පිටියේ මායිම් දැනගත්තම අකුරු එක්ක සෙල්ලම් කිරීම ලේසියි

 ඡායාරූපය:

පිටියේ මායිම් දැනගත්තම අකුරු එක්ක සෙල්ලම් කිරීම ලේසියි

චන්දන කාරියවසම්

මාධ්‍යවේදී චන්දන කාරියවසම් විසින් ලියන ලද political මණ්ඩිය 1 සහ 2 කෘතීන් ජනගත කිරීම සැප්.12 දා ප.ව. 3.00ට භූ විද්‍යා හා පතල් කාර්යාංශ ශ්‍රවනාගාරයේදී සිදුවේ. සාකච්ඡාව ඒ නිමිත්තෙනි.

• ‘පොලිටිකල් මණ්ඩිය’ නම් ඔබගේ ග්‍රන්ථ දෙකෙහි අන්තර්ගතය පිළිබඳව කෙටියෙන් පැහැදිලි කළොත්?

ලංකාව පාලනය කළ පාලකයන් බහුතරයක් ළඟින්ම ඇසුරු කළ විවිධ ක්‍ෂේත්‍රවල, තාරාතිරම්වල, වයස් කාණ්ඩවල පුද්ලයන් මෙහිදී සාකච්ඡාවට බඳුන් කෙරෙනවා. විශේෂයෙන් මෙම සම්මුඛ සාකච්ඡාවලදී මා උත්සාහ කළේ ඔවුන්ගේ තොතුරුවලට වඩා ඔවුන් ඇසුරු කළ ඒ ඒ දේශපාලන චරිතවල විවිධ පැතිකඩ මොවුන් ලවා මතුකරවා ගැනීමටයි. විශේෂයෙන් ඇතැම් සුවිශේෂ දේශපාලන සිදුවීම්වලදී කරළියට ආවේ නැති සැඟ වී තිබූ විශේෂ කාරණා මෙම සම්මුඛ සාකචිඡා හරහා එළිපෙහෙළි කර ගැනීමට ඉඩ ප්‍රස්ථාව ලැබුණා. එමෙන්ම 1956 ආණ්ඩු පෙරළියේ සිට 2015 ආණ්ඩු පෙරළිය දක්වා රට පාලනය කළ සහ පාලන බලය ලබාගැනීමට උත්සාහ කළ දේශපාලන නායකයන්ගේ වතගොත මෙහි අන්තර්ගත වෙනවා.

• ඔබගේ කෘතියෙහි අන්තර්ගත සම්මුඛ සාකචිඡාවලින් මතු වන මෙරට පාලනය කළ හා පාලන බලය ලබාගැනීමට උත්සාහ කළ චරිත ගැන ටිකක් කතා කරමු.

56 බණ්ඩාරනායක මහත්මයාගේ දේශපාලන ආගමනයේ සිට 2015 මහින්ද රාජපක්ෂ මහතා දක්වා රට පාලනය කරපු දේශපාලන නායකයින් ගැන මෙහි විවිධ හැඩතලවලින් අඩු වැඩ වශයෙන් තොරතුරු හෙළිදරව් වෙනවා. 56 දේශපාලන පෙරළිය රනිල් වික්‍රමසිංහ මහතා දක්වා මින් පෙර අප නොඇසූ හෙළිදරව් කිරීම් බොහෝමයක් මීටියාගොඩ ගුණරතන නාහිමියන් සමග කළ සම්මුඛ සාකච්ඡාවෙන් එළියට එනවා. එමෙන්ම ජෝන් කොතලාවල, දහනායක, බණ්ඩාරනායක මැතිනිය, ගොරගොල්ල වලව්ව, බෝතලේ වලව්ව, කඳවල වලව්ව ආදිය පිළිබඳව සහ චන්ද්‍රිකා, අනුර, සුනේත්‍රා වැනි පසුකාලීන ලංකාවේ ප්‍රබල දේශපාලන චරිත බවට පත් වූ අයගේ කුඩා විය ගැනත් විශේෂයෙන්ම බණ්ඩාරනායක පවුල් ගැටුම පිළිබඳවත් අප නොදත් කරුණු රැසක් මෙහිදී හෙළි වෙනවා. බ්‍රැඩ්මන් වීරකෝන්, කමලා රණතුංග, කුමාර් රූපසිංහ වැනි පුද්ගලයන් විසින් ඒ තොරතුරු හෙළි කරනවා.

