සමාජ මාධ්‍යත් හරියට පිහියක් වගේ

 ඡායාරූපය:

සමාජ මාධ්‍යත් හරියට පිහියක් වගේ

පරිහරණය කරන්නා මතයි එහි හොඳ නරක තීරණය වෙන්නේ වෛද්‍ය බෝධිනී සමරතුංග

ඇය ඉසිවරියකි. එනමුදු ඇගේ විමසුම යොමු වන්නේ මිනිස් සිරුරේ නහරවැල් පුරා දිවයන විවිධාකාර රෝග ධාතු ගැන සොයන්නට පමණක් නොවේ. මිනිස් සිතක නැඟෙන අනන්ත අප්‍රමාණ සිතිවිලි ගැනද ඇය අසීමාන්තිකව සංවේදීය. කයේ රෝග නසන්නට බෙහෙත් පමණක් නොව කුලුණු ගුණයද ඕනෑ බව සිහිගන්වමින් ඈ තමාට හමුවන රෝගීන්ට උවටැන් කරන්නීය. එපමණක් නොව ඒ තැවුල් දුක් දොම්නස් සිය සිතින් දරමින් අකුරු මුතුවැල්ද අමුණන්නීය. ඒ හෙට දවසේ සුවපත් ලොවක් තනන්නට ඉසිවරියක ලෙස තමා සතු යුතුකම ගැන මහමෙරක් ලෙස සිතේ තබාගෙනය. තවත් අටුවාටීකා කුමකටද? අපි ඇය හඳුනා ගනිමු. වෛද්‍ය බෝධිනී සමරතුංග.... 'රැස'පාඨකයන්ට නම් ඇය අමුත්තියක නොවේ. සතියකට වරක් රැස සෞඛ්‍ය පිටුවේ 'සායනික සටහන් නොවේ' තීරු ලිපිය තුළින් ඔබගේ හදවතට අමතන ඇය ලිය සමඟ පිළිසඳරකට එක්වූයේ සුපුරුදු සෙනෙහසිනි.

• ලිවීම සමඟ නෑකම ඔබට සමීප වන්නේ කුමන ආකාරයෙන්ද?

මම හිතන්නේ ඒ ආභාසය ලැබුණේ මගේ පවුලෙන්. මගේ අම්මා, අප්පච්චී අපේ පවුල තුළ පොත්පත් කියවීමට හැකි පරිසරයක් ඇතිකරලා තිබුණා. විදුහල්පතිවරයෙක් වූ ලොකු අත්තාගේ පුස්තකාලය කියවීමට තෝතැන්නක් වුණා. අපිට කුඩා කාලයේ තෑගි ලැබුණෙත් පොත්පත්. මහජන පුස්තකාලයේ සාමාජිකත්වය හරහා විශාල පොත් ප්‍රමාණයක් කියවන්න ලැබුණා. ඒ විදිහට පුංචි කාලේ ඉඳන්ම කියවීමට තිබුණු ආශාව තුළ ලිවීමට උනන්දුවක් ඇතිවුණා කිව්වොත් නිවැරදියි. මම අදටත් විශ්වාස කරන දේ තමයි පොත්පත් කියවීම තුළින් දරුවකුගේ පරිකල්පන ශක්තියට විශාල රුකුලක් ලැබෙන බව. කියවීමේදී චිත්‍ර රූප මැවෙනවා. ඒ තුළින් නිර්මාණාත්මක හැකියාව අවදි වෙනවා. නමුත් රූපවාහිනී තිරයක් දෙස බලාගෙන සිටින දරුවකුට ඒ තුළින් චිත්තරූප මැවෙන්නේ නෑ. පරිකල්පනය දියුණු වීමට එය බාධාවක්.

• පාසල ඒ සඳහා තෝතැන්නක් බවට පත්වෙන්නේ කෙහොමද?

ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ මම ඉගෙන ගත්තේ. පාසලේ සන්නිවේදන මාධ්‍යය ඉංග්‍රීසි වුණත් සිංහල භාෂාව අපි විෂයක් විදිහට හැදෑරුවා. සිංහල විෂය බාර පත්මා පෙරේරා ගුරුතුමිය තමයි මගේ ලේඛන කුසලතාව හඳුනාගත්තේ. 9,10,11 වසරවල ඉගෙන ගන්නකොට මම කවි ලියනවා. කථික සහ ගද්‍ය පද්‍ය තරගවලට ඉදිරිපත් වුණා. මම හිතන්නේ ලිවීම පුරුද්දක් බවට පත්වුණේ ඒ විදිහටයි.

• පසුකලෙක ඔබ කවි ලියන්නේ අන්තර්ජාලය තුළයි. ඒ ගැන මතකය අවදි කරනවා නම්?

වෛද්‍ය ශිෂ්‍යාවක්ව සිටි කාලයේ අන්තර්ජාලය තුළ කවි ලිව්වා. ඒ කාලයේ පුදුමාකාර උනන්දුවකින් කවි ලිව්වා කිව්වොත් නිවැරදියි. ඊටත් කාලයකට පස්සේ 2007 වසරේදී පමණ මම 'කවියට පෙම්බැඳ " කියලා මගේම බ්ලොග් එකක් පටන් ගත්තා. ඒ බ්ලොග් අඩවියෙන් තමයි ගොඩක් අය මගෙ කවි කියෙව්වේ සහ කිවිඳියක් විදිහට මාව හඳුනාගත්තේ. පශ්චාත් යුද සමයේ උතුරට ගියාට පස්සේ මගේ ලිවීම තවදුරටත් පුළුල් වුණා කිව්වොත් හරි.

• ඒ කියන්නේ බොහෝ දෙනකුට අසීරුතා ගෙනදෙන දුෂ්කර සේවය ඔබ ආස්වාදයක් බවට පත්කරගත්තා?

