බසටත් උඩ යට බලන රටක්

 ඡායාරූපය:

බසටත් උඩ යට බලන රටක්

ලංකාවේ තුන්වැනි ජාත්‍යන්තර ගුවන්තොටුපළ ලෙස යාපනය පලාලි ගුවන්තොටුපළ පසුගියදා (17) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත විය. ඒත් සමඟම පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු විවිධ පිරිස් පලාලි ගුවන්තොටුපළෙහි නාමපුවරුව සඳහා දමිළ භාෂාවට ප්‍රමුඛතාව ලබාදී සිංහල භාෂාවට දෙවැනි ස්ථානය ලබාදීම පිළිබඳව විවිධ ආන්දෝලනාත්මක ප්‍රකාශ නිකුත් කළෝය. එම නිසා එය සමාජයේ බොහෝ දෙනා කතාබහ කරන ප්‍රස්තුතයක් බවට පත් වී ඇති අතර ඒ තුළින් විවිධ ජාතිවාදී අදහස් නැවත නැවතත් සමාජයට සම්ප්‍රේෂණය වෙමින් පවතී. එම නිසා මේ පිළිබඳව අප සිවිල් සමාජ ක්‍රියාකාරීන්ගෙන් මත විමසුමක් කළෙමු.

 

උතුරු හා නැඟෙනහිර පළාත්වල පරිපාලන භාෂාව සිංහල නෙවෙයි

ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය මනෝ ගනේෂන්

16 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව උතුර, නැඟෙනහිර පළාත්වල පරිපාලන භාෂාව වන්නේ දෙමළ භාෂාව. විමල් වීරවංශ මහතා එය නොදන්නා නූගතෙක්. ඔහු ගිවිසුම්ගතවෙමින් කටයුතු කරන දේවානන්දා, තොණ්ඩමාන්, අතාවුල්ලා යන මහත්වරු විමල් වීරවංශ මහතාට උගන්වා අවම වශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් කියාදීමට උත්සාහ කළ යුතුයි. දෙමළ භාෂාව ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක වන තවත් එක් රාජ්‍ය භාෂාවක්ද වෙනවා. මේ බව දේවානන්දා, අතාවුල්ලා, තොණ්ඩමාන් යන කල්ලි තුනම හොඳාකාරවම දන්නා බව මම හිතනවා. ඔවුන්ට මම කියනවා මෙම කාරණය නොදන්නවා යැයි පවසා මගේ විශ්වාසය පලුදු කරන්න එපා කියලා. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව රටේ රාජ්‍ය භාෂාව වන්නේ සිංහල හා දෙමළ භාෂාවයි. ඉංග්‍රීසි භාෂාව සම්බන්ධීකරණ භාෂාව වෙනවා. නාම පුවරු ලිවීමේදී භාෂා තුනෙන්ම එකක් යට එකක් වශයෙන් පිළිවෙළින් ලිවිය යුතු වෙනවා. මේක ප්‍රශ්න නිර්මාණය කිරීමක් විදිහට මම දකිනවා.

 

