එක්සත් ජාතීන්ගේ ජාතික ආදර්ශ තරුණ සංවිධානයේ ජාතික සමුළුව හෙට ඇරඹෙයි

 ඡායාරූපය:

එක්සත් ජාතීන්ගේ ජාතික ආදර්ශ තරුණ සංවිධානයේ ජාතික සමුළුව හෙට ඇරඹෙයි

තරුණයන් බලගැන්වීම, අදහස් පුළුල් කිරීම, අවි ආයුධ නොගෙන ප්‍රශ්න විසඳන ආකාරය අවබෝධ කිරීම මෙහි අරමුණක්

ජාතික තරුණ ආදර්ශ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තෙවැනි සමුළුව හෙට (19) සහ අනිද්දා (20) කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්වෙයි. දිවයින පුරා විසිරී සිටින තරුණ, තරුණියන් හාරසියයකට වැඩි ප්‍රමාණයක් මෙම සමුළුව සඳහා සහභාගිවීමට නියමිතය. විවිධ පළාත් කේන්ද්‍ර කරගනිමින් සංවිධානය කළ වැඩමුළු මාලාවකින් අනතුරුව මෙම ජාතික සමුළුව සංවිධානය කෙරේ. එම වැඩසටහන් හා සහභාගිවූ තරුණ, තරුණියන් අතරින් පළමුව ලියාපදිංචිවීමේ ක්‍රමවේදය අනුගමනය කරමින් මෙම සමුළුවට නියෝජිතයන් එක්ව සිටිති. මේ එම සමුළුවේ සංවිධායකයන් ජාතික සමුළුව සම්බන්ධයෙන් දැක්වූ අදහස්ය.

සමුළුවේ මුඛ්‍ය අරමුණ සම්බන්ධයෙන් පළමුවෙන්ම අදහස් පළකිරීමට එක්වූ‍යේ එම යොවුන් ආදර්ශ සංවිධානයේ නිර්මාතෘ ඉන්සාෆ් බාකීර් මාකාර්ය. එහිදී ඔහු සඳහන් කළේ රටේ තාරුණ්‍යය බලගැන්වීම මෙහි ප්‍රමුඛ අරමුණ බවයි.

රටේ තාරුණ්‍ය බල ගැන්වීම

එක්සත් ජාතීන්ගේ සංවිධානය හතළිහේ දශකයේ අග භාගයේදී ආරම්භ වුණා. ඊට පසුව ලෝකය තුළ ආදර්ශ සමුළු ආරම්භ වුණා. අපි ලංකාව ඇතුළේ කරන්නේ එක්සත් ජාතීන්ගේ සමුළුව ආදර්ශ කරගනිමින් කමිටු රැස්වීම් සංවිධානය කිරීමයි. උදාහරණයකට අපේ මේ ජාතික යොවුන් ආදර්ශ එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ආරක්ෂක සමුළුවක් තිබෙනවා. ඒ විෂයට කැමැති තරුණ, තරුණියන්ට ආරක්ෂක සමුළුව ආදර්ශනය කරගෙන ක්‍රියාත්මක වන එම කමිටුවට සම්බන්ධවිය හැකියි. ඒ වගේමයි අප සංවිධානයේත් මානව හිමිකම් සම්බන්ධයෙන් කතාකරන්න කමිටුවක් පැවැත්වෙනවා. තමන් කැමැති විෂය පථය නියෝජනය කරමින් මෙම ආදර්ශ සංවිධානයට එක්වන්නට පිළිවන්. අප ඔවුන්ට යම් රටක් නියෝජනය කරන්න අවස්ථාවක් දෙනවා. උදාහරණයකට යමෙක් ඉන්දියාව වෙනුවෙන් පෙනී සිටියදී තවත් කෙනෙක්ට පකිස්තානය නියෝජනය කරන්න සිද්ධ වෙනවා. දීර්ඝ කාලයක් තිස්සේ ඔවුන් අතර පවතින කාශ්මීර අර්බුදය විසඳීම ගැන අපි කතාකරද්දී ඉන්දියාව නියෝජනය කරන නියෝජිතයා ඉන්දියාවේ මතය මත හිඳිමින් කතාකළ යුතුයි.