ඇත්තටම ඒ කාලය ගැන අදටත් හිතේ තියෙන්නේ අපූර්වතම මතකයක්. විශේෂයෙන් යුද්ධය අවසන් වූ කාලයේ උතුරු කොනේ රෝහලක ගතකළ ඒ කාලය තුළ අත්දැකීම් රාශියක් ලබාගත්තා. ඒ කාලයේ මුහුණ දුන් බොහෝ සිදුවීම් ඉතා අනුවේදනීයයි. මට මතකයි, ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය කුමාරසිරි මහතා සායන වටයේදී සංවේදී සිදුවීමක් මතු වූ දිනක ඒ ගැන ලියන්න කියලා කීවා . එතුමා වගේම අපේ මිතුරු වෛද්‍ය කාර්යමණ්ඩලය දැන සිටියා මට යම් ලිවීමේ හැකියාවක් තිබෙන බව. ඉතින් ඒ වගේ සිදුවීම් දිනපතා, මම පටන්ගත් අනිත් කොන බ්ලොග් පිටුව ඔස්සේ ලිව්වා. එහෙම ලියූ බ්ලොග් සටහන් එකතුවක් තමයි 'අනිත් කොන' නමින් 2014දී පොතක් විදිහට පළ කරන්නේ. ඒ සමඟම 'මනුපුර සක්මන' කියලා කවි පොතකුත් නිකුත් කළා. ඒ සඳහා ඉතා හොඳ ප්‍රතිචාර මට ලැබුණා. අනිත් කොන පොත කියවා එවකට නේෂන් පුවත්පතේ ප්‍රධාන කර්තෘව සිටි මාලින්ද සෙනෙවිරත්න මහතා මට ඒ පුවත්පතට 'Northern log' නමින් තීරු ලිපියක් ලියන්න අවස්ථාව ලබාදුන්නා.

• 'සායනික සටහන් නොවේ' කියන්නේ ඔබේ ලේඛන කලාව වෙනස් කළ තීරු ලිපි පෙළ කිවහොත් නිවැරදිද?

ඇත්තෙන්ම ඔව්. 'රැස' පුවත්පත සඳහා තීරු ලිපියක් ලියන්න මට ආරාධනා කළේ පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ මංජුල සමරසේකර මහතා. මෙය මා ලියූ බ්ලොග් සටහන්වලට වඩා වෙනස්. අනිත් කොන සටහන්වලදී ගොඩක්ම තිබෙන්නේ කතාන්දර. නමුත් සායනික සටහන් ඊට වඩා සංකීර්ණයි. ඒ කියන්නේ වෛද්‍යවරයෙක් විදිහට අප සායනික වටවලදී ලියන සටහන් තමා අපි සායනික සටහන් නමින් හඳුන්වන්නේ. මේවා සායනික සටහන් නොවේ. අපේ රටේ සෞඛ්‍ය ගැටලු ගැන ඊට එහා කතා කළ යුතුයැයි මට හැඟුණා. ඇතැම් විට වෛද්‍යවරයකුට රෝගියාට මේ බෙහෙත් ටික ගන්න කියලා තුණ්ඩුවක් ලියලා දීලා සෑහීමකට පත්විය නොහැකි අවස්ථා තිබෙනවා. රෝගය සහ රෝගියාට එහා ගිය සමාජ අර්බුද මම දකිනවා. මේ සමාජ ක්‍රමයේ වැරැද්ද නිසා හෝ නොදැනුවත්කම නිසා අගතියට පත්වන , අතරමං වන අවස්ථා තිබෙනවා . මේ සියල්ල ඔස්සේ රෝගයට ප්‍රතිකාර ගැනීම වගේම රෝගයක් වළක්වා ගැනීම ගැනත් දැනුමක් අවබෝධයක් ලබාගත හැකි ආකාරයටයි සායනික සටහන් ලියවෙන්නේ. ඇතැම් වෙලාවට වෛද්‍ය සිසුන් පවා එයින් ඔවුන් දැනුමක් ලබාගන්නා බව පෞද්ගලිකව මට පවසා තිබෙනවා. ඒ වගේම මගේ මේ සටහන් පෙළේ අරමුණ වෛද්‍යවරුන් පිළිබඳ ජනතාව තුළ තිබෙන ආකල්ප සුබවාදී වෙනසකට ලක්කිරීමයි.

• ඒ ගැන වැඩිදුරටත් පැහැදිලි කරනවා නම්?

වෛද්‍යවරියක ලෙස ලබා තිබෙන අත්දැකීම් අනුව මට හැඟෙන කරුණක් තමයි ඇතැම් අවස්ථාවල වෛද්‍යවරයා සහ රෝගීන් අතර විශාල පරතරයක් තිබෙන බව. ඒ කියන්නේ තමන්ගේ රෝගය ගැන, ප්‍රතිකාර ගැන පවා වෛද්‍යවරයාගෙන් වැඩිදුර තොරතුරු විමසන්න රෝගියා මැළිකමක් බියක් දක්වනවා. එය හොඳ තත්ත්වයක් ලෙස මම දකින්නේ නැහැ. ඉතින් සායනික සටහන් නොවේ තීරු ලිපි තුළින් ඒ පරතරය නැතිකරන්න, ආකල්පමය වෙනසක් ඇතිකරන්න මම මට හැකි පමණින් දායක වනවා. අනෙකා කෙරෙහි සංවේදී නොවීම මේ සමාජයේ විශාල අර්බුදයක් බවට පත්වෙලා බව මම දකිනවා. ඒ වගේම සහකම්පනය කියන දේ අපේ සමාජයේ නැත්තටම නැතිවෙලා. වෛද්‍ය ආචාරධර්ම හා අනුගතවන ලෙස සෞඛ්‍ය ගැටලු ආශ්‍රිතව යම් කථිකාවක් ගොඩනඟන්න මම උත්සාහ කරනවා පාඨක ප්‍රතිචාර තුළින් මට හැඟෙනවා මගේ වෑයම යම් දුරකට සාර්ථක වී ඇති බව. එය මට විශාල සතුටක්.

