කැලණි පාලම හතළිස් වසරක රංගාභිනන්දනය සුන්දර සන්ධ්‍යාවකි

 ඡායාරූපය:

කැලණි පාලම හතළිස් වසරක රංගාභිනන්දනය සුන්දර සන්ධ්‍යාවකි

කැලණි පාලම හතළිස් වසරක රංගාභිනන්දය කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලීය පණීභාරත ශාලාවේදී පිරී ඉතිරී ගිය ප්‍රේක්ෂාගාරයක් හමුවේ අතිශය සාර්ථක ප්‍රාසාංගිකාත්මක උලෙළක් ලෙස නිමාව දුටුයේ පසුගිය ඔක්තෝබර 26 වනදා සැඳෑ භාගයේය. එහෙත් කැලණි පාලමට සැබැවින්ම හතළිස් වසරක් සපිරුණු 2018 (1978 - 2018) ඔක්තෝබරයේ සමරන්නට නොහැකි වූ හතළිස් වසර රංගාභිනන්දයට සමගාමීව කැලණි පාලම මත වසර හතළිහක් අඛණ්ඩව මැටිල්ඩාගේ භූමිකාවට ප්‍රාණය එක් කරන රම්‍යා වනිගසේකර රංගවේදිනියගේ හතළිස් වසර රංග ජීවිත සැමරුම හා ඇයට පිදුණු උපහාරයද මෑත සැඳෑවේදීම සිදුවීම එක්තරා ආකාරයක අපූර්ව සිදුවීමක් ලෙස අපට පෙනිණ. සිංහල නාට්‍ය වංශ කතාවේ පැරණිම නාට්‍ය හෝ දීර්ග කාලයක් රංගගත වූ හා රංගගත වෙමින් පවත්නා නාට්‍ය බහුතරයක් මහාචාර්ය සරච්චන්ද්‍රගේ නාට්‍ය වීම අරුමයට කරුණක් නොවේ. 1956දී නිෂ්පාදිත මනමේ සිට සිංහබාහු, පෙමතො ජායතී සොකො, මහාසාර. වැනි නාට්‍යද 56 සිදු වූ නාට්‍යද 56ට පෙර නිෂ්පාදිත කපුවා කපෝති, කදා වළලු, එළොව ගිහිං මෙලොව ආවා, රත්තරං වැනි නාට්‍ය අදද වේදිකාවේ නරඹන්නට හැකිය.

එහෙත් සරච්චන්ද්‍රගේ ශෛලිගත සම්ප්‍රදායේ නාට්‍ය (නාට්‍යධර්මී) මඟින් අද්‍යතන සමාජයේ දැවෙන ප්‍රශ්න කෙරෙහි ප්‍රේක්ෂක අවධානය යොමු නොවන බව දුටු හැටේ දශකයේ නාට්‍යකරුවෝ එකී ඌණතාව පුරවනු සඳහා දෙබස් නාටකය, සංවාද නාටකය හෙවත් තාත්වික රීතියේ (ලෝක ධර්මී) නිර්මාණ හඳුන්වා දුන්හ. එහෙත් මෙකී දෙවැනි සම්ප්‍රදායේ නාට්‍ය තුළින් සංවාද හෝ දෙබස් නාට්‍යකරුවන් අපේක්ෂා කළ කාර්ය ඉටු නොවූ බවයි ආචාර්ය ගුණදාස අමරසේකර වරක් පවසා ඇත්තේ. එසේ වුවත් සංවාද නාට්‍යයේ පුරෝගාමියා වූ සුගතපාල ද සිල්වා ඇතුළු හෙන්රි ජයසේන, ගුණසේන ගලප්පත්ති ආදීන්ගේ සංවාද නාට්‍ය නිෂ්පාදන, ප්‍රේක්ෂකයන් හමුවේ රඟ නොදැක්වෙන අවධියක දශක හතරක් පුරා කැලණි පාලම වැනි සංවාද නාට්‍යයක් වේදිකාව ජයගෙන ඇත්තේ කෙලෙසද යන්න විචාරකයන් විමර්ශනය කළ යුතු අත්‍යාවශ්‍ය අංශයක් බව අවධාරණ කරමි.

