ස්වයංජාත නොවූ කතාකරුවා

 ඡායාරූපය:

ස්වයංජාත නොවූ කතාකරුවා

ඉකුත් සතියේ සිදු වූ සමරවීර විජයසිංහ ප්‍රවීණ කතාකරුවාගේ හදිසි මරණය අප සසල කළ බව පළමුව කිව යුතුය. කීප වරක් ඔහු හා පුවත්පත් සම්මුඛ සාකච්ඡාවල යෙදී ඇති මට ඔහු සම්බන්ධයෙන් කීමට කරුණු රැසක් ඇත. ඇත්ත වශයෙන් සමරවීර විජයසිංහ හුදෙකලාවට පෙම්කළ ලේඛකයෙකි. කොළඹින් බැහැර බේරුවල ප්‍රදේශයේ වෙසෙමින් නිහඬව සාහිත්‍ය නිර්මාණකරණයේ යෙදුණු ඔහු කොළඹ ආශ්‍රිතව පැවැති සාහිත්‍ය සමාජය සමඟ සක්‍රියව ගනුදෙනු කළේ නැත. සාහිත්‍ය සාද සංවාද, පොත් දොරටවැඩුම් හෝ සාකච්ඡා ආදියට සහභාගි වීමටද ඔහුගේ වැඩි කැමැත්තක් නොතිබිණි. දුරුකතර ගෙවාගෙන කොළඹ පැමිණ නිශ්ඵල සාහිත්‍ය සම්භාෂණවලට සහභාගි වීමෙන් කාලය නිකරුණේ අපතේ යැවිය යුතු නැතැයි ඔහු සිතුවා වැනිය. ඇතැම් ලේඛක ලේඛිකාවන් පුවත්පත් ඔස්සේ සාහිත්‍යය පිළිබඳ විවිධ මත පළ කරන විට ඔහු නිහඬව සිටියේය. මාධ්‍ය ඔස්සේ අදහස් පළ කිරීමටට ඔහුගේ උනන්දුවක් නොතිබිණි. සම්මුඛ සාකච්ඡාවකටද ඔහු සම්බන්ධ කරගැනීම තරමක දුෂ්කර කාර්යක් විය. එයින් අදහස් වන්නේ ඔහු සාහිත්‍යය ගැන කතා කිරීමට අකැමැත්තක් දැක්වූ බව නොවේ. ඔහු ඊට රිසි විය. එහෙත් ඔහුට සැබෑවට අවශ්‍ය වූයේ ප්‍රසිද්ධිය පසෙක ලා හුදෙකලාව සිටිමින්, කාලය ගෙන නිර්මාණකරණයේ නියුතු වීමටය.

කොළඹ සාහිත්‍ය කලිකලහයෙන් දුරස්ව දිවිසැරියක් ගත කරන අතර නිහඬ ලිවිසැරියේ යෙදුණු ඔහු වැනි තවත් ලේඛක ලේඛිකාවන් අතළොස්සක් පමණ පිරිසක් ලෝකයේ වෙනත් රටවලද විවිධ බසින් නිර්මාණකරණයේ යෙදී සිටි හා සිටින බව අප අසා ඇත. බොහෝ විට ඔවුන්ගේ ලිවිසැරිය ඔස්සේ පමණක් දැනගන්නට ලැබෙන තොරතුරු හැර ඔවුන්ගේ දිවිසැරිය ගැන වැඩි යමක් දැනගන්නට ලැබෙන්නේ නැති තරම්ය. ඔවුන් වෙනුවෙන් කතා කරන්නේ ඔවුන්ගේ නිර්මාණම පමණි. මෙවර නොබෙල් සාහිත්‍ය ත්‍යාගය හිමිකර ගත් ඕස්ට්‍රියානු නවකතා රචක පීටර් හැන්ඩ්කි මෙන්ම මෙයට වසර කිහිපයකට පෙර නොබෙල් සාහිත්‍ය ත්‍යාගය හිමිකර ගත් ස්වීඩන් ජාතික ලේඛක ටෝමාස් ට්‍රාන්ස්ට්‍රෝමර් සහ පෝලන්ත ජාතික ලේඛිකා විස්වාවා සිම්බෝර්ස්කා වැනි ලේඛක ලේඛිකාවන් හුදෙකලාවට ප්‍රිය කළ එවැනි නිර්මාණකරුවන් ලෙස ප්‍රකටය. ඔවුන්ගේ නිර්මාණවල පවා ඒ හුදෙකලාව පිළිබඳ ඡායාමාත්‍ර ගැබ්ව ඇත.