• පොත් ලිවීම සතුටක් වුවත් පොත් අලෙවි කරගැනීම ගැටලුකාරී බවට කතුවරුන් අතර මැසිවිල්ලක් තිබෙනවා. ඒ ගැන ඔබේ අදහස කුමක්ද?

යම් තරමකට මම ඒ අදහසට එකඟ වනවා. පොත් ප්‍රකාශනය තුළ යම් ඒකාධිකාරයක් තිබෙනවා. ඒ වගේම හොඳ පොතක් කියන්නේ සම්මානනීය පොතක් බවට ඇතැමුන් තුළ වැරදි මතයක් තිබෙනවා. ඇතැම් විට හොඳ පොත් පාඨකයා අතරට යන්නේ නැහැ. එයට හේතුව කුමක් වුවත් එය අයහපත් තත්ත්වයක්.

• වෛද්‍යවරියක්, මවක්, ලේඛිකාවක්, ගෘහණියක් යනාදී චරිත කිහිපයකට පණ පොවන ඔබ ඒ සියලු කටයුතු සඳහා කාලය සොයාගන්නේ කොහොමද?

මම හිතන්නේ කැමැත්තෙන් කරන දේවල් සඳහා කෙසේ හෝ කාලය වෙන්කර ගන්නවා කීවොත් නිවැරදියි. වෛද්‍ය වෘත්තිය වගේම ලිවීමත් මම ඉතා ආසාවෙන් කරන්නේ. ඇතැම් විට ලැබෙන කුඩා විවේකය තුළ මම ජංගම දුරකථනය මඟින්ම ලිවීම කරනවා. එම නිසා ආයාසයෙන් වේලාව සොයාගන්න අවශ්‍ය නැහැ. මම හැම දේම සර්ව සම්පූර්ණව කරගන්නවා නොවේ, කොහොමහරි කළමනාකරණය කරගන්නවා කීවොත් නිවැරදියි. ඒ වගේම සැමියා සහ මගේ පවුලේ අයගෙන් මට ඒ නිදහස සහ සහයෝගය ලැබෙනවා.

• පවුලේ නීරෝගී බව, සෞඛ්‍යය රැකගැනීම සඳහා කාන්තාවක සතු වගකීම ඔබ දකින්නේ කුමනාකාරයෙන්ද?

රෝගයට ප්‍රතිකාර ගැනීමට වඩා වැදගත් වන්නේ රෝගවලින් වැළකී සිටීමයි. විශේෂයෙන් බෝ නොවන රෝගවලින් වැළකී සිටීම සඳහා ව්‍යායාම, යහපත් ආහාර පුරුදු ඉතාම වැදගත්. ඒ වගේම රෝග ගැන දැනුවත් වීමත් වැදගත්. වර්තමානයේ සෑම අයකු අතම ස්මාර්ට් දුරකථනයක් තිබෙනවා. ඉතින් ඕනෑම රෝගයක් ගැන අන්තර්ජාලය තුළින් තොරතුරු දැනගත හැකියි . මම හිතන්නේ ඒ අවබෝධය කාන්තාවකට ඉතා වැදගත් වනවා. ඒ වගේම විශේෂයෙන් මවුවරුන්ට තමන්ගේ දරුවන් පිළිබඳ විශේෂ අවධානයක් සැලකිල්ලක් යොමු කිරීම අත්‍යවශ්‍යයි. කොයිතරම් කාර්යබහුල වුවත් ඔවුන් වෙනුවෙන් අවධානය යොමුකිරීමත් වත්මන් සමාජය තුළ අත්‍යවශ්‍යයි. මොකද මේ වන විට ඇතැම් දරුවන් බෝ නොවන රෝග, ආතතියට, විෂාදයට බොහොම කුඩා කාලයේදීම ගොදුරු වී සිටිනවා. එම තත්ත්වය වළක්වා ගැනීමට මවකට වැඩි වගකීමක් පැවරෙනවා.

• සමාජ මාධ්‍ය භාවිතයේදී සැලකිලිමත් විය යුතු කරුණු මොනවාද?

සමාජ මාධ්‍ය කියන්නේ පිහියකට සමාන දෙයක්. එය පරිහරණය කරන්නා මතයි එහි හොඳ හෝ නරක තීරණය වෙන්නේ. එය හොඳ සන්නිවේදන මාධ්‍යයක්. විශේෂයෙන් සමාජ ව්‍යසනයකදී , ආපදාවකදී බොහෝ ඵලදායී ප්‍රතිඵල ලබාගත හැකියි. ඒ වගේම අයහපත් දේත් ඒ තුළ ඉක්මනින් පැතිර යනවා. ඒ නිසා හොඳම දේ සමාජ මාධ්‍ය භාවිත කළ යුත්තේ ස්වයං වාරණයක් හික්මීමක් ඇතිවයි. එවිට විනාශකාරී දේවල් සිදුවීමට ඇති ඉඩකඩ අවම වනවා.

වෛද්‍ය බෝධිනී සමරතුංගගේ 'සායනික සටහන් නොවේ' කෘතිය ළඟදීම මුද්‍රණ ද්වාරයෙන් ඔබ අතට පත්වීමට නියමිතය. ඇගේ වෙද හදේ ඒ සොඳුරු වත්කම ගැන ඔබේ අදහස්ද පිළිගන්නට ඇය සෙනෙහසින් බලාහිඳී.