හැටේ දශකයේ බිහිවූ නාට්‍යකරුවන් අතර ස්වතන්ත්‍ර, යථානුරූපී නිෂ්පාදනයෙන් දායක වූ බහුතර නිර්මාණකරුවන් අද අප අතර නොවේ. එස්. කරුණාරත්න, සුගතපාල ද සිල්වා, ප්‍රේමරංජිත් තිලකරත්න, පතිරාජ එල්.එස්. දයානන්ද හා ආර්.ආර්. සමරකෝන් ආදීන් ඒ අතර කැපී පෙනේ. එහෙත් මේ දශකයේ බිහි වූ අද ජීවතුන් අතර සිටින සෙසු නාට්‍යකරුවන් වූ නාමෙල් වීරමුණි, ජී.ඩී.එල්.පෙරේරා, ධර්මසිරි වික්‍රමරත්න, ලූෂන් බුලත්සිංහල, රංජිත් ධර්මකීර්ති, සුනන්ද මහේන්ද්‍ර, චන්ද්‍රසේන දසනායක, ආදීන්ගේ පැරණි සංවාද නාට්‍ය හෝ ඒවායේ නව නිෂ්පාදන ලෙස හෝ ඔවුන්ගේ නව නිර්මාණ හෝ බිහිවනු දක්නට නොලැබේ. ශෛලිගත හෝ අර්ධ ශෛලිගත රීතියේලා සැලකිය හැකි නිෂ්පාදන වේදිකාවට එනු පෙනේ. විශේෂයෙන්ම මහාචාර්ය සරච්චන්ද්‍රගේ බොහෝ නාට්‍ය, දයානන්ද ගුණවර්ධනගේ නරි බෑනා, ගුණසේන ගලප්පත්තිගේ මූදු පුත්තු, හෙන්රි ජයසේනගේ කුවේණි වැනි නිෂ්පාදන නව නිෂ්පාදන සේ වරින්වර වේදිකාවට පැමිණුනද පෙරදා රංගගත වූ එකදු දෙබස් නාට්‍යයක් හෝ වර්තමාන ප්‍රේක්ෂකයන්ට නරඹන්නට නොලැබීම කනගාටුවට කරුණකි.

සුගතපාල ද සිල්වාගේ සාර්ථකම ස්වතන්ත්‍ර නාට්‍ය නිර්මාණය වූ දුන්න දුනුගමුවේ (1972) හෝ රංජිත් ධර්මකීර්තිගේ මෝදර මෝල, සුනන්ද මහේන්ද්‍රගේ පොකුරු වැස්ස වැනි නිෂ්පාදන නාට්‍ය ඉතිහාසයට එක් වූ නිර්මාණ පමණක් බවට පත් වී ඇති අවධියක ආර්.ආර්. සමරකෝන්ගේ කැලණි පාලම (1978) පසුගිය වසර හතළිහ පුරා අඛණ්ඩව රංගගත වීම ආශ්චර්යක් වැන්න. එහෙත් තාත්වික හෙවත් යථානුරූපී නාට්‍ය සම්ප්‍රදායේ මුල්කාලීන නිෂ්පාදන පැවැත්ම පිළිබඳ ගැඹුරු විශ්ලේෂණයක හෝ පර්යේෂණයක නිරත වූ විචාරකයන්, විශ්වවිද්‍යාල පීඨ හෝ පර්යේෂක කණ්ඩායම් පිළිබඳ අප අසා නැත.

පාසල් අධ්‍යාපන විෂය මාලාවෙහි සිංහල සාහිත්‍යය, හෝ නාට්‍ය හා රංගකලාව විෂය මාලාව පිළිබඳ සෘජුව සම්බන්ධ හේතු කාරණා කිහිපයක්ම මේ පසුබිම තුළ පෙනේ. සිංහල භාෂාව හා සාහිත්‍යය, පාසල් විෂය මාලව තුළ ආරම්භයේ සිට තිබූ නමුත් නාට්‍ය හා රංගකලාව පාසල් විෂය මාලාවට ඇතුළු වන්නේ මෑතක සිටය. එයද අටවැනි ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා විෂය නිර්දේශය තුළය. මෙම විෂය ද්වය සඳහාම නාට්‍ය යටතේ පාසල් දූ දරුවන්ට නරඹන්නට හෝ අධ්‍යාපනය සඳහා නිර්දේශිත හා නිර්දේශයේ එකදු දෙබස් නාට්‍යයක් සංවාද හෝ යථානුරූපී නාට්‍යයක් හෝ ඇතුළත්ව තිබේද යන්න විමසීම වටී. මහාචාර්ය සරච්චන්ද්‍රගේ මනමේ සිට සිංහබාහු, පෙමතො ජායතී සොකො, මහාසාර, කදා වළලු, හෙන්රි ජයසේනගේ කුවේණි, පුණ්‍යසේන ගුණසිංහගේ දික්තල කාලගෝල, සෝමලතා සුබසිංහගේ විකෘති, ජයලත් මනෝරත්නගේ තල මල පිපිලා, පාලිත ලොකුපෝතාගමගේ අමර ගියා දිව්‍යලෝකෙ වැනි දේශීය නාට්‍ය හා පෙළ හා නිෂ්පාදන ද හුනුවටයේ කතාව නිෂ්පාදනය හා ඊඩිපස්, බෝනිකි ගෙදර නාට්‍ය පෙළ ආදිය පිළිබඳව සිංහල සාහිත්‍ය විෂය හා නාට්‍ය හා රංගකලාව විෂයයට ඇතුළත් වේ.