ප්‍රේමසිරි පෙරේරා සමග පැවැත් වූ සම්මුඛ සාකච්ඡාවෙන් විජය හා චන්ද්‍රිකා සම්බන්ධයෙන් අපූරු තොරතුරු රැසක් අනාවරණය වෙනවා. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල නායකයින් වන ඩඩ්ලි, ජේ.ආර්, ප්‍රේමදාස, ගාමිණී, ලලිත්, රනිල් පිළිබඳව රසවත් වූත් මින් පෙර දැන නොසිටියා වූත් දේශපාලන කරුණු රැසක් මෙම නායකයින් සමග සමීප ඇසුරේ සිටි විශේෂ චරිත සම්මුඛ සාකච්ඡාවට භාජනය කිරීම තුළින් මතු කර ගැනීමට හැකි වුණා. ඒ අතර වෘත්තීය සමිති නායකයකු හා ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනගේ සමීපතමයකු වූ කේ.බී. මෙන්ඩිස්, විජිත කදිරගොන්න, සිරිසේන කුරේ, දහම් විමලසේන පෙන්වා දිය හැකියි. ඊට අමතරව ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර සම්බන්ධයෙන් සැඟවුණු තොරතුරු රැසක් මෙම ග්‍රන්ථයට ඇතුළත්. එම තොරතුරු ලබාගැනීම සඳහා වික්ටර් අයිවන්, නයනානන්ද විජේකුලතිලක, මාතුපාල පියරත්න, ඉන්ද්‍රානන්ද සිල්වා, කෙලී සේනානායක වැනි විජේවීර ළඟින් ඇසුරු කළ ජ.වි.පෙ ප්‍රබලයන් රැසක් සමග මා පැය ගණන් කාලය ගත කළා. මෙම කාලවකවානුවේ රටේ තීරණාත්මක දේශපාලන අවදයක් පසු කරමින් තිබුණා. එහිදී මට වුවමනා වුණා අප රටේ පාලකයින් එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග පැවැත්වූවා යැයි කියන රහස් සබඳතා මතු කර ගන්න. ඒ සඳහා එල්.ටී.ටී.ඊ. න්‍යාය ආචාර්ය ඇන්ටන් බාලසිංගම්ගේ සමීපතමයකු මිත්‍රයෙකු වූ ඇම්. ඇල්. ඒ. ද සිල්වාගේ සහ හිටපු ආර්කෂක ලේකම් ඔස්ටින් ප්‍රනාන්දුගේ සම්මුඛ සාකච්ඡාව ඉවහල් වෙනවා. හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය සමග කළ සම්මුඛ සාකච්ඡාවෙන් තිස් වසරක් පුරා රට ගිලගෙන තිබූ ම්ලේඡ්ච මිනීමරු කොටි සංවිධානය පරාජය කිරීමට කළ සැලසුම් හා ඔහුට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් තියුණු පිළිතුරු රැසක් හෙළි කරනවා.

• මෙම සම්මුඛ සාකච්ඡා සඳහා ඒ ඒ පුද්ගලයන් තෝරා ගැනීමේදී ඊට බලපෑ විශේෂ හේතු තිබුණාද?

එවැනි විශේෂ චරිත තෝරාගෙන නෙමෙයි මෙම සම්මුඛ සාකච්ඡා පටන් ගත්තේ. නමුත් මා පළමු සම්මුඛ සාකච්ඡාව කළාට පස්සේ මම සම්මුඛ සාකච්ඡාවකදී පැන නැගුණු විශේෂ කාරණා තව තවත් මතු කර ගැනීමේ අටියෙන් එම සිදුවීම්වලට සම්බන්ධ විශේෂ පුද්ගලයන් සොයා යෑම සිදුවුණා. මෙම සම්මුඛ සාකච්ඡාපෙළ සතිපතා ‘රිවිර ඉරිදා සංග්‍රහයේ’ පළ වුණා. ඊට ලැබුණු ප්‍රතිචාර නිසා මෙම සම්මුඛ සාකච්ඡා මාලාව දිගටම කරගෙන යන ලෙස පාලන අධිකාරියෙන් උපදෙස් ලැබුණා. ඉන් දිරිමත් වූ මා තව තවත් තොරතුරු සොයා යමින් විවිධ පුද්ගලයින් සමග කතාබස් කරමින් තොරතුරු හෙළි කර ගැනීමට සමත් වුණා. නමුත් අවසානයේදී සම්මුඛ සාකච්ඡා සියල්ල පෙළගස්වා බැලූ පසු යම් සැලසුමකට අනුව පුද්ගලයන් තෝරාගත් බවට කෙනෙකුට තර්ක කරන්න පුළුවන්. සමහර වේලාවලදී ලංකාවේ ප්‍රධාන චරිත දුරකථනයෙන් මා අමතා ඔබ මේ සිදුකරන්නේ සංවිධානාත්මක මඩ ගැසීමක් කියා චෝදනා කර තිබෙනවා.