[දෙව්දුනි මදුෂිකා]

------

ලියක් මනාලියක් වෙන සුන්දර දවස

මනාලියක් වන දිනය යුවතියකගේ ජීවිතයේ සුන්දරම දවසයි. ඒ ලස්සනම දවස අතිශය සුන්දරව ඉන්නට හැම යුවතියක්ම කැමතියි. නෑ හිතමිතුරන්ගේ දෑස් මනාලිය ළඟ නතර වී ඒ අපූරු සුන්දරත්වය විඳගන්නට නම් ඒ ලස්සන දවසේ මනාලියගේ සුන්දරත්වය කැපී පෙනෙන එකක් විය යුතුයි. ඒ සඳහා වැදගත් සේවාවක් ඉටුකරනු ලබන්නේ ඔබ තෝරා ගන්නා රූපලාවණ්‍ය ශිල්පිනිය හෝ ශිල්පියායි. එම තෝරා ගැනීම ඔබේ කැමැත්ත පරිදි සිදුකළ යුතුය. එසේ සුදුසු අයකු තෝරාගත් පසු හැඩගැන්වීම පිළිබඳ එම ශිල්පියා හෝ ශිල්පිනිය සමඟ අවම වශයෙන් මංගල දිනයට මාස හයකටවත් පෙර කතාබහ කරගත හැකි නම් වඩාත් සාර්ථක ලෙස ඔබගේ හැඩගැන්වීම කරගත හැකියි.

ඔබ පැහැයෙන් අඩු යුවතියක් නම් ඔබේ හැඩ ගැන්වීම් ශිල්පියා හෝ ශිල්පිනිය සමඟ කතාබහ කර සමේ නීරෝගී බව සහ පැහැපත් බව වැඩිකර ගැනීමට කළ යුතු සත්කාර මොනවාදැයි දැනගත හැකියි. සාමාන්‍යයෙන් එහිදී ස්වාභාවික සත්කාරවලට යොමුවීම වඩා වැදගත් වනවා. කැරට් යුෂවලට ඔබේ සමේ අඳුරු පැහැය අඩුකරලීමට හැකියාවක් තිබෙනවා. ඒ වගේම අධික තරබාරු බව නිසාත් බොහෝ යුවතියන් කනස්සල්ලට පත්ව සිටිනවා. විශේෂයෙන් එම නිසා මංගල දිනයේදී තමා අවලස්සනට දිස්වන බවට ඔවුන් තුළ කනගාටුවක් තිබෙනවා. එම නිසා මංගල දිනයට පෙර ඔබ ඔබේ ශරීරයේ හැඩය පිළිබඳව සැලකිලිමත් වීම ඉතා වැදගත්. කොමඩු, ඇපල්, පැපොල් සහ දොඩම් වැනි පලතුරු යුෂ පානය කිරීමෙන් සිරුරේ බර අඩු කර ගැනීමට හැකියාවක් තිබෙනවා.

මනාලියකගේ සුන්දරත්වය ඉස්මතු වන්නට බලපාන තවත් වැදගත්ම කරුණක් වන්නේ හිසකෙස් විලාසිතාවයි. අද බොහෝ යුවතියන්ට තිබෙන ප්‍රධාන ගැටලුවක් වන්නේ හිසකෙස් ගැලවී යෑම සහ හිස්සොරියි. ඔබත් එවැනි ගැටලු නිසා පීඩා විඳින යුවතියක නම් මනාලියක වීමට පෙර ඒ සඳහා ප්‍රතිකාර ගත යුතුයි. දෙහි සහ උළුහාල් තම්බා හිස් කබල සේදීම මඟින් හිස්හොරි අවම කර ගැනීමට පුළුවන්. ඒ වගේම ඇතැම් යුවතියන්ගේ හිසකෙස් බොහෝ තුනීවට පිහිටා තිබෙනවා. එඬරු තෙල් ආලේපය මඟින් ඔබට හිසකෙස්වල තුනී ගතිය අඩුකර ගැනීමට හැකිවේවි. ඒ වගේම රතු ලූනු සහ ගොටුකොළ යුෂ පානය කිරීමෙන් ඔබට හිසකෙස් වර්ධනය කර ගැනීමටද හැකියාවක් තිබෙනවා.

ඒ වගේම බොහෝ යුවතියන්ට තියෙන තවත් ප්‍රශ්නයක් වන්නේ උදරය ඉදිරියට නෙරා ඒමයි. මංගල ඇඳුමට එය ඉතා අසුන්දරව දිස්විය හැකියි. උදෑසන අවදි වූ වහාම උණු වතුර පානය කිරීම උදරය නෙරාඒම වළක්වා ගැනීමට උපකාරී වනවා.

දෑස කියන්නේ මනාලියකගේ මුහුණේ සුන්දරත්වය වැඩි කරන අංගයක්. නමුත් ඇස් වටා අවපැහැ ගැන්වී තිබීම ඒ සුන්දරත්වයට බාධා ගෙනදෙන්නක්. ඉදුණු අලිගැටපේරවලට නැවුම් කිරි හෝ කිරිපිටි කලවම් කර සතියකට තුන් වතාවක් පමණ ඇස් වටා ආලේප කිරීම මඟින් එම අවපැහැය අවම කරගන්නට ඔබට හැකියාව තිබෙනවා.

අධික ලෙස දහදිය දැමීමත් මනාලියකට පීඩාවක් ගෙනදෙන්නක්. එම නිසා ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම ඉතා වැදගත් වෙනවා. ශරීරයට අවශ්‍ය ජලය නොලැබීමෙන් දහදිය දුගඳ අධික ලෙස හැමිය හැකිය. එය සුන්දරත්වයට මෙන්ම පෞරුෂත්වයටද අවහිරයක්. එම නිසා උෂ්ණාධික ආහාරපාන ගැනීමෙන් වැළකී ඉරමුසු වැනි සිරුරට සිසිල ගෙනදෙන ඖෂධීය ද්‍රව්‍ය තම්බා පානය කිරීම මඟින් දහදිය දුගඳ වළකා ගත හැකියි.