සමරවීර විජයසිංහයන්ගේ තවත් වෙසෙසක් තිබේ. ඔහු මහා ඉවසීමකින් සහ උපේක්ෂා සහගත සංයමයකින් යුතුව නිර්මාණකරණයේ යෙදුණු සරල, අව්‍යාජ ගැමියෙක් විය. කලක් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රධාන ලිපිකරු ලෙස සේවය කොට විශ්‍රාම ලබා, 78 හැවිරිදි වියේ පසුවෙමින් සිටියදී මෙලොවින් සමුගත් ඔහුගේ ලිවිසැරිය ගැන විනා දිවිසැරිය ගැන දන්නා අය විරලය. ඒ කෙසේ වෙතත් එක් වරක් හෝ ඔහු හමු වූ අයෙකුට ඔහුගේ අපූරු සුන්දර චරිතය කිසිදා අමතක කළ නොහැකිය. එතරම් ඔහු හෘදයංගමය. සංවේදීය.

නවකතාව සහ කෙටිකතාව සිය ප්‍රකාශන මාධ්‍යයන් ලෙස තෝරාගෙන සිටි ඔහු නව සාහිත්‍ය රීතීන් හඹා නොගොස් යථාර්ථවාදී රීතියෙහි රැඳී සිටින්නට වැඩි කැමැත්තක් දැක්වූ ලේඛකයෙකි. ඔහු ලියූ ප්‍රථම නවකතාව ‘බවතුරු යට’ නමින් වර්ෂ 1996 දී පළ විය. එයින් පසුව ඔහු ‘වැස්ස වලාහක’, ‘කෙලෙස් පර්වත ’ සහ ‘ස්වයංජාත ’ යන නවකතා මෙන්ම ‘ඉර මුදුන’ නමින් කෙටිකතා සංග්‍රහයක්ද, ‘ගම්වැසි වදනරුත්’ නමින් වර්ණනාත්මක කල්පිතයක්ද ලියා පළ කළේය. ඔහුගේ ‘කෙලෙස් පර්වත ’ නවකතාව වර්ෂ 2005 දී රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන්ද, ‘ස්වයංජාත ’ නවකතාව වර්ෂ 2008 දී ස්වර්ණ පුස්තක සම්මානයෙන්ද පිදුම් ලැබීය. මෙරට ප්‍රථම ස්වර්ණ පුස්තක සම්මානය හිමිකර ගත් නවකතාවද වූ එය පසුව රූප මාධ්‍යයට නැඟිණි. ‘ස්වයංජාත ’ රචනා කිරීමෙන් වසර පහකට පසු ඔහු ලියූ අලුත්ම නවකතාව ‘තැප්පා සේම ගිනි’ නමින් පළ විය. නිර්මාණකරණයේදී වැඩි කලබලයක් නොපෙන්වූ ඔහු ඒ නවකතාව පිළිබඳව අප කළ පුවත්පත් සම්මුඛ සාකච්ඡාවකදී මෙවැනි අදහසක් පළ කළේය.