රට රැකෙන්න නම් ප්‍රජාතන්ත්‍රවාදය තිබිය යුතුයි

උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන්

අපේ රටේ වත්මන් අර්බුද නිර්මාණය වෙන්න පැහැදිලි හේතුවක් තමයි ලංකාවේ ඉන්න අවිද්‍යාත්මක දේශපාලකයන්. ඔවුන් කරන ප්‍රකාශ විද්‍යාත්මක පදනමකින් තොරයි. ඔවුන් කිසිදු දෙයක් සොයා නොබලා කරන ප්‍රකාශ නිසා සමාජයේ විවිධ ගැටලු නිර්මාණය වෙනවා. ඕනෑම කෙනෙකුට 13 වැනි ව්‍යවස්ථාව බලන්න පුළුවන්. එහි පැහැදිලිව අන්තර්ගත කරලා තියෙනවා "ප්‍රදේශයක බහුතර ජනතාව භාවිත කරන ප්‍රධාන භාෂාව එම ප්‍රදේශයේ ප්‍රධාන භාෂාව" කියලා. වසර 32ක් තිස්සේ පැවතුණේ මේ ක්‍රමය තමයි. ආණ්ඩුකාරවරයා වුණු මගේ නාමපුවරුවේ පවා දෙමළ භාෂාවට ප්‍රමුඛතාව දීලා ඉන්පසුව සිංහල, ඉංග්‍රීසි භාෂාවලින් ලියලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි සියලු රාජ්‍ය ආයතනවල පවා මේ ක්‍රමවේදය භාවිත වෙන්නේ. මේ නිසා තමයි ගංගොඩවිල උසාවියේ ඉංග්‍රීසි භාෂාවෙන් නඩු අහන්න පුළුවන් වෙලා තියෙන්නේ. පටු දේශපාලන චින්තනදාරීන්ගේ මේ ප්‍රකාශ බැහැර කළ යුතුයි. යාපනේ පලාලි ගුවන්තොටුපළ වෙනත් කණ්ඩායමක් විසින් විවෘත කළා නම් මීට වඩා විශාල මුදලක් වැය කරලා විවෘත කරන්නේ. ඔවුන් මේක කළා නම් උත්සවේ නැටුම් කණ්ඩායමේ සිට අනෙක් සියලු අනවශ්‍ය දේවල්වලට ඔවුන් විශාල වශයෙන් ජනතා මුදල් නැති නාස්ති කරනවා. ‍යුද ජයග්‍රහණයෙන් වසර දහයකට පසුව අපි මේක ඉතාම ඉක්මණින් හදලා දුන්නා විතරක් නෙමෙයි විවෘත කිරීමත් බොහොම සරලව කරලා දුන්නා. විදේශ රටවලින් පවා මට දැනටත් ඉතාම ඉහළ ප්‍රතිචාර ලැබෙනවා පලාලි ගුවන්තොටුපළ විවෘත කිරීම සම්බන්ධයෙන්. ඔවුන් මේක දකින්නේ ඉතා යහපත් කාර්යයක් ලෙස. ඒ වගේම තමයි විමල් වීරවංශ මහත්මයා මේ වගේ ප්‍රකාශ කරන්නේ ඔහු නියෝජනය කරන පොහොට්ටුවේ යාපනය පක්ෂ කාර්යාලයේ නම තියෙන්නෙත් දෙමළ භාෂාවට ප්‍රමුඛස්ථානය දීලා කියලා නොදැන. රට රැකෙන්න නම් ප්‍රජාතන්ත්‍රවාදය තිබිය යුතුයි. විසිඑක් වැනි සියවසේ ප්‍රජාතන්ත්‍රවාදය සෑම පුරවැසියෙක්ටම ලබා දිය යුතුයි කියලා මම හිතනවා.

 

අපි වැඩ කරන්න ඕනේ ව්‍යවස්ථාවට අනුව

පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන

උතුරු පළාතේ නාමපුවරුවක දමිළ භාෂාවට මුල්තැන දීම ලොකු ගැටලුවක් ලෙස සැලකිය යුතු නැහැ. බහුතරයක් දෙමළ භාෂාව කතා කරන ජනතාව ඉන්න ප්‍රදේශයක නාමපුවරුවල දෙමළ භාෂාවට මුල්තැන දෙන්න ඕනේ. මේ වගේ කාරණ ඉස්මතු කරන්න ඕනේ නැහැ කියලා මම හිතනවා. විවිධ අයගේ විවිධ මත තියෙනවා. ඒත් අපි වැඩ කරන්න ඕනේ ව්‍යවස්ථාවට අනුව. සිංහල භාෂාවට ප්‍රමුඛස්ථානය ලබා දෙන්න ඕනේ බව ඇත්ත. ලෝකේ ඕනෑම රටක බහුතර ජනතාව භාවිත කරන භාෂාවට ප්‍රමුඛස්ථානය දෙනවා. නමුත් ඒක යම් පළාතකට හෝ ප්‍රදේශයකට අදාළ නොවෙන්න පුළුවන්. එහිදී ව්‍යවස්ථාවට අනුව භාෂා ප්‍රතිපත්තියට අනුව වැඩ කරන්නේ. මේ වගේ ප්‍රකාශ වරදක් නම් එවැනි දේවල් ඉදිරියට සිද්ධ නොවිය යුතුයි කියලා මම හිතනවා. බහුවිධ භාෂා කතා කරන බහුවිධ සංස්කෘතීන්වල ඉන්න මිනිස්සු ඉන්න රටක මේ වගේ දේවල් කතා කිරීමත් අනවශ්‍ය කාරණාවක්.