ඉහත කී කරුණු මෙන්ම මනාලියකගේ සුන්දරත්වය ඔප දමන අත්‍යවශ්‍ය සාධකයක් ලෙස මේක්අප් හැඳින්විය හැකිය. ඔබ තෝරා ගන්නා රූපලාවණ්‍ය ශිල්පියාගේ ශිල්පිනියගේ දක්ෂතාව හා නිර්මාණශීලීත්වය මත ඔබේ මේකප් එක තීරණය වනු ඇත. මේකප් භාවිතයේදී යුවතියකගේ සමේ පැහැය, ඇඳුම්වල වර්ණය ආදී කරුණු රාශියක් පිළිබඳ සැලකිලිමත් විය යුතුයි. එමෙන්ම භාවිත කරන රූපලාවණ්‍ය නිෂ්පාදන උසස් ප්‍රමිතියකින් යුක්ත වීම සහ වැඩි වේලාවක් රඳා පවතින ඒවාද විය යුතුමයි. එමෙන්ම මේකප් භාවිතයට පෙර මනාලියක වීමට සිටින යුවතියගේ සමේ ස්වභාවය මනාව හඳුනා ගනිමින් එම සමට ගැළපෙන අයුරින් මේකප් භාවිත කිරීම රූපලාවණ්‍ය ශිල්පියාගේ ශිල්පිනියගේ වගකීම විය යුතුයි.

 

රූපලාවණ්‍ය ශිල්පිනී [සමීරා තරංගනී]

සැලෝන් සමීරා

පිටුම්පේ- පාදුක්ක.

------------------

ලිප්ස්ටික් තෝරන හරි විදිහ

[අසංක ප්‍රනාන්දුපුල්ලේ]

කේෂාලංකාර සහ රූපලාවණ්‍ය ශිල්පී

ප්‍රින්සස් කැරේජ් බ්‍රයිඩල් ඇන්ඩ්

සැලෝන්- දංකොටුව

සුසිනිඳු සුන්දර දෙතොලක් මඟින් යුවතියකගේ සුන්දරත්වය තවත් වැඩිවේ. එමෙන්ම එයින් මුහුණේ සුන්දරත්වයට වදනින් කිව නොහැකි ආකර්ෂණීය පෙනුමක්ද එක්වේ. එලෙස දෙතොල් සුන්දරව දිස්වීමට නම් ඔබේ තොල්වලට ගැළපෙන ආකාරයේ තොල් ආලේපන නැතිනම් ලිප්ස්ටික්ස් භාවිත කළ යුතුය.

තොල් ආලේපනයක් තෝරා ගැනීමේදී ඔබේ තොල්වල පැහැය මෙන්ම ආලේප කරන වේලාව, සහභාගි වන අවස්ථාව සහ අඳින ඇඳුම ආදී කරුණු කිහිපයක් සැලකිල්ලට ගත යුතුයි. උදාහරණයක් ලෙස උදෑසන කාලයේ භාවිත කරන තොල් ආලේපනයට වඩා තරමක් තද වර්ණයක් රාත්‍රී කාලයට තෝරාගත යුතුයි. මෙහිදී රාත්‍රී සාදයකට හෝ සාමාන්‍ය ගමනකට ගල්වන ආලේපනද පැහැයෙන් එකිනෙකට වෙනස් වේ.

දිවා කාලයේ සාමාන්‍ය ගමන් යන විට ඔබ තෝරා ගත යුත්තේ ළා පැහැයට හුරු ලිප්ස්ටික්ස්ය. ඒ සඳහා මුහුණේ සමේ පැහැයට ගැළපෙන ආකාරයෙන් ලිප්ස්ටික්ස් තෝරාගත හැකිය.

මෙය තෝරා ගැනීමේදී ඔබට පහසුම ක්‍රමයක් සඳහන් කරන්නම්. ඔබේ අතේ වැලමිට සහ මැණික් කටුව අතර ප්‍රදේශයේ අතේ ඇතුළු පැත්තට වන්නට සමෙහි තොල් ආලේපනයෙන් ස්වල්පයක් ගල්වා ඔබට ගැළපෙනම පැහැය තෝරාගන්න.

තවත් කරුණක් නම් ලිප්ස්ටික්ස් එකක් ආලේප කිරීමේදී ඔබ ඒ අවස්ථාවේ මුහුණට භාවිත කරන පවුඩර්, අයි ෂැඩෝ යනාදී සියල්ල සමඟ ඔබේ තොල් ආලේපනය ගැළපේද කියා සැලකිලිමත් වන්න. එසේ ආලේපන එකිනෙක ගැළපීමෙන් මුහුණට අපූරු සුන්දරත්වයක් එක්වේ. තවද ඔබ අඳින ඇඳුමේ පැහැය ගැනද සැලකිලිමත් වන්න. මේ කරුණු සියල්ල පිළිබඳ දැනුවත් වීමෙන් ඔබට වඩාත් සුදුසුම වර්ණ ගැළපීමක් සිදුකර ගත හැකිය. මෙසේ කරුණු කාරණා ගැන සැලකිලිමත් වූ පසුව අපි බලමු නිවැරදිව ආලේපන නැතිනම් ලිප්ස්ටික්ස් ආලේප කරන්නේ කෙසේද කියා.

