දිමුතු මුතුවලින් ඉන්දීය ටෙලි රැල්ලට ආවඩන අභිමානවත් ජාතිය

 ඡායාරූපය:

දිමුතු මුතුවලින් ඉන්දීය ටෙලි රැල්ලට ආවඩන අභිමානවත් ජාතිය

සවස හතෙන් පසු ඇරඹෙන ලංකාවේ ටෙලි නාට්‍ය පරාදීසය තුළ මේ වන විට ඔබත් ගිලිමින් හිඳින්නේ යැයි අනුමාන කරමි. එබැවින් ඔබ මුලින්ම තේරුම් ගත යුත්තේ වරද කරන්නේ කවුරුන් වුවත් ඒ හැමගෙන් මිදී නිර්මාණශීලී රසවින්දනයක් ලබා දෙන නිර්මාණ කරා යොමු වීමට ඉටා ගැන්මයි. එය කළ යුත්තේ කවදා, කෙලෙසකදැයි සිතිය යුත්තේ මේ තුළ කිමිදෙමින් සිටිනා රූපවාහිනී ප්‍රේක්ෂකයා මිස අන් කවරකු හෝ නොවේ. එහි වඩාත් දායකත්වයක් ලබා දිය හැක්කේ ඔබටයි. මන්ද අධ්‍යක්ෂවරුන් තිර පිටපත් රචකයන් මෙන්ම නළු නිළියන් මෙන් පෙනී සිටින්නන්ද සියල්ලන්ම මුදල්මය අගයන් තුළ හුවමාරු වෙමින් සිටින නිසාවෙනි. ඔවුන් සියල්ලෝම එක් වී ටෙලි නාට්‍යක් උදෙසා දායක වන්නේ රූපවාහිනී ආයතනයේ අභිරුචිය මත මිස රූපවාහිනී ප්‍රේක්ෂකයාගේ රසවින්දනය උදෙසා නොවේ

සරලවම කිවහොත් බොහෝ රූපවාහිනී ආයතනයන්ට අවැසි වන්නේ අවර ගණයේ රූපරාමු කීපයක් හෝ එකට එක්කොට ගනිමින් කුණු රසය ඉස්මතු වන නිර්මාණයන් ප්‍රේක්ෂකයන් හමුවේ තබා තමා වෙත මුදල් ගලා එන රේඛාවක් නිර්මාණය කර ගැනීමයි. මෙය ආහාර දාමයට සමාන එහෙත් ඊටත් වඩා අනාගතය වෙත බලපෑම් එල්ල කරන ක්‍රියාවලියකි. මිනිසා විසින්ම මිනිසා මුල්කර ගනිමින් නිර්මාණ කාර්යක් ඉටු කරන ලදුව බඩගෝස්තරවාදී මිනිස්සුන්ගේ උවමනා එපාකම් මත එය සමාජය වෙත මුදාහරියි. එහි බලපෑම ඇත්තේ වත්මනෙන් නොපෙනෙනා ගව්වක සිටිනා අනාගත හිමිකාරීත්වයන්ටය. එය සෘජුවම බලපාන්නේ හුදු රසිකත්වයටම පමණක් නොවේ. මුළුමහත් සමාජයටම එය දැඩි බලපෑමක් එල්ල කරන්නට සමත්ව තිබේ.

ලංකාවේ ටෙලි නාට්‍ය කලාව ආරම්භ වූයේ ඩී.බී. නිහාල්සිංහ මහතා අධ්‍යක්ෂණය කළ, දේවිකා මිහිරාණි ප්‍රධාන නිළිය ලෙසින් රංගනයෙන් සම්බන්ධ වූ ‘දිමුතු මුතු’ ටෙලි නාට්‍යයෙනි. ඒ අසූව දශකයේ මුල් අවධියයි. සෑම බදාදා දිනකම රාත්‍රී 8.30ට ජාතික රූපවාහිනියෙන් රූපවාහිනියේ විකාශය වූ මෙකී ටෙලිනාට්‍ය සඳහා අනුග්‍රහය දැක්වූයේ ජිනසේන ආයතනයයි. පාරිසරික සුන්දරත්වයත් ගැමිකමත් විශේෂයෙන්ම එකල සමාජයට සරිලන පරිද්දෙන් එක්වූ අපේකම මුල්කර ගත් දිමුතු මුතු රූගත කිරීම් බොහොමයක් සිදු කෙරුණේ කුරුණෑගල හා මීපේ ප්‍රදේශයන්හිය. ලාංකීය රසිකයන්ට එය නැවුම් අත්දැකීමක් වූ නිසාවෙන් මුලින්ම සාකච්ඡා කර ගත් පරිදි කොටස් 12ක් නොව, එය කොටස් 24ක් දක්වා කරගෙන යෑමට ජිනසේන ආයතනය ඉදිරිපත් විය. කොටින්ම කියනවා නම් නමේ අරුතින්ම එය දිමුතු මුතුම විය.