“අවුරුදු හතරක් පමණ කාලයක් පුරා මම මේ නවකතාව ලිව්වා. මේ නවකතාවට පසුබිම් වුණේ 71 කැරැල්ල සිදු වූ කාලයයි. ඒ කාලය සම්බන්ධ යම් යම් අත්දැකීම් මටත් තියෙනවා. හැබැයි මම කැරැල්ලට සම්බන්ධ වුණේ නැහැ. හැබැයි ඒ කැරැල්ල සම්බන්ධයෙන් මම අහපු දැකපු දේවල් ඇසුරින් කතාවක් ලියන්න මට උවමනාවක් තිබුණා. කැරැල්ල පසුබිම් කරගත්තාට මේ කතාවෙන් කියැවෙන්නේ කැරැල්ල ගැන හෝ මාක්ස්වාදී දේශපාලනය ගැන නෙවෙයි. මේ කැරැල්ල පුද්ගලයන් කිහිප දෙනෙකුට බලපෑවේ කොහොමද කියන එක ගැනයි මම කතාවෙන් කියන්න උත්සාහ කළේ.”

ඔහුගේ මේ අදහස්වලින් ඔහුගේ ලිවිසැරිය ගැන මෙන්ම දිවිසැරිය ගැනද කිසියම් දළ අවබෝධයක් ලබාගත හැකිය. ඔහු පැවසූ පරිදිම ඒ නවකතාව ලිවීමට වසර හතරක් කාලයක් ගතව තිබුණේ ඔහුට හදිසියෙන් නවකතා ලියා පළ කිරීමේ වුවමනාවක් නොතිබූ බැවිනි. ඒ වන විට ස්වර්ණ පුස්තක සම්මානයද හිමි කරගෙන සිටි ඔහුට නැවත වරක් ඒ සම්මානය වෙනුවෙන් නවකතා ලිවීමේ හදිසියක් තිබුණේ නැත. එසේම ඔහුගේ අදහස්වලින් කියැවෙන වඩාත්ම වැදගත් කරුණ වන්නේ ඔහු සිය නිර්මාණවලදී වැඩි අවධානයක් යොමු කළේ පුද්ගල සබඳතා කෙරෙහි වූ බවය. ඔහුගේ සියලු නිර්මාණ පාඨක ප්‍රසාදය දිනාගත්තේද ඒ නිසාම වන්නට ඇත. සිය නිර්මාණවලින් ඔහු සැම විටම ස්පර්ශ කළේ පුද්ගල භාවයන්ය. සමාජ දේශපාලන අර්බුද ගැන අමු පල්හෑලි ලියනවා වෙනුවට සියුම් මනෝභාවයන් පිළිබඳ වින්දනාත්මක ප්‍රබන්ධ කතා රචනයට ඔහු කැමැත්තක් දැක්වූයේය. ලේඛකයකු ලෙස ඔහුගේ විශේෂත්වය වූයේද එයම යැයි සිතිය හැකිය.

අප සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවේදී ඔහු නවකතා රචනය ගැනද මෙවැනි අදහසක් පළ කළේය.

“නවකතා ලියන්න ඕන මෙන්න මේ විදිහටයි කියලා කියන්න පුළුවන් පිළිගත් හෝ සාධු සම්මත ක්‍රමයක් නැහැ. නවකතාවක් මූලිකවම රස විඳින්න පුළුවන් වෙන්න ඕන. නවකතාවක් ප්‍රහේළිකාවක් වුණත් ඒක කියවන්න පුළුවන් වෙන්න ඕන. අද වෙනකොට සමහරු තමන් කාලයක් තිස්සේ ලිය ලියා හිටපු රීතිය වෙනස් කරලා අලුත් රීතිවලින් ලියන්න උත්සාහ කරනවා. ඔවුන් එහෙම කරන්නේ සම්මාන ලබාගැනීමේ අදහස ඇතිව කියලා හිතන්න පුළුවන්. අලුත් රීතීන් හොයාගෙන යන්න ඕන. නමුත් රීතිය නවකතාව තුළින් පහළ විය යුතු දෙයක්. ආකෘතිය හදලා ඒ තුළට රීතීන් බලෙන් රිංගවීමට යෑම නොකළ යුතු දෙයක්. නමුත් තමන්ගේ සුපුරුදු රීතිය වෙනස් කරලා තමන්ගේ කෘතිවලට බලෙන් රීතීන් රිංගවමින් ලියපු අයට සම්මානත් ලැබිලා තියෙනවා. එහෙම වෙලා තියෙන්නේ නවකතාවේ වගේම සම්මානවලත් කිසියම් අර්බුදයක් තියෙන නිසයි.”

