සායම් පැහැයෙන් හැඩවුණ බතික්

 ඡායාරූපය:

සායම් පැහැයෙන් හැඩවුණ බතික්

ඉන්දුනීසියාවෙන් මෙලොවට දායාද වී අදටත් ලොව පුරා ප්‍රචලිත කර්මාන්තයක් ලෙස බතික් කර්මාන්තය හැඳින්විය හැකිය. ලංකාවේද බතික් නිෂ්පාදන සඳහා ඉතා හොඳ වෙළෙඳපොළක් නිර්මාණය වී ඇති අතර බතික් නිෂ්පාදනකරුවන් ලංකාව පුරා විහිදී සිටිති. බතික් නිෂ්පාදන සඳහා ගන්නා කෘත්‍රිම සායම් වර්ග වෙනුවට ස්වභාවික අමුද්‍රව්‍යවලින් සකසා ගන්නා වර්ණවලින් බතික් නිෂ්පාදන කරන කාන්තාවක් අපට මුණගැසුණි. ඇය නමින් ශිරෝමි පතිරණ. මාතලේ ගලේවෙල ප්‍රදේශයේ පදිංචි ඇය විවිධ පර්යේෂණ තුළින්, අත්හදා බැලීම් තුළින් ස්වභාවික ද්‍රව්‍ය භාවිත කර බතික් නිෂ්පාදන කරන්නීය. පැරැන්නන් විසින් රෙදි වර්ණ ගැන්වීමේ ක්‍රමවේද අනුගමනය කර එය නූතනත්වයට ආදේශ කොට අලංකාර බතික් විලාසිතා නිර්මාණය කරන ශිරෝමි සමඟ අපි කතාබහක යෙදුණෙමු.

මොනවාද මේ බතික්වලින් කරන විසිතුරු නිර්මාණ?

මේ හැම නිර්මාණයක්ම කරන්නේ බතික් රෙද්දෙන්. ලොකු කුඩා ඕනෑම කෙනෙක්ට අපි ඇඳුම් නිර්මාණය කරනවා. ළමා ඇඳුම්, කාන්තා හා පිරිමි ඇඳුම් කියලා අපි වර්ග කරලා ඇඳුම් නිර්මාණය කරන්නේ. විශේෂයෙන් කාන්තා ඇඳුම් ගැන කතා කළොත් සාරි, ලුංගි, ගවුම් අපි නිර්මාණය කරනවා. මේ බතික් කර්මාන්තය සංචාරකයන් අතර ප්‍රචලිත නිසා ඔවුන්ට වෙනම නිෂ්පාදන අපි කරනවා. එහිදී අත්බෑග්, සෙරෙප්පු, සැහැල්ලු සෙල්ලම බඩු අපි නිෂ්පාදනය කරනවා. ඒ සඳහා මට වෙනම කාර්ය මණ්ඩලයක් ඉන්නවා. රෙදිවලට බතික් දාන ක්‍රියාවලියට වෙනම කාර්ය මණ්ඩලයකුත් රෙදි මහන්න වෙනම කාර්ය මණ්ඩලයකුත් ඉන්නවා. ඊට අමතරව රෙදි පිළි මහන්න පුළුවන් ගෘහණියන්ට නිවසේදීම මහන්න අමුද්‍රව්‍ය ලබා දෙනවා. ඒ තුළින් රැකියා අවස්ථා වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා.

කොයි කාලේ ඉඳන්ද මේ බතික් නිෂ්පාදන කරන්න පටන් ගත්තේ?