එදා මෙකී ටෙලිනාට්‍ය රසාත්මිකතාවය අවදි කරමින් අපේකම ප්‍රදර්ශනය කරමින් නාට්‍ය දිගු කිරීමට තීරණය කළද අද ඒ සියල්ල තීරණය වන්නේ මුදල්මය කාරණා මතය. දේශීය නාට්‍ය සියල්ලක්ම අමතක කර දමා කතා කළ නොහැකි තරමේ අවර ගණටෙය් මෙගා නාට්‍ය බලහත්කාරයෙන් හෝ ප්‍රේක්ෂකයා මත පැටවීමට ඔවුන් වග බලා ගනිමින් සිටී. ඒවාට පරගැතිභාවයක් දක්වන දේශීය නිර්මාණකරුවන් කරන්නේද ඒවාට නොදෙවැනි වැල් බයිලාය. ඉන්දියන් කසිකබල් එපා කියමින් කිසිදු වැදගත්කමක් නැති අවර ගණයේ නිර්මාණයන් ඔවුන් මහත් රුචියකින් රූපවාහිනී විකාශන කාලයන් කා දමමින් දිගහැර දමයි.

එදා දූ දරුවෝ නාට්‍ය යේ සිටි ‘සුදු සීයා, ඩල්සි ආච්චී,’ වචනයෙන් දෙකෙන් හෝ කියූ දෙයක් වත් මේ මොහොතේ සිටිනා නිර්මාණකරුවන් පිරිසට කියා ගන්නවත් නොහැකි වීමක් පෙන්නුම් කරයි. මොහොතකට කල්පනා කරන්න එදා දිමුතු මුතු, ලාහිරු දහසක්, පළිඟු මැණිකේ, යශෝරාවය, බුමුතුරුණු, කඩුල්ල, චරිත තුනක්, ගිරය, දූ දරුවෝ, වෙදහාමිනේ, ආදී නිර්මාණයන් එක් වරම අභාවයට ගොස් ඒවාට වඩා වෙනස්ම වූ නිර්මාණයන් බිහි නොවූයේ කෙසේද?

80 දශකයේ මුල් භාගයේ ඇරඹි රූපවාහිනී නිර්මාණයන් දෙස බලනා විට නිතැතින්ම සිදුවිය යුතු වූයේ වත්මනේ පවතින නිර්මාණ ගව් ගණනක් ඉදිරියෙන් තිබිය යුතු වීමයි. නමුත් අවාසනාවකට ඒ සියල්ල යටපත් කර තමා ඉන්දියානු බලිතොවිල් ලාංකීය රූපවාහිනී නාලිකා ආක්‍රමණය කොට හමාරය. ඒ හා සමානව තකට තක පෑහෙන්නට පටන් ගත්තේ එය මූලාශ්‍ර කර ගනිමින් නිමවෙන අපේ නිර්මාණකරුවන්ගේ බෙලි කටු මාලය.

තවද මුල් කාලයේ නිම වූ නිර්මාණයන්හි දක්නට ලැබුණු විශේෂතම ලක්ෂණය වූයේ නළු නිළිවරණයන් (casting) නියමාකාරව ඉටු කොට තිබීමය. දක්ෂතාවයෙන් හෙබි නියම සුදුස්සාට සුදුසු තැන ලැබුණි. එමෙන්ම එදා රංගනයෙන් සම්බන්ධ වූයේ හැකියාවන්ගෙන්, දක්ෂතාවයන්ගෙන් පිරිපුන් උදවිය මිස අද දවසේ පෙනී සිටින තාරකා යැයි හඳුන්වන අයවලුන් නොවේ. දිමුතු මුතු හි නන්දා ටෙලිනාට්‍ය ආරම්භ වනතුරුම ලංකාවේ සිටි සාමාන්‍ය තරුණියකි. නමුත් ඇය තම චරිතය තුළින් කළ බලපෑම කවරේදයත් එවක තරුණියන් තම විලාසිතාව ලෙසින් ඇට මාලයක්, ඔසරියක් අඳින්නට පුරුදු විය. එදා සමාජයෙන් එවැනි දෑ සමාජය වෙත ගලා ඒමේදී අද ටෙලි නිර්මාණයන්ගෙන් සිදු වන්නේ බහුල වශයෙන් දූෂණ, අනියම් සම්බන්ධතා මිනිමැරුම්, මංකොල්ලකෑම් ආදී දෑ සමාජය වෙත බද්ධ කිරීමයි. එදා බිහිවූ ටෙලි නිර්මාණ සුළුතරයක් තුළ මෙවැනි දෑ දර්ශනය ලෙසින් හෝ නාමික ලෙසින් ඉදිරිපත් වුවද ඒ සියල්ල යටපත් වූයේ අනෙකුත් නිර්මාණයන්ගේ පවතින ප්‍රබල බව නිසාවෙනි.

