තාත්තයි පුතයි ගෙඹි දරුවොයි

 ඡායාරූපය:

තාත්තයි පුතයි ගෙඹි දරුවොයි

ඔහු ශ්‍රී ලංකාවේ සිිටින පෙරළිකාරී මිනිසෙකි. විද්‍යාඥයෙකි; පර්යේෂකයෙකි; සර්පයන් හා මකුළුවන් යනාදී බොහෝ සතුන් පිළිබඳ ආචීර්ණ කල්පික මිථ්‍යා මත පුපුරුවා හළ බුද්ධිමතෙකි; උරගයන් සම්බන්ධයෙන් අපට සිටින ප්‍රාමාණික විශේෂඥයා ඔහුය. ශාස්ත්‍රිය ග්‍රන්ථ හා ලිපි 400කට වඩා ලියූ ලේඛකයෙකි; සුප්‍රසිද්ධ මැජික් ශිල්පියෙකි.

ෙම් සෑම බදාදාවකම දිගහැෙරන ඔහුෙග් ජීවිත කතාවයි.

සටහන [නදී මාණික්කගේ]

ගෙම්බකු සොයා ගැනීමට නිවසෙහිත් වත්තේත් ඇවිදින්නේ වසර පහළොවකට පමණ පසුය. එහෙත් මා සොයාගත් ගෙම්බෙක් නැත. මට අවශ්‍යව තිබුණේ වෛද්‍ය ඇන්ස්ලම් ද සිල්වා මහතා පැවසූ දේ දැක ඒ පිළිබඳ මාගේ අත්දැකීම් විස්තර කිරීමටය. මගේ අරමුණ වූයේ ගෙම්බකු හා මැඩියකුගේ වෙනස දැකගැනීමය.

“දැන් වෙනදා වගේ ගෙම්බෝ නැහැ. දැනට ලෝකයේ තර්ජනයට ලක්වුණු සතුන් අතරේ ගෙම්බා ඉස්සරහින්ම ඉන්නවා.”

ඔහු පැවසූ දේ ඇත්තය. අපි කුඩා කල නිවසෙහි බිත්තිවල හෝ පස් කණ්ඩිවල කෙතරම් ගෙම්බන් සිටින්නට ඇත්ද? එහෙත් ආසාවට ගෙම්බකු දැකීමට දැන් යෑමට සිදුව ඇත්තේ සත්තු වත්තටය.

ගෙම්බන් ගැන කතාබහ උඩින් වැටුණේ කෙලෙසදැයි ඔබ සිතනවා විය යුතුය. අපි මේ කතා කරන්නේ උභයජීවී විද්‍යාවේ පියා සමඟය. මේ ඔහුගේ දරුවන් බව කියන්නේ ඔහුමය. ඉතින් ඔහුට හිතුමතේ තම දරුවන් ගැන කතා කළ හැකිය.

“මම ඉස්සර වැඩිපුර කාලය ගත කළේ සර්පයෝ ගැන පර්යේෂණවලට. මට ගෙම්බෝ ගැන ආසාවක් ඇති වුණේ පුතා පණ්ඩුක නිසා. එයා පහළ කුඹුරුවල ඉන්න ගෙම්බෝ අල්ලගෙන ඇවිත් මගෙන් අහනවා ඒ කවුද කියලා. ඉතින් මම ඇත්තටම දැනගෙන හිටියේ නැහැ වෙන වෙනම නම් කරන්න. දවසක් දෙකක් මම ගණන් නොගෙන හිටියා. ඒත් පස්සෙ හිතුවා මම එයාලා ගැන හොයන්න ඕනි කියලා. සාමාන්‍යයෙන් මායි පුතයි දෙන්නම අපේ අක්කර හතරක ඉඩමේ උභයජීවීන්, උරගයෝ හොය හොයා ඇවිදිනවා. පුතා ගෙම්බෝ ගැන අහද්දි අපි වත්තේ ඉන්න ගෙම්බොත් එකතු කළා. 1994දි මම හොයාගත්තා ගස් මැඩියට (Polypedates cruciger) තියෙන තර්ජනයක් ගැන. මැඩියෝ බිත්තර දාන්න කලින් ලස්සන බෑග් එකක් හදනවා. ඒ බෑග් එක හදන්නේ වතුරක් තියෙන තැනකට උඩින්. මේ බෑග් එක උඩට බිත්තර දානවා මැස්සෙක් ඇවිත්. ඒ නිසා මැඩි බිත්තර විනාස වෙනවා. ඒක මම ලේඛනගත කළා. මේ තොරතුරු ලැබුණේ ඒ වගේ අවුරුදු ගාණක් වෙච්චි මහන්සියක ප්‍රතිඵල විදියට තමයි.