 

අනවශ්‍ය ප්‍රශ්නයක්

ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ නායක ඩිව් ගුණසේකර

සිංහල භාෂාව සහ දෙමළ භාෂාව කියන භාෂා දෙකම රාජ්‍ය භාෂා. යාපනේදි දෙමළ භාෂාවට ප්‍රමුඛස්ථානය ලබා දුන්නා කියලා ගැටලුවක් වෙන්නේ නැහැ. යාපනේ බහුතරයක් භාවිතා කරන්නේ දමිළ භාෂාව නිසා ඔවුන්ට ඉතා පහසුවෙන් හඳුනා ගත හැකි නිසා නාමපුවරුවල දමිළ භාෂාව යෙදුවා කියලා ඒක දකුණේ මිනිස්සු ගැටලුවක් කරගන්න ඕනේ නැහැ. දමිළ භාෂාව කතා කරන මිනිස්සුන්ටත් ඔවුන්ගේ භාෂාව ගැන ආඩම්බර වෙන්න අවස්ථාවක් දෙන්න ඕනේ. 13 වැනි සංශෝධනයට අනුව සිංහල සහ දෙමළ භාෂා දෙකම රාජ්‍ය භාෂා. ඉංග්‍රීසි සම්බන්ධීකරණ භාෂාව. 13 වැනි ව්‍යවස්ථාවට පාර්ලිමේන්තුවේදී ඡන්දය දීපු කෙනෙක් මම. අපි හිටියේ සියල්ලන්ටම තමන්ගේ අයිතීන් ලැබෙන්න ඕනේ කියන ප්‍රතිපත්තියේ. ඒ වෙනුවෙන් අදටත් මම පෙනී සිටිනවා. මේ ප්‍රශ්න මිනිස්සු විහින් මවා ගත්ත ඒවා. මේ වගේ ජාත්‍යන්තරය හා සම්බන්ධ වෙන තැනකදී දමිළ භාෂාවට ප්‍රමුඛස්ථානය ලබා දීමෙන් රටේ ජාතික සමගිය තව තවත් තහවුරු වෙනවා. මේ වගේ සිදුවීම් කලක් යනතුරු සිදුවෙයි. මිනිස්සු මේවා ගැටලුවක් නොකරගත යුතුයි. විවිධ සංස්කෘතීන්, විවිධ භාෂා කතා කරන මිනිස්සු ඉන්න රටක මිනිස්සු හැටියට අපි මීට වඩා අන්‍යෝන්‍ය අවබෝධයෙන් කටයුතු කරන්න ඕනේ. මේක අනවශ්‍ය ප්‍රශ්න ඇති කිරීමක් හැටියටයි මම දකින්නේ.

 

පළාතේ බහුතර ජනතාව භාවිත කරන භාෂාවට මූලිකත්වය දෙන්න ඕනේ

පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර

ලංකාවේ උතුරු පළාතේ සහ නැඟෙනහිර පළාතේ ව්‍යවහාර කරන භාෂාව දමිළ භාෂාව. ඒ නිසා ඒ පළාත්වලදී කටයුතු කරන විට දමිළ භාෂාවට මුල්තැන දෙන එක ගැටලුවක් නෙමෙයි. ඒ නිසා දමිළ භාෂාව ඒ පළාත්වල නාමපුවරුවල යෙදීම ගැටලුවක් නෙමෙයි. යාපනය ආදී උතුරේ උසාවිවල පවා කටයුතු සිදුවෙන්නේ දමිළ භාෂාවෙන්. මේ රටේ ව්‍යවස්ථාව, රාජ්‍ය භාෂා නීතිය අනුව උතුරු සහ නැඟෙනහිර පළාත්වල පළමු ලෙස දමිළ භාෂාවද අනෙක් සෙසු පළාත් සියල්ලෙහිම පළමු ලෙස සිංහල භාෂාව භාවිතා කළ හැකියි. විමල් වීරවංශ මෙහිදී කියන්නේ මුළු ලංකාවටම එක නීතියක් තිබිය යුතුයි කියලා. ඔහු කියන්නේ සිංහල ප්‍රධාන භාෂාව නම් හැම පළාතකම භාවිත කරන්න ඕනේ සිංහල භාෂාව කියලා. නමුත් විවිධ පළාත්වල බහුතර ජනතාව භාවිත කරන භාෂාවට මූලිකත්වය දෙන්න වෙනවා. ඒකයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ. එකම භාෂාවකට විතරක් ප්‍රමුඛත්වයක් ලබාදීලා කටයුතු කරන්න බැහැ ලංකාව වගේ රටක. මේක වැරදි වැටහීමක් විදිහට මම දකින්නේ.