මම මේ බතික් නිෂ්පාදන ගැන පර්යේෂණ කරන්න පටන් අරගෙන වසර හතක් විතර වෙනවා. මේ නිෂ්පාදන කරලා වෙළෙඳපොළට හඳුන්වාදෙන්න පටන් අරගෙන වසර එකහමාරක් විතර වෙනවා. මේ වැඩේ ටිකක් අලුත් දෙයක්. මම කොහොමත් බතික් කර්මාන්තයට කැමතියි. ඒ ගැන මට යම් දැනුමක් තිබුණා. මට හිතුණා බතික් කලාවෙන් යම් වෙනස් දෙයක් කරන්න ඕනේ කියලා. ඒ නිසා මම කල්පනා කළා මේ බතික් නිර්මාණ සඳහා ගන්න වර්ණ ස්වභාවිකවම නිෂ්පාදනය කරන්න පුළුවන් කියලා. ඒ නිසා මම ගස්වල, කොළ, පොතු, මල්, ගෙඩි අරගෙන ඒවාගේ සාරය අරගෙන සායම් හදාගෙන බතික් නිර්මාණ කරන්න උත්සාහ කළා. ඒ ඔස්සේ තමයි මම මේ කර්මාන්තය කරන්න පෙළඹුණේ. මුල් කාලයේදී විවිධ ගැටලු ආවා. වර්ණ නිසි ලෙස රෙදිවලට උරා ගන්නේ නැහැ. නමුත් දැන් විවිධ පර්යේෂණ කරලා ඒ ගැටලු මඟහරවාගෙන සාර්ථකව මේ කර්මාන්තය කරගෙන යනවා.

මේ බතික් නිර්මාණවල පවතින විශේෂත්වය ගැන කතා කළොත්?

අනෙක් බතික් නිර්මාණ කරන්නේ කෘතිම වර්ණවලින්. නමුත් මේ බතික් නිර්මාණවලදී ස්වභාවික ශාක සාර අරගෙන තමයි රෙදි වර්ණ ගන්වන්නේ. මේක අලුත් දෙයක් නෙමෙයි. අපි නොදන්නවා වුණාට අතීතයේදී ස්වභාවික ද්‍රව්‍යවලින් ඉතා සාර්ථක විදිහට රෙදි වර්ණ ගැන්වූවා. සිවුරු පඬුපොවලා හදපු ඉතිහාසයක් අපිට තිබුණා. නමුත් නූතනත්වයත් එක්ක ඒ දේවල් වියැකිලා ගිහින් තියෙනවා. මම ඒ පැරණි ක්‍රමවේදයම තමයි මේ කර්මාන්තයටත් ආදේශ කළේ. පැරණි පොත්පත්වලින් තොරතුරු අරගෙන මේ ගැන දැනුම එකතු කරලා මේ නිර්මාණ කරන්නේ. නමුත් මේ නිර්මාණවල අනෙක් බතික් නිර්මාණවල වගේ තද වර්ණ නැහැ. ගස්වල කහට නිසා කහට වර්ණ තමයි තියෙන්නේ. සීමිත වර්ණ සංඛ්‍යාවක් තියෙන්නේ. නමුත් දැන් අපි උත්සාහ කරනවා විවිධ වර්ණ සංයෝජන කරලා නව වර්ණ හදා ගන්න.

මේ බතික් කරන ක්‍රමවේදය ගැනත් කතා කරමු?

වර්ණ හදාගන්න හැටි කියනවා නම් ගස්වල කොළ, මල්, පොතු, ගෙඩි, මුල් මේ හැමදේම ගන්නවා වර්ණවලට. මේ ඔක්කොම දින ගණනාවක් තම්බනවා. තම්බලා ගන්න සාන්ද්‍ර දියරය තමයි ඇඳුම් වර්ණ ගන්වන්න භාවිත කරන්නේ. බතික් නිර්මාණ කරන්න අපි භාවිත කරන්නේ අමුරෙදි, වොයිල්, විස්කෝස්, කපු වගේ රෙදි වර්ග. රෙදි අරගෙන අවශ්‍ය ප්‍රමාණවලට කපලා Tie & Die ක්‍රමවේදය යටතේ තමයි රෙදි වර්ණ ගන්වන්නේ. එහිදී වතාවන් කීපයක් රෙදි තම්බනවා. ඉන්පසුව මද පවනේ වේලලා අවශ්‍ය මෝස්තර අනුව රෙදි කපලා මහන්නේ.

මෙමඟින් පරිසර හානියක් වෙනවාද?