මේ අදහස්වලින් පිළිබිඹු වන්නේ ඔහු කෙබඳු ලේඛකයකුද යන්නයි. සැබැවින්ම ඔහු වෙනස් ආකාරයකට සිතූපැතූ හුදෙකලා ලේඛකයෙක් විය. එහෙත් ඒ හුදෙකලාව ඔස්සේ ගලා ආ ඔහුගේ අදහස් ඉතා සුන්දර, වින්දනීය හා සුපාඨනීය විය. එය කිසිසේත්ම ස්වයංජාත නොවූ ලිවිසැරියක්ම වූයේ නිහඬ හා හුදෙකලා දිවියක් ගත කළ නමුදු ඔහු බොහෝ අත්දැකීම්වලින් පිරිපුන්ව සිටි බැවිනි. ඔහු ජීවත් වූ ගැමි පරිසරය ඇසුරෙහි ලද අත්දැකීම් මෙන්ම වෘත්තීය කටයුතු සඳහා දුම්රියෙන් කොළඹ පැමිණෙන අතර ඇසූදුටු දෑ සහ රාජකාරි ස්ථානයේදී මුහුණදුන් සිදුවීම්ද ඔහුගේ ලිවිසැරිය පොහොසත් කිරීමට සමත් විය. එබැවින් ඔහු නිර්මාණ සඳහා අමුද්‍රව්‍ය සොයා සපයා ගැනීමේ ගැටලුවකට මුහුණදුන් ලේඛකයෙක් නොවීය. ලිවිසැරියට අවැසි බොහෝ දේ ඔහුගේ දිවිසැරියේ තිබිණි. එහෙත් ඒ සියල්ල කඩිමුඩියේ ලියා අවසන් කරන්නට හෝ සම්මාන පිට සම්මාන ලබන්නට ඔහුට වුවමනාවක් නොතිබිණි. පසුබිමක්, පදනමක් නොමැතිව ඕපපාතිකව පහළ වූ ස්වයංජාත ලේඛකයකු නොවූ ඔහු සිය ශක්‍යතා මනාව හඳුනාගෙන නිර්මාණකරණයේ යෙදුණු අයෙක් වූයේය. නවකතා රචනයට වැඩි කැමැත්තක් දැක්වූ ඔහු කෙටිකතා රචනයට එතරම් උනන්දුවක් නොදැක්වූයේ ඒ සඳහා හැකියාවක් තමන්ට නැතැයි යන අදහසක් ඔහු තුළ පැවැති බැවිනි. සිය ප්‍රථම කෙටිකතා සංග්‍රහය පිළිබඳව ඔහු පළ කළේ මෙවැනි අදහසකි.

“මගේ කෙටිකතා ඒ තරම් සාර්ථක නැහැ. ‘ඉර මුදුන’ නමින් මගේ පළවෙනි කෙටිකතා පොත පළ කළාට පස්සේ මගේ අතින් ඒ තරම් කෙටිකතා ලියැවුණේ නැහැ. මම බොහොම කාලය අරන් ලියන කෙනෙක් නිසා කෙටිකතාවක් වුණත් ලියන්න මට සෑහෙන කාලයක් අවශ්‍ය වෙනවා.”

එහෙත් ඔහුගේ කෙටිකතා සංග්‍රහය සාර්ථක කෙටිකතා කිහිපයකින් සමන්විත කෘතියක් විය. ඔහු කෙටිකතාව යනු කුමක්දැයි නිවැරදිව හඳුනාගෙන සිටි රචකයෙක් විය. කෙටිකතාව සහ නවකතාව යන මාධ්‍ය දෙක අතර වෙනස ඔහු හඳුනාගෙන සිටියේ මේ අයුරිනි:

