මේ ඔබේ රැස

 ඡායාරූපය:

මේ ඔබේ රැස

මේවට වග කියන්නෙත් ආණ්ඩුවද?

පහළින් පළවන ඡායාරූප කිහිපය මා උපුටා ගත්තේ අන්තර්ජාලයෙනි. මුලින්ම ස්තුතිය එම ඡායාරූප ලබා ගත් පුද්ගලයාට හිමි විය යුතුය. දෙවැන්න වශයෙන් ස්තූති කිරීමට කිසිදු අයකු නැති බවත් ඔවුන්ට පවතින නීතිමය තත්ත්වය තුළ දැඩි දඬුවම් පැමිණවිය යුතු බවත් මතක් කළ යුතුය. නමුත් අවාසනාවකට මේ සඳහා දායක වූවන් සොයා ගැනීම උගහටය. ඒවා සිදු කළ අයවත් මේ තරම් දෙයක් සිදුවේ යැයි මොහොතකටවත් සිතන්නට නැතිව ඇත. රටේ සියලු ප්‍රශ්නවලට පවතින ආණ්ඩුවට කෑමොර දෙන සියලු දෙනාම මේ ඡායාරූප දෙස බලා කෙදිනක හෝ මෙවන් දෙයක් සිදු කළා නම් හිස අතගා අං මෝදු වී ඇතිදැයි සිතීම වටී.

මේ ඡායාරූප සමාජ ජාල තුළ දක්නට ලැබුණේ පහුගිය දින කිහිපය තුළ දිවයිනට ඇදහැළුණු මහ වර්ෂාවෙන් පසු කොළඹ නගරය යටවීමත් සමඟය. සුළු වැස්සටත් කොළඹ මංමාවත් යට වීම පිළිබඳ කාගේ හෝ ඉංජිනේරු උපදේශ අනවශ්‍යය. මේවාට කළ හැක්කේ ඡායාරූපයේ පෙනෙන්නට තිබෙනවා මෙන් ප්ලාස්ටික් බෝතල්, කැළිකසළ මහමඟට කාණුවලට නොදමා සිටීමය. කොළඹින් බැහැර ප්‍රදේශයක සිටින අප මෙතෙක් කල් සිතා සිටියේ ගංවතුර වැනි මෙවැනි දේ සිදු වන්නේ පවතින රජයේ අඩුලුහුඬුකම් නිසා බවයි. නමුත් මේ ඡායාරූප පෙළින් දිස්වන්නේ සහමුලින්ම මේවාට වගකිවයුත්තේ මහජනතාව බවයි. මීතොටමුල්ල කුණු කන්ද කඩාගෙන ඇද හැලුනායින් පසුව සමාජ ජාල තුළ සංසරණය වූ එක් ජනප්‍රිය වදනක් වූයේ, “ටොෆි කොළයක් හෝ ඔබ බිම දැමුවා නම් ඔබත් මෙයට වරදකරුවකු” බවයි. නමුත් කීමට ඇති එකම දෙය ලංකාවේ ජනප්‍රිය වදන් ඇතිමුත් ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවන බවයි. තවමත් ගමේ සිටින සියල්ලෝම සිතා සිටින්නේ සිදුවන හැම කාරණාවක් පසුපසම ආණ්ඩුවේ දුර්වලතාවක් ඇති බවයි. නමුත් මේවායින් ඇස් පනාපිටම පෙනෙන්නට තිබෙන්නේ ආණ්ඩුවේ කිසිදු වරදක් නැති මුත් මේවාට සහමුලින්ම වගකිව යුත්තේ මහජනතාව බවයි. අඩුම තරමින් මේ ගැනවත් සැලකිලිමත් වූවා නම් ඉසුරුමත් ලංකාවක් කෙසේ වෙතත් ජලගැල්මක් හෝ හදිසි තත්ත්වයක් නැති රටක ජීවත් වීමට පිළිවන.