නැහැ. කිසිම පරිසර හානියක් වෙන්නේ නැහැ. කිසිම ගහක් කොළක් කපලා අපි හානියක් කරන්නේ නැහැ. අපි ගහෙන් වැටෙන කොළ, මල් ගන්නේ. ඊට අමතරව පූජා කරලා ඉවත් කරන මල් අපි මේ සඳහා ගන්නවා. ඒ වගේම ලී මෝල්වලින් අමු ලී කොටවල පොතු, ලී කුඩු වර්ණ හදන්න ගන්නවා. ගොඩාක් වර්ණ හදා ගන්න ගන්නේ අඹ, කෝන්, මහෝගනී, මයිල, මාන, කුඹුක්, කැටකලා, අමු කහ, සේර වගේ ගස් වර්ගවලින්.

මේ නිර්මාණවල මෝස්තර සහ ආකෘති නිර්මාණය කරන්නේ කවුද?

මෝස්තර නිර්මාණය කරන්නේ මම තමයි. ඒ වගේම විවිධ විලාසිතා අනුව ඒවායේ ආකෘතිය නිර්මාණය කරන්නෙත් මම. ඊට අමතරව මගේ සේවකයන්ගෙන් ඒ සඳහා සහයෝගය ලැබෙනවා.

ලංකාවේ ෆැෂන් ගැන මොකද හිතෙන්නේ?

ලංකාවේ ෆැෂන් නිර්මාණය වෙන්නේ ලංකාවෙන් නෙමෙයි විදේශ රටවලින්. ගොඩක් අය අනුගමනය කරන්නේ ඒ විලාසිතා. නමුත් ඒ විලාසිතා එහෙම පිටින්ම අරගෙන අනුගමනය කරනවා ඇරුණුකොට ඒ සඳහා දේශීයත්වයක් ආරූඪ කරන්න කවුරුත් උත්සාහ කරන්නේ නැහැ. නමුත් මම දේශීය ඇඳුම් පැලඳුම් නිෂ්පාදනය කරනවා වගේම බටහිර විලාසිතා දේශීය රෙදි පිළිවලින් නිෂ්පාදනය කරන්න උත්සාහ කරනවා.

මේ නිර්මාණ සඳහා ලැබෙන පාරිභෝගික ප්‍රතිචාර කොහොමද?

ඉතාම ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. මට තරගකාරයෝ නැහැ. ස්වභාවික ද්‍රව්‍ය භාවිතයෙන් බතික් වර්ණ ගන්වලා නිෂ්පාදන කරන්නේ මම විතරයි. දැනට ලංකාවේ කවුරුත් මේක කරන්නේ නැහැ. විවිධ ආයතනවලින්, විවිධ අයගෙන් මට මේ සඳහා විශේෂ ඇගයීම් ලැබෙනවා. දේශීය දෙයක් නිසා පාරිභෝගිකයාත් මේ නිෂ්පාදනවලට කැමතියි. මගේ එක නිෂ්පාදනයක් තියෙනවා ඒක මදුරු ප්‍රතිනාශකයක්. ඒ රෙද්දට මදුරුවෝ එන්නේ නැහැ. ඒ නිෂ්පාදනයෙන් ගොඩාක් කුඩා දරුවන්ගේ ඇඳුම් නිෂ්පාදනය කරනවා. ඒ වගේම මේ හැම නිෂ්පාදනයක්ම කෘත්‍රිම නොවන ස්වභාවික නිෂ්පාදන නිසා සමට හිතකරයි. දාඩිය දාන්නේ නැහැ. සමහර කෘත්‍රිම සායම් සමට අහිතකර නිසා විවිධ ආසාදන වෙනවා. නමුත් මේ බතික් නිෂ්පාදන ස්වභාවික දෑ ඇසුරෙන් කරන නිසා හිතකරයි. විශේෂයෙන් සංචාරකයන්ගෙන් මේ නිෂ්පාදන සඳහා ඉහළ ප්‍රතිචාර ලැබෙනවා.