මුලින්ම ආලේපනයක් ගැල්වීමට පෙර ඔබේ දෙතොල් හොඳින් පිරිසුදු කරගන්න. මෘදු බුරුසුවක් හෝ දත් බුරුසුවක් උපයෝගී කරගෙන ඉතා සෙමින් මදින්න. මෙහිදී අත තද කරන්න එපා. එසේ කළ විට ඔබගේ තොල් සීරීමකට ලක් විය හැකියි. එසේත් නොමැතිනම් පොඟවන ලද පුළුන්වලින් පිරිසුදු කරගන්න. මෙලෙස පිරිසුදු කර විනාඩි 15ක් පමණ ගතවූ පසුවයි ආලේපනය ගැල්විය යුත්තේ. මුලින් ලිප් ලයිනර් ඇඳගන්න. ලිප් බාම්, ලිප්ස්ටික්ස් ලිප් ග්ලොස්(අවශ්‍ය නම්) ආලේප කර ගන්න. මේ සියල්ල ආලේප කර ගත් පසුව ටිෂූ පේපර් එකක් භාවිත කර එය දෙතොල් අතර රඳවා පසුව දෙතොල් හොඳින් තද කරන්න. එසැණින් ටිෂූ එක ඉවත් කරන්න. එවිට වැඩිපුර ගෑවී ඇති ආලේප ඉවත් වී යයි.

ඔබ කවර ආකාරයක ආලේපන භාවිත කළත් එය නිවැරදිව හොඳින් ඉවත් කර විටමින් ඊ අඩංගු මොයිස්චරයිසර් එකක් හෝ ලිප් බාම් එකක් භවිත කිරීමෙන් තොල් අවපැහැගැන්වීම පාලනය කරගත හැකි බවද මතක තබාගන්න.

---------

සිරුරේ හැඩයට ගැළපෙන විලාසිතා

[මුතුහාරි අත්තනායක]

මෝස්තර නිර්මාණ ශිල්පිනී( විලාසිතා නිර්මාණවේදී ගෞරව උපාධිධාරිනී)

මඟතොට ගමන් කරන අවස්ථාවන්හිඳී සාප්පු සංකීර්ණයක හෝ නිමි ඇඳුම්හලක ප්‍රදර්ශනයට තබා ඇති ඇඳුමක් කෙරෙහි අප කාගේත් නෙත් යොමුවන්නේ නිතැතින්මයි. ඒ අනුව ඔබ එම ඇඳුම අඳින අවස්ථාවත් එයට පලඳින ආභරණ හා පාවහන් ආදිය පිළිබඳවත් මනසින් චිත්‍රයක් මවා ගන්නවා නොවේද.? නමුත් ඔබ සිහින මැවූ එම විලාසිතාව ඇඟලාගෙන බැලීමේදී එය කෙතරම් දුරට ඔබේ සිරුරට ගැළපුණාද? බොහෝ අවස්ථාවන්හිදී අප ප්‍රිය කරන විලාසිතා සිරුරේ හැඩය හේතුවෙන් ඇඳීමට නොහැකි වීම යුවතියක වශයෙන් ඔබ අත්දැක ඇති ප්‍රධාන ගැටලුවක් වන බව නොඅනුමානයි. එම නිසා එකිනෙකට වෙනස්වන ශරීර හැඩයන්ට උචිත ලෙස වඩාත්ම ගැළපෙන විලාසිතා තෝරාගන්නේ කෙසේදැයි මෙවර විමසා බලමු.

ඔබගේ සිරුරේ හැඩය හඳුනා ගන්නේ කෙසේද?

ශරීරයේ හැඩය හඳුනා ගැනීමට ඔබගේ ශරීරයේ වැදගත් ස්ථාන කිහිපයක මිනුම් අවශ්‍ය වේ. මිනුම් ගැනීම සඳහා නම්‍යශීලි මිනුම් පටියක් (Measuring tape) භාවිත කිරීමෙන් වඩාත් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකිය.

උරහිස- තමාගේ උරහිස වටා මිනුම ගැනීම තරමක් දුෂ්කර කාර්යයක්. ඔබේ යෙහෙළියක සමඟ එක්ව එක් උරහිසක මුදුනේ සිට අනෙක් උරහිස මුදුන දක්වා පළල වැඩිම ස්ථානයේ මිනුම ලබා ගන්න.

පපුව - පපුවෙහි මිනුම ගැනීමට පෙර සිරුර සෘජුව තබා ගැනීම ඉතාමත් අත්‍යවශ්‍ය කටයුත්තක්. ඔබගේ අත්වලට යටින් පපුවේ පළලින් වැඩිම ස්ථානය හරහා මිනුම ලබාගත යුතුය.

ඉණ - නාභියට ඉහළින් ඔබගේ සිරුරේ ඇති පළලින් අවම ස්ථානයේ මිනුම මේ සඳහා ලබාගත යුතුය.

උකුල- ශරීරයේ හැඩය නීර්ණය කිරීමේදී අත්‍යවශ්‍යම මිණුමක් වන මෙය නාභියට පහළින් පළලින් වැඩිම ස්ථානයේ මිනුම වේ.

ඉහත මිනුම් එකිනෙකට සංසන්දනය කර බැලීමේදී ඔබට හිමි වන්නේ කුමන වර්ගයක සිරුරක්දැයි ඔබටම වැටහේවි. ඇඳුම් පැලඳුම් නිසි ආකාරයෙන් තෝරා ගැනීමටත් ඔබටම වෙන්වූ අනන්‍යතාවකින් යුතුව විලාසිතා තෝරා ගැනීමටත් සිරුරේ හැඩය ඉතා වැදගත්ය. එකිනෙකට වෙනස් සිරුරුවල පෙනුම සහ හැඩය ඔප් නංවන අයුරින් එක් එක් ශරීර හැඩයට සුදුසු ඇඳුම් තෝරා ගන්නා අයුරු අපි දැන් විමසා බලමු.