 

විශ්‍රාමලත් විදුහල්පති

ජී. ආර්. සේනානායක

අක්මීමන.

-----------

නුවර පාරට නිදහසක් නැද්ද

නුවර පාර යනු ලංකාවේ ප්‍රධානතම මාර්ග පද්ධතිවලින් අංක එකේ පවතින මහාමාර්ගයකි. නුවර පාර, ගාලු පාර පුත්තලම පාර ආදී වශයෙන් මාර්ග පද්ධතීන් ගැන කියැවුණද ඒ අතරින් සුවිශේෂී මාර්ගයක් ලෙසින් නුවර පාර ගැන කියැවුනේ අන් මාර්ගවලට වඩා කෙටි කාලයක් තුළ අලුත්වැඩියාවන් සිද්ධ වෙන නිසා යැයි මට හැඟේ. නමුත් ඒ හා සමගාමීව වර්තමානය වන විට නම් නුවර පාර ගැන කීමට ඇත්තේ දුක්බර කතාන්දර කීපයක් පමණි. මන්ද අද දවසේ ඕනෑම වේලාවක නුවර පාරට බස් රථයකින් හෝ තමන්ගේ වාහනයකින් පැමිණෙනවා නම් යා යුතු ස්ථානයට පැය ගණනකටත් වඩා වේලාසනින් යන්නේ යැයි යන සිතිවිල්ලෙන් වේලාසනින් පාරට බැසිය යුතුය. නමුත් සිදු වන්නේ වෙලාවටත් වඩා පරක්කු වී අදාළ ස්ථානයට යෑමට හැකිවීම පමණි. මන්ද වාහන ගණනාවකින් යුක්ත දිගු පෝලිමකින් වාහන තදබදය තිබෙන නිසාය. ආණ්ඩු දිගින් දිගටම කාසිය දෙපැත්ත පෙරළන්නා මෙන් බලයට පත්වුණද ඒවාට විසඳුම් සෙවීමට නම් කිසිදු ආණ්ඩුවකට නොහැකි වී ඇත. ඒවාට උත්සාහ ගන්නා බවක් නම් පෙනෙන්නටවත් නැත.

නුවර පාරේ තදබදය පටන් ගන්නේ පෙරවරුවේ කඩවතටත් එහා සිටය එතැන් සිට ක්‍රමිකව ඉබිගමනින් ඇදී එන වාහන කිරිබත්ගොඩ හරහා දරුණුතම වාහන තදබදයට හසුවන්නේ 4 කණුවෙනි. ඉන්පසු පෑලියගොඩ හන්දිය දක්වාම වාහන තදබදය නොඅඩුව පවතී. තවත් ඒ තදබදය ජරමරයක්ම වන්නේ මීගමු පාරේ සිට බස් රථ ලොරි පවා කුඩා වටරවුමෙන් හරවා පෑලියගොඩ පාලම දෙසට යෑමේදීය. මෙතැනට ඇත්තේ සරල විසඳුමකි මීගමු පාරේ කොළඹ කරා ඇදී එන වාහන මාර්ග තදබදය තිබෙන මොහොතකට හෝ ඉඟුරුකඩය හන්දිය දෙසින් කෙලින්ම ආමර් වීදිය දෙසට ගමන් කර දීමෙනි. මේ බව රට කරන ඇත්තන්ට කියා ඵලක් නැත. මේවා කිවයුත්තේ මහමඟ කාරිය කරවන ඇත්තන්ටය. මාර්ග තදබදය ඇති වීමට තවත් ප්‍රධාන සාධකයක් වන්නේ බස් රථ මහ මඟ නවතාගෙන කොට කොටා සුපුරුදු ඉබි ගමනින් ගමන් කිරීමය. එක් බස් රථයක් මෙසේ ඉබි ගමනින් ගමන් කිරීමෙන් සිදුවන්නේ හැතැම්ම ගණනාවක් දුරට තදබදය ඇතිවීමය. එමෙන්ම බස් රථ රියැදුරන් ඔවුන්ට පෙරවරුවේ පනවා ඇති ඔවුන් වෙනුවෙන් සැකසූ තීරුවද ප්‍රයෝජනයට ගන්නා බවක් නම් පෙනෙන්නට නැත. අනෙක් බාධාව වන්නේ ත්‍රීවිල් රියැදුරන් සෑම දෙනාම පාහේ නැතත් ඔවුන්ගේ මහමඟ ඇති විනයන් අන්තිම වීමය. ඔවුන් ගැන තවත් දිනෙක ලියා දැක්වීමට අදහස් කරමි.