“සරලවම කියනවා නම් කෙටිකතාව කෙටියි, නවකතාව දිගයි. කෙටිකතාවට වස්තු විෂය කරගන්නේ සීමිත ප්‍රදේශයක්, සීමිත කාලයක් සහ සීමිත චරිත කිහිපයක් පමණයි. ඒ විදිහට සීමිත රාමුවක් තුළයි කෙටිකතාව හැසිරෙන්නේ. නවකතාවෙදි ඊට වඩා අතපය දිග ඇරලා චරිත හසුරුවන්න පුළුවන්. සංක්ෂිප්තතාව සහ වස්තුවිෂය අතින් කෙටිකතාව සමහර විට නවකතාවට වඩා ගැඹුරු වෙන්න පුළුවන්. නවකතාවෙදි ඕන තරම් චරිත සහ සිද්ධි ගන්න පුළුවන්. නමුත් කෙටිකතාවකදි එහෙම බැහැ. කෙටිකතාව බොහොම කල්පනාවෙන් අවශ්‍යම සිද්ධි සහ චරිත අවශ්‍යම කාලය ඔස්සේ පෙළගස්වමින් ගොඩනැඟිය යුතු නිර්මාණයක්. කෙටිකතාවකදි සිද්ධ වෙන්නේ අවශ්‍යම ටික ගොනු කරගැනීමක් කියලයි මට හිතෙන්නේ. සමහර විට කෙනෙකුට කෙටිකතාවක් අරගෙන එය තවදුරටත් වැඩිදියුණු කරලා නවකතාවක් බවට පත් කරගන්න පුළුවන් කියලා මම හිතනවා.”

සිය කෙටිකතා ගැන මෙන්ම නවකතා ගැනද ඔහුට තිබුණේ එක්තරා ආකාරයක උපේක්ෂාසහගත දැක්මකි. මුද්‍රණයෙන් පළ වූ සිය නවකතාවලට කෙබඳු ආකාරයේ ප්‍රතිචාර ලැබුණද ඒ ගැන සෑහීමට පත්වීමේ හැකියාවක් ඔහුට තිබිණි. ඔහුගේ සියලු නවකතා අතරින් වඩාත්ම කතාබහට ලක්වූ, ප්‍රථම ස්වර්ණ පුස්තකය හිමිකර ගනිමින් පසුව ටෙලිනාට්‍යයකටද නැඟුණු ‘ස්වයංජාත’ නවකතාව ගැන අදහස් දක්වමින් ඔහු පැවැසුවේ මෙවැන්නකි.

“මම ලියපු ‘ස්වයංජාත’ පළ වුණේ 2007 වසරේදීයි. මම ඒ නවකතාව ලිව්වේ 19 වැනි ශතවර්ෂයේ අග භාගය සහ 20 වැනි ශතවර්ෂයේ මුල භාගය ඇතුළත සිද්ධ වුණු කතාවක් හැටියටයි. විචාර ප්‍රතිචාර කෙසේ වෙතත් ඒ නවකතාව ප්‍රමාණවත් තරම් පාඨක අවධානයට යොමු වුණා කියලා මම හිතනවා. ඒ නවකතාවෙන් ටෙලිනාට්‍යයකුත් නිර්මාණය වුණු නිසා එය වැඩි පිරිසකගේ අවධානයට ලක් වුණා කියලා හිතන්න පුළුවන්. මුලින්ම නවකතාවට ඒ තරම් ලොකු අවධානයක් තිබුණේ නැහැ. එය පාඨක අවධානයට ලක් වුණේ ස්වර්ණ පුස්තක සම්මානය හිමි වීමෙන් පසුවයි. ඉන්පසුව ටෙලිනාට්‍යය නිසාත් ඒ අවධානය තවත් වැඩි වුණා.”

