තහනම් වල්නාශක හොර පාරෙන් රජරටට

 ඡායාරූපය:

තහනම් වල්නාශක හොර පාරෙන් රජරටට

 

වකුගඩු රෝගය උත්සන්න කිරීමේ තහනමට ලක්ව ඇති ග්ලයිපොසෙට් විෂ රසායනික වල් නාශකය රජරට පුරා වෙළඳසැල්වල අධික මුදලකට අලෙවි වීම හේතුවෙන් නැවත වරක් පාරිසරික ගැටලු වලට මුහුණ දීමට සිදුව ඇති බව මහජනතාව පවසති.

රජරට පුරා ඇතිව තිබූ නියං තත්ත්වය හමාර කරමින් ගෙවී ගිය දින කිහිපය පුරා මාස් කන්නයේ වර්ෂාව ආරම්භ වීමත් සමඟ ගොවි ජනතාව මඩ බෝග මෙන්ම ගොඩ බෝග වගා කිරීම මේ දිනවල ලහි ලහියේ ආරම්භ කර ඇත. එහිදී වල් පැළෑටි සහ මුලින්ම මර්දනය සඳහා ගොවි ජනතාව මෙම තහනම් විෂ රසායනික සහිත වල්නාශක හෙවත් රවුන්ඩප් යොදා ගනී. පස බුරුල් කොට වල්නාශක ඉස දින කිහිපයකින් පසු බීජ සිටුවීම සිදු කිරීම නිසා බීජය ප්‍රරෝහණයේ සිටම මෙම විෂ රසායනික උරා ගනී.

මේ වන විට වෙළඳපොළේ ග්ලයිපොසෙට් කුඩු පැකට් වශයෙන් රු. 1600ක මුදලකට ලබා ගැනීමට හැකි බව ප්‍රදේශයේ ජනතාව පවසති. ලෝකයේ බොහෝ රටවල මෙම ග්ලයිපොසෙට් තහනම් කාෂි රසායනික ද්‍රව්‍යයකි. මීට වසර කිහිපයකට පෙර අප රටේද ග්ලයිපොසෙට් විෂ රසායනික වල්නාශකය භාවිතය තහනම් කෙරිණි. ග්ලයිපොසෙට් වැඩි ප්‍රමාණයක් අඩංගු, මිනිසාට තදබල අහිතකර රවුන්ඩප් වල්නාශකය තහනමට ලක්වුව ද රජරට පුරා ඇති සෑම කෘෂි අලෙවි වෙළඳසැලකින්ම පාහේ ලබා ගැනීමේ හැකියාව ඇත. තහනමට ලක් වූ රවුන්ඩප් වල්නාශක තහනමට ලක්වීමට පෙර රුපියල් 4000කට වෙළඳපොලේ අලෙවි වුවත් මේ වන විට වෙළඳපොලේ රුපියල් 8000ක් වැනි අධික මුදලකට අලෙවි වෙමින් පවතී.

ඉන්දියාවේ සිට ගෙන්වන මෙම තහනම් ග්ලයිපොසෙට් සහිත වල් නාශකය වූ රවුන්ඩප් කල්පිටිය ප්‍රදේශයේ සිට රජරට ප්‍රදේශය වෙත බෙදාහැරීම සිදු කරන බවද අනාවරණය වී ඇත. ලාංකීය පරිසරයට ගැළපෙන අවම විෂ රසායනික අඩංගු රජය විසින් අනුමත රවුන්ඩප් භාවිතයේදී සම්පූර්ණයෙන්ම වල්නාශක ඉවත් නොවීම හේතුවෙන් තහනම් වල්නාශක වෙත ජනතාව පෙළඹී ඇත. තහනම් ග්ලයිපොසෙට් අඩංගු වල්නාශකය මේ වන විට තැරැව්කරුවන් මාර්ගයෙන් අධික මුදලකට ගොවි ජනතාවට අලෙවි වෙමින් පවතී. වෙළඳපොලේ රජයේ අනුමත වල්නාශකවලට වඩා වැඩිඉල්ලුමක් පවතින්නේ තහනම් වල්නාශක භාවිතයටය.

මෙම රසායනික ද්‍රව්‍ය භාවිතයේ දී අස්වැන්න නෙලන තෙක් වල්පැළෑටි මර්දනය වීම තුළ ගොවි ජනතාව‍ පහසුව තකා මෙම වල් නාශක වෙත ඇබ්බැහි වී ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳ අනුරාධපුර පළාත් සභාවේ පළිබෝධනාශක අංශයේ නියෝජ්‍ය කොමසාරිස් ගෞරි සමරවීර මහත්මියගෙන් විමසීමක් කළ විට ඇය මෙසේ කීවාය,

“මෙවැනිම තත්ත්වයක් ඇති වුණා. එලෙස අලෙවි කරන පුද්ගලයන් අත්අඩංගුවට ගනු ලැබුවා. මෙය කාලීන ප්‍රශ්නයක්, මේක තුළ ජනතාවට කළ හැකි යමක් තිබෙනවා. මිලදී නොගැනීම හා එවැනි අලෙවි කරන ස්ථාන පිළිබඳ 119 දුරකථන ඔස්සේ දැනුම්දීම මගින් මෙම තත්ත්වය අවම කරගන්න පුළුවන්. අපේ නිලධාරීන් ගිහින් අත්අඩංගුවට ගන්නවා. නිතරම අපි ජනතාව දැනුවත් කරනවා. ඒත් ජනතාව ඒවට ඇහුන්කන් නොදීම තුළ තමයි මෙවැනි තත්ත්වයක් ඇති වෙන්නේ.

පාරිසරික මෙන්ම මිනිසාට තදබල ලෙස අහිතකර රසායනික ද්‍රව්‍ය හේතුවෙන් බරපතල සෞඛ්‍ය ගැටලු සඳහා මුහුණ‍දෙන්න වෙනවා. මේ ගැන කොපමණ දැනුවත් කළත් ජනතාව පිළිනොගන්නා එක බරපතළ ප්‍රශ්නයක්. මේ සඳහා කඩිනම් පියවර ගන්නවා.”

මිහින්තලේ සමූහ [ප්‍රියදර්ශනී කරුණාරත්න]

මාතෘකා