මා කුඩා කාලයේදී ජේ.ආර්. ජයවර්ධන පාලන සමයේ නුවර පාරට අලුත් නීතියක් හඳුන්වා දී තිබුණේය එනම් කන්ටේනර් වැනි බර වාහනවලට එහි ගමන් කළ හැක්කේ රාත්‍රී නවයෙන් පසුවය යන නීතියයි. වාහන තදබදයක් නැති කාලයේ පවා ජේ.ආර්. ජයවර්ධන දුර දක්නා නුවණින් මේ සඳහා පිළියම් ගෙනහැර පෑමට උත්සාහ ගත් නමුත් ඉන් පසු කාලයකදී එම නීතිය ලිහිල් වී නැත්තටම නැති වී ගොස් හමාරය. නුවර පාර කිරිබත්ගොඩ නගරය යනු අධික ජනගහනයක් නිරන්තරව රැඳී ඉන්නා ස්ථානයකි. නමුත් එහි පාරේ ඇති පටු භාවය නිසා බස් නැවතුම්පොළවල් එකක් දෙකක් යෑමටත් බස් රථයෙන් විනාඩි දහයක පහළොවක කාලයක් බලා සිටීමට සිදුවනු ඇත. එය දැන් සාමාන්‍ය තත්ත්වයක්ද වී හමාරය. අපේ ජීවිතේ වැඩිම කාලයක් අපි නිරපරාදේ ගෙවා දමන්නේ මහමඟටය මාර්ග තදබදය වැළැක්වීමට කල් ගතවනවා යන්නෙන්ම කියාපාන්නේ එය ඔඩු දුවනවා මිසක තවත් එය ලිහිල් වන්නේ නැති බවයි. අවසාන වශයෙන් කීමට ඇත්තේ මේ ගැටලුවල අයිතිකරුවන් කවුද යන්න නොසොයා එහාටත් මෙහාටත් බෝල පාස් කිරීමෙන් වැළකී මේ සඳහා ස්ථිරසාර විසඳුමක් ලබා දෙන ලෙසයි.

 