නමුත් අද වන විට සිදුව ඇත්තේ අනෙකකි. එනම්, ඉන්දියානු කතා ගොන්නක් අතරට සිර වී තවද දේශීය යනුවෙන් හඳුන්වන කිසිදු වැදගැම්මකට නැති කතා මාලාවන් තුළ අපාගත වෙමින් ඇස් කන් ඇරගෙන බලා සිටීමට සිදු වීමයි. දික්කසාද වීම්, අනියම් සබඳතා හුවා දක්වමින් ස්ත්‍රී දූෂණ මංකොල්ලකෑම් සාමාන්‍ය දෑ ලෙසින් පෙන්නුම් කරන ටෙලිනාට්‍ය පිරි සමාජයක අද අපි ප්‍රේක්ෂකයෝ වෙමු. (සෘජුවම ප්‍රායෝගික සමාජයට මෙය බලනොපෑවද බලපෑවද ළමා පරපුරේ මනසට කාන්දු වන්නේ ඉහත දෑය.) මේ සියල්ල සිදු වන්නේ එක් එක් රූපවාහිනී ආයතනවල ආශාවන් හා බලපෑම අනුවය. ඉන් මිදීමට කලයුතු වන්නේ දේශීය වශයෙන් වන අර්ථාන්විත නිර්මාණයක් ඉදිරිපත් කළ යුතු වීම වුවත් ඉන්දියානු බලි තොවිල් අනුගාමිකයන් කරන්නේ ඊටත් එහා දෑය.

රෝහණ විජේවීරයන් තම දේශපාලන පන්ති පහ තුළ වරෙක කියාපෑවේ ශ්‍රී ලංකාව අනාගතයේදී ඉන්දියාවේ ග්‍රහණයට නතු වන බවයි. එහි දේශපාලනමය අරුත කෙසේ කෙසේ වෙතත් අද වන විට එය වෙනස්ම අයුරකින් ලාංකීය සමාජ පද්ධතියම වෙළාගෙන සිටියි.

නන්දලාට, පළිඟු මැණිකේලාට, සූරසේනලාට ළං වීමට තවමත් කිසිදු නළුවකු හෝ නිළියක සමත්කම් දක්වා නැත. ඩයස් මුදලාලිලා, සුදු සීයලා සිටියේ නම් තවමත් මේ බිම රංග භූමියකි. ඩල්සි ආච්චිට, දීප්තිට රසිකයන් තුළ තිබූ සෙනෙහස තවමත් අඩුවක් වී නැත. කාලයක් යනතුරු ඉරිදා රාත්‍රී 8.30ට හැමගේ හිත්වලට නාලන් මෙන්ඩිස් කතා කළේ යශෝධා විමලධර්ම ඇතුළු පිරිවරගෙනි. මේ සියල්ල පවුලේ සාමාජිකයටන් තරමටම රසික සිත්සතන් තෘප්තිමත් කළෝය.

ලාංකීය රූපවාහිනී ක්ෂේත්‍රයට ටෙලි නාට්‍ය කලාව හඳුන්වා දුන්නේ ඩී. බී. නිහාල්සිංහයන්ය. එය නමින් දිමුතු මුතුය. ඔහු එනමින් එය හඳුන්වන්නට ඇත්තේද ප්‍රථම ටෙලියෙන් පසු බිහිවන ටෙලි නාට්‍ය මෙකී ස්වර්ණමය අගයක් ගන්නා නිර්මාණයක් ලෙස එළිදැක්වේ යැයි යන සිතුවිල්ල මතද විය හැකිය. ඔහු එසේ සිතුවේ නම් වත්මන වන විට ඒ ස්වර්ණමය සිතිවිල්ල රූපවාහිනී ආයතන, අධ්‍යක්ෂකවරුන් හා නළු නිළියන්ද ඇතුළුව බහුතරය විසින් විනාශ කර දමනු ලැබ අවසන්ය.

රූපවාහිනියට මහඟු මෙහෙයක් කළ ඩී.බී. නිහාල්සිංහයන්ට අවසාන වශයෙන් කීමට ඇත්තේ ඉතින් මහතාණෙනි, ඔබ විසින් ආරම්භ කරන ලද ටෙලි නාට්‍ය කලාව මේ වන විට අගුරු වී හමාරව ඇති බවයි.

[රජිත බස්නායක]

News Order: 
5
මාතෘකා