එහෙත් රංග ශෛලීන් පිලිබඳ ළමුන්ට ඉගැන්වීමේදී නාට්‍ය ප්‍රභේද පිළිබඳ කියා දීමේදී විදේශීය නාට්‍ය අනුවර්තන හෝ පරිවර්තන හැරුණුකල, දේශීය නාට්‍යයේ දෙබස්, යථානුරූපී රීතියට අයත් නාට්‍ය පෙළ හෝ නිෂ්පාදන පිළිබඳ වර්තමාන පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් දැනුමක් ලබා ගන්නේ කෙසේද? දශක හතරක් පුරා දර්ශන වාර රැසක් දිවයින පුරා රඟදක්වා ඇති අදද රඟදැක්වෙන කැලණි පාලම වැනි නාට්‍යයක් පිළිබඳ ජාතික අධ්‍යාපන ආයතනයේ විෂයමාලා නිර්දේශ සම්පාදක මණ්ඩල, විශේෂයෙන්ම නාට්‍ය හා රංගකලාව පිළිබඳ බහුශ්‍රැතයන් මුනිවත රැකීම විමතියට කාරණයක් නොවන්නේද? සුගතපාල ද සිල්වා වැනි පුරෝගාමී නාට්‍යකරුවකුගේ එකදු නාට්‍යයක් හෝ නිෂ්පාදනයක් ලෙස දක්නට නොලැබීම නිසාම ඔහු විසින් අනුදත් නාට්‍ය සම්ප්‍රදාය, රීතිය පිළිබඳ පාසල් සිසුසිසුවියන් නොදැන සිටිය යුතුද? දුන්න දුනුගමුවේ වැනි ස්වතන්ත්‍ර පෙළක් හෝ අහසින් වැටුණු මිනිස්සු වැනි නාට්‍ය පෙළ හා නිෂ්පාදනය නාට්‍ය හා රංගකලාව පිළිබඳව ඉගෙනුම ලබන සිසුන්ගේ දැනුමින් ඈත් කර තැබීමෙහි කුමන සාධාරණත්වයක් වේද? කැලණි පාලම හතළිස් වසරක රංගාභිනන්දනය හුදෙක් සැමරුම් උලෙළක් පමණක් නොව නාට්‍ය හා රංගකලාව පාසල් මට්ටමින් ඉගැන්වීමේදී, විෂය මාලාවට අයත් නිර්දිෂ්ට නාට්‍ය හා පෙළ තෝරා ගැනීමේදී ජාතික අධ්‍යාපන ආයතනයේ බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු අවස්ථාවක්ද ලෙස දකිමි.

ආර්.ආර්. සමරකෝන් කැලණි පාලම සඳහා නිර්මාණාවේෂය ලබන්නේ කෙසේද? මේ ඔහුගේම වචනයි.

"ඇඟේ නූල් පොටක්වත් නැති අවුරුදු දෙකේ තුනේ කුඩා ළමෝ මහ වැස්සේ පදික වේදිකාව උඩ එහෙ මෙහෙ දුවපනිමින් කොක් හඬලා සිනාසෙමින් කෙළි සෙල්ලම් කළහ. අපි යාන්තම් සිරිපොදක්, පින්නක් වැටෙන විටක වුවද අපේ දරුවන් එළිමහනකට නොයවා ගෙය තුළ සිරකරගෙන සිටිමු. මොවුනට මේ තරම් රළු පරිසරයකට ඔරොත්තු දිය හැකි ශක්තියක් ලැබුණේ කවර වරමකින් දැයි සිතත්ම මගේ සිත සසලව ඉරි තලා ගියේය.

"මහත්තයා කාවද හොයන්නෙ?"

එක් මහලු මිනිසෙක් වැස්සේ තෙමීගෙන මා අසලට විත් ඇසීය.

"කවුද මේ මිනිස්සු?" මම ඇසීමි.

"අපි කීර කොටුවල පදිංචි උදවිය. ගංවතුර හින්ද පාලම උඩට ආව. හැම අවුරුද්දෙම මෙහෙම තමයි."