කිරිල්ලවල - රංජිත් උපනන්ද

------

සියලුම රාජ්‍ය සේවා අනිවාර්ය කළ යුතුයි

ලංකාවේ රාජ්‍ය සේවය කියලා කියන්නේ තනිකරම ලංකාව විනාශ කරලා දාන ආයතන කිහිපයකින් සැදුම්ලත් එකක් කියලා කිව්වොත් වැරදි නෑ. වෙලාවකට අපට හිතෙනවා මේ රට පාලනය කරන්නේ ජනාධිපති අගමැති මුල් වුණු ආණ්ඩුවද එහෙමත් නැත්නම් රාජ්‍ය අංශද කියලා. වර්ජනයක් සිදු වූ විට රජයම කඩා වැටුණු තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒකට හොඳම උදාහරණය තමයි පහුගිය දවසක තිබ්බ දුම්රිය වර්ජනය. එතැනින්ම රජයට ආර්ථීක වශයෙන් කොච්චර පාඩු වුණාද? රජයේ වගේම පෞද්ගලික ආයතන කිහිපයක නම් නිෂ්පාදනය සිදු කරන්න බැරි වුණාද? දුම්රිය කිහිපයක් ගියත් ඒවායේ සියලු දෙනාම ගියේ ටිකට් නැතුව. එතැනින් වුණේ තවත් පාඩුව වැඩි වීමක් විතරයි. රාජ්‍ය සේවයේ ඉන්න කවුරුත් දැනගන්න ඕන කරුණු තමයි ඔවුන්ට වැටුප් ලැබෙන්නේ කොහෙන්ද කියන එක. පහුගිය දවස්වල වර්ජනය කළ දුම්රිය දෙපාර්තමේන්තු සේවකයන් නම් දන්නේ නැතිව ඇති ඔවුන්ට වැටුප් ලැබෙන්නේ අනෙකුත් ජනතාව හම්බ කරන සල්ලිවලින් හා ඔවුන්ගේ බදු මුදල්වලින් කියලා. අපි නැත්නම් ඔවුන්ගේ දරුමල්ලොත් කා බී හමාරයි. රජයේ සියලු සේවකයන් දැනගත යුතුම වන්නේ ඔවුන්ට වැටුප් ලැබෙන්නේ අප හම්බ කරන සල්ලිවලින් මිස වෙනින් කොහෙන්වත් නොවන බව.

එසේ නම් මේකට ගන්න ඕන හොඳම විසඳුම එකක් දෙකක් නෙවෙයි හැම වරප්‍රසාදයක්ම ලබා ගන්නා රජයේ ආයතන සියල්ල අනිවාර්ය සේවයක් බවට පත් කරන එක. නීතිමය ක්‍රියාමාර්ග තියෙන්නේ නම් ඒවා නිවැරදිව අනිවාර්යයෙන්ම මෙය කළ යුතුම දෙයක් බවට පේනවා. හැමදාමත් ඒ අය කරන්නේ සේවයට වාර්තා නොකරන එකයි. ලංකාව ගොඩ ගන්නට නම් එක් පැත්තකින් තිබෙන හොඳම විසඳුම තමයි මේක. නැත්නම් හැමදාමත් දේශපාලන උවමනාකම්වලට මුවා වෙලා ඔවුන්ගේ වර්ජනයන් සිද්ධ කරන එක සාමාන්‍ය දෙයක් බවට පත්වන බව නම් කියන්නම ඕන. කවුරුත් කිසිම දෙයක් නොදන්නා උපාසක බළලුන් මෙන් සිටියද දුම්රිය වර්ජනය සිදු වූයේද දේශපාලන උසිගැන්වීම්වලට බව සාමාන්‍ය ජනතාව වන අප හොඳින් දන්නා බවත් කිව යුතුමයි.

 

ගාමිණී කුරුප්පු - අනුරාධපුරය

 