 

 

 

 

බහුවිධ සමාජයක අනෙකා ගැන සංවේදී වීම වැදගත්

මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනි ආචාර්ය දීපිකා උඩගම

මැතිවරණ කොමිෂන් සභාව ලෙස මානව හිමිකම් මිනුම් දඬු අනුව මේ ප්‍රකාශ සහ මිනිස් හැසිරීම් ගැන අපි අපේ අවධානය යොමු කරනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව තියෙනවා "සිංහල සහ ද්‍රවිඩ භාෂා දෙකම රාජ්‍ය භාෂා" කියලා. නමුත් එහි භාවිත විය යුත්තේ මේ විදිහට කියලා සඳහන් වෙන්නේ නැහැ. මෙතනදී ප්‍රායෝගික ලෙස බලනවා නම් නාමපුවරුවක් කියන්නේ මිනිස්සුන්ගේ ප්‍රායෝගික ජීවිතයට බලපාන දෙයක්. නාමපුවරුවෙන් සිදුවෙන මූලිකම කාර්ය වෙන්නේ මිනිස්සු දැනුවත් කිරීම. යම්කිසි පළාතක බහුතරයක් භාවිත කරන්නේ එකම භාෂාවක් නම් ඒකට ප්‍රමුඛතාව ලබාදෙන්න ඕනේ. බහුවිධ සමාජයක ජීවත් වෙද්දී අනෙකා ගැන සංවේදී වීම වැදගත්. ඒ වගේ මානුෂීය හර පද්ධතීන් තුළින් තමයි මානව හිමිකම් ආරක්ෂා වෙන්නෙත්. දේශපාලන බල අරගලවලදී මේ වගේ සමාජීය කාරණා භාවිතා කිරීම සමාජයට අහිතකරයි. මෙතනදී මිනිස්සු දිහා සංවේදීව බැලුවාම මේ තත්ත්වය මීට වඩා වෙනස් වෙන්න තිබුණා. එක් පුද්ගලයෙකුගේ ප්‍රකාශයක් හේතුවෙන් මුළුමහත් සමාජයක අසමගිය නැති වෙන්න පුළුවන්. මානුෂීයව කටයුතු කළ විට ලෝකය වුණත් ලංකාව දිහා වඩා යහපත් විදිහට දකිනවා.

 

බෙරු ප්‍රශ්න මවලා ජාතිවාදය වපුරනවා

මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර

විමල් වීරවංශ කියන්නේ කන්න ඕනේ නම් තලගොයා කබරගොයා කරගන්න කෙනෙක්. ඔහු මෙවැනි දේවල්වලින් නූගත්කම ප්‍රදර්ශනය කරනවා. ව්‍යවස්ථාව කියවන ඕනෑම කෙනකුට මෙහි නීත්‍යනුකූල පැත්ත අවබෝධ වෙනවා. ව්‍යවස්ථාවේ තියෙනවා උතුරු පළාතේ බහුතරයක් ජනතාව දමිළ නිසා දමිළ භාෂාවට මුල්තැන දෙන්න ඕනේ කියලා. විමල් වීරවංශ ඇතුළු ඔහුගේ නඩය මේක දැක්කේ පලාලි ගුවන්තොටුපළ විවෘත කළාම. නමුත් ඔවුන්ගේ මහරජා උතුරේ විවෘත කරපුවාත් මෙහෙම තමයි කියලා ඔහු දන්නේ නැහැ. මහින්දට නැති ගායක් විමල් වීරවංශට තියෙන්නේ. විමල් විරවංශ කියන්නේ වංචනික ලෙස හැසිරුණු කෙනෙක්. එවැනි උදවිය මේ වගේ දේවල් ගැන කතා කිරීමම විසුළුසහගතයි. ව්‍යවස්ථා කියන්නේ රටේ මූලික නීතිය. ඒකේ නැති අනවශ්‍ය ප්‍රශ්න නිර්මාණය කරලා ජනතාව අවුස්සලා ජාතිවාදය ඇති කරන කපටි නරි ක්‍රියාවක් මේක කරන්නේ. ව්‍යවස්ථාවට එරෙහිව ප්‍රකාශ කරලා ගැටලු ඇති කිරීම සම්බන්ධයෙන් විමල් වීරවංශ මහත්මයාට විරුද්ධව නඩුවක් හරි දාන්න පුළුවන්ද කියලා නීති උපදෙස් ගන්න ඕනේ.

[නිර්මාණි බණ්ඩාරනායක]

News Order: 
1
මාතෘකා