(කැලණි පාලම හතළිස් වසරක රංගාභිනන්දය - ප්‍රසන්නජිත් අබේසූරිය සංස්කරණය කළ ලිපි සරණිය - පිටුව 15-16)

එදා සමරකෝන් කැලණි පාලම මත වැසි දිනක දුටු ගංවතුර නිසා පාලම මතට ගොඩවූ කීරකොටුවාසී ගහැනු, පිරිමි, දරුවන් අද කැලණි පාලම උඩ දක්නට නොවේ. කීරකොටු වෙනුවට ගඟ අසබඩ ඉදිවුණු ක්‍රීඩාංගණ, අහස උසට ඉදිවුණු මහල් නිවාස අද එහි වේ. එහෙත් දශක කිහිපයකට පෙර, ආර්.ආර්. සමරකෝන්ට පාලම මත හමු වූ චුට්ටේ, මැටිල්ඩා, මාටින්, සරණපාල, මැම්බර්, සුරංගනී, බට්ටි, රූපවතී, කළු මල්ලී, ලැයිසා, ගබ්‍රියෙල් ආදීන් කොහේ හෝ ජීවත්වන බව නම් නිසැකය. ඔවුන්ගේ ජීවන අන්දරය එදා මෙන්ම හෝ කුමක් හෝ වෙනසකින් යුතුව කියැවෙනු ඇතැයි සිතමි. කීරකොටුව, ගංවතුරට පාලම මතට ගොඩවන ගැහැනු, මිනිසුන්, දරුවන්, සතා සීපාවා, ඔවුනගේ තාවකාලික පොල් අතු කූඩාරම් නොවූවත් තාවකාලිකව වසරකට වරක් හෝ අප දුටු එකී උප සංස්කෘතියට අයත් වූ ජීවිත මහල් නිවාසයක කුඩා බිත්ති හතරකට සිර කිරීමෙන් පමණක් සුඛිත මුදිත වී ඇතැයි සිතීම උගහටය. කීරකොටුවාසීන්ගේ ජීවන අරගලය, ගංවතුර නැවතීමෙන් හෝ පාලම උඩට ඒම නැවතීමෙන් නවතින අරගලයක් නොවේ. විවිධ වෙස් ගෙන ඔවුනට අත්විඳින්නට සිදුවන ඛේදවාචකයයි සමරකෝන්ගේ කැලණි පාලම පවසන්නේ.

කැලණි පාලම හතළිස් වසරක රංගාභිනන්දය ප්‍රාසාංගික අත්දැකීම යථාවක් බවට පත්කර ගැනීමෙහි වෙහෙසකර අත්දැකීමට උර දුන් කණ්ඩායමෙහි නායකත්වය මෙන්ම එම අභියෝගයට ජයග්‍රාහීව මුහුණ දීමේ ගෞරවයද හිමිවන්නී ආර්.ආර්. බිරින්දෑ වන රම්‍යා වනිගසේකර කලාකාරියට බව වෙසෙසින්ම සිහිපත් කළ යුතු වේ. ඈ තම ස්වාමියා වෙනුවෙන්, ඔහුගේ දියණිය වෙනුවෙන් ඔහුගේ කලා නිර්මාණවලිය හා එහි ප්‍රභාශ්වරය වූ කැලණි පාලම රංගයට නව ප්‍රාණයක් දෙමින් හා දශක හතරක් එහි බර ඔසවාගෙන සිටි සියල්ලන්ට උපහාර පිදීමෙන් පෑ ආදර්ශය සිංහල නාට්‍ය ඉතිහාසයෙහි රන් අකුරින් ලියැවෙන පරිච්ඡෙදයක ඇරැඹුමය. ආර්.ආර්. සමරකෝන් යනු රම්‍යා වනිගසේකරගේ ස්වාමිපුරුෂයා හෝ නිලූකා ප්‍රියංගනීගේ පියා හෝ පමණක් නොව, බුද්ධිකා මුදිතානිගේ පියා පමණක් නොව සිංහල නාට්‍ය වංශකතාවෙහි, සිංහල සාහිත්‍යයෙහි අමරණීය කලාත්මක භූමිකාවක හිමිකරුවා වන්නේය. ඔහු පිළිබඳ නිර්මාණය වූ වීඩියෝ පට, කැලණි පාලම, අහසින් වැටුණු මිනිස්සු නාට්‍ය ද්වයෙහි වීඩියෝ දර්ශන හා සජීවී රංගන කැලණි පාලම හතළිස් වසර රංගාභිනන්දනය වර්ණවත් කළා වූ විශේෂාංග විය.