• ඉන් හැගෙන්නේ මෙම සම්මුඛ සාකච්ඡා නිසා ඔබගේ ලේඛනය අභියෝගයකට ලක්වු බවයි.

මාධ්‍යවේදියකුගේ භූමිකාව කොයි අතින් ගත්තත් අභියෝගාත්මකයි. විශේෂයෙන් දේශපාලනය සම්බන්ධ වූ ජනප්‍රිය පුද්ගලයින්ගේ ඉතිහාසය ශ්‍රී ලංකාව වැනි පසුගාමී සංස්කෘතියක් යටතේ පවතින රටක මතු කිරීම වඩාත් අභියෝගාත්මකයි. අතීත නාමය මතු කිරීම හැම කෙනකුටම මට සුන්දර වෙන්නේ නැහැ. විශේෂයෙන් සඟවා ගත් ඉතිහාසයක් සහිත දේශපාලනඥයෙකුට මෙය කොහෙත්ම දිරවන්නේ නැහැ. සමහර වෙලාවට අභියෝගයක් එල්ල විය නොහැකි යැයි සිතෙන අවස්ථාවලදී පවා මෙවැනි ක්‍ෂේත්‍රයකදී අභියෝග එල්ල වෙනවා. සාමාන්‍යයෙන් මරණ තර්ජන පිළිගන්වමින් පැමිණෙන දුරකථන ඇමතුම් සුලබයි. ඒ වගේම මගේ ජීවිතයේ අමතක නොවන අවස්ථා කිහිපයක්ම මෙම හෙළිදරව් නිසා මට මුණගැහෙනවා. එක් වරක් කාන්තාවන් දෙදෙනකු ගිනි අවියක් සමග මා සොයාගෙන ‘රිවිර’ පුවත්පත් ආයතනයට පැමිණයට පැමිණ තිබුණා. වාසනාවට ඔවුන් දෙදෙනා චන්දන කාරියවසම් යන පුද්ගලයා කාර්යාලයේ සිටිනවාද යන්න විමසා සිටියේ මගෙන්මයි. ඊළඟට සිදුවෙන්න යන දේ ඉවෙන් වගේ තේරුණ නිසා උපක්‍රමශීලීව එතැනින් ගැලවී යන්නට මට පුළුවන්කම ලැබුණා. තවත් එක්තරා බලවතෙක් මට දුරකථනයෙන් කතා කොට අසවල් නායිකාවට පහර දීම වහාම නවතා දමන ලෙස තර්ජනය කළා. එවැනි තර්ජන තව බොහෝමයි. හැබැයි මොකක්දෝ හේතුවකටම ඒ කිසිම තර්ජනයක් මම මායිම් කළේ නෑ.

• යම් කිසි න්‍යාය පත්‍රයකට අනුව මෙම සම්මුඛ සාකච්ඡා සිදු කෙරෙන බව පැහැදිලියි.?

මාධ්‍යවේදියාගේ පමණක් නෙවෙයි ඕනෑම වෘත්තිකයෙක් පළමුව දැන ගත යුතු කාරණය තමයි තමන් බැට් කරන ටීම් එක මොන වගේද කියලා. ඒක දැන ගන්නේ නැතිව සාර්ථක පිතිකරුවෙක් වෙන්න බැහැ. වේග පන්දු යවන්නන්ට ගහපු පිච් එකක අපි සෙල්ලම් කරනවා නම් ඒ පන්දුවලදී අපි ආරක්ෂාකාරී පියවර අනුගමනය කළ යුතුයි. එහෙම නැතිව දිගට හරහට ඔවුන්ට ගහන්න ගියොත් නිරපරාදේ කඩුල්ල පූජා කරන්න වෙනවා. හැම පත්තර කන්තෝරුවකටම න්‍යාය පත්‍රයක් තියෙනවා. ‘රිවිර’ටත් එවැනිම න්‍යාය පත්‍රයක් තිබුණා. එහි හතර මායිම් හරියට දැන ගත්තාම අකුරුත් එක්ක ගැටලුවක් නැතිව අපට සෙල්ලම් කරන්න පුළුවන්. මෙම සම්මුඛ සාකච්ඡා කරගෙන යෑමෙදී ආයතනයේ සම්පූර්ණ නිදහස මා වෙත ලබා දී තිබුණා. ඔවුන් බලාපොරොත්තු වූවාටත් වඩා සියුම් ආකාරයට තොරතුරු හෙළිදරව් කිරීමට මට හැකියාව ලැබුණා.