--------------

මදන යකාගෙ විදුලි පුවත

මේ කතාව මට සිහියට ආවේ හදිසියේම කොළඹ ආ ගිය දිනකය. කො.ම.න.ස. මේ කොළඹ මහ නගර සභාව යන්න කෙටියෙන් හඳුන්වන නමයි. ඒ සමඟම පාසල් කාලයේ පාඩම්වලදී කියා දුන් රාජ්‍ය ආයතනයන්හි නොයෙක් නොයෙක් කෙටි නම් නිරායාසයෙන් මගේ මතකයට ගලා එන්නට විය. ල.දු.දෙ., ලං.වි.ම., ස.තො.ස., ආදී වශයෙන් පාසලේදී කියා දුන් දෑ මගේ මතකය සමඟ සැරිසරන්නට විය. කෙසේ වෙතත් මේ සමඟම මගේ මතකයට පැමිණියේ අපූරු කතාවකි. මේ කතාව මට කියා දුන්නේ මගේ සීයාය. ඒ දුරකථන පවා බෙහෙතකටවත් සොයා ගැනීමට නොහැකිව තිබූ යුගයකි. තිබුණා නම් තිබුණේ තැපැල් හල, මහ රෝහල, පොලිසිය, කච්චේරිය වැනි රාජ්‍ය ආයතන කිහිපයක පමණි. මේ කාලයේ ඉක්මන් පණිවුඩ යැවීම සඳහා වඩාත් ජනප්‍රිය තිබුණේ විදුලි පණිවිඩ ක්‍රමයයි. අපට අවශ්‍ය පණිවිඩය සිංහලෙන් තැපැල් කන්තෝරුවට ලියා දුන්නද ඒවා තැපැල් කන්තෝරුවෙන් අදාළ ප්‍රදේශයේ කන්තෝරුව වෙත ලබා දෙන්නේ සංඥා ක්‍රමයකිනි. ඒවාට අකුරෙන් අකුරට පුද්ගල නම් තිබිණි. එනම්, ආ - ආතර්, න - නැලී, එ - එඩ්වඩ්, ම - මේරි, ග - ජෝර්ජ් ආදී වශයෙන් අකුරු සියල්ලටම එසේ තිබිණි. ‘එන්න’ යනුවෙන් හැඳින්වීමට තිබුණේ "එඩ්වඩ් නැලී ඩබල්" යන්නයි. ‘මාමා’ යන්නට "මේරි ආතර් මේරි" යන්නයි.

කොහොම වුණත් ඒ කාලයේ මාතර සිට තිස්සමහාරාමයට ගිය බස් රථයක් අතරමඟදී කාර්මික දෝෂයක් නිසා නතර වූ හෙයින් ඔවුන් අසල තිබූ තැපැල් කන්තෝරුවට ගොස් එම පණිවුඩය අදාළ ඩිපෝවට විදුලි පණිවුඩයක් මඟින් යෑවිය. කෙටි කාලයක් තුළ එම බස් රථය සතු ඩිපෝවට තිස්සමහාරාමයෙන් එවූ විදුලි පණිවුඩයක් ලැබිණි.

"බස් එක විරවිලා "

- මදන යකා

විදුලි පණිවුඩය අතට ගත් නිලධාරියා අන්දුන්කුන්දුන් විය. දෙබැම නළලේ තබාගෙන ඔහු දහ අතේ කල්පනා කරන්නට විය. කෙටි වේලාවකින් මදන යකාගෙන් විදුලි පණිවුඩයක් ලැබී ඇති බව කාර්යාලය පුරා ප්‍රචාරය වන්නට විය. කරන්නට කිසිත් නැති තැන අදාළ නිලධාරියා මාතර තැපැල් කන්තෝරුවට ගොස් අදාළ විදුලි පණිවුඩය සම්බන්ධයෙන් කරුණු විමසා සිටියේය. මාතර තැපැල් කන්තෝරුවට එය ලැබී තිබුණේ තිබුණේ මේ ආකාරයටයෙ.

"Bus Eka Viravila"

-Madanayaka-

කවර හෝ කලබලයකට තිස්සමහාරාමයෙන් ලැබුණු,

"බස් එක වීරවිල - මදනායක" යන්න මාතර තැපැල් කන්තෝරුවෙන් ඩිපෝවට ලැබී තිබුණේ

"බස් එක විර විලා - මදන යකා" ලෙසයි.

මෙකී ආරංචිය ඩිපෝවට ලැබීමත් සමඟ ඩිපෝවේ සිටි සියල්ලන්ටම සිනහව නතර කර ගන්නට බැරි තරම් විය. හොඳම කාරණාව වන්නේ අදාළ නිලධාරියා විශ්‍රාම යනතුරු ඔහු නැති තැන ඔහුට කීවේ "මදන යකාගේ අයියා" කියාය.

 

හිරුෂ ප්‍රබෝද්

ගංඟා මාවත, පානදුර

 

මාතෘකා