තාක්ෂණයෙන් දියුණු ලෝකයක යන්ත්‍රානුසාරයෙන් රෙදිපිළි නිෂ්පාදනය වෙද්දි, විලාසිතා ලෝකය දිනෙන් දින අලුත් වෙද්දි මේ වගේ දේශීය අත්කම් නිෂ්පාදනවලට වෙළෙඳපොළ හදාගන්නේ කොහොමද?

තරගකාරීත්වය මට ලොකු ගැටලුවක් නෙමෙයි. හැමදේම කෘත්‍රිම වෙන ලෝකයක වර්තමානයේදී මිනිස්සු ස්වභාවිකත්වය අගය කරන්න ඒ නිෂ්පාදන සඳහා පෙළඹෙන්න පටන් අරගෙන තියෙනවා. මේ නිෂ්පදන ඇතුළු සියලුම ස්වභාවික නිෂ්පාදන ලංකාවේ වගේම ලෝකයේ වෙළෙඳපොළ තුළ අතිසාර්ථක ලෙස ජනප්‍රිය වෙලා තියෙනවා. ඊට අමතරව දැන් රාජ්‍ය අංශවල සහයෝගය අපිට ලැබෙනවා. ඒ හරහා ජනතාව අතර මේ නිෂ්පාදන සඳහා විශාල ප්‍රසිද්ධියක් ලැබෙනවා. මේ බතික් නිෂ්පාදන සඳහා ලංකාවේ වෙළෙඳපොළ තුළ හොඳ තැනක් තියෙනවා. ඒ වගේම සමාජ ජාලා ඔස්සේත් අපිට ඇනවුම් ලැබෙනවා. අපේ facebook page එක වෙන Ceylon Organic Bathik හරහා මේ නිෂ්පාදන ඇනවුම් කරන්න පුළුවන්.

රාජ්‍ය හෝ පෞද්ගලික අංශවල සහාය මේ සඳහා ලැබෙනවාද?

මේ බතික් නිෂ්පාදනවලට ලක්සලෙන් විශාල සහයෝගයක් ලැබුණා. ලක්සලෙන් අනවුම් රාශියක් දැනටත් ලැබෙනවා. මේ සඳහා වෙනම වෙළඳ කුටියක් වෙන් කරන්නත් ඔවුන් කැමැත්ත පළ කරලා තියෙනවා. සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශයෙන් මේ සඳහා සහයෝගය ලබා දෙන්න කැමැත්ත පළ කරලා තියෙනවා. ඒ වගේම British Council ආයතනය සහ ක්‍රිසලීස් ආයතනය හරහා සමාජ ව්‍යවසායකයෙක් ලෙස ව්‍යාපාර සාර්ථක කර ගන්න අපිට විශාල සහයෝගයක් ලැබෙනවා.

මේ නිෂ්පාදන කරන විට පැනනඟින ගැටලු මොනවාද?

කලින් වෙළෙඳපොළ ගැටලු තිබුණා. නමුත් දැන් ඒ ගැටලුව නිරාකරණය වෙලා තියෙන්නේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඉල්ලුම අනුව සැපයුම ලබා දෙන්න නොහැකි වීම. ඒ වගේම යන්ත්‍රවල ගැටලුවක් තියෙනවා. මේ නිෂ්පාදන මහා පරිමාණයෙන් කරන නිසා රෙදි වේලාගන්න අපහසු තත්ත්වයක් තියෙනවා. ඒ සඳහා යන්ත්‍ර තිබුණා නම් හොඳයි.

ඉදිරි වැඩ කටයුතු ගැන කිව්වොත්?

මේ කර්මාන්තය සාර්ථකව ඉදිරියට අරගෙන යන්නයි ඕනේ. මේක දැනට ලංකාවෙන් මම විතරයි කරන්නේ. ඒ නිසා මේක කර්මාන්තයක් ලෙස තවත් සාර්ථකව කරගෙන යන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ තුළින් අසරණ කාන්තාවන්ට මේ පිලිබඳව පුහුණුවක් ලබා දීලා රැකියා අවස්ථා ලබා දෙන්න වගේම ඒ තුළින් ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කරන්නත් උත්සාහ කරනවා.

මාතෘකා