ඇපල් හැඩති සිරුර (Apple shaped body)

ඔබගේ පහළ සිරුරේ මිනුම් හා සසඳන විට ඉහළ සිරුරේ මිනුම් වැඩි අගයක් ගන්නේ නම් ඔබ ඇපල් හැඩති සිරුරක් සහිත යුවතියකි. පළල් උරහිස සහ පළල් පපු ප්‍රදේශය මෙම යුවතියන්ට විශේෂයි. ඔබ ඇඳුම් පැලඳුම් තෝරා ගැනීමේදී ඉණ ප්‍රදේශයෙන් ඉහළ සිරුර සඳහා වැඩි අවධානයක් යොමු නොවන විලාසිතා තෝරා ගත යුතුයි. A –Line හැඩැති ගවුම් විලාසිතාවන්, මුද්‍රිත රෙදිවලින් නිම කළ විලාසිතාවන් මෙන්ම ගවුමට හෝ බ්ලව්සයට අමතර සැහැල්ලු කබායකින් (Over coat) සැරසීමට හැකි නම් එය ඔබගේ පෙනුම වඩාත් අලංකාර කරනු ඇත. තද පැහැති වර්ණයන්ගෙන් යුතු ඇඳුම් සහ ශරීරයට සිර නොවූ කලිසම් විලාසිතාවලින් (Palazzo pants) නිතරම සැරසුනහොත් ඔබ වඩාත් සුන්දර යුවතියක් ලෙස පෙනේවී.

පැය ඔරලෝසු හැඩති සිරුර (Hour glass shape)

ඔබ මෙවැනි සිරුරක් සහිත යුවතියක් නම් නිතැතින්ම ඔබගේ ශරීරයේ සුන්දරත්වය කෙරෙහි අන් අයගේ අවධානය යොමුවනු ඇත. ඉහළ ශරීර හා පහළ ශරීර යන දෙකම නියමිත අනුපාතයන්ට අනුව පිහිටා ඇත්නම් ඔබ සැබැවින්ම වාසනාවන්තියකි. මෙවැන් සිරුරක් හිමි ඔබ නිතැතින්ම මධ්‍ය සිරුරෙහි හැඩය ඉස්මතු වන පරිදි විලාසිතා කිරීම යෝග්‍ය වේ. ඉණ ප්‍රදේශයට තද වූ ගවුම් විලාසිතා, V හැඩති කර, බෙල්ට් යොදන ලද ගවුම් විලාසිතා ඇතුළු ඕනෑම වර්ගයක ඇඳුමක් මෙකී සිරුරට කදිමට ගැළපේවි.

පෙයාර්ස් හැඩැති සිරුර (Pear shaped body)

මෙහිදී ඔබගේ සිරුරේ පහළ ප්‍රදේශය අනිකුත් ප්‍රදේශයන් හා සැසඳීමේදී විශාල මිනුම්වලින් යුක්ත වේ. වර්තමානයේ බොහෝ යුවතියන්ගේ මේ ආකාරයේ සිරුරක් ලබා ගැනීමට විවිධ ක්‍රියාකාරකම්වල යෙදීම නොරහසකි. ඔබ නිසි ආකාරයෙන් විලාසිතා තෝරා ගන්නේ නම් ඔබේ සිරුර කාගෙත් ආකර්ෂණයට ලක්වෙන්නේ නිතැතින්මයි. ඇඟට සිර නොවූ කලිසම්, A- ලයින් හැඩයේ ගවුම් සහ විලාසිතා, රැලි සහිත බ්ලවුස් ඔබට වඩාත්ම ගැළපේවී.

සෘජුකෝණාස්‍රාකාර සිරුර (Rectangular)

ඉහළ, මධ්‍යම සහ පහළ යන ස්ථානයන් සියල්ලගේම එක සමාන මිනුම් සහිත වන්නේ නම් ඔබට ඇත්තේ සෘජුකෝණාස්‍රාකාර සිරුරකි. A- ලයින් හැඩති සාය, රැලි සහිත බ්ලවුස්, අත් රහිත, පටි රහිත ඇඳුම්, ජැකට් සහ OVER COAT ඔබගේ සුන්දරත්වය ඔප් නැංවීම සඳහා හේතුවනු ඇත.

ත්‍රිකෝණාකාර හැඩති සිරුර (Inverted triangle body)

ඔබ ක්‍රියාශීලී දිවිපෙවතක් ගත කරන යුවතියක් නම් බොහෝවිට ඔබට මෙවැනි සිරුරක් හිමිවනු ඇත. මෙහිදී ඔබ විලාසිතා තෝරාගත යුත්තේ උරහිස සහ අත් ඔප්නැංවෙන පරිද්දෙනි. උරහිස සහ උකුල ප්‍රදේශය අතර හැඩති සම්බන්ධයක් ගොඩනැඟීම සඳහා ඇඳුම් තෝරා ගත යුතුයි. විධිමත් අවස්ථාවන් සඳහා ගැළපෙන කලිසම්, ගවුම් විලාසිතා මෙන්ම V- කර සහිත ඇඳුම්ද මෙම සිරුරට යෝග්‍ය වේ. තමන්ගේ සිරුරේ හැඩය පිළිබඳව මනා අවබෝධයකින් පසුවීම විලාසිතාකරණයේදී ඔබට බොහෝ සෙයින් වැදගත්වන බව දැන් ඔබට අවබෝධ වන්නට ඇත. සාප්පු සවාරියේදී ඔබට හරියටම ගැළපෙන ඇඳුම් තෝරාගැනීමේ ගැටලුවම මෙම ලිපියෙන් පිළිතුරු ලැබෙන්නට ඇතැයි සිතමු.