“ගෙම්බෝ ගැන ලංකාවේ ඉතා දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. අනුරාධපුරය ජේතවනාරාමයේ පුරාවස්තු අතර තිබිලා රත්තරන් ගෙම්බෙක් හමුවුණා. ඒක අයිති 6වැනි සහ 8වැනි ශතවර්ෂවලට. මේ මැඩියා උත්පතන මැඩියා (Euphlyctis cyanophlyctis) කියලා තමයි නම් වෙන්නේ. ඒ රත්තරන් කුට්ටිය කිලෝ 40කට වැඩිය බරයි. ඒක නෙවෙයි හොඳම දේ; ගෙම්බෙක්ගේ තියෙන හැම හැඩහුරුවක්ම පැහැදිලිව පේන්න තිබුණා. ඒ කාලේ ලොකු තැනක් තිබිලා තියෙනවා මේ සත්තුන්ට.

“ඒ වගේම ලංකාවේ ගම්මාන සහ පොකුණු නාමකරණයන් 150කට වැඩිය අහුවෙනවා ගෙම්බන් සම්බන්ධ නම් තියෙන. ඉස්සර රජවරු නාන තටාක හදද්දි විශේෂ පූජාවක් කරනවා. ගෙම්බෙක්, දියබරියෙක්, ඉබ්බෙක්, කකුළුවෙක් රත්තරන්වලින් හදලා පොකුණේ නිදන් කරනවා. ඒකෙන් සංකේතවත් කරන්නේ මේ ජලයේ පිරිසිදුකම. මොකද මේ හැම සතෙක්ම වතුරේ තියෙන හැම ජරාවක්ම කාලා ඒ වතුර පිරිසිදු කරනවා. ඉතින් එහෙම දාපු එකක් තමයි අපට අහුවෙන්න ඇත්තේ. බෙකේ ගම, මඩුවිල, දැදුරුඔය වගේ නම් හැදිලා තියෙන්නෙත් එහෙමයි.”

මට ඇත්තේ ගැටලුවකි. ඒ නම් ගෙම්බන්ට සම්බන්ධ වෙන්නේ කෙසේදැයි මම ඇසුවෙමි. ‘බෙකේ’ යනු කුඹුරුවල සිටින ගෙම්බන් යන්නයි. ‘මඩු’ හා ‘දැදුරු’ යන වචනවල තේරුමද ගෙම්බා යන්නට සමානය. ලංකාවේ මුලින්ම උභයජීවියකු පිළිබඳ සටහනක් තබා ඇත්තේ ඇල්බට් සීබාය. ඒ 1735 වර්ෂයේදීය. ඌ කහහිරි දණ්ඩා (Serpens Caecilia ceylonica) නම් උභයජීවියාය. ඔහු එලෙස පැවසුවද එවන් උභයජීවියකු පිළිබඳ මා අසා තිබුණේ නැත.

“ලෝකයේ උභයජීවින් වර්ග 04ක් ඉන්නවා. කහහිරි දණ්ඩා, ගෙයි ගෙම්බා, මැඩියා සහ සැලමැන්ඩ්‍රා. මේ හතර දෙනාගෙන් සැලමැන්ඩ්‍රා ඇරෙන්න අනිත් හැම උභයජීවියෙක්ම ලංකාවේ ඉන්නවා. දැනට ඉන්න උභයජීවී විශේෂ 120කින් විතර 90ක්ම ලංකාවට ආවේණික අය. 1854දී එඩ්වඩ් කෙලාට් කියන විද්‍යාඥයා ගෙයි ගෙම්බා (Pseudphilautus Schmarda) කියන උභයජීවියව හොයාගත්තා.”

ඇන්ස්ලම් මහතාගේ සියලු වැඩ පිළිවෙළය. ඔහු මා සමඟ තම කතාබහ ඇරඹීමට පෙර ඒ සියලු දේ වෙන වෙනම කරුණු වශයෙන් සටහන් කරගෙන සිටියි. මෙතරම් පිළිවෙළට තම රාජකාරි කරන අයකු මට මීට පෙරාතුව හමු වී නැත. ඔහු මට ඇමතුමක් ගන්නා බව පැවසුවහොත් ඒ කියන වෙලාවට විනාඩියක් හෝ ප්‍රමාද නොවී එම ඇමතුම ගනියි. ඔහුගේ සාර්ථකත්වයට මේ කාල කළමනාකරණය හා පිළිවෙළද විශාල ලෙස බලපාන්නට ඇතැයි සිතේ.

“ගොඩක් ගැමියෝ කියන්නේ උදේ පාන්දර ගමනක් යද්දි ගෙම්බෙක් මුණගැහුණොත් ඒ ගමන සාර්ථක වෙනවා කියලා. ගෙදරක් ඇතුළේ ගෙම්බෙක් ඉන්නවනම් ඒ ගෙදර ආරක්ෂා කරන්න ඌ ඇවිත් ඉන්නේ කියලා තව සමහරු කියනවා. ඒ වගේම තවත් අය කියනවා එකට ජීවත්වෙලා ඉඳලා මැරුණු අය ආයෙමත් ගෙදර අය බලන්න එන්නේ ගෙම්බගේ පිටේ නැඟලා කියලා. සිංහල ගම්වල මිනිස්සු ‘ගෙයි නිවැසි’ කියලා ගෙම්බට කියලා තිබුණා. ගෙයි ගෙම්බෝ දවල් කාලයේ හැසිරෙනවනම් නියඟයක ලක්ෂණයක් කියලා මිනිස්සු කියනවා. හැබැයි ඒකෙනම් ඇත්තක් තියෙනවා. මොකද පරිසර වෙනස්වීම් මිනිස්සුන්ට කලින් දැනෙන්නේ ගෙම්බන්ට.

