දුයිෂෙන්

 ඡායාරූපය:

දුයිෂෙන්

සාහිත්‍ය පුරවරයේ ඇවිද යන අපිට පුහු පොත්, සරු පොත්, බොළද පොත්ද ඉඳහිට රුවන් පොත්ද හමුවෙයි. එවන් වූ දුලබ මැණිකකි ‘ගුරු ගීතය’ හෙවත් පළමුවන ගුරුවරයා.

දස වරකට වැඩි වතාවක් කියවීමි. ඒ කියවන වාරයක් වාරයක් පාසා මා කිසි දිනක අත් නොවිදි ඒ රසාලිප්ත ආලයෙන් මුසපත් වීමි. එමෙන්ම හදවත ඡේදනය කළාක් වැනි වූ උග්‍ර වේදනාවකට පත්වීමි.

අදහන්න අල්තීනායි...!

නුඹටත් වඩා මම දුයිෂෙන්ට පෙම් කළෙමි. ඔහුගේ එක ඡායා මාත්‍රයක්වත් නොදැකම, නිය පිටින්වත් පහසක් නොලබාම පෙම් කළෙමි. ඇත්තෙන්ම ඔහුට කිනම් ආකාරයක රුවක් පිහිටිය යුතුදැයි අදටත් මට සිතාගත නොහැකිය. ඔහුගේ කටහඬ කෙබඳුදැයි අදත් මම කල්පනා කරමි. කම් නැත. එය එලෙසින්ම තිබුනාවේ. ඔහු එලෙසින්ම රැඳුනාවේ.

ගුරු ගීතයෙන් ටෙලියක්, චිත්‍රපටයක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවයක් ඇත්දැයි ඇතැම් විට සිතේ. සමහර දේවල් තියෙනවා ඒක තවදුරටත් ඔප් නංවන්න බැරි. ඔව්..! ඒක තියෙන්නේ ඒක තියෙන්න ඕන හොඳම විදියට. අලුතින් ප්‍රතිනිර්මාණය කරන්න දෙයක් නැති දේවල්. යන්න පුළුවන් උපරිමයට ගිය දෙවල්. හීනියටවත් වෙනස් වෙනවට අපි අකමැති දේවල්. එහෙම වෙනස් වුණොත් වර්ණ හේදිලා යයි කියල බය හිතෙන දෙවල්. ප්‍රශ්න ප්‍රශ්න විදියටම තියෙන්න ඕන තැන්වලදී ඒවාට උත්තර ලැබිලා, රහ සීමා වෙයි කියල හිතෙන දේවල්. හරියට පළමුවන ගුරුවරයාගේ රුව වගේ. හඬ වගේ.

ඉතින් දුයිෂෙන්..,නුඹත් එලෙසින්ම මගේ හද තුළ වැතිරගන්න.

රුවක් නොලබාම...

හඬක් නැතුවම..

අමරණීය ස්මාරකයක් ලෙසින්ම..!--

මාතෘකා