වැඩිහිටි නිවාසවල සිර කඳවුරු

 ඡායාරූපය:

වැඩිහිටි නිවාසවල සිර කඳවුරු

 

මෑතකදී රූපවාහිනියේ අපූරු දැන්වීමක් විකාශනය විය. රෝද පුටුවක සිටින වියපත් මහත්මයකු හා එම පුටුව ඉදිරියට තල්ලු කර ගෙන යන අයෙකුගේ රුවක් එහි දිස්වෙයි. රෝද පුටුවේ හුන් තැනැත්තා හිස හරවා නරඹන ප්‍රෙක්ෂකයාට මෙසේ කියයි.

තමාගේ නිවසේ ඇත්තේ කාමර කීපයක් බවත් ඒවා තම දරුවන්ට හා මුනුබුරන්ට අවශ්‍ය නිසා ඉඩ පහසුකම් නැති බවත් ඒ නිසා තමාට මේ වැඩිහිටි නිවාසයට පැමිණීමට ඉඩ ලබාදීම පිනක් බවත්ය. තමා මෙහිදී ප්‍රීතිමත් නිදහස් දිවියක් ගත කරන බවත්ය. එහිදී රෝද පුටුව තල්ලු කරන්නා හිස වනා සිනාසෙමින් එය අනුමත කරයි.

මේ සිදුවන්නේ කුමක්ද උපන්දා සිට තම නිවසේ සිට තම දරුවන් හදා වඩා කවා පොවා හැදු පියෙකු දැන් ඔහු තම නිවස අතහැර දා තනිපංගලමේ මේ නන්නාදුනනන් අතර හුදකලා වීම වඩාත් සැපදායක යයි කීමක්ද?

ඇතැම් විට මේ තැනැත්තා තම කුටුම්බයෙන් පලා ගොස් ඇත්තේ කිව නොහැකි යම් හේතු නිසා තම සුනඹුවනට හා දරුවනට කරදරයක් වූ කෙනෙකු විය නොහැකිද?

මිනිසා සාමාන්‍යයෙන් රංචු ගැසී එක්ව විසීමට ආශා කරන්නෙකි. තමාගේ රංචුවෙන් පිටත වාසය ඔහු නොරුස්සයි. එසේ කරන්නට සිදු වුවහොත් ඔහු මහත් සේ පීඩාවට පත් වෙයි. වියපත් අය කයින් අබල දුබල වන්නේ ඔවුන්ගේ වරදින් නොවන නිසා සිතින් දුබල නොවූ ඔවුන් ඒ සඳහා සිතෙන් ගෙවන වන්දිය මහත්ය.

තම පවුලේ සමීපතමයන් හා එක්ව විසීමෙන් ලබන සැනසීම හා සතුට ඔය කියන ඊනියා වැඩිහිටි නිවාසවල ඇති රූපවාහිනී දාම් ලෑලි හත්වාසි ගැසීමෙන් ලැබිය හැකි යයි පැවසීම ජීවිතය හරිහැටි අඳුනා නොගතවුන් ගේ ප්‍රලාපයකි. විවිධ අන්දමේ සැප සම්පත් ඇතැයි කීවත් එවාට ලොබ බැඳ තමා දිවි ගෙවු පවුල අතහැර පලා යා යයි සිතිය නොහැකිය.

ඇතැම් දරුවන් ද තම මවුපියන් ගෙන ගොස් එම නිවාසවල රඳවන්නේ ඔවුන්ට ඇති ආදරයකින් නොව කිසියම් බරපතළ කරදරයකින් ගැලවීමේ අරමුණකින් යයි කිව නොහැකි නොවේ.

කොතරම් සැප සම්පත් ඇතැයි කීවද තම දූ දරුවන්ගේ ලේ සුවඳ තැවරී ඇති ආදරය සමග සිටීමේ වැනි සැපයක් තවත් ඇත්දැයි කිව නොහැකිය.

මෙයින් මාපියන් දුරස් වී ගිය විට ඔවුන්ගෙන් දූ පුතුන්ට හා මුනුබුරු මිනිබිරියනටද ලැබිය යුතු රැකවරණය හා ආදරවන්ත කතා බහ හා පැරණි උපදේශ ලැබීමේ අවස්ථා අහිමි වී යන අතර ජීවිතයේ සැන්දෑ සමයේ වියපත් මාපියනට ලැබිය යුතු සෙනෙහස හා එක්ව සිටීමේ සතුටද අහිමි වී යාම වැළැක්විය නොහැකිය.

ඇතැම් විට වැඩිහිටි නිවාසයක රැඳ වූ මවුපියන් හා ඔවුන්ගේ දූපුතුන් එනම් ඊළඟ පරපුරේ සාමාජිකයන් අතර පැවතිය යුතු සෙනෙහෙබර සම්බන්ධතාවය තව දුරටත් නොබිඳී පවතීදැයි සැක සහිතය.

නිවාසවල සිරවී සිටින වියපත් මවුපියන් ඉන්නේ සතුටින් යයි ඔවුන්ගේ දරුවන් කියන්නා සේම එම මවුපියන්ද තම දරුවන්ට අවැඩක් වේයයි සිතා තමා සතුටින් සිටින බව තහවුරු කිරීම මෙහි ඇති සැඟවුණු ඛේදවාචකයයි.