“තවත් සමහරු කියනවා ගෙම්බෝ විෂයි, අද්භූතයි කියලා. විෂ තියෙන ගෙම්බොත් ඉන්නවා. ඒත් හැමෝම එහෙම නැහැ. ඔයා අහලා තියේද ගෙම්බන්ට පයින් ගහන්න එපා, උන්ගේ ඇඟේ කටුවක් තියෙනවා කියලා. ඒක බොරුවක් තමයි. ඒත් පරණ මිනිස්සු එහෙම කියපු එක හොඳ සංරක්ෂණ ක්‍රමවේදයක් විදියට මම දකින්නේ. සමහර වෙලාවට මිථ්‍යාවෙන් සත්‍යයට වඩා යහපතක් වෙලා තියෙනවා කියලා හිතෙනවා. අද්භූතයි කියන එකට නම් හේතුවක් තියෙනවා එහෙම හිතන්න. ගෙම්බෝ අහුවුණාම ඉස්සර මිනිස්සු ලොකු වළඳකින් වහනවා. උදේ බලද්දි උන් පේන්නවත් නැහැ. ඉතින් මිනිස්සු හිතනවා අද්භූත බලයක් තියේ කියලා උන්ට. ඒත් උන්ට පුළුවන් කොයිතරම් ලොකු භාජනයක් වුණත් කොනකින් උස්සගෙන රිංගලා යන්න”

ඔහු මිථ්‍යා මත පිළිබඳ කියන සෑම විටම මා හටද ගැටලු මතුවේ. ගෙම්බන් සම්බන්ධයෙන් මාගේ මතක තුළ ඇත්තේ උන් අපිව අල්ලද්දී උන් අපේ ඇඟට මුත්‍රා කර පැන යන බවය. අත්තම්මා කියන්නේ ඒ මුත්‍රා බොහෝ විෂ සහිත බවය. මා මේ වනතෙක් සිතා සිටියේද එලෙසය. එහෙත් ඔහුගේ පිළිතුරෙන් මා පුදුම විය.

“ඒ මුත්‍රා බොන්න වුණත් පුළුවන්. සමහර ගෙම්බෝ අල්ලද්දි ඌ අපේ මූණට පවා මුත්‍රා කරනවා. ඒවා පෙවෙනවත් එක්ක. ඒත් මේ යස අගේට මම ඉන්නේ. තව මතයක් තියෙනවා ඒවා පොඩි ළමයෙකුගේ ඇඟට වැටුණම ඒ ළමයා කෙට්ටුවෙනවා කියලා. ඒව නම් බොරු කතා. තව ගස් මැඩියව ඇල්ලුවම සුදු කබර හැදෙනවා කියලා කියනවනේ. එහෙම බලනවනම් මට සුදු කබර හැදිලා හුඟක් කල් මේ වෙද්දි.”

අපි ගෙම්බන්ගේ නම් පාවිච්චි කරන ආකාරය වැරදි බව ඔහු පවසන තෙක් මා දැනුවත් වී සිටියේ නැත. ගස් ගෙම්බා යැයි සතෙක් නැත. සිටින්නේ ගස් මැඩියෙක්ය. මැඩියා ජීවත්වන්නේ ජලය ආශ්‍රිතවය. ගෙම්බා සිටින්නේ ගෙවල් ආශ්‍රිතවය. ඌට ඇත්තේ වියළි සමකි. ගෙම්බන් සිටින්නේ තර්ජනයකය. එම තර්ජන මොනවාදැයි දැන ගැනීමට ලබන සතිය වනතුරු ඉවසමු. ඒත් ගෙම්බන් ගැන ඔබට ඉගෙනීමට අවශ්‍ය නම් පහත කෘති අගනා බව ඇන්ස්ලම් ද සිල්වා මහතාගේ නිර්දේශයයි.

 

• E.F. Kelaart ගේ Ceylon Amphibia. Prodromus Faunae Zeylanicae.

• P. Kirtisinghe ගේ The Amphibia of Ceylon.

• S.K. Dutta සහ K. Manamendra-Arachchi ගේ The amphibian fauna of Sri Lanka

• K. Manamendra-Arachchi සහ

R. Pethiyagoda ගේ ශ්‍රී ලංකාවේ උභයජීවීන්

• Anslem de Silva ගේ Amphibians of Sri Lanka: A Photographic Guide to Common Frogs, Toads and Caecilians

මාතෘකා