ඔහුගේ සෙසු නවකතා වූ ‘බවතුරු යට’, ‘වැස්ස වලාහක’, ‘කෙලෙස් පර්වත සහ ‘තැප්පා සේම ගිනි’ ප්‍රමාණවත් කතාබහකට ලක්වූ බවක් දැකගත හැකි නොවීය. එහෙත් ඒ ගැන ඔහුට පශ්චාත්තාපයක් නොතිබිණි. ඒවා ගැන මාධ්‍ය ඔස්සේ කතා කිරීමේ කැමැත්තක්ද ඔහුට නොවිණි. ඒ ඔහුගේ ස්වභාවය විය. වර්ෂ 2005 දී රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමිකර ගත් ‘කෙලෙස් පර්වත ’ නවකතාව මෙන්ම මෙරට නවකතාව සඳහා හිමි වන වැඩිම මුදල් ත්‍යාගය සහිත ස්වර්ණ පුස්තකය දිනූ ප්‍රථම නවකතාවද රචනා කළ ලේඛකයා ලෙස පාඨක විචාරක අවධානය දිනාගත් ඔහුගේ සෙසු නිර්මාණ ඇගයීමේ ක්‍රමවත් වැඩපිළිවෙළක්ද නොතිබුණු පසුබිමක ඔහුට නිසි ඇගයීමක් ලැබුණු බවක් පෙනෙන්නට නොතිබිණි. එහෙත් ඒ ගැන ඔහු කනගාටු වූයේද නැත. කිසිදා සම්මාන පසුපස හඹා නොගිය ඔහු ඒ ගැන දැරුවේ මෙවැනි අදහසකි.

“සම්මානයක් ලැබීමෙන් ලේඛකයෙක් හෝ ලේඛිකාවක් තුළ කිසියම් උත්තේජනයක් ඇති වෙනවා. ඒක එහෙම වෙන්නේ නැහැ කියලා කියන්න කාටවත් බැහැ. සම්මානයක් ලැබුණාම තමන් කිසියම් ඇගයීමකට ලක් වුණා කියලා ලේඛකයාට හිතෙනවා. මම හිතන විදිහට මේ රටේ අද තියෙන වැදගත්ම සම්මානය ස්වර්ණ පුස්තකයයි. ඒ වගේ සම්මානයක් ලැබුණාට පස්සෙ ඊළඟට මම ලියන පොත මොන වගේ විය යුතුද, ඒ පොත පාඨකයෝ මොන විදිහට පිළිගනියිද කියලා හිතන්න සම්මාන ලැබූ ලේඛකයාට සිද්ධ වෙනවා. පාඨකයෝ බලාපොරොත්තු වෙනවා ඒ ලේඛකයා ඒ වගේ හෝ ඊටත් වඩා හොඳ පොතක් ලියයි කියලා. ඒ නිසා ලේඛකයාත් හිතනවා මම ඒ වගේ හොඳ මට්ටමක ඉන්න ඕන කියලා. ”

ඉදින් ඔහු සැමවිටම උත්සාහ දැරුවේ එවැනි හොඳ මට්ටමක රැඳී සිටිමින් නිර්මාණකරණයේ යෙදීමටය. ඒ සඳහා ඔහු නිරතුරුවම පොතපත ඇසුරෙහි කාලය ගත කළේය. ලිවීම සඳහාද කාලය ගත කළේය. ඒ ලියන සියල්ල පළ කිරීමේ අරමුණක් ඔහුට නොවිණි. ලේඛකයකු ලෙස තමන් තෘප්තිමත් නොවන තැනදී බොහෝ කාලය වැය කරමින් ලියූ ඇතැම් නිර්මාණ පවා ඔහු පසෙක දැමුවේය. එබැවින් ඔහු අලසභාවයකින් යුතුව නිකරුණේ කාලය ගෙවා දැමූ ලේඛකයෙක්ද නොවේ. ඔහුගේ ආධ්‍යාශය වූයේ සැම විටම වඩා හොඳ නිර්මාණයක් කිරීමය. පළ කිරීමට සුදුසු නිර්මාණයක් නොලියැවුණු විට ඔහු නිහඬව සිටියේය. කාලයක් යන තුරු නිහඬව සිටි හුදෙකලා ලේඛකයකු ලෙස ඔහු සැලකෙන්නේද එබැවිනි.

 

[අජිත් නිශාන්ත]

 

News Order: 
8
මාතෘකා