මේ කතාන්තරය අපට කියා සිටින්නේ ඇතැම් මාපියන් තම සිතට හොරා බොරු කියන බවය. තවත් විදියකින් කියනවා නම් දුකේදී සැපේදී දරුවන් තමා ළඟ ඉන්නවා නම් ඔවුන් කැමති බවය. දරුවන්ගේ සැලකීම වඩාත් උවමනාවන්නේ ඔවුන් අබල දුබල වූ පසුවය. එය ඔවුන්ට සැපයීම දරුවන්ගේ යුතුකමක් නොවන්නේද? මාතු පෝසක ජාතකයේ ඇතෙකුත් ගුත්තිල ජාතකයෙදී ගුත්තිලත් තම අඳ මවුපියන් රැකබලා ගත් අයුරු බුදුන් වහන්සේ වදාරා ඇත්තේද ඒ කතාවය.

ඇත්තටම මේ නිවාසවල ඔය කියන සැප සම්පත් ඇත්දැයි අපි නිවාස කීපයක් ඇතුළට එබී බලමු. වැඩිහිටි නිවාස බොහොමයක් අපේ රටේ විවිධ පළාත්වල ඇති අතර ඒවාට ලොකු මිල ගණන් ගෙවා ඇතුළු වන සේවාදායකයන්ගෙන්ද අඩුවක් නැත. ඒවා සමහරක් ප්‍රමුඛ පෙළේ සංවිධාන මගින් පවත්වා ගෙන යන අතර පෞද්ගලිකව පවත්වා ගෙන යන ඒවා ද වෙයි.

සුඛෝපභෝගී රටාවෙන් යුතු එවැනි නිවාසයකට ඇතුළු වීම සඳහා ඇතුළුවීමේ ගාස්තුව රුපියල් ලක්ෂය දක්වා ගෙවිය යුතු වෙයි. ඒ හැර රුපියල් 30,000 සිට ඉහළට මාසික ගාස්තුවක්ද ගෙවීමට සිදුවන අතර ඇතැම් නිවාසවල මාසික ගාස්තුව රුපියල් 90,000 ඉක්මවයි. අසනීප තත්ත්වයකදී සමාජිකයා රෝහල්ගත කිරීමට සිදුවුණහොත් බාරකරුවෙකුගේ පැමිණීම ද අවශ්‍යවෙයි.

සාමාන්‍ය නිවාසවල එක් කාමරයක් 6 දෙනෙකු සඳහා වෙන් වෙයි. තනි කාමරයක් ලැබෙන්නේ ඉහළ පන්තියේ නිවාසවලය. මේ ඇසිරීම කෙනෙකුගේ පෞද්ගලිකත්වයට බරපතළ ලෙස හානි කරන අතර නේවාසිකයන් අතර මැසිවිලි නොහොඳ නෝක්කාඩු ඇති වීමට ඇති ඉඩ කඩ බොහෝය.

මේ බොහෝ නිවාසවල ආහාර ප්‍රශ්නය පිරිමහා ගන්නේ එදිනෙදා දානපතියන්ගෙන් ලැබෙන දානමානවලිනි. කෑම ගැනීමට ප්‍රථම කිරීමට නියමිතව ඇති පුණ්‍යානුමෝදනාව වැඩිහිටියන්ගේ පෞරුෂය හිඟන තත්ත්වයට ඇද දැමීමක් බඳු යයි එය ඇසින් දුටුවන්ගේ අදහසයි. මෙයින් සිදුවන්නේ ඔවුන් මානසික වශයෙන් ඇද වැටීමය.

මේවායෙහි සේවයේ යෙදෙන අයට ලැබෙන්නේ සොච්චම් වැටුපකි. ඇතැම් සේවකයන් කිසිම හිරිකිතයක් නැතිව දානපතියන් නේවාසිකයන්ට ගෙනෙන බොහෝ දේ කොල්ල කෑම නිරන්තරයෙන් සිදුවන බව දානපතියන්ගෙන් දැන ගන්නට ලැබීම කනගාටුදායකය.

මේ හැර එහි සේවකයන්ගෙන් තමා හැරදමා ආ නිවසේ අයගෙන් ලැබුණ සැලකිලි හා දයාව ආදරවන්ත ඉල්ලීම් බලාපොරොත්තු වීම බොරුය. ලැබුණොත් ඒ පැමිණි මුල් දිනවලදී පමණක් විය හැකිය. ලැබෙන්නේ ඉල්ලීම් නොව සිත් රිදවන ගොරහැඩි අණ කිරීම්ය. මුදල් අය නොකරන වැඩිහිටි නිවාස ඇතත් ඒවායේදී ලැබෙන පහසුකම් ගැන කතා කිරීම සිත් කලකිරවනසුලු ය.

