජන සංස්කෘතියක් වියළි කලාපයේ තිබූ වග සැඟවිය නොහැක්කකි.

වී බිස්ස වටා ගොඩනැඟුණු මෙම උප සංස්කෘතිය ඍජුවම ජන ජීවිතය හා බද්ධ වූවකි. එසේම සාම්ප්‍රදායිකව බිස්සක් තැනීමේදී අනුගමනය කොට ඇති සිද්ධාන්තයන් සියල්ලම පාහේ විද්‍යාත්මක බවට සනාථ වී ඇත. පොළොව මත සිටුවන “අටු පාදයේ” සිට “පිදුරු හත්තිය” දක්වාම වී ඇටයෙහි ජීව ගුණය ආරක්‍ෂා කිරීමේ අරමුණින් යුක්තව බිස්ස තනා ඇති බව පැහැදිලිය. වී බිස්සෙහි පාදම හෙවත් අටු කණු සඳහා ගන්නේ ගල් කණු හෝ ශක්තිමත් දැව අරටුය. පොළොව මට්ටමේ සිට අඩියක් හෝ දෙකක් උසින් පාදමක් සැකසීම වී බිස්සේ සිරිත් සම්ප්‍රදාය වී ඇත. මේ හේතුවෙන් පොළොව මතුපිට සිදුවන ජලය ගලා යෑම් හෝ මතුපිට පසෙහි සිදුවන කිසිදු වෙනසක් බිස්සට බලපැවැත්වූයේ නැත.

බිහි තට්ටුව ශක්තිමත් දැවයෙන් නිමවාගෙන ඇත. බිහි කූඩය වියා ගන්නේ වැල් සහ කෝටු මඩෙහිලා පදනම් කර ගැනීමෙනි. ඒ හේතුවෙන් බිහි කූඩයට කෘමි සතුන්ගෙන් හානි සිදු නොවේ. බිස්සෙහි බඳ මැටියෙන් ඔප වැටෙයි. ඒ සඳහා රතු හුඹස් මැටි යොදා ගැනීම පිළිගත් පිළිවෙතයි. රතු හුඹස් මැටි අංශු සියුම්ය. ඇළෙනසුලු ගුණයෙන් යුක්තය. වේළීම වේගවත්ය. පතුරු ගැලවීමක්ද නැත. බිහි කූඩය ඇතුළතින් සහ පිටතින් මැටි තට්ටු දෙකක් තුනීවට ගසන හෙයින් කුඩා කෘමි සතුන් ඇති වීමට තිබෙන ඉඩකඩ අඩුය.

වී බිස්සෙහි වහලය සෙවිලි කර ඇත්තේ පිදුරුවලිනි. එයද ඉතා නිර්මාණශීලීව සකසා ඇත. මෙම සොඳුරු නිමැවුම කන්න කිහිපයක අස්වැන්න ගබඩා කරගත හැකි ඉතා ආරක්ෂිත මෙවලමක් විය. නොතෙමී තබා ගන්නේ නම් බිහි කූඩය වසර දෙසීයක් තරම් කාලයක් වුවද තබා ගත හැකි බව සාම්ප්‍රදායික ගැමියන්ගේ මතයයි. මේ ඉදිකිරීම් සම්ප්‍රදායන් වැඩිමනක් මෙරට ගැමි ජන සමාජය තුළ වඩාත් ප්‍රකටව පැවැති එළිමහං මැටි බිස්සට අදාළව පැවතීමද විශේෂත්වයකි. මේ අන්දමින් බිස්සෙහි බඳ සම්පූර්ණයෙන්ම පාහේ මැටියෙන් නිමවා ඇති නිසා එහි ඇතුළත තිබෙන වී ඇටවලට වාතාශ්‍රය සැලසේ.

වී බිස්ස වැනි අතීත ගොවි උරුමයකින් අනාගත ලෝකයට නෙළාගත හැකි සම්පත් අතිමහත්ය. එහෙත් වත්මන් නූතන තාක්ෂණික සමාජ පරිසරය තුළ මෙම සාම්ප්‍රදායික ඥානය උඩු සුළඟට ගසා යමින් තිබේ. එය වැළකිය නොහැකිව ඇත. ඈත ගම්මැදිවල පවා අද වන විට වී බිස්සක් ඇති නිවසක් සොයා ගැනීම ඉතා දුෂ්කර කාර්යක් වී තිබේ. එහෙත් මේ කවර බාධාව හමුවේ වුවද වී බිස්ස වටා බැඳුණු ජන සම්ප්‍රදායන්, වටිනාකම්, ඇවතුම්, පැවතුම් ආදිය අනාගතය උදෙසා දායාද කිරීම අත්හල නොහැකි වගකීමක්ව පවතියි. මක් නිසාදයත් එය මෙරට පාරම්පරික ගොවි සංස්කෘතියෙහි මාහැඟි උරුමයක් කොට සැලකිය හැකි බැවිනි.

තඹුත්තේගම විශේෂ [ඩබ්ලිව්. ප්‍රදීප්]

මාතෘකා