ආර්.ආර්. ගේ සාහිත්‍ය කලා සම්ප්‍රදානය පිළිබඳව මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර විසින් කරන ලද මුඛ්‍ය දේශනයත් පුද්ගල ජීවිත තතු ආශ්‍රිතව නාට්‍ය නිර්මාණ පසුබිම ආශ්‍රිතව අධ්‍යයනය කොට සොයා ගත් තොරතුරු රැසක් සමඟ කැලණි පාලමට පසු ආර්.ආර්. සමරකෝන් නාට්‍ය ගමන් මඟට කුමක් සිදුවීද යන ප්‍රශ්නයද නඟමින් තම දෙසුම නිමා කළ සමන් අතාවුදහෙට්ටි මාධ්‍ය සගයාගේ මතකාවර්ජනයද රංගාභිනන්දය ප්‍රේක්ෂාගාරයට වෙසෙස් අත්දැකීමක් විය. කැලණි පාලම ශක්තිමත්ව වසර හතළිහක් රැක බලා ගත් නිර්මාණකරුවන්ගේ නාමාවලිය සම්ප්‍රවේශක ප්‍රසන්න සල්පිටිකෝරාල විසින් ඉදිරිපත් කරන ලද අතරතුර වේදිකාවට යළි කිසිදා නොනඟින මුහුණු මතකයට නැගෙද්දී ප්‍රේක්ෂාගාරයේ බොහෝ දෙනකුගේ දෙනෙත් කඳුළින් තෙත්වනු දිටිමි. සිරිල් ධර්මවර්දන, ජේ.එච්.ජයවර්ධන, වික්‍රම බෝගොඩ, එල්සන් දිවිතුරගම, රත්නසිරි ලියනගොඩ, රාජේන්ද්‍ර තලේසිංහ ඉන් කිහිප දෙනෙක් පමණි. කැලණි පාලම ඉදිවූදා සිට අද වන තෙක් මැටිල්ඩා ලෙස රඟන රම්‍යා වනිගසේකර හැරුණු කල අදද කැලණි පාලම සමඟ ජීවත්ව සිට්න්නී ගීතා කාන්ති ජයකොඩි පමණි. එදා සුරංගනී වූ ගීතා අද වියපත් රූපවතී වන්නීය.

කැලණි පාලම රංගාභිනන්දය සමඟ වේදිකාව මත ගලා ගිය රම්‍යා වනිගසේකර නිර්මාණාභිනන්දයද කෘතවේදීත්වය සටහන් කළ හා බහුවිධ නිර්මාණ ප්‍රතිභාවක් සතු කලාකාරිනියකට කළ උතුම්, නිර්ව්‍යාජ උපහාරයක් වැන්න. ගුවන් විදුලි මාධ්‍යයේ රම්‍යාගේ නිවේදිකා භූමිකාව, ගුවන් විදුලි නාට්‍ය රංගනය, වේදිකාව, රූපවාහිනී හා ගුවන් විදුලි හඬ කැවීම්, ටෙලි නාට්‍ය රංගනය මතු නොව චිත්‍රපට නිලි භූමිකාව රම්‍යාගේ නිර්මාණ කෞශල්‍ය පරාසයට නිදසුන් වන ක්ෂේත්‍ර වේ. මේ සියල්ල අභිබවා රම්‍යා වනිගසේකර නම් හිත හොඳ ගැහැනියගේ, මිතුරියගේ භූමිකාව කැපී පෙනෙන බවයි මගේ හැඟීම.

කැලණි පාලම හතළිස් වසරක රංගාභිනන්දනය නමින් ආර්.ආර්. සමරකෝන් පදනම වෙනුවෙන් ප්‍රසන්නජිත් අබේසූරිය විසින් සංස්කරණය කරන ලද ලිපි සරණියද පරිසමාප්ත සැමරුම් උලෙළක සුන්දර මතක අතරට එක් වූ මුද්‍රිත ප්‍රකාශනයකි. ආර්.ආර්. සමරකෝන්ගේ ගේය පද රචනා දස්කමද සිහියට නංවමින් ඇසුණු වික්ටර් රත්නායකගේ මධුර ස්වරයද අප සියල්ල ආර්.ආර්. නම් සුන්දර මිනිසා සමඟ හෝරා තුනක පමණ කාලයක ගෙවුණු සුන්දර සන්ධ්‍යාවක මතක අතර රැඳී තිබෙණු සිහිනෙන් ගෑ සුවඳක් සේ දැනේ.

[බුද්ධදාස ගලප්පත්ති]

News Order: 
1
මාතෘකා