ඒවාට ඇතුළු වන්නන්ට එම අවම පහසුකම් ඉවසා දරා ගැනීමට සිදුවනු ඇත. ඇත්තෙන්ම මේ බව දැන දැනම ඇතැම් වියපත් මවුපියන් මේ නිවාස කරා යන්නේ දරුවන්ට රිදවීමට විය හැකි යයි මේ ගැන විමසූ විට එක් පියෙකුගේ අදහස විය.

මේ වැඩිහිටි නිවාසයන් පවුල් සබඳතාවලට බලපාන්නේ කෙසෙදැයි අප රුහුණ විශ්විද්‍යාලයේ සමාජ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනී ගයාත්‍රි විජයසුන්දර මහත්මියගෙන් විමසීමු.

"සරල සමාජ ක්‍රමයකට හැඩගැසුණු මාපිය දූදරු අභිලාෂයන් ගෝලීය ආර්ථික රටාවකට මාරු වුණ සමාජ ක්‍රමයකට වෙනස් වීම තුළින් ඒවායේ වටිනාකම් හා පරමාර්ථවලට ශීඝ්‍රයෙන් මාරු වුණා. එදා මවුපියන් දරුවන්ට ලබා දුන් සංස්කෘතික හා සාරධර්ම බර පොදිය ඔවුන්ට අහිමි වුණා. විවෘත ආර්ථික ක්‍රමයකට හැඩගැසීම නිසා ඔවුන් තරගකාරී හා ආත්මාර්ථකාමී සමාජ ක්‍රමයකට ඇද දමනු ලැබුවා. එතැනදී තම මහලු මවුපියන් ගැන තබා තම දරු පැටියන් ගැනවත් සිතන්නට ඔවුන්ට කාලය හරස් වුණා. හව්හරණක් නැති මවුපියන් වැඩිහිටි නිවාසවලට කොටු වුණා. දරුපැටියන් ළමා රැඳවුම් මධ්‍යස්ථානවල රැඳවුණා. සාරධර්ම ගැන හිතන්න වෙලාවක් තිබුණේ නැහැ. සියල්ල උඩුයටිකුරු වුණා. වැඩිහිටියන් ඔවුන්ගේ තරගකාරී ආර්ථික ලෝකයේ තවදුටත් වැදගත් සාධකයක් වූයේ නෑ. කිසි දෙයක් ඉතුරු වී නෑ. තියෙන සාරධර්මත් ඉදිරියේදී දිය වෙලා යාවි.”

දරුවන් හා මවුපියවරු පිළිබඳ පුංචි කතා දෙකකින් මේ සටහන අවසාන කළ යුතු යයි සිතිණ. ඉන් එකක් සිදුවන්නේ ලංකාවේය. අනික චීනයේය. ලංකාව් පියා තම දුවටත් පුතාටත් ඉගැන්වූවේ තම ගෙය පවා විකුණා දමමිනි. උසස් තනතුරු දැරූ ඔවුනට රට යාමට සිදුවිය. බිරිය මිය යාමෙන් පසු පියා තනි විය. දිනක් හදිසි අනතුරකට පත් ඔහු රෝහල්ගත කරනු ලැබුවේ අසල්වැසියෙකු විසිනි. දැන් ඔහු රාමයියා නම් මහලු සේවකවෙකු හා ඔහුගෙ දියණිය තංගමනී සමඟ නිවසක වෙසේ. පියකරු තංගමනී ඔහුට උදෑසන තේ ගෙන එයි. ඔහු නාවයි. කවයි. පොවයි. ළඟින් සිට දෙමළ සිංදු කියයි. මේ පියාතම දූ පුතුන් දකින්නේ ස්කයිප් තිරයෙනි. "අනේ තංගමනී උඹ තමා මගේ දුව" පියා කියයි. තංගමනී සිනාවෙයි. ඒ සිනාව මහල්ලාගේ දහසක් දුක් ගිනි නිවයි.

චීන කතාවේ එක් ගොවි පුතෙක් වැඩ බැරි පියා මිනී පෙට්ටියක බහා කන්දෙන් පහතට හෙළීමට කර තබා ගෙන යයි. "පුතා ඔය පෙට්ටිය ටිකකට බිම තියාපන්. මට උඹට කියන්නට යමක් තියෙනවා.” පෙට්ටිය බිම තැබූ විට පියා පුතාට මෙසේ කියයි. "පුතා ඔය පෙට්ටිය තබා ගෙන මං විතරක් කන්දෙන් පහළට දමාපන්. කවදා හරි ඕක උඹේ පුතාට ඕනෑ වේවි.” මෙය ඇසූ පුතා තම පියා වහා ගෙදර රැගෙන ගොස් සලකයි. තම මවුපියන් වැඩිහිටි නිවාසවල ගාල් කරන දූ පුතුන්ට ඔවුන්ගේ පුතුන්ගෙන් අත්වන්නේ මේ ඉරණම නොවේදැයි කාට කිව හැකිද?

රුහුණ විශ්විද්‍යාලයේ සමාජ විද්‍යා දෙපාර්තුමේන්තුවේ ජේෂ්ඨ කථිකාචාරිනී ගයාත්‍රි විජයසුන්ර 

[ලීලානන්ද වික්‍රමසිංහ]

මාතෘකා