• ඔබ මේ අයුරින් දේශපාලන ඉතිහාසය නැවත අවලෝකනය කරමින් සමාජගත කිරීමට උත්සාහ කරන්නේ කුමක්ද?

ඉතිහාසය තියෙන්නේ වැරදුණු තැන නිවැරදි කරන යා යුතු නිවැරදි මග කියාදෙන උත්තම ගුරුවරයෙක්. ‘ඉතිහාසය කන්නදැයි’ කියලා අහපු නායකයෝ හිටපු කාලෙකුත් මේ රටේ තිබුණා. ඉතිහාසය නැතිව රටකටවත් පුද්ගලයකුටවත් නිවැරදි ගමනක් යන්න බැහැ. විශේෂයෙන් මෙම දේශපාලන අනාවරණ හරහා මතු වන ඉතිහාසය පැතිකඩ කීපයකින් වැදගත් වෙනවා. එක් පැත්තකින් තත්කාලීන, සමකාලීන දේශපාලන ඉතිහාස පෙළ ගැස්වීමේදී ඇති වන හිඩැසි පිරවීමට මෙම අනාවරණ හේතු වෙනවා. එමෙන්ම සමහර තීරණාත්මක සිදුවීම්වලදී මෙරට පාලනය කළ සමහර නායකයින් ක්‍රියා කර ඇති ආකාරය පිළිබඳ අධ්‍යනයක් කරන්න මින් අවස්ථාව ලැබෙනවා. ඒ වගේම අප ඈතින් සිට ගොඩනැගූ දේශපාලන ප්‍රතිරූප පිළිබඳව නැවත සිතා බැලීමට මෙහි එන සමහර හෙළිදරව් අභියෝග කරනවා. ඒ වගේම කෘතහස්ත පැසුණු දේශපාලන නායකයින් ගැන කෙරෙන හෙළිදරව් අංකුර දේශපාලනඥයාට මඟ කියා දෙන මාර්ගෝපදේශනයක්ද විය හැකියි.

• කලක් ඔබ විශ්වවිද්‍යාලයේ ඉතිහාසය විෂය ඉගැන්වුවා. පත්තරකාරයකුගේ භූමිකාව සාර්ථක කර ගන්න ඉන් ලැබුණේ මොන වගේ පිටුබලයක්ද?

මම රුහුණු විශ්වවිද්‍යාලයට ඇතුළත් වූයේ 1990 දීයි. 1994 එම වශ්ව විද්‍යාලයේම ඉතිහාස අධ්‍යන අංශයේ ආධුනික කථිකාචාර්යවරයකු ලෙස වැඩ භාර ගන්නේ අවසන් ප්‍රතිඵල නිකුත් වෙන්නත් කලින්. ස්ථිර කථිකාචාර්යවරයකු හැටියට 2001 වසර දක්වා මා එහි සේවය කළා. වසර හත අටක විශ්වවිද්‍යාල ගුරු ජීවිතය තුළදී මා ලැබූ විෂයානුබද්ධ දැනුම හා සියලු දුක්ඛදෝමනස්සයන් විඳ ගැනීමේ හැකියාවෙන් පොහොසත් විශ්ව විද්‍යාල ජීවිතය පත්තරකාරයකු හැටියට මා ඉහළ ඔසවා තැබීමට අවශ්‍ය උත්තේජනය ලබාදුන්නා. විදේශගත වීමෙන් අනතුරුව ලංකාවට පැමිණි ‘රිවිර’ පුවත්පතට සම්බන්ධ වූයේ 2008දී 2018 මම රිවිර පුවත්පතේ සේවයෙන් ඉවත්ව යන්නේ ‘රිවිර’ දිනපතා පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා හැටියටයි. වසර දහයකට අධික රිවිර මාධ්‍ය ජීවිතය මගේ මාධ්‍ය ඉතිහාසයේ තීරණාත්මක කාල පරිච්ඡේදයක්.

විශේෂයෙන් ඉතිහාසය විෂය පිළිබඳව හැදෑරීමත්, විශ්වවිද්‍යාල ජීවිතය තුළ ලැබූ විවිධාකාර අත්දැකීම් හා විදේශගතවීමෙන් ලැබූ අත්දැකීම් මාධ්‍ය ජීවිතයේ පොහොසත් කරන්න මට විශාල පිටුබලයක් සැපයූවා.

• ඔබගේ ඊළඟ සාහිත්‍ය ව්‍යායාමය කුමක්ද?

මේ පොතට පාදක වූයේ දේශපාලනය හා ඉතිහාසය. මගේ ඊළඟ පොතට පාදක වන්නේ දේශපාලනය සහ ආගම.

 

මාතෘකා