පකිස්තාන නියෝජිතයාත් ඒ රටේ මතයයි ඉදිරිපත් කළ යුත්තේ. එතැනදී නිසි විසඳුමක් වෙනුවෙන් ඔවුන් අතර විතර්ක ඇතිවෙනවා. විවිධ න්‍යායන් ඉදිරිපත් වෙනවා. නමුත් ඒ කිසිවක් ඉන්දියාවෙන් හා පකිස්තානයෙන් පරිබාහිරිව සිදුවන දෙයක් නොවෙයි. අවසානයේ අපි එළඹි තීන්දු තීරණ ලේඛනයක් වශයෙන් සකස් කරලා එය එක්සත් ජාතීන්ගේ සංවිධානයට යොමුකරනවා. අපේ රට තුළ ඇති වාර්ගික ප්‍රශ්න, සිවිල් යුද අරගල ඇතුළු විවිධ ගැටලු ගැන අප මේ ආකාරයෙන් කතාකරනවා. උදාහරණයකට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය නියෝජනය කරන කමිටුවේදී ශ්‍රී ලංකාව නියෝජන කරමින් නියෝජිතයෙක් කරුණු දක්වද්දී සෙසු කණ්ඩායම් අනෙක් රටවල් නියෝජනය කරනවා. මෙම මත විවරණ, සාකච්ඡා ඔස්සේ අපි විවිධ සම්මුතීන්ට එළඹෙන්න හැකිතාක් උත්සහ කරනවා. ඒ වගේම මෙම වෑයමේදී අපට හැකියාව ලැබෙනවා රටක් වශයෙන් අප මුහුණදෙන ප්‍රශ්න වගේම ලෝකයේ රටවල්, ඒ රටවල මුහුණදෙන ගැටළුවල ස්වභාවය ගැන අවබෝධයක් ගන්නට. එය දේශපාලන හෝ වෙනත් පටු භේදවලින් තොරව සිදුකරන්නාවූ කාර්යයක්.

ඉන්පසු සංවාදයට එක්වූ එහි කමිටු සමාජික රිද්ම පතිරණ මෙහි වැඩමුළු ප්‍රාදේශීය තලයට රැගෙන යාම සම්බන්ධයෙන් අදහස් පළ කළා.

සහභාගිත්වය ප්‍රාදේශීය තලයට

අපි මේ වැඩසටහන ලංකාවේ ප්‍රධාන පළාත් නවයටම රැගෙන ගියා. දැනට අපි එහිදී තරුණ, තරුණියන්ගේ වැඩියෙන් සහභාගිවනවා දකින්නේ කොළඹ කේන්ද්‍ර කරගෙනයි. නමුත් එම තත්ත්වය ප්‍රමාණවත් නොවන නිසා ග්‍රාමීය ලෙස ජීවත්වන මේ රටේ තරුණයන් ඉදිරියට ගැනීමට අපි කටයුතු කළා. පසුගිය කාලයේ පළාත් කේන්ද්‍ර කරගනිමින් වැඩමුළු පැවැත්වූවේ ඒ නිසයි. අපි ගැටලු විසඳීමේදී කටයුතු කළ යුත්තේ කෙසේද කියන කාරණය ගැන මෙතැනදී අවබෝධයක් ගොඩනැගෙනවා. දැන් අපි අපේක්ෂා කරන්නේ මෙම අත්දැකීම් පුළුල් කරමින් ඔවුන් මෙය තවදුරටත් ව්‍යාප්ත කරනු දැකීමයි. එතැනදී අපි සම්පත්දායකත්වය, අත්දැකීම් පාර්ශ්වයෙන් උපකාර කරන්න සූදානම්. අපිට අවශ්‍ය වන්නේ අවි ආයුධවලින් ප්‍රශ්න විසඳන්න උත්සහ කරන තාරුණ්‍යයක් වෙනුවට ගැටලුවක් ඇතිවූ තැන පෑනයි, පුටුවයි, මේසෙයි අරගෙන සාකච්ඡා කරලා සම්මුතියකට පැමිණීමට උත්සාහ කරන කණ්ඩායමක් බිහිකිරීමයි.

ලෝකයේ තාරුණ්‍ය ගමන් ගන්නේ ඉතාමත් පෘථුල ගමනක. අපි ඒ තත්ත්වය අපේ තාරුණ්‍යය තුළ කුළුගැන්වීම මෙවැනි වැඩමුළු හරහා සිදුවෙනවා.

මෙවැනි සමුළුවලට සහභාගිවීම සඳහා භාෂාව බාධාකයක් නොවන බවට අදහස් දැක්වූයේ පළාත් වැඩමුළු සංවිධායක ආසිෆ් මවුජුඩ් විසිනුයි.

භාෂා ගැටුමකින් තොරයි

මෙම වැඩසටහන භාෂා ත්‍රිත්වයෙන්ම ක්‍රියාත්මක වෙනවා. ඉංග්‍රීසි භාෂාව දිරිගන්වමින් සිංහල සහ ද්‍රවිඩ භාෂාවන් භාවිත කරමින් සංවාදවල නියැලී තමන් සොයන පිළිතුර සපයා ගැනීමට සංවාදය කව හරහා අවස්ථාව උදාවෙනවා. අපි උතුරු පළාතේ පැවැත්වූ වැඩමුළුව සම්පූර්ණයෙන් දෙමළ භාෂාවෙන් පැවැත්වුවා. ඒක උතුරු මැද පළාත තුළ සිංහල භාෂාවෙන් සිදුකළේ. විවිධ පළාත් තුළ ජන සංයුතිය බලලා අපි ඔවුන් මෙම සංවාදයන්ට යොමු කරගැනීම සිදුකරනවා. කොළඹ කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන සමුළුව භාෂා ත්‍රිත්වයෙන්ම පවත්වනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ පරිවර්තන සහාය ලබාදෙන ආකාරයට එහි ආදර්ශ යොවුන් සංවිධානය තුළත් පරිවර්තන සහාය ලබාදෙනවා.