--------

රස ඉහිරෙන ඩාර්ක් කුකින් චොකලට් කේක්

සූපවේදිනී [චාමලී මදනායක]

අවශ්‍ය ද්‍රව්‍ය

ඩාර්ක් කුකින් චොක්ලට් ග්‍රෑම් 200

බටර් ග්‍රෑම් 250

සීනි ග්‍රෑම් 250

පාන් පිටි ග්‍රෑම් 250

ලොකු බිත්තර 7ක් ( කුඩා ඒවා නම් 8ක් ගන්න )

කිරි මේස හැඳි 2

වැනිලා මේස හැඳි 1

බේකින් පවුඩර් ග්‍රෑම් 15g

මුලින් කුකින් චොක්ලට් තරමක් කුඩු කර ගන්න. එය භාජනයකට දමා බටර් සමඟ ළිප තබා උණු කරන්න. චොක්ලට් දියවන තුරු හැඳි ගාන්න. දියවූ පසු ළිපෙන් ඉවත් කරගන්න. ඉන්පසු බිත්තර සහ සීනි ක්‍රීම් වනතුරු බීට් කරන්න. ඒ අතර වැනිලා සහ කිරි එක් කරන්න. දැන් පිටි, බේකින් පවුඩර් හොඳින් හලාගන්න.

දැන් හොඳටම ක්‍රීම් කරගත් බිත්තර මිශ්‍රණයට හයි බීට් එකෙන් චොකලට් මිශ්‍රණය එක්කර ගසා ගන්න. මෙහිදී චොක්ලට් තරමක් නිවිය යුතු අතර රස්නය පිටින් දාන්න එපා. ඉන්පසු එයට පාන් පිටි ටික ටික එක්කර බීට් කරගන්න. දැන් තැටියක් ගෙන පතුලට තෙල් කඩදාසියක් දමා එයට කේක් මිශ්‍රණය දමන්න. ඉන්පසු විනාඩි 5-10ක් කලින් රත්කර ගත් උදුනට කේක් තැටිය දමා සෙ.ග්‍රේඩ් අංශක 180 උෂ්ණත්වයෙන් විනාඩි 25 – 30ත් අතර කාලයක් බේක් කරන්න. සාමාන්‍යයෙන් සෙ.මී 26ක විෂ්කම්භය සහිත කේක් තැටියක් නම් විනාඩි 45-50ත් අතර කාලයක් වැයවේ.

බේක් කරගත් කේක් එක නිවෙන්නට හැර ඇතුළ කපා චොකලට් අයිසින්වලින් සැන්ඩ්විච් කරගන්න. කේක් එක උඩද චොක්ලට් අයිසින්වලින් සරසා ගන්න. හෙලොවීන් උත්සවයට මෙය යොදාගන්නවා නම් මාෂ්මෙලෝ ෆොන්ඩන්ට් එකෙන් සාදාගත් කුඩා වට්ටක්කා ගෙඩිවලින් සරසා ගත හැකිය.

-------

අයිසින් මල් පාඩම- 4

කුඩා මල් හදමු

[දිනේෂි අමරකෝන්]

කේක් සැරසිලි කිරීමේදී ප්‍රමාණයෙන් විශාල මල් අතර ඇතිවන හිඩැස් පිරවීමට කුඩා මල් අවශ්‍ය වෙනවා. එවැනි කුඩා මල් සාදාගන්නා ආකාරය විමසා බලමු.

මේ සඳහා ගම් පේස්ට් අයිසින්, මල කපා ගැනීමට කටර් එකක්, මල සඳහා කම්බි, ගම් ටේප් , වතුර හෝ අයිසින් අලවන ගම් වර්ගයක් අවශ්‍ය වනවා.

පළමුව මලකට අවශ්‍ය තරමට අයිසින් ප්‍රමාණය ගෙන හොඳින් ගුළි කර උඩින් අයිසින් වැඩි ප්‍රමාණයක් සහ පහළට සිහින් වන ආකාරයේ දිගටි පොහොට්ටුවක් ආකාරයට සකසා ගන්න. පසුව එහි නටුව කොටස උඩට සිටින සේ හරවා බෝර්ඩ් එක මත තබා මලේ පෙති කොටසට ගෙන වටේට තුනී කරගන්න. මේ සඳහා rolling pin එක ආධාර කරගත හැකියි. දැන් cutter එක ඒ අතරින් යවා මල කපා ගන්න. මලේ පෙති ටික foam pad එක මත තබා මඳක් tool කරගන්න. පෙත්තේ ඇතුළු පැත්තෙන් මැදින් පොඩි ඉරක් ඇඳගන්න. Tool set එකේ ඇති tool එකකින් එය වඩා පහසු වේ. කම්බිය ගෙන උඩ කෙළවර කොක්කක් ලෙස නවාගන්න. ගම් ආලේප කර මලේ මැදින් පහළට ගෙන මල රඳවා ගන්න. මලේ පෙති ටික පහතට සිටින සේ dry foam pad එකක් මත හෝ හිස් බිත්තර ඇසුරුම් පෙට්ටියක් මත තබා පැයක් දෙකක් වේළා ගන්න.

එලෙසින්ම කොළ පාටින් ප්‍රමාණයෙන් කුඩා මනි පත්‍රයක් කපාගෙන මලේ යටින් කම්බිය අතරින් මල දෙසට තල්ලු කරන්න. ගම් ස්වල්පයක් ආලේප කර මඳක් තද කර නැවත පෙර පරිදි මල වියළීමට තබන්න. මල් කිහිපයක් එකවර සාදාගන්නවා නම් මල් ටික කපාගෙන එකක් සාදාගන්නා තුරු අනෙක් ඒවා හොඳින් වසා තබන්න. මේ ආකාරයට ඔබ කැමති වර්ණයකින් මල් සාදාගන්න.

News Order: 
-1
මාතෘකා