පසුගිය මාර්තු මාසයේදී අපි පළාත් මට්ටමින් සම්මන්ත්‍රණ ආරම්භ කළා. පළාත්වලින් සියයක පමණ පිරිසක් මේ සඳහා අපි සහභාගි කරගත්තා. වැඩි දෙනෙක් මේ සාකච්ඡාවට යොදා නොගත්තේ සියලු දෙනාට අදහස් දැක්වීමට අවස්ථාවක් තිබිය යුතු නිසයි. දැන් අපි ජාතික සමුළුව පවත්වන්නේ හාරසියයක පමණ පිරිසක් සහභාගි කරගෙනයි.

මෙලෙස අත්දැකීම් ලබාදීමේදී සාමාජිකයන් තෝරාගන්නා ක්‍රමවේදය පිළිබඳව සහ තරුණියන්ගේ අවස්ථාව සම්බන්ධයෙන් අදහස් පළ කළේ එහි පළාත් වැඩමුළු අනු සංවිධායිකා තිලෝකා යාපායි.

තරුණියන්ටත් සම අවස්ථාවක්

අපි පළාත් මට්ටමින් මේ වැඩමුළු සංවිධානය කිරීමේදී අවුරුදු 14 සිට 30 දක්වා තරුණ තරුණියන්ට සහභාගිවන්න අවකාශය සැලසුවා. මෙතැනදී ස්ත්‍රී, පුරුෂ ලෙස කිසිදු බෙදීමක් නැහැ. දැනටමත් අපේ බොහෝ කමිටුවල ප්‍රධානත්වය දරන්නෙත් කාන්තාවන්මයි. එතැනදී අපි විවෘත අවස්ථාවක් නිර්මාණය කරලා තිබෙනවා. තරුණයන්ට සහ තරුණියන්ට අවස්ථාව උදාකරගනිමින් තමන්ගේ නායකත්වයේ කෞෂල්‍යයන් වර්ධනය කරගන්නයි. එවිට ලිංග භේදයක් බලපාන්නෙ නැහැ. වැඩිපුර කැපී පෙනෙන කෙනාට එතැන අවස්ථාවන් විවර වෙනවා. ලෝකය පුරා පවතින යම් යම් ගැටලු ගැන අපි විසඳුම් සාකච්ඡා කරද්දී ඒ ප්‍රශ්නය මොකක්ද? ඒ සඳහා ලෝකය තුළ පවතින මතවාදය කෙසේද? එය විසඳීම සිදුකළ යුත්තේ කවරාකාරයෙන්ද? වගේ දේවල් ගැන අපි මේ විධියට සාකච්ඡා කරනවා. මෙම වැඩමුළුවලට මුලින්ම සහභාගිවන තරුණ, තරුණියන්ට ලොකු හඬ පෞරුෂයක්, අදහස් දැක්වීමේ හැකියාවක් පවා නොමැති අවස්ථා තිබෙනවා. නමුත් වැඩමුළුවක් අවසන් වද්දී ඔවුන් ඉදිරියට පැමිණීමට සමත් වෙනවා. නායකයන් වශයෙන් ස්ථානගතවන්න ඔවුන් හැකියාවන් පෙන්වනවා.

ඒ තත්ත්වය තමයි අපි වැඩිවර්ධනය කරන්නට යන්නෙ. අපිට අවශ්‍ය වන්නේ විශිෂ්ට තාරුණ්‍යයක් විසින් රටේ අනාගතය ඉදිරියේදී භාරගන්නවා දැකීමයි. අපේ සංස්කෘතික උරුමයන් රටක් වශයෙන් ආරක්ෂා කරගන්නා ගමන් ලෝකය සමඟ යන පුළුල් මානසිකත්වයක් සහිත තාරුණ්‍යයක් නිර්මාණයවීමට අවශ්‍ය ගාමක බලය සැපයීම තමයි අපි මේ ආකාරයෙන් වේදිකා තනන්නෙ. ඒ කටයුත්ත සමස්ත ලෝකයම පිළිගන්න එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි ආයතනයක් අනුගමනය කිරීමෙන් ඔවුන් ආදර්ශනය කිරීමෙන් අප සිදුකරනවා. ඒ නිසා අපි කියන්න කැමැතියි මෙවර සමුළුවට එන්න අවස්ථාව නොලැබුණු තාරුණ්‍යයට, පළාත් වැඩමුළු අත්දැකීම් ලබානැති තාරුණ්‍යයට ඉදිරි වසරේදී ඒ වෙනුවෙන් එක්වෙන්න කියලා. පාසල් මට්ටමිනුත් අපි මේ වැඩමුළු සංවිධානය කිරීමට අපේක්ෂාවෙන් සිටින බවත්, පාසල් සිසු දරු දැරියන්නට කුඩා කාලයේ සිටම මේ සඳහා එක්වන්නට හැකියාවක් උදාවන බවත් අපි අවසන් වශයෙන් කියන්න කැමතියි.

සංවාදය [කසුන් ඉරුගල්බණ්ඩාර]

ඡායා [ශාන් රඹුක්වැල්ල]

News Order: 
8
මාතෘකා